30 June 2017

ජනතාවගේ පැත්තේ සිට ගැනීම

කතාව 1 

බැරේ තොප්පියක්  ලස්සනට ඇලේට හිසේ ලා ගත් අයෙක් කැමරා අටවා ගත් පිරිසක් ඉදිරියේ ප්‍රකාශයක් කරන්නේය .

" .. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ රටට අපමණ අගයක් ගෙනත් දුන් කට්ටියක්. .. ඒ අතරින් මාලිංග කියන්නේ විශිෂ්ටයෙක් ..කවුරු හරි ඔහුට අකටයුත්තක් කරනවා නම් මම හිටගන්නේ ඔහුගේ පැත්තේ "

" ඒ වුනාට ඔබතුමා කිව්වා නේද , බඩ  බස්සගත්තේ නැත්තන් ටීම් එකෙන් හලනවා කියලා "

" නෑ මම මාලී ට හරි ආදරෙයි ... අයියා කෙනෙක් වගේ මම නිකන් අවවාදයක් කලේ බඩ පොඩ්ඩක් වැඩියි කියලා .."

" ඒවුනාට ඔබ තුමාට අර , රිලව් කතාවක් කියලා නේද , මේ විනය ක්‍රියාමාර්ග ගැනුනේ "

" මාලී උනත් දෙයක් කියනකොට , අර සංගා වගේ කඩ්ඩෙන් කිව්වා නම් අවුලක් නෑ නේ ... කාටවත් තේරෙන්නේ නෑනේ ...අඩුම ගානේ ඔය විනය තකන කට්ටියටවත් නොතේරෙන්න  ... දැන් ඉතින් මේකෙන් මටත් පාරේ යන්න බෑ ... මහජන දිනයටත් එකෙක් ආවා ගහක බෙනයක් තියනවා කියාගෙන ..... හැබැයි මේ කරලා තියෙන වැඩේ නම්  වැරදියි "

ඉතින් ක්‍රීඩා ඇමතිතුමා හැටියට ඔබ තුමා මොකද කරන්නේ 

මම හිටගන්නේ ජනතාවගේ පැත්තේ 

ඒ කිව්වේ ?

මේ නැගී එන ජනතා විරෝධය පැත්තේ තමයි මාත් හිටගන්නේ 


ඒ උනාට ඔය විරෝධතා වලින් කිසිම ඵලයක් නෑනේ 

( මද සිනාවක් ).. ඒ වුනාට මතක ඇතිව ලියා ගන්න මම ජනතාවගේ පැත්තේ කියලා 

*****

කතාව 2

තවත් වොයිස් කට් එකක් දෙන තැනකි . සුදු අත්කොට කමිසයක හා සුදු සරමක් ඇඳ ගත් අයෙක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේය 

" ඔබ තුමාගේ අයිටම් එකට , සෑහෙන විරුද්ධතාවයක් නැගීගෙන එනවා .. මොකද ඔබතුමාට මේ ගැන කියන්න තියෙන්නේ .?"

" ඔව් මමත් විරුද්ධයි ..."

" ඒ කිව්වේ "

" මේ වගේ දුෂීත අයිටම් එකක් පවත්වා ගෙන යනවට මමත් විරුද්ධයි "

එතකොට කාගේද වැරැද්ද 

" මේ ප්‍රශ්නෙදි මම නම් ඉන්නේ ජනතාවගේ පැත්තේ ...මේකේ සම්පුර්ණ වැරැද්ද ආණ්ඩුවේ ...ඊටත් වඩා වැරැද්ද ඒ ආණ්ඩුව පත් කරපු ජනතාවගේ . අනිත් එක ආණ්ඩුවක් පිහිටවන්න චන්ද ගන්න බැරිවෙච්ච විපක්ෂයේ ..."

එතකොට ජනතාව විරෝධතා පාන්නේ ජනතාවටමද 

ඒ වුනාට මම නම් ජනතාවගේ පැත්තේ ... මේ වගේ දූෂිත ආයතන පවත්වා ගෙන යන අයට හොඳ දඬුවමක් දෙන්න ඕනේ 

මොන වගේ දඬුවමක්ද 

දැඩි දඬුවම් දෙන්න ඕනේ  ..නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ...ජනාධිපති මන්දිරේට ගෙන්නලා , සීනී අඩු තේකක්  දීලා , තදින් අවවාද කරලා .... ඔක්කොම බැංකු ණය කපා හැරලා ..ඔක්කොම සබ්බ සකලමනාවම එක්ක රටින් පිටිවහල් කරන්න ඕනේ ඔය එංගලන්තේට , ඇමරිකාවට හරි ඔස්ට්‍රේලියාවට හරි 

***

කතාව 3

ජනාධිපති තුමා පත්තරය දිග හැරියේය ....

ලේකම් තුමා ...ප්‍රකාශයක් නිකුත් කරන්න හිටං ...මේ උමා ඔය ප්‍රශ්නේදී මම ඉන්නේ ...

( එක්කෝ ඒ කතාව ඕනේ නැත )


පලි 

කවුදෝ , කිසියම් දාක කියූ කතාවක් මට සිහිවේ 

එකමත් එක රටේ , එක රජෙක් සිටියේය . අධික බදු පනවා ජනතාවට අධික පීඩනයක් කළ බැවින් රටේ ජනතාව කැරලි ගසන්නට විය . කැරැල්ල නැගලා ගිහින් , බුරුතු පිටින් මිනිස්සු ඇවිත් රජ මාලිගාව වට කළහ .   රජ්ජුරුවෝ බොඩි ගාඩ් ලා වල්ලකින් වටවී රාජ මාලිගේය . ටිකකින් පිරිස ඇතුළට කඩා පැන්නාහ . දැන් බොඩි ගාඩ්ලා වලල්ල  , රජු හා ජනතාව අතර ෆේස් ඕෆ් එකකි .. ටිකකින් බොඩි ගාඩ්ලා ජනතාවගේ පැත්තට හැරී රජුගේ පැත්තට අවි දික් කර ගත්හ . දැන් රජා පිරිසටත් බිත්තියකටත් මැදිවී සිටින්නේය 

"මොකද ප්‍රශ්නේ ? " රජා ඇසුවේය 

" අපි ඔබ තුමා ගේ පාලනය පිළිගන්නේ නෑ ... අපි ඔබතුමාව මින් පස්සේ අනුගමනය කරන්නේ නෑ  "

" හරි එහෙම නම් මමත් , ජනතා මතයට හිස නමලා ජනතාවගේ පැත්තේ හිට ගන්නවා "

රජා ජනතාවට පිටුපස හරවා බිත්තිය දෙසට හැරුනේය . දැන් රජා මුලින් , ඉන් පසු ජනතාව , හිස් බිත්තියට මුහුණ ලා සිටිති . ජනතාව නැවතත් රජාගේ පිටිපසින් පෙළ ගැසී සිටිති . ඔවුනට හොඳින් පෙනෙන්නේ රාජාගේ පශ්චාත් පෙදෙසයි 

4 comments:

  1. හි හි හි හි හි.......

    [ඇඩෙනවා ]

    ReplyDelete
  2. AnonymousJune 30, 2017

    . මහජන දිනයටත් එකෙක් ආවා ගහක බෙනයක් තියනවා කියාගෙන .....

    ෂුවර් එකටම ලි මෝල් කාරයෙක් වෙන්න ඇති උන්ට ගස්වල බෙන, ගැට දෙබෝල් පෙන්න බෑ

    ReplyDelete

Have commented