11 June 2017

ඉන්ද්‍රජාල අංකල්ගේ ඇස්බැන්දුම් සහ විස්මිත මායා

ඉන්ද්‍රපාල හිටියේ අපේ ගෙවල් පැත්තේ . රැකියාව කලේ නගර සභාවේද කොහේදෝ කියලයි මට මතක . ඒත්  ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ වෙනත් අයුරකින් . 

කෝට්ටේ පාර අද්දර තිබුණු ඔහු නිවසේ තාප්පයේ  පාරට පෙනෙන්න බෝඩ් ලෑල්ලක් ගහලා තිබුනා . ජටාවක් ඔලුවේ ඔතාගෙන , සයිස් දෙකක් විතර ලොකුවට කෝට් බෑයක් පොරවාගෙන , අතේ පරෙයියෙක් අල්ලාගෙන. යටින් පොල් අකුරෙන් ලියලා තිබ්බේ මෙහෙම 

" ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල "

ඔහු විනෝදාංශයක් ලෙස, ඊටත් වැඩියෙන් අමතර ආදායම් මාර්ගයක් ලෙස,  කළේ පොඩි පොඩි උපන් දින උත්සව , සතුටු සාද වල මැජික් පෙන්නීම . අර ජටාව ඔලුවේ ඔතාගෙන , කෝට් බෑය ඇඳලා  , උරහිස් දෙකේ හැට්ට කටු දෙකකික් පොඩි සාලුවකුත් එල්ල ගන්නවා පිට දිගේ නිකන් සුපර් මෑන් වගේ . නිල්පාට සාලුවේ ඉර හඳ තාරුකා ඇඳලා තිබ්බා .

ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ , කොල්ලෝ,  කුරුට්ටෝ සහ සෙස්සෝ සියල්ලෝම ඔහුව ඇමතුවේ ඉන්ද්‍රජාල අංකල්  නැත්නම් ඉන්ද්‍රජාල අයියා කියලා .

මැජික්  කිව්වට  ඉන්ද්‍රජාල අංකල්ගේ ප්‍රගුණ කරලා තිබුනේ  තොප්පි වලින් හාවෝ ගැනීම  , කෝට්  අතෙන් පරෙයියෝ මැවීම,  කටෙන් නොනවත්වා ලේන්සු එලියට ඇදීම වගේ සිල්ලර මැජික් සහ ඇස්බැන්දුම් විතරයි . ඉතින් බොහෝ විට මේ සෝ වල මවිත රසයට වඩා ජනිත උනේ හාස්‍ය රසය .

 ගෙදර කට්ටියටත් ඉන්ද්‍රපාල්ගේ මේ මැජික් විහිළුවක් වෙලා තිබ්බේ . ඉන්ද්‍රපාලගේ නැන්දම්මා උණත් ඔලොක්කුවට කිව්වේ "පුළුවන් නම් උඹේ ඔය මැජික් එකෙන් කාර් එකක් මවා ගනින් කෝ " කියලා. ( ඒ වෙලාවට ඉන්ද්‍රපාල හිතුවේ මිනිස්සු සදහටම අතුරුදහන්  කරන්න  පුළුවන් ඉන්ද්‍රජාල ක්‍රම ගැන .)

. ඒ ඔක්කොටම වඩා ජෝක් එකක් උනේ , ඉන්ද්‍රපාලගේ පොඩි එකා ලලන්ත . ඉන්දරේ යන සෝ වලට ලලාත් ගියා අතේ එල්ලිලා . ඉන්දරේ ගෙදර ඉන්ද්‍රජාල ප්‍රැක්ටිස් කරනවා බලාගෙන ඉන්න පොඩි එකා සෝ එකේදී කෑ ගහනවා . "අන්න අන්න පලේයියා කෝත්  එකේ "... "අන්න තාත්ති ආවා පිටිපස්සේ අන්ගගත්තා " ...
ඉන්ද්‍රජාල අංකල්  මාර අපහසු තාවයකට පත්වෙන්නේ ඒ වගේ වෙලාවකට . 
අර මොකක්ද එකා කනවා ඉවසුවට , අර මොකක්ද එක ඇනෙන එක ඉවසන්න බෑ  කිව්වනේ... මුළු ප්‍රේක්ෂ්කාගාරයම  හිනා වෙනවා ඔලොක්කුවට .

***
 එක සැරයක් කන්තෝරුවේ සල්ලි වගයක් මොකක්දෝ කරලා අන්තරස්දාන කරලා ඉන්ද්‍රජාල අංකල් ගේ සේවය අත්හිටෙව්වා . ඒත්  පස්සේ සාක්කිත් අතුරුදහන් වූ නිසා , දඬුවම් නැතුවම බේරුනා .

ඊට පස්සේ සතියෙම  දන්නා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ගෙදරට ආරාධනා කරලා පොඩි සංග්‍රහයක් එහෙම කරලා ( මාධ්‍යවේදීන් අතර අල්ලසට හිස නමන කිසිවෙක් නැති නිසා මෙය අල්ලසක් ලෙස නොසලකන්න ) , ඉරිදා පත්තරේක පොඩි තීරුවක් ලියා ගත්තා .

ඊට සති කිහිපයකට පස්සේ  අර තාප්පේ බෝඩ් එක වෙනස් වුනා . 


" ලෝකේ හොඳම  ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල "

***

ටික කාලෙකට ඉන්ද්‍රජාල බිස්නස් එක නැගල ගියා ,. ඒත් ඵල ඇති රුකට ඉරිසියාකාරයෝ බෝමයි . ආයෙත් මුදල් අක්‍රමිකතාවක් ගැන පැමිණිල්ලක් ඇවිත් රස්සාව නැති උනා .

දවසක හවසක සෙට් උන මිත්‍රයෙක් මේ වෙච්ච අකරතැබ්බේට හේතු ඵල

" ඔය බෝඩ් එකේ හරියට  ඝන පිහිටුවලා නෑ.  මෙහෙම වෙනස් කරන්න "

" ලොව පතළ , අන්තර්ජාතික ඇස්බැන්දුම්,  විස්මිත මායා සහ ඉන්ද්‍රජාල , ද අමේසින් ඉන්ද්‍රපාල"

බෝඩ් එක මාරු උනා . හැබැයි ඉතින මෙහෙම ඉන්ටෝනැසොනල් බෝඩ් ගහලා  අර සිල්ලර මැජික් බෑ නේ . ඉතින් ඉන්ද්‍රජාල අංකල්  අලුත් මායා ඉගෙන ගත්තා.  

***
ඔන්න සෝ එක පටන් ගත්තා.  දැන් කට්ටියම ඉඳගෙන ඉන්නවා මොකාටද එන්නේ කියලා බලන්න .

" මගේ මුල්ම මායාව  සඳහා, කවුරු හරි ඉදිරිපත් වෙන්න " ඉන්ද්‍රජාල අන්කල්, බංගලාව හන්දියේ සංවර්ධනේ විකුණන අජියා දිහා බලාගෙනම කිව්වා.

 අජියා වේදිකාවට ආවා . 

ආ ඔය අතේ මොකක්ද තියෙන්නේ ?"

"මේ සංවර්ධන ලොතරැයියක් "

"දැන් මේ පෙට්ටියේ ඉන්නේ මොකෙක්ද ?"

"අම්බෝ තඩි ගෙම්බෙක් "

"...අපේ තාත්තිගේ හාවාව , බව්වා  කෑවා .. හදිස්සියට ගෙම්බෙක් විතලයි හොයාගන්න පුළුවන් උනේ " ..ලලාගේ කොමෙන්ට්‍රිය පටන් ගත්තා .

"දැන් ඔය ස්වීප් එක මේ පෙට්ටියෙන් තියන්න. .. පර්ස් එකෙන් නෝට්ටුවක් ගන්න   "

අජියා රුපියල් සීයක් දික් කළා 

" චිකේ .. මේක ඉන්ටනැසනල් මායාවක් .. පන්සීයක් වත් ඕනේ අඩුම ගානේ  ...

අජියා පන්සීයේ කොලයක් දික් කළා .

"ඔන්න ඔය පන්සීයේ කොළෙත් හතරට නාවලා  පෙට්ටිය ඇතුලේම තියන්න  . .."

ඉන්ද්‍රජාල අංකල්  පෙට්ටිය වැහුවා . 

"ඔන්න දැන් හොඳට බලා ගන්න ..ආ අර කවුද අර දෙවැනි පේලියේ මැද ඉන්නේ අපේ අනුරයියාගේ පුතා නේද ...හලෝ කිව්වා .. අවධානය බිඳ ගන්න එපා ..ඔන්න "  ... ඊට පිටිපස්සේ පේළියක ඉඳන් අනුරයියත් ලාවට හිනා උනා 

ඉන්ද්‍රජාල අංකල් පෙට්ටිය වට තුනක් කැරකුවා .. පෙට්ටිය ඇරියා ...ඇතුලේ හිටපු ගෙම්බා නෑ ... ඌ පරෙයියෙක් වෙලා . 

"අජිත් ගන්න බලන්න  ස්වීප් එක "

"චික් මූ ඒ ටිකට ඒක  උඩ බෙට්ටක් දාලා "  අජියා අත ආපහු ගත්තා 

"අන්න අන්න ..සුපියල් පන්සීය තාත්ති සාක්කුවේ දා ගත්තා " ලලා කෑ ගහනවා  ඈත කොනකින් ඇහුනා 


පලි : 
විද්යානුකුල ක්‍රමය කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමන වලට ඒමය .

විජ්ජානුකුල ක්‍රමය කියන්නේ පෙට්ටිය වට තුනක් කරකවා පියන ඇරිය විට ඇතුලේ සිටි ගෙම්බා , පරෙයියෙක්  වීමය 

10 comments:

  1. ගෙම්බා , පරෙයියෙක් වෙලා 500කට විතරක් කෙලවෙලා බේරුනා මදෑ ..... කොරපු වැඩ සිල්ලර හින්දා හොඳා....

    ReplyDelete
    Replies
    1. පන්සීයත් ලොකු ගානක් අප්පා...ඒත් අන්තර්ජාතික ඇස්බැන්දුම් නේ

      Delete
  2. ඒ ගෙම්බා පරෙයියෙකු වෙන විට, සත්ව ස්කන්ධ සංස්ථිති නියමය අනුව වෙනත් පරෙයියෙකු ගෙම්බෙකු විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ...ඔබ කියු සංස්ථා නියමය අනුව නම් එසේ විය හැකි වුවත් ඇත්තටම නම් ම්බෝ පරෙයියෝ නොවේ.. ඒත් ගෙම්බෝ පරෙයියෝ කර පෙන්විය හැක

      Delete
  3. හුකෑස්මය
    ඒක මරු හැබැයි
    ඉන්දරපාල ගුටි කෑවෙ නැතෙයිඉතිං

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජාල අංකල් ඇස්බැන්දුම් දනී. සාක්කි අතුරැදහන් කරයි

      Delete
  4. අන්නේමයි ලියන්න ඕන... අනුරගේ පුතා මාරයි අප්පා... හා නැද්ද මං කියන්නේ...

    ReplyDelete
    Replies
    1. හාහාහා.. අනුරගේ පුතා නෙමෙටි අනුර මාරයි මට නම්.

      Delete
  5. AnonymousJune 11, 2017

    වෙනත් පර(යි )යෙක් ක(ක්)කා වුණා!!!

    ReplyDelete

Have commented