29 June 2016

ඇගේ ඇස අග බලා ලියු




පිස්සු 
හැදෙන 
හඳයා ටද ?
මටද ?

හංස විලෙන් බැස 
මා සිත් විල 
ලැගුම් ගත් 
ස්වර්ණා 
ගෙනැවිත් ආයෙත් 
බලෙන් ඔබ්බවා 
ෆැන්ටසිය 
පුපුරුවා 
අර කිව්ව හද විල , 
සාලාව වගේ දැන් 

ඒවා නම් කැතම වැඩ 

ඇත්තටම 
එහෙම දේවල් වෙනවද 
ධම්ම චින්තා අහලා 
තුන් සුත්තරේ අහන 
අතරතුර 

ඇයි 
දෙපැයක් ගාල් 
ටියුෂන් පන්ති බංකු පේලි අතර 
කන්තෝරූ ඒ සී කාමර තුළ 
බෝ මළුවට එහා ආවාස ගෙයි 
ඈ අවතාර 
නොදැක්කෙද  


මේ ....
ඈ හිටියාද  කතාවේ 
ඇත්තටම
නැත්නම් 
හොල්මනක්ද ජනිත 
සසළ  වූ මනස් තුළ  

26 June 2016

#හුටා

 මේ මුලූ සටහනම පාදක වන්නේ , මා ශ්රවනය කල එක් ගුවන් විදුලි වැඩසටහනදී කපිල එම් ගමගේ කවියා කියූ දෙයකිනි . ඒ ඔස්සේ දිගට දිගට මම සිතන්නට විමි . ඒ මන චාරිකාවේ හමුවූ පිංච් පොයින්ට්ස් කිහිපයක් පහත සටහන් කරමි


***

මචං යාපනේ දෙමලු කෝ

ඇයි ඔය ඉන්නේ , ඩෙගා නටන විගා . ඇයි අපේ විජෙකලා නෝනා .

ඒ කට්ටිය වැල්ලවත්තෙනේ , මම අහන්නේ යාපනේ දෙමලු

ඇයි බං මේ ඉන්නේ උන් , කැමා ඇඳ ගෙන ටී පනස් හය කරේ එල්ලගෙන..... මේ ඉන්නේ ඊට පස්සේ කැමා ගලවලා වේට්ටි ඇඳන් ..තෝසේ  කකා සන්තෝසෙන් .... .

කෝ බලන්න ..අඩේ ඉන්නවා නේන්නම් ..හැබැයි  උන් ඉන්නේ යාපනේ නෙමෙයිනේ ... උඹේ ඔලුව ඇතුලෙනේ

හුටා

***

ආයෙත් ප්රභාකරන් කෙනෙක් බිහිවෙවිද ?

මෙහෙම ගියොත් සමහර විට

ඉතින් මොකද කරන්නේ

ආයේමත් ගහනවා

ඒත් ඊළඟ ප්රභාකරන් අවිහිංසා වාදියෙක් , ගාන්ධි වාදියෙක් වුනොත් ?

හුටා !!

***

මචන් දියසේන කුමාරයා මෙදා සැරේ නම් ඇත්තටම පහළ  වෙලා ලු

අපේ රට බේරා ගන්න එන උන්නාන්සේනේ ...මෑන්ස් සිංහලද ?

සුද්ද සිංහල, අඳින්නේ රෙද්ද . පෙනුම නියම මහා කළු සිංහල . කන්නේ බත් , කුරක්කන් තලප

මිනිහාගේ ආගම ?

බොක්කෙන්ම නෙමෙයි , ඇට මිදුළු දක්වාම බෞද්ධයෙක්

අනේ සාදු

පොඩි මෙව්වා එකක් තියෙනවා හැබැයි

ඒ කිව්වේ

මිනිහා සම ලිංගිකයෙක්

හුටා !!!


***

විස්සට පස්සේ විසි එකක් එනවා කියන්නේ

මොකෑ තියෙන්නේ ඒකේ ?

ප්රජාන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම ලු

ඒවා හොඳ වැඩ

කෙලින්ම පාර්ලිමේන්තුවෙන් හැම තීරණයක් ගන්න කලින්ම ජනතාවගෙන් අහනවා ලු

ඒ කියන්නේ

ඒ කියන්නේ , අපි තීරණ ගන්න පත් කරපු කට්ටිය , තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගයි කියලා  ආයෙත් ඒ අයිතිය කෙලින්ම අපිට දෙනවලු

අන්න මරු ..එතකොට

තීරණ වැරදුනොත් .. ඔන්න අපි නෑ කියයි

හුටා

18 June 2016

දොට්ට ඩූ ලිට්ල් ගේ අලි ටෝක්

මා හඳුනන දොස්තර මහතෙකි . දොස්තර කෙනෙක් කීවාට මොහු කරන්නේ දත් බඳින , ගලවන එකය . හංදියේ කඩේ බඩා මුදලාලි නම් කියන්නේ " ඒ වුනාට මු  හැසිරෙන්නේ ෆුල් දොස්තර කෙනෙක් ටත්  වඩා දොස්තර කෙනෙක් හැටියට" කියලාය .  
නම ඩූ ලිට්ල් ය .  ඩිස්පෙන්සරියක් කරන කාලයේ දොර ලෑල්ලේ ගසා තිබුනේ "දොට්ට  ඒ .ටී .ඒ . ඩූ ලිට්ල්"  වරහන් ඇතුලේ "හොඳ හිත වයිද්යාචාර්ය තුමා" කියලා ය . ඒ ටී ඒ යනු අලි ටෝක් ආරච්චිගේ යන උප්පැන්නේ ඇති වාසගමය . 

මොහු , අර ටයි මාමාගේ කාටුන් වල සිටි දොස්තර හොඳහිත ගේ පරම්පරාවේය . කාටුන් එකේ දොස්තර හොඳහිත , සත්තුන්ට කතා කරන රහස දැන සිටියේය . කැප්ටන් දියරකුස් සහ පිරිවර හැම උත්සාහයක්ම දැරුවේ ඒ රහස දැන ගන්නය . 
අපේ ඩොට්ටර් කරන කථා ඇසුවාමත් හිතෙන්නේ ඒ පාරම්පරික රහස ඔහුත් දන්නවා කියාය . ඔහුගේ බොහෝ කථා , ඇත්තටම ඉල්ලක්ක වී ඇත්තේ බුද්ධිය මුහුකුරා ගිය මිනිස්සුන්ට නොව , පුත්තලම ප්රදේශයේ  බුරුවන්ටය, වෙලේ තණ බුදින මීහරක් බානටය . 

ඩොට්ට ඩූ ලිට්ල් සමාජ සේවකයාය. වටේ පිටේ මගුලට , අවමගුලට , කොටහළු මගුලට හැම එකටම යන්නේය . කථා පැවැත්වීමට , ප්රකාශ නිකුත් කිරීමට ඇති අධික ආසාව නිසාම මේ හැම තැනකදීම බලෙන්ම වාගේ කතා පවත්වන්නේය . බොහෝ විට මේ කතා නිසාම නාගන්නේය.  ඒ නිසාම එතුමාගේ හාමිනේ නම් කියන්නේ "කොහේ ගියත් කමක් නෑ , යන තැනක තුවායක් අරගෙන යන්න " කියාය. ගමේ එවුන් නම් කියන්නේ මූ නාන හැටියට මූ දොස්තර හොඳ හිත ගේ පරම්පරාවේ නොව චව් චව් ගේ පරම්පරාවේ කියලා ය (මේ විහිලුව තේරුම් යාමට ඔබ ටිකක් වියපත් විය යුතුය ) .

 කඩමණ්ඩියේ ඥාන කතා , ප්ලේන් ටී අතරේ කතාබහේදී මෙවැනි කථා එලියට එන්නේය .


****

"පහුගිය දවසක මිනිහා ගිහිල්ලා මගුල් ගෙදරක . යනකොට නැකත් වෙලාව පහු වෙලා , පෝරුවෙන් කපල් එක බැහැලා ලු.  
මෙන්න මූ  ලොකු සද්දයක් දැම්මලු අඩේ අපි නැතිව කොහොමද එහෙම කරන්නේ , ආයෙත්  පෝරුවේ චාරිත්ර කරන්න කියලා ".

"ඉතින් ?"

"කවුද එකෙක් කියලා එහෙනම් වැඩේ ඉවර වුනාම පෝරුව ගලවලා පැක්   කරලා දෙන්නම් ගෙදර ගෙනිහින් රෑට චාරිත්තර කරගන්න කියලා "

***

 "ඇයි අර කමලාවතී ගේ කෙල්ලගේ කොටහළු ගෙදරත් පරක්කු වෙලා  ගිහින්, මූ  ආයේ කෙල්ලව නාවන්න කිව්වා කියන්නේ ."

"ඉතින් මොකෝ වෙලා තියෙන්නේ ?"

"සුමනේ දෙකක් දා ගෙන ඉඳලා තියෙන්නේ. ඌ කියලා ගිහින් තොගේ අම්මව නාව ගනින් කියලා "


***
"ඇයි බං අර සියාතු මාමා ගේ මළගම වෙලාවේ කනත්තට ඇවිත් ,  පෙට්ටිය වැලලුවටත් පස්සේ කරපු සීන් එක ?"

"ඔව් ඔව් මට මතකයි , ලොකු සද්දයක් දැම්මේ , පෙට්ටියට මුල් පස් පිඩ  දාන්න හිටියේ මෑන්ස් ය . ආයේ ගොඩ අරං  ගොඩ අරගෙන ආයේ වලලමුය කියලා ."

"තව පොඩ්ඩෙන් එහා පැත්තෙන් වළක් කපලා ඌව  වලලනවා "

*** 

"ඇයි මාමේ අර ක්රිසාන්තිට නිවුන්නු දෙන්නෙක් හම්බු වුනේ "

"නිවුන්නු දෙන්නෙක් .. හරි හරි ඉතින් "

"ඩොට්ටයා ගිහින් කිව්වාලු , ඊළඟ සැරේ තුන් දෙනෙක් හම්බු වෙන්න අපි උදව් කරන්නම් කියලා ."

***

 "මම ගියානේ දවසක් ඕකා ගෙන් ආධාරයක් ඉල්ලන්න අර  ඇසිලින් ආච්චිට රෝද පුටුවක් අරන් දෙන වැඩේට  ."

"ඉතින් "

"මේ දවස් වල වාහනයක් ගන්න ඇඩ්වාන්ස් එකක් ගෙවලා ඉන්නේ අතේ සල්ලි නෑ අරවා මෙව්වා කියලා ඕකා මග ඇරියා "

"නොදකින් ලෝබයා "

"අපි රෝද පුටුව පරිත්යාග කරන වෙලාවේ , ඕකා ඇවිත් ඇසිලින් ආච්චිගේ මුණ අතගාලා මෙන්න කියනවා . උගේ  පෞද්ගලික ධන පරිත්යාගයෙන් ඌත් තව රෝද පුටු තුනක් ඇසිලින් ආච්චිට අරන් දෙනවලු "

"ඉතින් "

" ආච්චි ඇහුවා " මොකෝ පුතේ රෝද පුටු රේස් තියන්නද ? " කියලා "

"හා හා හා . ... මචං  ඒ වැඩේට ලිස්ට් එකක් ගහලා ඌ වටේට සල්ලි එකතු කරනවා , උගේ පෞද්ගලික වියදමෙන් , රෝද පුටු පරිත්යාග  කරන්න "

***
ලඟදි මහරගම පිළිකා ඉස්පිරිතාලේට ස්කෑන් එකක් ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙන්න බෑ  කිව්වා . මිනිස්සු එකතු කරලා ... 
මෙය හුදු මනඃකල්පිත කතාවකි . සත්ය සිදුවීම්, චරිත  වලට සමපාත වේ නම් එය හුදු අහම්බයක්මය 

14 June 2016

යනවා නම් ප්ලේන් එකක නැගන් .... මාත් අරං යන්න සත්තලං

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි ටි ටික් 


යනවා නම් ප්ලේන් එකක නැගන්...න්න්
මාත් අරං යන්න සත්තලං //

තායිලන්ඩ් උගන්ඩා ජැපෑන්
කොහේ උනත් කමක් නෑ  මචං //

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි  ටි ටික් 

ෆුජි හිමේ කඳු පාමුළ 
ජපන් බබෙක් ඔසවාගෙන 
ෂොපින් මෝල් එකක් ඇතුලේ 
ජපන් කෙල්ලෝ වටකරගෙන 

පරණ පුරුදු ආතල් යළි  ගනිමු සත්තලං 
ඊට පස්සේ සෙල්පි ගහලා දාමු සත්තලං 

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි  ටි ටික්  

යනවා නම් ප්ලේන් එකක නැග න් 
මාත් අරං යන්න සත්තලං 
තායිලන්ඩ් උගන්ඩා ජැපෑන්
කොහේ උනත් කමක් නෑ  මචං 

ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි  ටි ටික් 

හිටපු ලොක්කා මෝරා කරලා 
පැකින් පිටින් අළෙවි කරලා 
ඉඳලා හිටලා චාරිකාව යමුකෝ සත්තලං 
පාර දිගේ සෙල්පි ගහලා දාමු සත්තලං 


පලි .

වයසක මිනිස්සු බයිට් එකට ගැනීම පාප කර්මයකි . ඔවුන්ව ගොනාට ඇන්ඳීම , මෝරා කර තමනට ප්‍රයෝජන ලබා ගැනීම ඊටත් වඩා පාප කර්මයකි .  අපි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත යුතුවෙමු. මොනවා නැති උනත් , ලංකාවේ රාජ්‍ය නායක ලැයිස්තුවේ රට කරවූ වැදගත් ජනාධිපති කෙනෙක්ව සමුපකාර සභාපති කෙනෙක් ගේ තත්වයට ඇද දමන්නවුන් කරන්නේ ඔහුට දේශපාලිනකව  මඩ  ගසන්නවුන්ටත් වඩා  අගතියකි .  ඔවුන් ගැන නම්  ඇත්තේ අපුලකි 

12 June 2016

එක යට රත්නේ ගේ ටැක්ස් ඇඩ්වයිස්

සටහන් කීපයකට පෙර ඔබට හඳුන්වා දුන් මගේ මිත්‍රයා , එක යට රත්නේ  ඔබට මතකද ?

ලාංකිකකමටද මන්දා  ඔහුට සෑම දෙයක් ගැනම ආකල්පයක් ඇත . මුළු වසර පුරාම  ඔහු පුන්‍යකර්මයක් ලෙස කරන්නේ ආකල්ප දන්සැලක් දීමය . නොබෝ දිනෙක අප අල්ලාප සල්ලාපය හැරවුණේ වත්මන් බදු ප්‍රතිපත්ති දෙසටය 

"මචන් මේ ටැක්ස් ගහගෙන ගහගෙන යනවා , මිනිසුන්ට ජීවත් වෙන්න එන්න එන්නම අමාරුයි ."

මිනිස්සුන්ට කොහොමත් ජීවත් වෙන්න අමාරුයි , බදු වලින් වෙන්නේ ඒක මතක් කරලා දෙන එක විතරයි 

ඒ වුනාට බලපන් දැන් මේ වැට් එකක් දාලා ... හෝටලෙන් කිරි තේකක් බිව්වත් ඒකටත් වැට් එක වදිනවා කියන්නේ .

ඉතින් එනකොට ගෙදරින් බීලා වරෙන් කෝ තේ එක ?

ඒ කියන්නේ මේ ක්‍රමේ හරිද ? 

නෑ නෑ  උඹට මම කිව්ව දේ තේරුනේ නෑ, ක්‍රමේ පොඩි අබ්ලික් එකක් තියෙනවා . 

එහෙනම් කියහන්කෝ බලන්න මොකක්ද ඒ අවුල කියලා 

බදු ප්‍රතිපත්ති ගැන උඹ දන්නවද ?

ඔව් , සිම්පල් බව , සාධාරණ බව ,ඍජු බව ..අර බන්දුල සර් ගේ පංතියේ ඉස්සර අපි ගෙවලා ඉගෙන ගත්තේ .. දැන්නම් සර් ටීවී එකේ නිකන් උගන්නවා ..

නෑ  නෑ දැනුත් සර් ගේ පඩිය ගෙවන්නේ අපි තමා .. කොහොම වෙතත් ඔය බදු ප්‍රතිපත්ති වල වැදගත්ම එක උඹ කිව්වේ නෑ .. ඒක තමා මිනිස්සුන්ට ඇඟට නොදැනීම 

ඒ කියන්නේ 

දැන් බලපන් ඔය වාහන වල වැට් එක වැඩි කලේ මිනිස්සු වාහන ගෙන එක අඩු කරන්න නේ . පොදු ප්‍රවාහනය පාවිච්චිය උනන්දු කරන්න නේ 

එහෙමනේ කියන්නේ .. ඒක  හරිද ?

වැරදියි . මොකද වාහන ගෙන එකා ඔය වැඩි ගානට ගේනවා . ගන්න එකා වැඩි ගානට ගන්නවා . පස්සේ හිර වෙනවා 

ඉතින් මොකක්ද කරන්න ඕනේ 

පෙට්‍රල් මිළ වැඩි කරන්න ඕනේ . ටයර් ගාන වැඩි කරන්න ඕනේ . එතකොට වාහන දුවන්න බෑ . ඔක්කොම ලොක්කෝ බස් වල යන්න ගන්නවා .

උඹ නම් ...

එහෙනම් මෙහෙම ගනිං. අරක්කු බොන එක සමාජයට හානිකරයි නේ . ඉතින් ටැක්ස්  වැඩි කරන්නේ පාවිච්චිය අඩු කරන්න නේ . ඒ වුනාට බොන එකා බොනවනේ .  

හරි ඒකට මොකද කරන්නේ ?

සිම්පල් . බෙහෙත් වලට , ඉස්පිරිතාලවල ගාස්තු වැඩි කරන්න ඕනේ . තැඹිලි වලට ටැක්ස් ගහන්න ඕනේ . 

වෙන?

දැන් සිගරට් ගනින් . කොච්චර වැඩි කලත් බොන එකා මොනවා . වැඩිම උනොත් එක්කෝ ලාබ හොර සිගරට් නැත්නම් බීඩී වලට මාරු වෙනවා 

ඉතින් ඒකට මොකද කරන්න ඕනේ ?

කරන්න ඕනේ , ගිනි පෙට්ටි වලට , ලයිටර් වලට ගහන්න ඕනේ කණ පැලෙන්න බදු . එතකොට පත්තු කරන්න බෑනේ බදු නොගෙවා ...


මේ ..

ඕ ?

උඹ පලයන් කෝ ජාතික ආණ්ඩුවට 

09 June 2016

ගොවි දන මනාවූ ..ලැබිය යුතු වූ සේම ගම බිම් , දෙස්පල් මනාවූ ...පැදිය යුතුවූ වේය පෝ වීල්

කන් කන් බූරූ 

සිං සිං නෝරු 

මම කියන දේ අහනවද ?

වෙන මොනවා කරන්නද 

මේ දවස් වල කතාව ඇමති වරුන් ට සුඛෝප භෝගී වාහන ගන්නට සියලු දෙනා එකතු වී අත් ඉස්සු පරිපූරක ඇස්තමේන්තුව ගැන ය .  පොඩි උන් පන්ති වලදී අත් උස්සන්නේ විවිධාකාර විධි වලටය . සමහරු බාගේට අත් ඔසවති . තවත් සමහරු අත ඔසවන්නේ , අනෙකාගේ ඔලුවට උඩින්ය . එතකොට ඈතට පෙනෙන්නේ අත ඔසවා ඇත්තේ අනෙකා වාගේය .  ඒත් ඒ පොඩි එවුන්ය .

මේ වාහන කෙළිය ගැන මැති ඇමතිවරු අනෙක වොයිස් කට්  දී ඇත . ඒ නිසා මේ වාහන වලට වියදම් කරන අය ගෙන් මේ ගැන ඇසීමට අපි මේ ගැන ඇසීමට තීරණය කළෙමු .

කන් කන් බූරූ 

සිං සිං නෝරු 

මම කියන දේ අහනවද ?

වෙන මොනවා කරන්නද 

එහෙනම් දුවලා දුවලා ගිහින් වොයිස් කට් ටිකක් අරන් එන්න 


***

මුලින්ම අපි හමු වන්නේ උදේ පාන්දර පාන්  ගෙඩියක් ගැනීමට හන්දියට ගොස් එන ඇල්බට් සිංඥෝ ය 

" මහත්තයෝ අහන දෙයක් ඉක්මනට අහන්න , බඩ  පොඩ්ඩක් පුරු පුරු ගානවා .  මේ පටිය තද කරගෙන හරි අමාරුයි "

" මේ වාහන ගැනීම ගැන ඔබ මොකද කියන්නේ "

" ඇයි මහත්තයෝ රාජිත මහත්තයයි , ගයන්ත මහත්තයයි ඊයේ විස්තර කලේ , ඒ ගොල්ලන්ට කඳු නගින්න එහෙම සුපෝක බෝගී වාහන ඕනේ කියලා .. 
අනික දැකලා නැද්ද මහත්තයෝ , ඔය පරණ වාහන කැඩිලා පාරේ රස්තියාදු වෙන මැති ඇමතිවරු . ජනතා සේවයට යන්න නේ පරක්කු වෙන්නේ ...කඳු නගින්න පුලුවන්ද පෝ වීල් නැතිව ..ජනතාවට සේවය කරන්න එහෙම නැතිව බෑ ...
දැන් ඔය කඩුවෙල පැත්තේ උනත් , කැලණියේ උනත්  කොච්චර නම් කඳු තියෙනවද ?  

නැගෙනහිර පලාතේ , කොළඹ පළාතේ ඇමතිවරුන්ටත් ලොකු වාහන ඕනේ කියන්නේ ඇයි දන්නේ නෑ 

කඳුනේ මහත්තයෝ , දැකලා නැද්ද කාලෙකට කොළඹට සිරී පාදෙත් පෙනෙනවා ... මහත්තයෝ මේ,  මං යන්නම් ... බඩට හදිස්සියි 

***
" ජනතා සේවයට නේ මහත්තයෝ . දැන් බලන්න අපේ ආපදා කළමනාකරණ ඇමතිතුමයි නියෝජ්ය ඇමතිතුමාටයි ඔය පෝ වීල් අලුත් වාහන දෙක ගෙනල්ලා තිබ්බානම් ... බ්ර්රුම් ගාලා ගිහින් අර අරනායක මිනිස්සු ඔක්කොම බේරාගන්නවනේ . අනිත් එක ගංවතුරේ ගිහින් ඔක්කොම මිනිස්සු ටික ඔය වාහනේ දාගෙන ගොඩට ගේනවනේ .... සී ...අපේ රටේ අවාසනාව ".

***

අංකල් අංකල් පොඩි එකක් අහන්නද 

පුතා... මෙහෙ එන්න ...ඔය මහත්තුරුන්ට කරදර කරන්නේ නැතිව 

නෑ නෑ අම්මේ.. පොඩි එකාට අහන්න දෙන්න 

මහත්තයා දන්නේ නෑ ..මූ  හෙන නස්රානියා . ලඟකදී ඉඳලා මු පුරුදු වෙලා කලිසම පාත් කරලා පස්ස පැත්ත පෙන්නන්න 

නෑ  නෑ  එහෙම කියන්න එපා පොඩි ළමයින්ට ...හා බබා අහන්නකෝ බලන්න 

අංකල් , අර සුජී අංකල් වගේ , අපේ තල්ලි වලින් අලං දෙන ජිප් කාල් වල අපේ මුණේ ඉස්ටිකල් එකක් ගාලා දෙනවද .... 

හා හා බබාත් කරන විහිලු 

අංකල් , මේ ...... මං නං ගාලා දෙනවා මගේ පත්ත පැත්ත  හී හී හී 

මෙන්න මූ  කලිසම පාත් කළා නේද ... කැමරා ඕෆ්, කට් කට් ...

***

මෙහෙමයි දොරේ .... ෆීල්ඩ් මාසල් කෙනෙක් නේ , අනික මහජන චන්දම කීයක් හම්බු උනාද ... ඉතින් මොකද ?
අනික අර රණ විරුවන්ට සලකන්නේ නෑ  කියන එවුන්ට උත්තර නැති වෙන්නම දීලා තියෙනවා මෙදා සැරේ නම් . 


***

දැන් අපි සිටින්නේ බස් නැවතුම් පොලක් අසලය. කාර්යාල සේවය අවසන් වී නිවෙස් බලා යාමට බස් රථයක එල්ලීමට , ඉවසීමෙන් බලා සිටින කිහිප දෙනෙකි .

මහත්තයෝ මහත්තයෝ ... ඔහේලා ටීවී එකෙන්ද ?

නෑ  නෑ  ...යනවා යන්න... අතේ මාරු කාසි නෑ .... අපි ටීවී නෙමෙයි බ්ලොග් එකකින් 

නෑ නෑ මහත්තයෝ.. මම හිඟන්නෙක් නෙමේ .. වැරහැලි ඇඳ ගෙන , කොන්ඩේ  වවාගෙන හිටියට ..

ඈ ?!!  ඒකට කමක් නෑ පොඩ්ඩක් එහාට වෙනවා .. අපි මේ සාමාන්ය  ජනතාවගෙන් වොයිස්කට් ගන්නේ මේ පරිපූරක ඇස්තමේන්තු ගැන .

මහත්තයෝ ඉතින් මගෙනුත් අහන්නකෝ 

පිස්සුද ඕයි .. 

මහත්තයෝ මේ බස් හෝල්ට් එකේ කී දෙනෙක් ඉන්නවද ?

එකයි දෙකයි ..අටයි ..තමුසෙයි මමයි ..

හරි දහයයි . මහත්තයෝ මේ අට දෙනාගෙන කාට හරි පිස්සු ද දන්නේ නෑ 

නෑ මම හිතන්නේ නෑ 

හොඳ වෙලාවට මට පිස්සු ... නැත්නම් ඉතින් අර රාජිත මහත්තයා කිව්ව විදියට  හැම දහදෙනෙක් ගෙන් එක්කෙනෙකුට පිස්සු හින්දා ...එක්කෝ ප්රශ්න අහන සර්ට හරි , උත්තර දෙන මේ කට්ටියට හරි පිස්සු වෙන්නම වෙනවා 

හැ ඒකත් ඇත්ත ඕයි ... තමුසෙට පිස්සු නැත්නම් තමුසේගේ මතයත් රෙකෝඩ් කර ගන්න තිබ්බා 

හැබැව සර් ... හැබැයි ඉතින් පිස්සොත් මත ප්රකාශ කරනවා 



පලි :
කඩාකප්පල්කාරින් කුමක් කීවද , මේ වාහන ගැනීම අනවශ්‍ය වියදමක් යයි අඬා පාලි දෙඩුවද  , මහජනයා බුදිය බුද්දීමත්ය .  ජෝන් සීනා සීයා කියූ ඒ පඬි වදන පේස් බුක් විසේසඥයන්ට නොතේරුනාට , පාරේ සිටින ඇල්බට්ට , ලීලාවතිට තේ රෙන්නේය  .  අර මලබද්ද වූ මොකක්ද එකත් මේ ගැන වැඩි සද්දයක් නැත්තේ , හා හා හොරෙ දැනිලා නැවතත් දැනුනු නිසා වෙන්නට ඇතිය . ජෝන් සීයා කීවේ "දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු " කියාය .. මේ ලක්සරි,  සිව් සක් දිව්,  රථ  වල සුදුස්සෝ කවුදැයි කාලයාගේ ඇවෑමෙන් , දැන්  සක් සුදක් සේ පැහැදිලි වී ඇත.

04 June 2016

බන්දු බාස් කී දේ ජෝන් බාස් කීම

පාසැල් යන අවධියේ මටත් තිබ්බා හීනයක්,  දොස්තර කෙනෙක් වෙන්න . ඇත්තටම ඒක මගේ හිතට හිමින් සැරේ කාන්දු කෙරු මගේ අප්පච්චිගේ හීනයක් .. ඒක ඔහුට ළඟා කර නොහැකි වූ ඔහුගේ හීනයක් .. එහෙම බලන කොට මිනිස්සු ඉපදෙනවා , ජීවත් වෙනවා , මැරෙනවා ඒත් හීන අමරණීයයි ... 
කොහොමෙන් කොහොම හරි අප්පච්චි ලෙඩවෙලා මියැදුනා  මම දොස්තර කෙනෙක් උනේ නෑ . 

ඒ හීනේ පැත්තකින් තියලා,  ඔප්ෂන් බී එක පස්සේ දුවලා, ඒකත්  අසාර්ථක උනාම , හීන රෝල් කරලා පැත්තකින් තියලා  ( දන්නා සම්බන්ධතා , වාසනාව, දන්නා ඔක්කොම සෙල්ලම් එකට ගුලි කරලා පාවිච්චි කරලා ) මම ජීවත්වෙන්න රස්සාවක් හොයා ගත්තා . ටික දවසක් යනකොට ඔන්න ටිකෙන් ටික අලුත් හීන හිතේ මෝදු වෙන්න පටන් ගත්තා .  එයින් එකක් තමයි වාහනයක් ගන්න  එක . සේවය කලේ බැංකුවක නිසා නියමිත සේවා කාලය සම්පුර්ණ වුනාම වාහන ණයක්  ගන්න හැකියාවක් තිබුනා .  මෝටර් බයිසිකලයකට රුපියල් පනස් දාහක් , රෝද හතරේ වාහනේකට රුපියල් එක ලක්ෂ විසි දාහක් . ... "ගන්නවානම් රෝද හතරක්ම ගනින් " එහෙම තමා හැමෝම කිව්වේ ...හිනා වෙන්න එපා .. මේ දෙදාහේ මුළ ... හොඳ වාහනයක් තියා හොඳ ඇලොයි වීල් සෙට් එකකුයි ටයර් හතරකුයි දා ගන්නවත් බෑ .  මේ වෙනකොට මම විවාහ වෙලා , පොඩි උසස් වීමකුත් ලැබිලා. සම මට්ටමේ හැමෝම වාහන ගන්නවා . අර පරිස්සමට පස්සේ සලකා බලන්න  පැත්තකින් තිබ්බ හීනේ , විටෙන් විටෙ ඉඟි මරනවා .  ඉතින් අප තීරණය කළා , වාහනයක් ගන්න .

ඒත් පලවෙනි ප්‍රශ්නය, වාහන ගැන මගේ  දැනුම . 
අපේ ගෙදර පොඩි කාලේ තිබ්බේ මෝටර් සයිකලයක් පමණයි .  ඉදින් මාගේ වාහන ගැන දැනුම ඉතාම අල්පයි . අපේ රැහේ එවුන් සමග වාහන බලන්න ගිහින් . බොඩියට තට්ටු කර කොරෝෂන් ගැන පේන බැලීම , දුම් බටයෙන් වතුර වැක්  කෙරේදැයි බැලීම,  වැනි සුළු සුළු ශාස්ත්‍රයන් දැන සිටියද හොඳ වාහනයක් ද , ලඩිය ක් දැයි තීරණය කිරීමට එය ප්‍රමාණවත් නොවීය .  මා ask a friend ඔප්ෂන් එකද ඉවත ලෑවේ , උන්ගේ වාහන ගැන දැනුමද මා දන්නා නිසාය .  

මේ සිරසේ Automobile නමින් වැඩසටහනක් පටන් ගත් කාලයයි . වාසගමට  අගින් "ය " යන්නක් හා  හල් නයන්නක් (න් ) දා ගෙන අලවත්ත බණ කියන්නට පටන් ගත්  සමයයි . . ඉතින් හිතවතෙකු ගේ මාර්ගයෙන් ඉරිදා උදේ ඔබ්සවර් පත්තරේ ඇති වාහන බැලීමට යාමට මමද (අලවත්ත ගේ වදන් අනුවම )  පළපුරුදු කාර්මිකයෙකු සොයා ගතිමි . ඒත්  බන්දු බාස් , අලවත්තයන් මෙන් නොව , කතාබහ ඉතාම අල්පය, කල්පනාව වැඩිය . අප යන්නේ ඔහුගේ මෝටර් සයිකලයේය, පෙට්‍රල් මා ගානේය .  හවස තුනට විතර වැඩේ නිමවේ . ඉන්පසු අපි ගොස් ෆ්‍රයිඩ් රයිස් එකක් කා , බොහෝ දින වල ඇඟට පෙට්‍රල් ද ගහගෙන විසිර යන්නෙමු . 

අතේ තියෙන ගානට අහුවෙන්නේ අවුරුදු පහළොවක් විතර පරණ වාහනය . පත්තරේ තියෙන "trad sunny" , "corolla පෙට්ටි මොඩල්  (e80) ",  "Lancer ඒස්පී මොඩල්"  වාහන පිටුපස අපි හඹා ගියෙමු . ඒත් බොහෝ විට හොඳ වාහනයකට අතේ තියෙන ගාන හරස් වේ , අතේ තියන ගානට හරියන වාහනය අබලන්ය . මම හදිස්සි වී ලඩයකට කර තියන්න හැදුවොත් බන්දු මට ලංවේ 

"සර් , මේ වාහනේ සර්ට ගැලපෙන්නේ නෑ " ..... ඒ බන්දුගේ හැටිය 

මේ වෙනකොට මගේ හිතේ හීනියට තව පොඩි ආසාවක්  දළු ලමින් තිබුණි . දොස්තර කෙනෙක් වෙන්න බැරිවුණ එකේ ඩොක්ට සනියක්වත් ගැනීමය . මම එක ඉරිදාවක් ඩොක්ට සනියක දැන්වීමක් සලකුණු කර ගතිමි . අපි වාහනය බලන්නට ගියෙමු . අපි වාහනය බැලුවෙමු . වාහනය කොටින්ම කියනවා නම් එලය .

මම බන්දු දෙසට හැරුනෙමි . 

"බන්දු මොකෝ කියන්නේ ?"

" වාහනේ හොඳයි "

" ඔෆර් එකක් දෙන්නද ?"

" සල්ලි තියෙනවද?"

" ඔව් හදිසියකට ඉතුරු කරපු ගාණක් තියෙනවා "

(ඔහු පසුව මට කී පරිදි , ඔහු අමතර කොටස් වල මිළ  ගණන් , මෙන්ම හදිසියකට ඇති මුදල වාහනයකට යට කිරීම ගැනද සිතුවෙලු ) 

" සර්,  මේ වාහනේට සර් ගැලපෙන්නේ නෑ  " 

පලි :

ගිය සතියේ ජෝන් බාස් කියූවේ , සුදුසු එකයි නුසුදුසු එකයි ඔක්කොම වාහන ගන්නවා කියලාය . මොහු ගේ කීම පිටිපස්සේ බන්දුගේ කියමන පිටු පස්සේ තිබු සිතුවිලි තිබුනේද නැද්ද නොදනිමි . පොඩි කාලයේ මා  අසා තිබුනේ කොමියුනිස්ට් රටවල වාහන දෙන්නේ ඕනේ එකාට විතරයි කියාය . අරුමය ධනවාදයේ ධජය ඔසවා ගෙන යන යූ ඇන් පී ය  , සමාජ වාදය ඔස්සේ ධනවාදී ඉලක්ක කරා යාමය . ඊටත් වඩා අරුමය සමාජ වාදී පක්ෂ ඊට විරුද්ධ වීමය. 

නමුත් ඒ කියමන නිසාම , මේ ගැන බොහෝ කතාබහක් ඇතිවිය . මිනිස්සුන්ගේ හීන ගැන අයෙක් කතා කලෝය . මට අපේ අප්පච්චි, ඔහුගේ සිහින සිහිවිය. මට මගේ හීන සිහි  විය . ඒවා ඉටු වෙන විට හිතට ලැබුණු ආශ්වාදය මෙනෙහි කලෙමි . එයම ආශ්වාදයක් විය . අප බොහෝ විට හීන පස්සේ යන්නේ ඒ ආශ්වාදයට ඇති ලොලටම නොවේදැයි සිතුවෙමි. ඉන්පසු බන්දු මතක් විය . (වසර කිහිපයකට පසු ඔහු දිවිය අවාසනාවන්ත ඉරණම් කිහිපයකට මුහුණ දුන්නේය . ඇසට කඳුලක් නැගුණි .) 

ගරාජ් එකේ බන්දු බාස්  සහ පාර්ලිමේන්තුවේ  ජෝන් බාස් කී දේ අතර ඇති සම්බන්ධතාවය මෙන්ම වෙනසද දැනුනි .. 
එහි මොකක්දෝ ලොකු අවුලක් ඇති බවක්  දැනේ