30 June 2017

ජනතාවගේ පැත්තේ සිට ගැනීම

කතාව 1 

බැරේ තොප්පියක්  ලස්සනට ඇලේට හිසේ ලා ගත් අයෙක් කැමරා අටවා ගත් පිරිසක් ඉදිරියේ ප්‍රකාශයක් කරන්නේය .

" .. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ රටට අපමණ අගයක් ගෙනත් දුන් කට්ටියක්. .. ඒ අතරින් මාලිංග කියන්නේ විශිෂ්ටයෙක් ..කවුරු හරි ඔහුට අකටයුත්තක් කරනවා නම් මම හිටගන්නේ ඔහුගේ පැත්තේ "

" ඒ වුනාට ඔබතුමා කිව්වා නේද , බඩ  බස්සගත්තේ නැත්තන් ටීම් එකෙන් හලනවා කියලා "

" නෑ මම මාලී ට හරි ආදරෙයි ... අයියා කෙනෙක් වගේ මම නිකන් අවවාදයක් කලේ බඩ පොඩ්ඩක් වැඩියි කියලා .."

" ඒවුනාට ඔබ තුමාට අර , රිලව් කතාවක් කියලා නේද , මේ විනය ක්‍රියාමාර්ග ගැනුනේ "

" මාලී උනත් දෙයක් කියනකොට , අර සංගා වගේ කඩ්ඩෙන් කිව්වා නම් අවුලක් නෑ නේ ... කාටවත් තේරෙන්නේ නෑනේ ...අඩුම ගානේ ඔය විනය තකන කට්ටියටවත් නොතේරෙන්න  ... දැන් ඉතින් මේකෙන් මටත් පාරේ යන්න බෑ ... මහජන දිනයටත් එකෙක් ආවා ගහක බෙනයක් තියනවා කියාගෙන ..... හැබැයි මේ කරලා තියෙන වැඩේ නම්  වැරදියි "

ඉතින් ක්‍රීඩා ඇමතිතුමා හැටියට ඔබ තුමා මොකද කරන්නේ 

මම හිටගන්නේ ජනතාවගේ පැත්තේ 

ඒ කිව්වේ ?

මේ නැගී එන ජනතා විරෝධය පැත්තේ තමයි මාත් හිටගන්නේ 


ඒ උනාට ඔය විරෝධතා වලින් කිසිම ඵලයක් නෑනේ 

( මද සිනාවක් ).. ඒ වුනාට මතක ඇතිව ලියා ගන්න මම ජනතාවගේ පැත්තේ කියලා 

*****

කතාව 2

තවත් වොයිස් කට් එකක් දෙන තැනකි . සුදු අත්කොට කමිසයක හා සුදු සරමක් ඇඳ ගත් අයෙක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේය 

" ඔබ තුමාගේ අයිටම් එකට , සෑහෙන විරුද්ධතාවයක් නැගීගෙන එනවා .. මොකද ඔබතුමාට මේ ගැන කියන්න තියෙන්නේ .?"

" ඔව් මමත් විරුද්ධයි ..."

" ඒ කිව්වේ "

" මේ වගේ දුෂීත අයිටම් එකක් පවත්වා ගෙන යනවට මමත් විරුද්ධයි "

එතකොට කාගේද වැරැද්ද 

" මේ ප්‍රශ්නෙදි මම නම් ඉන්නේ ජනතාවගේ පැත්තේ ...මේකේ සම්පුර්ණ වැරැද්ද ආණ්ඩුවේ ...ඊටත් වඩා වැරැද්ද ඒ ආණ්ඩුව පත් කරපු ජනතාවගේ . අනිත් එක ආණ්ඩුවක් පිහිටවන්න චන්ද ගන්න බැරිවෙච්ච විපක්ෂයේ ..."

එතකොට ජනතාව විරෝධතා පාන්නේ ජනතාවටමද 

ඒ වුනාට මම නම් ජනතාවගේ පැත්තේ ... මේ වගේ දූෂිත ආයතන පවත්වා ගෙන යන අයට හොඳ දඬුවමක් දෙන්න ඕනේ 

මොන වගේ දඬුවමක්ද 

දැඩි දඬුවම් දෙන්න ඕනේ  ..නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ...ජනාධිපති මන්දිරේට ගෙන්නලා , සීනී අඩු තේකක්  දීලා , තදින් අවවාද කරලා .... ඔක්කොම බැංකු ණය කපා හැරලා ..ඔක්කොම සබ්බ සකලමනාවම එක්ක රටින් පිටිවහල් කරන්න ඕනේ ඔය එංගලන්තේට , ඇමරිකාවට හරි ඔස්ට්‍රේලියාවට හරි 

***

කතාව 3

ජනාධිපති තුමා පත්තරය දිග හැරියේය ....

ලේකම් තුමා ...ප්‍රකාශයක් නිකුත් කරන්න හිටං ...මේ උමා ඔය ප්‍රශ්නේදී මම ඉන්නේ ...

( එක්කෝ ඒ කතාව ඕනේ නැත )


පලි 

කවුදෝ , කිසියම් දාක කියූ කතාවක් මට සිහිවේ 

එකමත් එක රටේ , එක රජෙක් සිටියේය . අධික බදු පනවා ජනතාවට අධික පීඩනයක් කළ බැවින් රටේ ජනතාව කැරලි ගසන්නට විය . කැරැල්ල නැගලා ගිහින් , බුරුතු පිටින් මිනිස්සු ඇවිත් රජ මාලිගාව වට කළහ .   රජ්ජුරුවෝ බොඩි ගාඩ් ලා වල්ලකින් වටවී රාජ මාලිගේය . ටිකකින් පිරිස ඇතුළට කඩා පැන්නාහ . දැන් බොඩි ගාඩ්ලා වලල්ල  , රජු හා ජනතාව අතර ෆේස් ඕෆ් එකකි .. ටිකකින් බොඩි ගාඩ්ලා ජනතාවගේ පැත්තට හැරී රජුගේ පැත්තට අවි දික් කර ගත්හ . දැන් රජා පිරිසටත් බිත්තියකටත් මැදිවී සිටින්නේය 

"මොකද ප්‍රශ්නේ ? " රජා ඇසුවේය 

" අපි ඔබ තුමා ගේ පාලනය පිළිගන්නේ නෑ ... අපි ඔබතුමාව මින් පස්සේ අනුගමනය කරන්නේ නෑ  "

" හරි එහෙම නම් මමත් , ජනතා මතයට හිස නමලා ජනතාවගේ පැත්තේ හිට ගන්නවා "

රජා ජනතාවට පිටුපස හරවා බිත්තිය දෙසට හැරුනේය . දැන් රජා මුලින් , ඉන් පසු ජනතාව , හිස් බිත්තියට මුහුණ ලා සිටිති . ජනතාව නැවතත් රජාගේ පිටිපසින් පෙළ ගැසී සිටිති . ඔවුනට හොඳින් පෙනෙන්නේ රාජාගේ පශ්චාත් පෙදෙසයි 

18 June 2017

ස්ටින්ග් , පියවරුන්ගේ දිනය සහ රැවුල බාද්දී පෙනෙන්නේ කාවද

මැදිවියේ අයෙක් 
අරුණැල්ලට පෙර  ලොවට හොරෙන් ,  
එබෙද්දී  කැඩපතකට බිඳුණු 
 බ්ලේඩ් තලයකින් සූරා දමනට 
 දෙකොපුල් නිකට පුරා නැගී සුදු රැවුල් කොට  
දකීද ඔහු කුමක් නම් ?

පෙනේන්නේ ඔහුට 
තම පියාගේ හොල්මනද 
කාලයේ වැල්ලේ වැළලුනු ? 
නැතිනම් කොලුගැටයා ද 
ගැටවර 
සෙනෙහ කොළ මතකයක සිරවුණු 

නැතිනම් 
හෙවනැලි ද 
 දිගැරුණු 
හිතක අහුමුලු දිගේ
නැතිනම් 
ආත්මයේ කඩතොළු වල ම රැඳී 
සියලු බිය සංකා 
සම්ප්‍රයුක්තයම වෙද ?

බැල්ම හිරවුණු 
හකු පුඩු දිගේ  
වියපත්  රැවුල් කොට වලම 
අමතක වුනු 
පළමු සික්ඛා පදයම 
යථාවාදී අත්පොත් 

අයෙකුට පවා 
ඒවී දවසක් 

ගැහෙද්දීත්  හදවත 
මුහුණ දෙන්නට 
බුර බුරා නැගී බියෙන්ම 
දෑස් ඔසවා බලන්නට 
චායාව කැඩපතේ
දකින්නට 
කඳුලැල්ලක් 
විස්මිතව  

හීන නම් ජීවිතයක 
හිම මෙනි 
සිසිරයේ රැයක වැටි 
වසා මිහිතලම 
සඳ කැන් දහරින් දිලිසෙන 

ඒත් අරුනැල්ලේ  
දියවේමය 
හිම නම් 

ගෝඩන් මැතිව් තෝමස් සම්නර් හෙවත් ස්ටින්ග් කියන්නේ මගේ ප්‍රියතම  ගායකයෙක් . මුල් කළ ඔහු නිර්මාණවල ඇති පොප් සංගීතයෙන් මිදුනු , ඔහුගේ වියපත් හඬ , කාව්‍යමය පද වැල් මා හද වඩාත් ඇද බැඳ ගෙන .   

She loves someone else කියන්නේ මා ප්‍රියතම ගීයක් . 

පද පේලි සිංහලට පෙරලන්නට පටන් ගෙන ටිකක් දුර යද්දී නොදැනීම  ,පද මූට්ටු වෙලා මොකක්දෝ වෙන අර්ථයක් එන විදියට . අද පියවරුන්ගේ දිනය හින්දද මන්දා  .

විනාඩියක් දෙකක් අරන් මේ ගීතයත් අහන්න 




11 June 2017

ඉන්ද්‍රජාල අංකල්ගේ ඇස්බැන්දුම් සහ විස්මිත මායා

ඉන්ද්‍රපාල හිටියේ අපේ ගෙවල් පැත්තේ . රැකියාව කලේ නගර සභාවේද කොහේදෝ කියලයි මට මතක . ඒත්  ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ වෙනත් අයුරකින් . 

කෝට්ටේ පාර අද්දර තිබුණු ඔහු නිවසේ තාප්පයේ  පාරට පෙනෙන්න බෝඩ් ලෑල්ලක් ගහලා තිබුනා . ජටාවක් ඔලුවේ ඔතාගෙන , සයිස් දෙකක් විතර ලොකුවට කෝට් බෑයක් පොරවාගෙන , අතේ පරෙයියෙක් අල්ලාගෙන. යටින් පොල් අකුරෙන් ලියලා තිබ්බේ මෙහෙම 

" ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල "

ඔහු විනෝදාංශයක් ලෙස, ඊටත් වැඩියෙන් අමතර ආදායම් මාර්ගයක් ලෙස,  කළේ පොඩි පොඩි උපන් දින උත්සව , සතුටු සාද වල මැජික් පෙන්නීම . අර ජටාව ඔලුවේ ඔතාගෙන , කෝට් බෑය ඇඳලා  , උරහිස් දෙකේ හැට්ට කටු දෙකකික් පොඩි සාලුවකුත් එල්ල ගන්නවා පිට දිගේ නිකන් සුපර් මෑන් වගේ . නිල්පාට සාලුවේ ඉර හඳ තාරුකා ඇඳලා තිබ්බා .

ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ , කොල්ලෝ,  කුරුට්ටෝ සහ සෙස්සෝ සියල්ලෝම ඔහුව ඇමතුවේ ඉන්ද්‍රජාල අංකල්  නැත්නම් ඉන්ද්‍රජාල අයියා කියලා .

මැජික්  කිව්වට  ඉන්ද්‍රජාල අංකල්ගේ ප්‍රගුණ කරලා තිබුනේ  තොප්පි වලින් හාවෝ ගැනීම  , කෝට්  අතෙන් පරෙයියෝ මැවීම,  කටෙන් නොනවත්වා ලේන්සු එලියට ඇදීම වගේ සිල්ලර මැජික් සහ ඇස්බැන්දුම් විතරයි . ඉතින් බොහෝ විට මේ සෝ වල මවිත රසයට වඩා ජනිත උනේ හාස්‍ය රසය .

 ගෙදර කට්ටියටත් ඉන්ද්‍රපාල්ගේ මේ මැජික් විහිළුවක් වෙලා තිබ්බේ . ඉන්ද්‍රපාලගේ නැන්දම්මා උණත් ඔලොක්කුවට කිව්වේ "පුළුවන් නම් උඹේ ඔය මැජික් එකෙන් කාර් එකක් මවා ගනින් කෝ " කියලා. ( ඒ වෙලාවට ඉන්ද්‍රපාල හිතුවේ මිනිස්සු සදහටම අතුරුදහන්  කරන්න  පුළුවන් ඉන්ද්‍රජාල ක්‍රම ගැන .)

. ඒ ඔක්කොටම වඩා ජෝක් එකක් උනේ , ඉන්ද්‍රපාලගේ පොඩි එකා ලලන්ත . ඉන්දරේ යන සෝ වලට ලලාත් ගියා අතේ එල්ලිලා . ඉන්දරේ ගෙදර ඉන්ද්‍රජාල ප්‍රැක්ටිස් කරනවා බලාගෙන ඉන්න පොඩි එකා සෝ එකේදී කෑ ගහනවා . "අන්න අන්න පලේයියා කෝත්  එකේ "... "අන්න තාත්ති ආවා පිටිපස්සේ අන්ගගත්තා " ...
ඉන්ද්‍රජාල අංකල්  මාර අපහසු තාවයකට පත්වෙන්නේ ඒ වගේ වෙලාවකට . 
අර මොකක්ද එකා කනවා ඉවසුවට , අර මොකක්ද එක ඇනෙන එක ඉවසන්න බෑ  කිව්වනේ... මුළු ප්‍රේක්ෂ්කාගාරයම  හිනා වෙනවා ඔලොක්කුවට .

***
 එක සැරයක් කන්තෝරුවේ සල්ලි වගයක් මොකක්දෝ කරලා අන්තරස්දාන කරලා ඉන්ද්‍රජාල අංකල් ගේ සේවය අත්හිටෙව්වා . ඒත්  පස්සේ සාක්කිත් අතුරුදහන් වූ නිසා , දඬුවම් නැතුවම බේරුනා .

ඊට පස්සේ සතියෙම  දන්නා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ගෙදරට ආරාධනා කරලා පොඩි සංග්‍රහයක් එහෙම කරලා ( මාධ්‍යවේදීන් අතර අල්ලසට හිස නමන කිසිවෙක් නැති නිසා මෙය අල්ලසක් ලෙස නොසලකන්න ) , ඉරිදා පත්තරේක පොඩි තීරුවක් ලියා ගත්තා .

ඊට සති කිහිපයකට පස්සේ  අර තාප්පේ බෝඩ් එක වෙනස් වුනා . 


" ලෝකේ හොඳම  ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල "

***

ටික කාලෙකට ඉන්ද්‍රජාල බිස්නස් එක නැගල ගියා ,. ඒත් ඵල ඇති රුකට ඉරිසියාකාරයෝ බෝමයි . ආයෙත් මුදල් අක්‍රමිකතාවක් ගැන පැමිණිල්ලක් ඇවිත් රස්සාව නැති උනා .

දවසක හවසක සෙට් උන මිත්‍රයෙක් මේ වෙච්ච අකරතැබ්බේට හේතු ඵල

" ඔය බෝඩ් එකේ හරියට  ඝන පිහිටුවලා නෑ.  මෙහෙම වෙනස් කරන්න "

" ලොව පතළ , අන්තර්ජාතික ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල"

බෝඩ් එක මාරු උනා . හැබැයි ඉතින මෙහෙම ඉන්ටෝනැසොනල් බෝඩ් ගහලා  අර සිල්ලර මැජික් බෑ නේ . ඉතින් ඉන්ද්‍රජාල අංකල්  අලුත් මායා ඉගෙන ගත්තා.  

***
ඔන්න සෝ එක පටන් ගත්තා.  දැන් කට්ටියම ඉඳගෙන ඉන්නවා මොකාටද එන්නේ කියලා බලන්න .

" මගේ මුල්ම මායාව  සඳහා, කවුරු හරි ඉදිරිපත් වෙන්න " ඉන්ද්‍රජාල අන්කල්, බංගලාව හන්දියේ සංවර්ධනේ විකුණන අජියා දිහා බලාගෙනම කිව්වා.

 අජියා වේදිකාවට ආවා . 

ආ ඔය අතේ මොකක්ද තියෙන්නේ ?"

"මේ සංවර්ධන ලොතරැයියක් "

"දැන් මේ පෙට්ටියේ ඉන්නේ මොකෙක්ද ?"

"අම්බෝ තඩි ගෙම්බෙක් "

"...අපේ තාත්තිගේ හාවාව , බව්වා  කෑවා .. හදිස්සියට ගෙම්බෙක් විතලයි හොයාගන්න පුළුවන් උනේ " ..ලලාගේ කොමෙන්ට්‍රිය පටන් ගත්තා .

"දැන් ඔය ස්වීප් එක මේ පෙට්ටියෙන් තියන්න. .. පර්ස් එකෙන් නෝට්ටුවක් ගන්න   "

අජියා රුපියල් සීයක් දික් කළා 

" චිකේ .. මේක ඉන්ටනැසනල් මායාවක් .. පන්සීයක් වත් ඕනේ අඩුම ගානේ  ...

අජියා පන්සීයේ කොලයක් දික් කළා .

"ඔන්න ඔය පන්සීයේ කොළෙත් හතරට නාවලා  පෙට්ටිය ඇතුලේම තියන්න  . .."

ඉන්ද්‍රජාල අංකල්  පෙට්ටිය වැහුවා . 

"ඔන්න දැන් හොඳට බලා ගන්න ..ආ අර කවුද අර දෙවැනි පේලියේ මැද ඉන්නේ අපේ අනුරයියාගේ පුතා නේද ...හලෝ කිව්වා .. අවධානය බිඳ ගන්න එපා ..ඔන්න "  ... ඊට පිටිපස්සේ පේළියක ඉඳන් අනුරයියත් ලාවට හිනා උනා 

ඉන්ද්‍රජාල අංකල් පෙට්ටිය වට තුනක් කැරකුවා .. පෙට්ටිය ඇරියා ...ඇතුලේ හිටපු ගෙම්බා නෑ ... ඌ පරෙයියෙක් වෙලා . 

"අජිත් ගන්න බලන්න  ස්වීප් එක "

"චික් මූ ඒ ටිකට ඒක  උඩ බෙට්ටක් දාලා "  අජියා අත ආපහු ගත්තා 

"අන්න අන්න ..සුපියල් පන්සීය තාත්ති සාක්කුවේ දා ගත්තා " ලලා කෑ ගහනවා  ඈත කොනකින් ඇහුනා 


පලි : 
විද්යානුකුල ක්‍රමය කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමන වලට ඒමය .

විජ්ජානුකුල ක්‍රමය කියන්නේ පෙට්ටිය වට තුනක් කරකවා පියන ඇරිය විට ඇතුලේ සිටි ගෙම්බා , පරෙයියෙක්  වීමය 

08 June 2017

සෝමේ අයියාගේ ගංවතුරු ආධාර බත් එක සහ කොම්පැනි ගංවතුරු ආධාර වතුර බෝතලේ

මේ , හෙට උදේට වැඩිපුර බත් එකක් බැඳලා දෙනවා .. ඉස්ටෙටමේ ගංවතුර ආධාර එකතු කරනවලු " කියලා සෝමේ අයියා කියපු නිසාම සොමි අක්කා උදේ පාන්දරම නැගිටලා බත් පාර්සල දෙකක් බැන්දා .

"මේ දැන්  මතක තියාගන්නවා , මේ පින්තුරේ තියෙන කොලෙන් ඔතලා තියෙන්නේ ආධාර බත් එක අනිත් එක ඔයාගේ .. ඒකට මාළු කෑල්ල  බෙදුවා . ගංවතුරු කාරයින්ට එලවුලුයි බතුයි ඇතිනේ " සොමි අක්කා සිලි මල්ලක බත් ගෙඩි දෙකම දැම්මා.

" එහෙම හොඳද ? " සෝමේ අයියා කෝච්චියේ එනකන් හිතුවේ ඒ ගැන .


කෝච්චියේ සීට් එකට හේත්තුවෙලා , පෝන් එකේ පේස් බුක්එකේ පහලට  යනකොට,  මෙන්න දැන්වීමක්

එක්තරා බෝතල් වතුර සමාගමකින් අඩු මුදලට ගංවතුර ආධාර සඳහා වතුර බෝතල් දෙනවලු .

කොම්පැනි නේ. මාසේ පඩියෙන්, තුන් වේල ගැට ගහන අපි වගේ නෙමෙයිනේ. වියදම වත් පියවගන්න ඕනෙනේ.

ඒත් එක්කම , රුපියල් දහය ගානේ , අඹ ගෙඩි  සීයක් විකුණු විට ලැබෙන ලාබයද , රුපියල් දෙක ගණනේ අඹ ගෙඩි දාහක් විකුණු විට ලැබෙන ලාබයද වැඩි , පොඩි ඒකිගේ ගණන් පොතේ පැනයක් සෝමේ අයියාට මතක් උනා

04 June 2017

අකලමනා ආපදා කතා


තෙවරප්පෙරුමගේ  සිල්ලර පොලිටිකල් භූමිකාව 
තෙවරප්පෙරුම වතුරේ බැහැගෙන , ආච්චිලාව , පොඩි එවුන්ව උස්සගෙන ගිය එකෙයි , නාමල් බෝට්ටුවක් තල්ලු කර ගෙන සෙල්ෆි (වගේ ඒවා ) ගත්ත එකෙයි වෙනසක් තියෙනවා . සන්ජන් කරන පොලිටිකල් ස්ටාර් රියලැටි  වැඩ සටහනෙයි , තෙවරක්පෙරුමගේ වික්‍රමයන්ගෙයි වෙනසක් තියෙනවා .

ඒ  තමයි මුලින්ම  ටයිමින් එක . දෙවැන්න සද්බාවය .

මුලින්ම දෙවැන්න. ඈත ඉඳන්,  මගේ කියවීම නම්, තෙවරක්පෙරුමගේ ක්‍රියාව සෑහෙන දුරකට ජෙනුඉන් කියලයි . කොටින්ම සිරසේ ඉන්ටවිව් එකකට ඇවිල්ලා , නිවේදකයා ඔලුවට දාන්න හදන ඔටුන්න ( හෝ තොප්පිය ) ඔහු පැත්තකින් තියෙනවා . වෙලාවක " අනේ මහත්තයෝ මට මේ කතාව කියන්න විනාඩි පහක් දෙන්න " ඔහු බැගෑපත් වෙනවා . කපටියෙක් නොවී දේශපාලකයෙක් වෙන්න බෑ . ඒක  හරි ..ඒත් .. පාර්ලිමේන්තුවේ ලොකු විවාද කරන්න බැරි උනාට ,  පොලිටිකල් ටෝක් ෂෝ වල ගල් පැලෙන තර්ක නොකලට , ජෙන්ටල්මෑන් පොලිටිෂන් කෙනෙක් නොවුනට , ඒ සිල්ලර දේශපාලනය ඇතුලේ  යමක් තියෙනවා කියලා මට හිතෙනවා .

ටයිමින් .. මිනිහෙකුට කෘතීම ශ්වසනය දෙන්න ඕනේ මැරෙන්න කලින් . අන්න ඒ වගේ තමයි . වතුරට යට වෙලා ඉන්න මිනිස්සු ලඟට බෝට්ටුවක් අරන් එන මිනිහෙක් , ඒ වෙලාවේ වීරයෙක් . ගැලවුම් කරුවෙක් . කොන්ෆරන්ස් රූම්  වල සැලසුම් කරන , සම්බන්ධීකරණය කරන ආපදා කළමනාකරණ මෙහෙයුම් වගේම  ඕන ද ග්‍රවුන්ඩ් දුක බෙදා ගැනීමත් අවශ්‍යයි .
අන්න ඒකයි තෙවරප්පෙරුම  භූමිකාව. විය යුතුව තිබුනේ (හෝ විය යුත්තේ ) ඔහුව ආපදා කළමනාකරණ යාන්ත්‍රනය තුලට අනුගත කර ගැනීමයි 
ඒත් අනෙක් අතට , දවස් දෙකකට පස්සේ නැෂනල් සූට්  එක උඩින් ලයිෆ් ජැකට් එකක් දා ගෙන ගංවතුරු බෝට්ටු සවාරි යන එකා, කෙහෙල් ගෙඩි තුනක් ඔතලා , පොටෝ ස්ටිකර් එකක් ගහලා බෙදන එකා ජෝක් එකක් . ඒ වගේම උන් කරන්නේ අර මිනිස්සුන්ට අපහාසයක් .

***

ආපදා අකලමනා 
සුනාමියෙන් පස්සේ ඇති කරපු ආපදාව කළමනාකරණ අමත්‍යාංශය තාම හරියට කළමනාකරණය කරගන්න බැරි හැඩකි . ආපදා කලමනාකරණය කියන්නේ  ආපදාවේ දිග පළල හේතුව සෙවීම නොවේ . මතු ආපදා වැළකීමත් ඇතිවන ආපදා වලට මුහුණ දීමත් .

ආපදා කළමනාකරණ ඇමති තුමා , මෙක්සිකෝවේ ඉඳලා ඇවිත් චන්ඩි ටෝක් දීලා ආපදාවේ  සම්පූර්ණ වගකීම ගත යුත්තේ වැස්ස වලාහක දෙවියන් සහ මිනිස්සුන්ගේ කරුමේට පැවරුවේය .  එතකොට ආපදාවෙන් පසු සහන සේවා ? ඒවා පුළු පුළුවන් විදියට මිනිසුන්ගේ පරිත්යාගයන්ගෙන් සිදුවෙන බවත් , මීට අමතරව චීනෙන් සහ ඉන්දියාවෙන් නැව් එන බවත් කීවේය . මම බලන් හිටියේ ඔහු  මාද්‍ය හමුවෙන් නැගිටින තෙක්ය . ඒ ඔහු සරමක් කලිසමක් ඇඳ  සිටින්නේද කියා බලා ගැනීමටය . 

මිනිස්සුන්ට උදේට වැඩට එනකොට වැඩිපුර කෑම  එකක් බැඳන් එන්න කියන්න නම් මේ අමත්‍යාංශය මොකකටද . කොළඹ හෝටල් වල කුස්සි ටික බත් පාර්සල ටිකක් උයාගන්න සම්බන්ධීකරණය කරන්නට බැරි නම්  , ධීවර බෝට්ටු ටික , රට ඇතුලේ ගංවතුරු බේරාගැනීම් වලට සම්බන්ධීකරණය කර ගන්න බැරි නම් මේ අමත්‍යාංශය කුමකටද ? 

අමාත්‍යංශයක පිරිවැය සුළුපටු නොවේ. ඉදින් සල්ලි ගෙවා ගෙවා මෙවැනි ඒවා පවත්වා ගෙන යනවට වඩා එක අතකින් මෙය  පුද්ගලීකරණය කරන්නේ වත් නම් හොඳයි දෝ සිතේ .

***
වතුර බැහැලා ගියාට 

"වතුර බැහැලා ගියාට මිනිස්සුන්ගේ දුක එහෙම බැහැලා යන්නේ නෑ මහත්තයෝ"

ඇල්බට් ගොයියා @ කඩමණ්ඩිය , පුස්ලෝඩා එකක් කඩලා කටට දා ගන්න ගමන් .

මේ වගේ ආපදාවකදී ජීවිත නැතිවීම ඛේදවාචකයක් තමයි . ඒ දුක ජීවත් වෙන අයට .

ඒ විතරක් නෙමෙයි, ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත්ත  දේ එක පාරට ගහගෙන ගියහම ඇතිවන චිත්ත බිඳීම සමහර විට ඊටත් වඩා. එක එක ආර්ථික මට්ටම වල හිටියත් අපි ඔක්කොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු . ගොඩේ තරම වෙනස් වුනත් , ඒ තියෙන්නේ ජීවිත කාලයක් පුරා ගොඩ නගපු දේවල් . භෞතික දේවල් විතරක් නෙමෙයි.
මේවා වතුරට ගහගෙන ගියහම , ඇතිවන ඉච්චා බංගත්වය තමයි , මිනිස්සුන්ගේ කකුල් බර කරලා , කොඳු කඩා දාලා ආයේ නැගිටින්න අමාරු කරන්නේ .

අපි ඔක්කොම මමත්ව කේන්ද්‍ර මිනිස්සු . ඉතින් වටේ ලෝකේ කඩා වැටුනත් , ආත්ම ගරුත්වය කෙලින් තියෙනකන් , ආයෙත් නැගිටිනවා .    (අසු තුනේ ජූලි  කලබල වලට අහුවෙලා ගෙවල් දොරවල් අත ඇරලා දාලා , ඉස්කෝලෙක අනාථ කඳවුරක හිරවෙච්ච ෂන්මුගන් අන්කල් පස්සේ දවසක කිව්වේ , ඔහු මාස ගණනක් ඇඬුවේ ,  සබ්බ සකල මනාව ගින්නෙන් අළු උණු එකටවත් , පොඩි  මල්ලි ශංකර් ව පෙති පෙති ගහලා දාපු එකටත් වඩා , ඔහුට හිඟන්නෙක් වගේ මිනිස්සුන්ට අතපාන්න වෙච්ච එකටයි කියලයි . ) 

හැම මිනිහෙක්ගේම ආත්ම ගරුත්වය තමයි ජීවිතේ නැගිටින්න ට්‍රැක්ෂන් එක දෙන්නේ. මෙවැනි ආපදාවකදී භෞතික පිළිසරණ වගේම,  කරන්න ඕනේ , හැකි ඉක්මනින් මේ ආත්ම ගරුත්වය පිකප් කරන්න උදව් කරන එක  . 

අන්න එකටයි ආණ්ඩුවක් ඕනේ . ආපදා කලමනා කරන අමාත්‍යාංශයක් ඕනේ .