31 July 2014

"මුදු හුලං (කතාවක් මැද ) // Sea Breeze (the story of)



මෙතැන ස්ථිරවම කතාවක් ඇත . "මුදූ  හුලන් " , ඒ නිවසේ නම . පඩි පෙළ උඩ   හදිසියෙන් මෙන් ගලවා  තැබූ පාවහන් යුගලක් . අඩවන් කළ  දොර පලුව . වැඩිය ඈතට නොවිහිදිනු , ඉර පැල්ලම , ඕපා දුප සොයන සිතකට නොදෙන්නේය කිසිත් තොරතුරක් .සුළඟ එනු පිණිස (ෆිල්ම් එකක් නේද ) යාන්තම් ඇරුණු ජනේලය . ... කවුරුත් කතා නොකරන එළියේ බිත්තියට කළ  බයිසිකලේ . 
සෙමින් ඇසේ "වේලාව  මධ්‍යන දොළහයි , මෙන්න දිවා පුවත් ."


There's definitely a story here. a house named "Sea breeze" . Footwear of a stranger on the footsteps left in a haste. The half opened door to the hall, even the sunbeam shies away from venturing deep . And the elephant in the room,  that no body speaks about , the bicycle with a basket , parked outside.

28 July 2014

ජාතිබේද සරුංගලේ , යුද්දෙන් තොර ගුවන් තලේ // GFK @ GFG (Go Fly a kite at the Galle face Green) -



ජාති බේද සරුංගලේ 
යුද්දෙන් තොර ගුවන් තලේ 
ඈතට පාවී නොපෙනී යන්න නොදෙන්නේ 
මේ පුංචි රටේ එහෙම දිනක් කවදා එන්නේ 

සරුංගලේ බට පඳුරෙන් සෑදෙව්වෙත් වෙනින් අයයි  
සරුංගලේ ලාටු උළා රැළි  කෙරුවෙත් වෙනින් අයයි  
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ වෙනින් අයයි 
සරුංගලේ නුඹ අහසේ , නූල  මාමා අතේ වගෙයි 

සරුංගලේ නුඹ වෙනුවෙන් මැරුම් කෑවේ  අපේ ළමයි 
සරුංගලේ නුඹ හින්දා විඳ වෙව්වෙත් අපිම තමයි 
නිච්චි දිදී , නූල්  දිදී  මාමා සරුංගලේ යවයි 
සරුංගලේ නුඹ අහසේ තියෙන තාක් වාසි තමයි 

( සරුන්ගලේ වරල් සැලේ  ගීතයේ තාලයට ...)


පලි
පය බරවාවට පිටි කර බෙහෙත් බඳිනා වාගේ . හොරා ගේ අම්මාගෙන් පේන  අහනවා වාගේ . වැනි ප්‍රස්ථාව පිරුළු අතරට එක්වූ නවතම පිරුලකි 

" ජාතික සමගියට මුරුක්කු කකා සරුංගල් යවනවා වාගේ "

26 July 2014

මේ එකම අහස යට ..// Under the same sky



මේ එකම අහස යට 
වෙන වෙනම ලෝක වල 
ආකල්ප සංකල්ප 
සබන් පෙණ බුබුළු 
සිත් දරා 
අප 
තනිවෙලා 



පලි 

මේ පින්තුරය ගත්තේ ගාල්ල කොටුවේදී . මේ කොල්ලෝ හතර දෙනා එකට හිටියට , උන් උන්ගේ මනෝ ලෝකවල . පින්තුරය පස්සේ හදන කොට තමයි පෙනුනේ පොලව පොඩ්ඩක් ඇදයි කියලා . ඒක  එහෙන්මම තිබ්බේ , කොහොමත් අපි ජීවත්  වෙන්නේ ඇලවුණු ලෝකයක නේද කියලා හිතලා .

19 July 2014

ලාංකීය දේශපාලනයේ WWF සේයාව // Sri Lankan Politics - A sports entertainment corporation ?






අපි පොඩි කාලේත්  ( ඩයිනසෝරයන් වඳ  වෙලා නොබෝ කලකින් :) ) තිබ්බා WWF රෙස්ට්ලින්,  දැන් වගේම .

 ඒ දවස් වල ජෝන් සීනා ලා සුප්පුව කටේ ගහගෙන දුවන , බැටිස්ටා  ලා පුංචි ජංගි කොටේ තෙමා  ගන්න කාලේ.  චන්ඩි තමයි අන්ඩර් ටේකර් ලා , යෝකෝසුනා ලා , හිට් මෑන් ලා , පස්සේ කාලෙක ද රොක් .

බහුතරය වගේම සුළු ජන කොටස් නියෝජනය වෙන්න චරිත ඇවිල්ලා  රඟ පානවා .කොහොමත් කණ්ඩායම් දෙකක් නේ , වීරයෝ සහ දුෂ්ටයෝ . කාලෙන් කාලේට  දුෂ්ටයෝ මාරු වෙනවා . උන් යෝධ සයිස් එකේ දුෂ්ටයෝ . පරදවන්න අමාරුයි බැලු බැල්මට . ඒත්  අනේ අපේ වීරයෝ කොහොම හරි උන්ව පරද්දවනවා . හැබැයි අමතක කරන්න එපා දුෂ්ටයෝ දිනන දිනන තරමට තමා වීරයන්ට පැවැත්මක් තියෙන්නේ.

බෙර ගහගෙන , පුරසාරම් කියාගෙන ගුස්ති පිටියට එනවා. ගුස්ති පිටිය මැදට ඇවිත් බැන  ගන්නවා . අතින් පයින් ගහ ගන්නවා, කන් හපා  ගන්නවා  .  වෙන් කර ඇති වෙලාව තුළ තිර රචනයේ හැටියට වැඩේ කෙරෙනවා .

නාට්ටියේ හැටිනේ වීරයෝ දුෂ්ටයෝ වෙනවා , දුෂ්ටයෝ වීරයෝ වෙනවා . වීරයෝ දුෂ්ටයෝ වුනාම ඒකට  අනේකවිධ හේතු දක්වනවා . දුෂ්ටයෝ වීරයෝ වුනාම , උන්ගේ අතීතය උන්ටත් අමතක වෙනවා අපටත් අමතක වෙනවා . වීරයෝ එනකොට මිනිස්සු විසිල් ගහනවා චියර් කරනවා (ඇත්තටම මිනිස්සු කිව්වට සවුන්ඩ් ට්‍රැක්  එකක් තමයි වාදනය වෙන්නේ ). දුස්ටයෝ එනකොට හූ කියනවා .( ආයෙත් සවුන්ඩ් ට්‍රැක් එක )

ඔන්න හිටපු ගමන් සොහොන් ෂෝන් මයිකල්  ගෙනෙනවා ඔහුගේ ආරක්සාවට , ඩිසල් කියලා (හැබැයි UN සම්බාධක වලින් තොර හොඳේ ) මහා හයේ හතරේ පොරක් . කාලයක් ඌ නිකන් පැත්තක හිටගෙන ඉන්නවා . පස්සේ ඌ අර සොහොන් ගොයියටත් කෙලිනවා . අන්තිමේදී පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වෙනවා .

ඒ අස්සේ එහෙන් මෙහෙන් කලුවරේම ඇවිත් හොරෙන් ගේම් දීලා අතුරුදහන්  වන අන්ඩර්  වර්ල්ඩ් එකේ අන්ඩර්ටේකර් සීන්  එකට එන්ටර් වෙනවා . ග්‍රීස්  යකාට වගේ මිනිස්සු ඔහුට බය වෙනවා . ඉතින් ඉන් පස්සේ ගේම් වල ඉරණම වෙනස් වෙන්න ඔහු සාධකයක් වෙනවා . කාලෙන් කාලේට  ඔහුව පාලනය කරන කට්ටිය මාරු වෙනවා .  කෙනෙක් ඔහුට ප්‍රතිවාදීව  කේන් ව ගෙනෙනවා . උන් දෙන්නනම එකතු වෙලා ගෙනාපු එවුන්ට ගේම දෙනවා .

හොඳ සූට් බූට් ඇඳ ගෙන එන රොකි ජොන්සන් , අනේ ලජ්ජා නැතුව ඇඳන් ඉන්න කලිසම කකුල් දෙකෙන් පහලට ගලවලා , ලන්කට් එක පිටින් ජනතාවගේ විරයා  වෙනවා . ඔහු පොඩි එවුන් වඩා ගන්නවා . ආච්චිලා ඇන්ටිලා එක්ක ඉඳන් පින්තුර ගන්නවා . ජනප්‍රියතාවයේ හිනි පෙත්තටම නගිනවා

ඔන්න ස්ටීව් ඔස්ටින් එනවා . එළිපිටම බියර් එකක් බොනවා . ප්‍රසිද්ධියේ කුණු හබ්බත් කියනවා . අම්මට සිරි , රැඩිකල් පොරක් සහෝදර වරුනි .

හැබැයි කතාවේ හැටියට මේ ඔක්කොම පාලනය කරන්නේ ගරුතර මැක් මොහාන් මෝහන් මයා . මේ මොහාන් තමයි සම්පුර්ණ තිර පිටපත ලියලා දෙන්නේ . දිනන්නේ කව්ද,  කව්ද පරදින්නේ  කියලා ලියලා දෙන්නේ .

දවසක් මොහාන් ගේ පුතාත්  සීන් එකට එන්ටර් වෙනවා . ඔහු පාලනයට නෙමෙයි ගුස්ති අල්ලන්න හදනවා . ඔහුට ගහ ගන්න බෑ . ටික දවසක් ඔහුගේ වටේ ඉන්න එවුන්ගේ සහයෙන් බේරිලා ඉන්නවා . අන්තිමේදී මොහාන් ට චැලේන්ජ් කරනවා . අර රැඩිකල් ඔස්ටින් පැනලා ඔහුට නෙලනවා . මොහාන් ව බේරා  ගන්නවා .

මොහාන්ගේ   තිරරචනයට අනුව,  යට කලිසම් පිටින් යෝධයෝ වගේ මිනිස්සු, විහිලු කාරයෝ , ඉටි කිරිස් ලලනාවෝ රඟ  පානවා . ඔලු පැලෙන්න,  ලේ බේරෙන්න ගහ ගන්නවා . පස්සේ එකට ෂොට් එකක් ගහල පඩි පතත් අරගෙන ගෙදර යනවා ( හැබැයි ඇත්තටම නම් මොහානුත්  කරන්නේ වෙන කාගේදෝ තිර රචනයකට අනුව දෙබස් කියන එක රඟ  පෑම  විතරයි ලු ). මේ බොරු සෙල්ලම බලන්න මිනිස්සු දැන් දසක ගණනාවක් තිස්සේ සල්ලි දීලා ටිකට් ගන්නවා . තමන්ගේ කාලය නාස්ති කරනවා . ඒත්  තවමත් රෙස්ලින් හොඳින් අලෙවි වෙන වෙළඳ භාණ්ඩයක් .


පලි :
තිස් තුන් කෝටියක් විතර ජනාධිපති උපදේශකයන් සිටියත් , රටේ රාජ්‍ය පාලනය කෙරෙන්නේ  රෙස්ලින් තිරරචනයකට අනුව දැයි විටෙක මට සිතේ .

WWE වැඩසටහන් වලට පස්සේ අනතුරු ඇඟවීමක් දානවා
"Some scenes have been dramatically altered for your entertainment . All stunts in these programme are  performed by trained professionals . do not try these at home "

02 July 2014

ජාතිවාදය තියන් ත්‍රී වීලරයේ යාම , තෝසේ කෑම හා ආච්චිගේ ජාති අලය

ඔන්න ගණන් හිලව් එහෙම කතා කරගෙන ඉවර වෙලා මම නැග්ගා ත්‍රී  වීලරයට .  පරණ පුරුදු විදියට කතාවක් පටන් ගත්තා රියදුරා සමග (ටැක්සි රියදුරන් සමග කතා බහට මම කොහොමත් කැමතියි ). අපි රටේ තොටේ විත්ති කතා කර කර යනවා . ඔන්න මුස්ලිම් පොත් කඩයක් පහු වෙනවා . බෝඩ් එකේ හැටියට අලුතෙන් පටන් ගත්ත එකක් වගේ ( එහෙමත් නැත්නම් අලුතෙන් බෝඩ් එකක් එල්ලලා ) .  හිතෙනවා කියන්න  අලුතෙන් නැගෙන මුස්ලිම් රැලි ගැන , ඒවායේ ආධාරයෙන් ඔරු පදින කට්ටිය ගැන . හැබැයි මොහු ගේ ජාතිය ගැන  නිච්චියක් නැති නිසා මම කට වහ ගන්නවා . 

අපි පහු කරනවා බෞද්ධ මන්දිරය . අම්මපා අනේ පිඬු සිටාණන්ට ලජ්ජා හිතෙනවා , තමන්ගේ ජේතවනාරාමයේ සයිස් එක ගැන මේක දැක්කනම් . මෙන්න ශ්‍රද්ධාවේ තරම , තෝම්බ සයිස් . මට ආයෙමත් හිතෙනවා මොනවා හරි කියන්න . ඒත් ..... මම දිව හපා  ගන්නවා .

ටිකක්  ගියාට පස්සේ , රගර් කතාවකින් මම නම අල්ලගන්නවා . මුස්ටෆා . කොහොමෙන් කොහොමට හරි අපේ ගමන කොළඹ  යද්දී , කතාබහ යනවා අලුත්ගමට .
කුළුපඟ කම වැඩිවෙලා  කියවෙනවා 

මම මේ මල්ලි මුස්ලිම්ද කියලා ෂුවර් නැති නිසා මොකුත් කිව්වේ නෑ  පරිස්සමට .

ඔව් සර් මටත් එක එක ඒවා කියවෙන්න ආවා .... සර් මාර  වැඩේ නේ , අපිට තේරෙනවා මේවා පිස්සු වැඩ කියලා , ඒත්  අපි බයයි .... 

***

පුතා තව බෙදා ගන්න . 

ඔන්න මම තව තෝසයක් බෙදා ගන්නවා . අපි ගිහින්  කෑමකට , නෑ  ගෙදරකට ...
ඔන්න කවුදෝ කෙනෙක් විහිලු කතාවක්  පටන් ගන්නවා . ..මේ කතාව ඉවර වෙන විදිය මම දන්නවා , පොඩි කණේ   පාරක් එක්ක ද්‍රවිඩයන්ට . ඔන්න කතාව අතරමග නතරවෙනවා . ඒ පිඟානට තව සාම්බර් ටිකක් වැටෙනවා . සාම්බර් එක්ක තෝසේ  උගුර දිගේ සුරුස් ගාලා ලිස්සලා  ගියත් ,  ජාතිආලය හිර වෙනවා උගුරේ .

***

ආ ආච්චි  පන්සල් ගියාද 

ඔව් පුතේ ,  හාමුදුරුවෝ හොඳ  අනුසාසනාවක් කලා .

මොනවා ගැනද 

මේ ජාතිවාදේ  ගැන 

මොනවද කිව්වේ 

මේ මුස්ලිම් නිසා අපිට නිවන් දකින්න බැරි වෙන හැටි හොඳට පැහැදිලි කලා . මුන් දෙව්දත් පරපුරේ එවුන් ....

ආච්චි,  දෙව්දත් බුද්දාගමේ නේද 

මොකෑ  කිව්වේ මට ඇහුනේ නෑ 

මොකුත් නෑ ආච්චි 

එක නෙමෙයි පුතේ , අපි  පොඩි කාලේ ....ඉස්සර මේක සිංහල රටක් නේ . .....ඒ  සිංහල කිව්වේ අදහන ආගමට නෙමෙයිනේ , අපේ සන්ගිස්කෘතියටනේ, අපි ජීවත්  වුන විදියටනේ  . කවදද පුතේ ඕක මාරු කරේ 


පලි :
දේශප්‍රේමය ජාතිඅලය කියලා  එකකින් වැහිලා . 

මේ මල ඉලව්ව නිසා , දැන් හුලන් වැදි  වැදී යනකොට අල්ලාප  සල්ලාපයක්  වත් , තොසේ ගිලින කොට පොඩි විහිළුවක් වත් කරන්න බැරි විදියට අපි බය වෙලා.