31 January 2016

රීරී යකා සහ ගුරුන්නාන්සේ




"යකෝ "....ගුරුන්නාසේ කෑ  ගහනවා 

"යකෝ මේ අහගන් "

යකා නවතිනවා . 

"මොනවා හරි දියන්  යකෝ "

යකා ඇඳි කඩ ඔසවා , පස්චාත් පෙදෙසෙන් යමක් අරන් ගුරුන්නාසේට දිගු කරනවා . 

" චිහ් මේ මොනවද , විසික්කා හං ,  ආයේ වටයක් දෙකක් දඩයමේ ගිහින් එමු "

බෙර පදේ ආයේමත් වැයෙන්න ගන්නවා . ගුරුනාන්සෙයි , යකයි   වටේට සක්මන් කරනවා . විටෙක ගුරුන්නාන්සේ යකා පිටු පස්සෙන් පන්නවා , විටෙක යකා ගුරුන්නාන්සේ පස්සෙන් පන්නනවා . බෙර කාරයා විටෙන් විටේ , තාලේ වේගවත් , මන්දගාමී කරනවා . ගුරුන්නාන්සේ හිටපු ගමන් දුම්මල පාරක් ගහලා මහා ෂෝ එකක් දානවා .ආයේ නවතිනවා 

"යකෝ ... තොගේ අත්වල ලේ නේද ? "  ගුරුන්නාන්සේ අහනවා  .. 

"නෑ  මේ "  යකා අත් දෙක පෙන්නවා 

"ඒ වුනාට තොගේ බඩේ , ගෙරි මස් "

යකා ආයේත් රෙද්ද උස්සලා , අතුනුබහන් ඇදලා පෙන්වන සෙයකි 

"චිහ් .. කෝ යකෝ තොගේ සදාචාරේ ?

යකා තුෂ්නිම්භූත වෙනවා , "ගුරුන්නාන්සේ ගේ අත්  දෙක බලමු " , යකා යෝජනා කරනවා ...

"එන්න එපා පණ්ඩිත කතා කියන්න , මෙතන අහිංසක මිනිස්සු බය කර ගෙන , තග දාගෙන" ..ගුරුන්නාන්සේ තග දානවා .

ඔය අතරතුරේ , කොනක පැදුරු කඩමල්ලක , ආතුරයා ඉඳ ගෙන ඉන්නවා . ආතුරයාට වෙන විකල්පයක් නෑ . ඔහුට , මේක නවත්තන්න කියන්න , නැගිටලා යන්න තියා දෑස පියා ගන්නවත් ඉඩක් නෑ . මේ ඔක්කොම කෙරෙන්නේ ආතුරයා වෙනුවෙන්ම නේ (අනේද කියන්නේ )

නැටුම ඉවර වෙලා , අන්තිමට හූවක්  කියාගෙනම ඊරි යකා , අඳුරු හෙවනැලි අතරට ගිහින් වෙස්මුහුණ ගලවනවා . ගුරුන්නාන්සේ ආතුරයාගේ ඔලුව අතගාලා " ඔන්න ඔක්කොම නිවාරණයි " කියලා කියනවා . ආතුරයාටනම් එහෙම කියන්න තරම් වෙනසක් නොදැනුනත් , නළුවෙක් නෙමෙයි මොළයක් නිසා , එහෙම වෙන්න ඇති කියලා ඔහුත් හිතනවා .

ආතුරයාගේ පවුලේ කෙනෙක් , ගුරුන්නාන්සේගේ ගැන පියවනවා . මොණර  කඩදාසි ටික ගණන් කරලා  අරගෙන , ගුරුන්නාන්සේ , වෙස්මුහුණ ගලවලා ඉන්න ඊරියකාට නටපු එකාටයි , බෙර කාරයාටයි ගාණ  පියවලා , යන්න යනවා  උදේ පහේ බස් එක අල්ලන්න .

ඉර එළිය  තීරු තීරු ලා මිදුම ඉරා ගෙන වැටෙන යාමේ, තුම්මන් හන්දියක පෙරේත තට්ටුවක් , කපුටෝ පෙරළන් කනවා.

24 January 2016

සල්ලයිට් , ඔරෙන්ජන් බාර්ලි හා සිංහලේ// Lessons in Rebranding

අසූව දශකයේ අග හෝ අනූව දශකයේ මැද භාගයේ, අලුත් තාලේ දැන්වීමක් ප්‍රචාරය විය.  එවකට කිසිවෙක් වැඩි අවධානයක් යොමු නොකළ සල්ලයිට් කෑල්ල , අලුත්ම එළියකින් එළි බසින ලදී . රෙද්දේ හැට්ටේ ඇඳි , නාඹර ගැමි ලියන් (ඒ වෙනකොටත් ෆැන්ටසියක්ම පමණි) , පෑදී දිය ගලන දොළක රෙදි සේදුහ . නම සල්ලයිට් වුවද , අයිතිය යුනි ලීවර් සමාගමට වුවද , ගම , අපේ කම , දවටනයකින් ඔතා , ගැමි සුවඳ කවා සල්ලයිට් දොරට වැඩි කළ විට ඒ බව අමතක විය .



සල්ලයිට් එතැන් පටන් අපේ දෙයක් විය .  රී බ්‍රෑන්ඩින් එවන් ය .

හැත්තෑ හතේ ධර්මිෂ්ට සමාජේත් එක්ක , ආර්ථිකයේ ගේට්ටු විවෘත විය . ටික කලක් යත්ම,  දශක ගණනාවක් පරක්කු වී වුවද , බටහිර ජනප්‍රිය සංස්කෘතික වෙළඳ භාණ්ඩ කොලොම් තොටින් ගොඩ බැස්සෝය . කොකා කොලා එවැන්නකි . ඔරෙන්ජන් බාර්ලි , ලංකා ලයිම් , ක්‍රීම් සෝඩා වලින් සන්තර්පණය වුනු තරුණ සමාජය , පොෂ් සහ වෙන්ඩ පොෂ් සමාජය මේ අලුත් රසය වැළඳ ගත්හ .

නැවතත් අසූව අනූව දසකයේ,  රී බ්‍රෑන්ඩින් ව්‍යාපාරයක් විය . 

හන්දියේ කඩේ තට්ටුවේ ( අයිස් පෙට්ටියට වත් වද්දා ගැනීමට තරම් නොවූ ) දුවිලි ගැහුණු ඔරෙන්ජන් බාර්ලිය නව අනන්‍යතාවයක් සමග දොරට වැඩියා ය . පැකේජින් එක නොස්ටෙල්ජියාව විය . කොකා කොලා බිව් ගමෙන් නගරයට ආ තරුණ පරපුරට නොස්ටෙල්ජියා රස  කැවීමට ඒ දැන්වීම් සමත් විය . 




රසය පමණක් නොව , ඒ සන්නාමය චිත්ත සන්තාපය තුළ , නැවුම් වටිනාකමක් ඇති කිරීමට තරම් සමත් නො වුනිදැයි මට විටෙක සිතේ 

සිංහලේ එවැනි බ්‍රෑන්ඩ් එකක්ය . 

සුද්දන් රට පාලනය කලේ ජාතීන්  අනුව බෙදාය . එය කෙතරම් දුරට සුක්ෂමව කළේදැයි ටැමිල් යුනියන් , මුවර්ස් , සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් වැනි ක්‍රීඩා සංගම් ඇති කිරීම මගින් ඔප්පුවේ . ආගම් අනුව පාසැල් පිහිටුවීම, බර්ගර් යනුවෙන් ජාතියක් ඇති කිරීම  මේ කරුණට තවත් නිදසුන් යයි සිතමි . 
ඇත්තටම අපේ රටට බොහෝ දේ ලැබුනේ කාලයට පෙරය . ප්‍රජාතන්ත්‍රවාදය වේවා, සමාජවාදය වේවා , ජාතික සමගිය වේවා , එක්සත් රටක් වේවා , ලැබුනේ පාවිච්චි කිරීමට නොදන්නා , ඒවා හැන්ඩ්ල් කිරීමට ශක්‍යතාවයක් නොමැති සමාජයකට ය . (නමුත් මේවා නිසා මහා විනාසයක් නොවුනේ සමාජයේ අරටුව තුළ වූ  පරම්පාරික පුරුද්දෙන් වූ මුදු බව, ඉවසා දරා ගැනීමේ ශක්තිය  නිසා යයි මම උදක්ම විශ්වාස කරමි) . හතලිස් අටේ සුද්දෝ නිදහස දෙන්නට හැදුවේ එක රටකට නොව රටවල් දෙක තුනකටය . නමුත් කවුරුන් කොහොම කිව්වත් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමෙන් එය වැලකිනි  (වැලකුනා නොව කල් ගියා යයි ඔබ කීවොත් මම එයටද විරුද්ධ නොවෙමි ) . නමුත් උඩින් වැටුණු ඒ එක්සත් රට අල්ලා ගැනීමට  අපි සුදානම් වී නොසිටියෙමු .

නමුත් එක දෙයක් නම් නිවැරදිය, එදා එසවූ කොඩියේ රාමුවෙන් එළියේ හීනී පාට තීරු දෙකක් නම් නොවිය . සියල්ලම එකම රාමුවක් තුලය. ඒ කහ පාට රාමුව බෞද්ධාගම යයි අර්ථකථනය නොවී, ලාංකික සංස්කෘතිය වුවා නම් ...  

"ශ්‍රීලංකා "  නමැති බ්‍රෑන්ඩ් එක , අපි බොහෝ වරක් රී බ්‍රෑන්ඩ් කර ඇත්තෙමු . මේ බ්‍රෑන්ඩ් එකෙන් ස්පින් ඕෆ්  (Spin off brands ) බිහිවෙන තරමට , (එනම් ලයිම් සල්ලයිට් , ලෙමන් සල්ලයිට්  මෙන් විවිධ ප්‍රභේද බිහිවෙන තරමට)  ඈතට එය අප තල්ලු කර ගෙන ගොස් ඇත . එවන් කළෙක අපිට අලුතින් හිතන්න අලුත් බ්‍රෑන්ඩ් එකක් අවැසිය . එය බෙදීමට නොව එකතු වීමට විය හැක . නමුත් ශීඝ්‍රයෙන් cosmopolitant (මෙයට ගැලපෙන සිංහල වදන නොදනිමි )  සමාජයක් කරා හැම රටක්ම පාහේ ගමන් කරන කලෙක,  යල් පැනපු ජාතිකත්වයේ ආකෘති නම් නොගැලපෙනු ඇත . එමෙන්ම අද දවසේ අති සාර්ථක යයි පෙනෙන සිංගප්පුරු සුභ සිහිනයේ  ආකෘති වලින්ද ඔබ්බට ගිය හෙටට ගැලපෙන එකක්ම විය යුතුය .

පණුවන් හලා , මැක්කන් වඳ කර, කෑමට පුරුදු කර ( ආර්ථික , සමාජීය අවස්ථාවන් පරිභෝජනය කර, වැඩීමට ) ගත්තොත් , සිංහලේ බ්‍රෑන්ඩ් එක නිසැකවම ඒ සඳහා පාවිච්චි කළ හැක . එය නිවැරදිව පාවිච්චි නොකලොත් නම් මෙවරද අතීතයේ බොහෝ උත්සාහයන් මෙන්ම වෙනු ඇත ,

22 January 2016

පොඩිහිටියා ගේ ප්‍රශ්නය හෙවත් are you smarter than a ....


මාගේ මිතුරාගේ පුත්‍රයා , පොඩිහිටි උන්නැහේව මතක ද ?

අද මට ඊ මේල් එකක් ලැබිණි . ඔහු විශාල ප්‍රශ්නයකට මුහුණ පා ඇත .

***

දයාබර මාමේ 

මා මේ ඊ මේල් එක එවන්නේ මට මේ ගැන උපදෙසක් ගන්නට වෙන කෙනෙක් නැති නිසාය . මම මේ ප්‍රශ්නය අපේ අම්මාට කිව්වෙමි . අම්මා කීවේ මට පිස්සු කියාය. ඔය පත්තර කියවා කියවා ඉන්නේ නැතිව වැදගත් වැඩක් කරන්න යයි ඇය  මට කීවාය . පත්තරේ තියෙන්නේ වැදගත් දේවල් නෙවේ දැයි මා ඇසු  විට , ඈ  කීවේ ගිහින් කාටුන් බලන්න කියාය . ඒ වුනාට තාත්තා සමග දෙසාබාන දේසේබාන දේසපාලම් වේසපාලන දේසපාලන සාකච්චා බලන්න ගත්තාට පස්සේ මට දැන් කාටුන් වල විහිලු වලට හිනා යන්නේම නැත්තෙමි . අපේ අම්මාට ඕවා තේරෙන්නෙම නැත්තාය.

මාමේ , ගිය සතියේ පත්තරේ දැක්කේ , අර ධම්මාලෝක සාදු ව FCUK එකට වඩම්මා තියෙන සේක  කියලා ය . අපේ අල්ලපු ගෙදර අයියාත් ඒ ලෙවෙල් පේල් උනාට පස්සේ දැන් වැඩ කරන්නේ FCUK වගේය . ඒ අකුරු හතර පපුවේ ගහපු ටී ෂර්ට් එකක ඇඳ  ගෙන ඔහු උදේට බස් හෝල්ට් එකේ ඉන්නවාය . මම FCUK  එක ගැන අම්මා ගෙන් ඇහුවාම ඇය කීවේ ඔය F අකුරෙන් පටන් ගන්න ඔක්කොම අකුරු හතරේ වචන කුණුහරුප කියාය . ඒ අපේ අම්මාගේ දැනුමේ තරමය.  අකුරු දෙකේ , අකුරු හයේ කුණුහරුපද මම දන්නෙමි .

ධම්මාලෝක සාදුව වඩම්මන්න හදලා තියෙන්නේ  කවුද නොසන්ඩාලයෙක් පෙරහැරට  ගෙනාපු අලියෙක් , පන්සලේ දාලා ගිය නිසාය. මේ ගැන හිතලාම සාදුට  අසනීපයක්ද  අනුමෝදන් වූ සේක . බික්කු සන්ගස්සලා ඒමය .

මාමේ,  අපේ ගෙදර පූසී පැටව්  දැම්ම විට , අපේ තාත්තා උන්ව පෝර බෑග් එකක දාගෙන ගිහින් බෙලන්විල පන්සල ගාව දාලා ආවේය . පූස් පැටව්  හතර දෙනෙක් දාන්න පොහොර මල්ලක් ඕනේ නම් , අලි පැටියෙක් දාගෙන යන්න කොච්චර ලොකු මල්ලක් ඕනෙද ?

මේ අනං මනං ලියන්න ගිහින් මට ප්‍රශ්නයත් ලියන්න අමතක වෙන්නෙමි . මාමේ ඊයේ රෑ අපේ වත්තට බලු පැටියෙක් ගෙනත් දාලාය . ඌ එලෙව්වත් යන්නේ නැත . අපේ තාත්තා නම් කීවේ ඌ ඒකාබද්ධ විපක්සේ කට්ටිය වගේ කියලාය . දැන් අපේ තාත්තාවත් FCUK එකට අරන් යයිදැයි මට මාර බය සිතෙමි .  තාත්තා ගිහියෙක් නිසා වඩමන්නේ  නැති වේවි. ගෙවන ඉස්පිරිතාලවලට යන්නට අපේ තාත්තාගේ ආර්තික ශක්තියක් නැත. තාත්තා නම් කියන්නේ නවලෝකේ නෙමෙයි , ජයරත්න එකටවත් යන්න ආර්ථික ශක්තියක් නැත කියාය.  අනෙක FCUK  ඉස්සරහ ගේට්ටුව ගාවෙන් , අනෙක් අයට  වගේ , ගිහින් බහින්න , ලොකු ජීප් එකක් වත් අපේ තාත්තාට නැත . එයාගේ මොටෝ සයිකලෙන් එතනට ගියාම එතැන් ඉන්න හැමෝම එයාට හිනාවෙනු ඇත . එහෙම හිනා උනාම කෙනෙකුට මාර ලැජ්ජාවක් සිතේ . දවසක් මගේ කලිසමේ සිප් එක . එහෙම වෙනවායි මම පොතක කියෙව්වෙමි .

අනේ මාමේ ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක්, මාමා දෙන්න එපාය  . මාමාගේ  විසඳුම් වල තරම අපි දන්නෙමු . මාමගේ පේස් බුක් , බ්ලොග් යාළුවන් ගෙන් අසා ඉක්මනින්ම ලියා එවන්න . අපේ තාත්තා හැම විටම කියන්නේ පේස් බුක් එකේ පඬියෝ වගේ බුද්දිමත් කට්ටියක් ලොවෙත් නෑ , ගම්පහත් නෑ , බෙන්තර ඇල්පිටියෙත් නෑ කියාය . ඒ කට්ටියට ආණ්ඩු මාරු කරන්න සහ ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් නම් මේ  ප්‍රශ්නය විසඳන්නත් නියතවම පුළුවන්ය .

***
ඔබේ  වටිනා යෝජනා කඩිනමින් මා වෙත යොමු කරන්න 

17 January 2016

ඔවා දෙනු පරහට ... (හැම විටම වලංගුද )

අම්මලා කියත් 
පුතාලට 
තවමත් 
බලාගෙන මයේ පුතේ 
ගෑණුන්  ගෙන් 
.......ප්‍රවේසමෙන් 


මා ළඟක ඉඳන් ආසාවෙන් අහන වැඩසටහනක් "මතක පද ". 
සති කීපයකට පෙර, එහි මතක පද තේරුවේ දීප්ති කුමාර ගුණරත්න. ඔහුගේ දේශපාලන මතය , භාවිතාව කුමක් වුවත් , හිතන්න හිත කොනිත්තනවා ඔහු කියන ඇතැම් දේ . ඔහු කියනවා , මේ ගෝලීය කරණය වෙච්ච , ස්ත්‍රී දුෂණ අපමණ සිදුවෙන , අපේ සමාජයේ තවමත් පුතාලට අම්මලා කියනවා කියලා  "ගෑණුන්ගෙන් පරිස්සම් වෙන්න " කියලා .

ඒ විතරක් නෙමෙයි , සාමාන්‍ය ජීවිතේ , සාමාන්‍ය පිරිමි ජීවිතයක් ගත කරපු තාත්තා කෙනෙකුත් , දියණියකට කියන්නේ පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න කියලා .

ඒකට හේතුව සමහර විට , මව,  පියා කියන්නේ සමාජ සංස්ථාවක් නිසා වෙන්න ඇති . පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගිය එම සංස්ථාවට අදාළ වගකීම් ඉටුකිරීමට යාම නිසා වෙන්න ඇති . 

හරි වැරැද්ද නෙමෙයි , මෙහි සමාජ විද්‍යාත්මක පදනම, ඔබ සිතන අයුරින් කුමක්ද ?

08 January 2016

ජනේරු අටවෙනිදාවක ලියමි


මේ කතාවට වස්තුබීජය අහුලගත්තේ අර බස්සිගේ පොත එළිදැක්වීමේ උළෙලේ , අර දිගම දිග , ඒත් රස , කතාවෙන් .

ඔන්න මම දන්න පවුලක් හිටියා,  ළමයි ටිකක් ලොකු මහත් වෙච්චි . පදිංචිවෙලා හිටියේ නෝනගේ මහගෙදර. ගේත් පරණයි අනික පවුලේම මහගෙදර උනත් , තමන්ගෙම ගෙයක් නෙවෙයිනේ කියන සිතිවිල්ල පවුලේ හැමගෙම  සිත්වල පැලවෙලා තිබුනා . ඔන්න එකපාරටම දවසක් , තාත්තාට ඇදුනා ස්වීප් එකක් . සිකුරාදා අදින ශනිදා වාසනාවේ මුල් තෑග්ග . ඔන්න ඉතින් අම්මට දෑවැද්දට ලැබුණු වත්තේ ඉඩමේ නමෝ විත්තියෙන් හදන්න ගත්තා  ගෙයක් . මද්දු පුතා ගේ පෙරැත්තයටම ,හදන එකේ එළටම හදන්න කට්ටියම ගියා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෙවත් ආර්කිටෙක් කෙනෙක් හම්බුවෙන්න . 

" අපිට ඕනේ චාමේට , ඒත් මොඩන් ක්‍රමේට ගෙයක් හදා ගන්න "

මෑන්ස් අර ජෙෆ්රි බාවා වගේ ඩයල් එකක් , ගෙයක් හැදුවට ඇත්තටම හදන්නේ ලයිෆ් ස්ටයිල් එකක් . මිනිහා අඳින සැලැස්මේ , මිනිහා හිතන විදිහේ මිනිස්සු , මිනිහා බලාපොරොත්තුවෙන විදියටම ජීවත් වෙයි කියලා තමයි මිනිහා බලාපොරොත්තුවෙන්නේ . මිනිහා ඉතින් හැදුවා ප්ලෑන්  එකක් . 

පරිසර හිතකාමී . ගේ මැදම   කොස් ගහක් . බාත් රූම් එකේ වහලේ බාගයයි . වහිනකොට තෙමෙනවා , ගස් ගෙම්බෝ බිත්තිවල . හැබැයි ගේ මාරයි . ගෙවැදීමට සහ ඊට පස්සේ ආපු ඔක්කොම කිව්වේ " හරි ට්‍රෙන්ඩි " කියලා .  අම්මාගේ  ඔපීසියේ පොෂ් ලලනා සංගමයේ කට්ටිය නම් කිව්වේ (ස්වීප් එක නිසා අම්මටත් එකී සංගමයේ සාමාජිකත්වය ලැබිනි )  " රිෆ්‍රේෂින් චේන්ජ් " කියලා.

සංකල්පමය වශයෙන් අතිවිශිස්ට උනාට , ගෙදර ජීවත් වෙන්න ගියාම ඇඟට මාර අමුතු නුහුරු ගතියක් දැනෙන්න ගත්තා 
කාලය ගතවෙත්ම , ඉතින් විටෙන් විට පොඩි පොඩි මොඩි ෆිකේෂන් කරන්න ගත්තා . බාත්රූම්  එකට වහලයක් ගැහුනා . සාලේ මැද කොස් ගහ කපල දැම්මා . එළියෙන් බිත්ති බැඳලා පොඩි ඉස්ටෝරුවකුත් හදා ගත්තා . 

තව මොඩිෆිකේෂන් වගයක් කරන්න පවුලේ කට්ටිය කතාවෙනවා එතකොටනම් ,  ඒ ගේ , අර පරණ මහා ගේ වගේම වේවි .

අනේ මන්දා අලුත් ලයිෆ් ස්ටයිල් එකකට ජීවත් කරවන්න හැදුවත් , පරණ මිනිස්සුම හින්දද මන්දා .

 කියන්න අමතක වුනා , ඒ ගෙදරට නමකුත් දාලා තිබ්බා ...

"යහපැලස් "

පලි : මුළු ජීවිතයම තේරීම් දාමයක් (හෙවත් චොයිසස් ගොඩක් ) . ඉතිහාසයත් එහෙමයි . පහුගිය ජනවාරි 8 වෙනිදා බහුතරයක් කළ තේරීම ගැන කිරා බලන්න වෙන්නේ , එය නොවුනා නම් දැන් වෙනකොට සිදුවෙන දෙය අනුවයි .

එනමුදු කලුපාට හා දුඹුරු පාට සපත්තු ජෝඩු දෙකක් අතුරෙන් , දුඹුරු පාට යුගලය තෝරාගෙන ගෙදර ගෙනිහින් , එය කලුපාට කරන්න කලුපාට පොලිෂ් අතුල්ලන එක නම් පිස්සුවක්මය 

***


05 January 2016

අහන්ඩ කෝ වයිෆ් ගෙන්

අලුත් අවුරුද්ද ලබලා උණුහුම ගියෙත් නැත , වැඩ තොගයක් මා මේසය මතට පතිත වී ඇත . කාර්යාලයේ ප්‍රශ්න, ගලවා දැමු කලිසම මෙන් මදකට පසෙකින් තැබූ මා සරමට බැස්සේ , අතට ගත්  තේ කෝප්පය නිවී සැනහිල්ලේ රස විඳීමටය .

කුස්සිය පැත්තෙන් , තනියම කතා කරන හඬක් ඇසෙන්නේ , මා බිරිඳ ගේය . මෙවැනි බොහෝ අවස්ථා වල , මා කරන්නේ ඇහුනා නෑහුනා  ගානට සිටීමය . වැඩිදුර විමසීම් කිරීමට ගියොත් වැඩේ දුර දිග යන බව බව මා දන්නේ අත්දැකීමෙනි . .වැඩේ අවසන් වන්නේ වරද පිළිගැනීමට සිදුවීමෙනි . ඇතැම් විට වරද නොදැනම සමාව අයැදීමට සිදු වීමෙනි .මෙසේ සිටීම , ඉඳ හිට වැඩේ අහු නොවීමට හූ මිටි තැබීම , වසර ගණනක යුග දිවිය තුළ  මා මනාව ප්‍රගුණ කර ඇත .

"අපේ මිනිස්සුන්ට තමා අගයක් නැත්තේ " එක වරම පවනේ පාවී ආ වදනක් මා සවනේ හිරවිනි .

මා කුස්සිය දෙසට ගියේ , වරද කුමක්දැයි නොදත්තත් වැඩේ ගොඩින් බේරා ගැනීමටය .

"ඇයි මොකද දැන් වෙලා තියෙන්නේ "  මම සුපුරුදු බබා පාට්  එකෙන්ම සංවාදය ඇරඹි මි .

"නෑ  ඉතින් අපිට තමා කිසි සැලකිල්ලක් නැත්තේ , ඔයාලා තමා අපි කියන දේ තඹ දොයිත්තකට සලකන්නේ නැත්තේ " උඛ්ත බහුවචනයෙන් වීමෙන් මෙය , සිල්ලර කේස් එකක් නොවන බව වටහා ගතිමි 

"ඇයි  ඇයි "

"ඇයි  තමා . .. දැක්කේ නැද්ද අර ලස්සන ක්‍රීම් සූට්  එකක් ඇඳ ගත්ත මහත්තයා , තමන්ගේ මහන්සියෙන් සතෙන් සතේ එකතු කරලා හදා ගත්ත මිලියන අටසීයේ දුප්පත් ගේ පොඩ්ඩ , හිත උණුවෙලා  ගෙයක් නැති මනුස්සයෙකුට දෙන්න ගිය හැටි , මෙතේ  බුදුන් දැක නිවන් දකින පින්කමක් වගේ පෙනිච්ච මේ වැඩේ ...ගෙදර වයිෆ් එපා කිව්ව නිසා  නොකරපු හැටි ... අර දූසන වංචා එක ඉස්සරහ හිටගෙන රිපෝටර්ලට කිව්වේ..."

ආ ඒකද  මේ 

"ඒකජ ?  අන්න සුවච දයාබර හස්බන්ඩ් ලා ...ඒකට  ඔයා ... දැන් ඒ වයිෆ් කිව්ව එක අහලා ඒ මිනිහට වරදක් වුනාද ? නෑනේ ? මාරකයකින් නේ බේරුනේ .."

හ්ම් 

ඉගෙන ගන්න 

හ්ම් 

පිරිමි , තමුන්ගේ නෝනලා කියන දේ අහනවා නම් කොච්චර වැරදි වලකා ගන්න පුලුවන්ද 

එහෙමද ?

එහෙමජ ? නැත්තන් ... දැන් බලන්න අපේ ජනාධිපතිතුමාත් ...ඔය පිම්ම පනින්න ඉස්සෙල්ලා වයිෆ්ගෙන් ඇහුවානේ 

ඇයි සිදුහත් කුමාරයා 

මොකක්ද 

නෑ . බුදු හාමුදුරුවොත් කියලා තියෙනවානේ ගෙදර බුදුන් කියලා වයිෆ් 

අනේ මේ ..අනිත් එක අර කතාවක් වටේ ගියේ , අර කාවද හිරේ දාන්න ගියාම , කවුද ඇවිත් කිව්වා කියලා මගේ ආර්යාවගෙන් විසුමක් වෙන්නේ නෑ , කරුණාකරලා අනුකම්පා කරලා මේක කොරන්න එපා කියලා .

බලාගෙන ගියාම ඔක්කොම GTB 

අනේ මේ 

එහෙම නෙමෙයි ඇත්තටම රටේ තීරණ ගන්න ඒවාට වැඩියෙන් කාන්තා පාර්ශවය සහභාගී කර ගන්න ඕනේ 

ඔව් එතකොට වැරදීම් අඩුයි 

ඔව් ඔව් අර කියමනකුත් තියෙන්නේ සෑම  සාර්ථක මිනිහෙක් පිටුපසම , ගෑනියෙක්  ඉන්නවා කියලා උගේ වැරදි පෙන්න පෙන්න ..

විකාර...

නෑ  නෑ  විහිලුවට කිව්වේ ..ඇත්තටම ඔය පාර්ලිමේන්තුවේ වැදගත් තීරණ ගන්න දවස් වලට මැති ඇමතින්ට ගෙදර ඉන්න කියලා , වයිෆ්ලට එන්න කියන්න ඕනේ . අනික ඔය සර්ව ජන චන්ද බලෙත් අහෝසි කරලා රටේ නායකයෝ තෝරන  එකත් ගෑනුන්ට විතරක්ම දෙන්න ඕනේ .

ආ ඇත්තට ...? ඒ සැරේ වැඩට යන එකයි, ළමයි බැලිල්ලයි , ඉවිල්ලයි , අරකයි මේකයි උඩට තවත් වැඩ ගොඩ ගහන්නද හදන්නේ ... රටේ ගොඩක් පිරිමි කරන්නේ ඔය දේශපාලනේ කියවන එකයි , අහන එකයි , ඒ ගැන කරදර වෙන එකයි , ජන්දේ දාන එකයි විතරයි ..ඒකත් ගෑනුන්ට පවරන්නද හදන්නේ ?

හැ හ් ???!!