28 April 2016

#අයියෝ // lunch time TV

වැල් වටාරම් නැතිව කෙටියෙන් කතාවට එන්නම් . 

දවල්ට ලන්ච් එකට ( දවල්ට නැතිව රෑට ලන්ච් තියෙනවා යෑ? ),  එකමත් එක රටක (ලංකාවෙන් පිට )  එක්තරා කන්තෝරුවක ( අපේ කන්තෝරුවේ නම් නොවේම නොවේ) ලංකාවේ කට්ටිය කැන්ටිමේ එක මේසයක් වටා සෙට් වෙනවා . ඔන්න අලුතෙන් කන්තෝරුවට ආපු නාඹර ගෑණු ළමයෙක්, කෑම එක අරගෙන, වටපිට බලනවා ඉඳගන්න තැනක් හොයාගන්න .

"ආ නංගි ..එන්න එන්න .. මෙතනින් ඉඳගන්න " , රිටයර් වෙන්න ඔන්න මෙන්න 
ඉන්න පීටර් අංකල් කතා කරනවා . ගෑණු  ළමයත් ඉතින් වන වනා ඇවිත් හිස් පුටුවක වාඩී වෙනවා . 

" ඔහොම ඉන්න මම කට්ටිය අඳුන්වලා දෙන්නම් " සෙනක්ඩ් වෙන්නේ නැතිව සිල්වාත් ඉදිරිපත් වෙනවා .

"මේ ඉන්නේ කමල්  , මේ අමල් , මේ නිමල් ,.."

"හලෝ ..නයිස් ටු මීට් යූ .. " ගෑණු ළමයත් .. පපඩම් කැල්ලක් ගෑරප්පුවෙන් කඩලා  පොෂ් විදියට හැන්ද  උඩින් තියලා .. හෙළ බස හපන්නේ නැතිව , ඇක්සන්ට් එකක ඔතලා  ප්‍රතිචාර දක්වනවා 
" ඕ  ගොල්ලෝ ගොඩක් කල් ද මෙතන වර්ක් කරන්න ඇවිත් ?..."

ඉතින් කට්ටිය තමන්ගේ සර්විස් එක ගැන පුරාජේරුව පටන් ගන්නවා .. වැඩේ ලීඩ් කරන්නේ පීටර් අංකල් ..."මම අවුරුදු 25ක් , සිල්වා අවුරුදු 22ක්   ... "
ඔහොම  දිගට යනවා .

"අම්මෝ මට වයසවත් ටුවෙන්ටි ෆයිව් නෑ .... ඒත්  ඕ  ගොල්ලන්ට එච්චර වයසයි කියලා කියන්න නම් බෑ ...." කෙල්ල ටොක්කක් ඇනලා ඔලුව අතගානවා 
(සභාවේ සිනා  නැගෙනවා)

"මේ අමල් ..මු නම් ලඟදී මෙහෙ ආවේ ... මු සිංගල් ..."  කමලුත් කතාවට සම්බන්ධ වෙනවා 

අමල් පොඩි මනමාල හිනාවක් දානවා .

"ඒ ...ඇයි යකෝ මම ...මමත් සිංගල් වගේ නේ ..." පීටර් අංකල්,  තම බිරිඳ, කාලයක ඉඳන් පොඩි මුණුපුරා බලාගන්න දුවගේ ගෙදර නැවතී ඉන්න බව මතක් කරනවා .

"මමත් සිංගල් වගේ තමා , නෝනා ඉන්නේ ලංකාවේ .. "  ඒ කමල්  

"මේ දවස් වල මමත් සිංගල් , නෝනා නිවාඩුවට ලංකාවට ගිහින්"   සිල්වාත් බස් එකට දුවගෙන ඇවිත් එල්ලිලා නගිනවා 

..... නිමල් ......ලොකු බත් කටක් අනා ගෙන කටේ දා ගන්නවා ..

පලි : මේ ගැන කතාව ආයෙත් ඇදිලා ආපු දවසක , අපි ලංකාවේ සමාජයේ තියෙන සංස්කෘතියේ සදාචාරයේ රෙද්දෙන් වහපු ලිංගික පීඩනය ගැන කතාවෙනවා . 
වැරදිලාවත් කකුලක් දිහා වත් බැලුවොත් නිවන් දකින්න බැරිවේ යයි කුඩා කළ හිත් තුළට  බස්සන සිතුවිල්ල හිතේ හදන ෆැන්ටසි , වයසට ගියහම බොහෝ විට හාස්‍යජනක තැනකට එන අයුරු ගැන අපි කතාවෙනවා . ඕල්ඩ් බෝයිස් යන සංකල්පය දිගට දිගට විග්‍රහ කරන්න ගන්න අපි , වල්  කමේ ස්වාභාවික සීමාව ගැන වාද කරගන්නවා. හීනෙන් වත් ලඟා වෙන්න බැරි මල් ගැන , "දුන්නොත් ගහනවද ?" කියලා කොලු කමට අහන කතාව වයසට යනකොට පැසවා ෆැන්ටසි වලට හැරෙන  අයුරු ගැන කතාවෙනවා . .."ඒ වුනාට ලංසි මාර ඕපන් " එකෙක් කියනවා . ඒත්  ඔය කියන විවුර්තත්වයත් සමාජයේ සාමාන්‍යයට සාපේක්ෂව නේද කියලත් , ඒ විවුර්තත්වය වෙනත් සංස්කෘතියක සම්මතයට වඩා සෑහෙන්න මෙපිටින් නේද  කියලත් අපි කතාකරනවා .

කල්පයක් වගේ දිග නිහඬතාවයක ගතවෙනවා . අපි අපි ගැනම හිතනවා.

ඊට දින කීපයකට පස්සේ මොකක්දෝ හේතුවකට මම මේ සටහන තියනවා 

24 April 2016

සදහම් රැප්


( සෙව්වන්දියකට පෙම් බැන්දා  ..ආශා දහසක් රස වින්දා ...ඩින්  ඩින් ටක ඩින් ....යෝ යෝ ... හේ නිගා .. සෙව්වන්දි බේබේ ....තවුසන්ඩ් ආශා ස් ..)

 හෙලෝ 

හෙලෝ , සුභ අලුත් අවුරුද්දක් වේවා ....

සුභ අලුත් අවුරුද්දක් ....ඔව් ඔව් අපි අහන්නේ හිරු තමා 

හැ හ් ..??  නෑ නෑ අයියේ අපි මේ සී ඩ්‍රෑගන්ස්  දායක සභාවෙන් 

ආ.. . මේ අපේ පන්සලේ .. මොකෝ මල්ලි ?

අයියේ අපි මේ සැරේ වෙසක් එකට අලුත් වැඩක් කරන්න හදන්නේ .. ඔන්න බෑ  කියන්නේ නැතුව අපිට උදව්වක් ඕනේ .. පිං අතේ වැඩනේ 

අයියෝ මල්ලි අවුරුදු කෑවා  විතරයි ..අතේ සතේ නෑ 

නෑ  නෑ  ආධාර නෙමෙයි . පොඩි වැඩක් කර ගන්න .. අයියා කට්ටියට රැප් ලියලා දෙනවා නේද ?

රැප් නම් ලියනවා .. ඒත් මේ වෙසක් එකට වැඩක් කිව්වේ 

 ගිය අවුරුද්දේ අල්ලපු ගමේ පන්සලේ තිබ්බනේ  බෝධි පුජාවක් ..මතකද?  

ඔව් ඔව් නැගලා ගියානේද 

ඒකනේ  .. උන්  මහින්ද මහත්තයා වත් ගෙනවානේ ...සු ගාලා සෙනග ආවා... සදහම් සිහිල ඉතිරුනා අයියා ... කොටින්ම පොකට් ගුණේ ඊට සතියකට පස්සේ අලුත්ම වීල් එකක් ගත්තා ...මේ සැරේ අපි කරන්න හදන්නේ තොරණක්  උන්ට උණ  ගැනෙන්න .....අයියාගේ සපෝට් එක ඕනේ .. පින් අතේ වැඩනේ 

හරි හරි කියනවකො මොකක්ද කෙරෙන්න ඕනේ කියලා 

දැන් ඔය තොරන්වල කවි , විරිදු කියලා හරියන්නේ නෑ .. කොල්ලෝ ටික ඇදලා ගන්න රැප් එකක් ලියා ගන්නයි ඕනේ 

මොකක් කිව්වා ....මල්ලි මේ රැප් ශාස්තරේ එහෙම කරන්න බෑ  පොඩ්ඩ ගැස්සුනොත් ගස් ... මිනිස්සු කෙලින්ම දෙමාපියන්ට බනින්නේ .. අර දැක්කේ නැත්ද අර එකෙක්  සවිනි මගේ , මම සවිනිගේ කියලා වෙච්ච වැඩේ ..

අයියා වැඩ කරුනේ ..අපිට ඕනේ දැහැමි එකක්... 

හැබැයි මෙහෙමයි මල්ලි මම එකක් නම් ලියුවා මව් ගුණ ගැන ...මෙන්න මෙහෙම යන්නේ 

" යෝ යෝ නිගා නිගා 
කාසල් එකේ වාට්ටුවේ 
විලි රුදාආ ආ ආ ව 
දරා බිහි කලේ 
උඹ මේ ලෝඕ...කෙට 
උඹ ලොකු වෙලා 
පොරක් උනාආආ ම 
සලකන්නේ මෙහෙමද 
උඹ ලෑ අම්ම්ම් ..මට 

 යෝ යෝ නිගා නිගා .. බේ බේ ..අම්ම්ම් මට ..."

අයියේ ඒක හොඳයි හැබැයි අර යෝ යෝ නිගා නිගා කියන කෑලි ටිකයි අර අම්මට අම්මට කියන එකයි ගැලපෙන්නේ නෑ වගේ 

අනේ මේ... තමුසේ ආවද මට කියලා දෙන්න සාස්තරේ ....යෝ යෝ නිගා නිගා නැතුව රැප් කියන්න පුලුවන්ද ? ඒවා නැති උනාම එක නිකන්ම කුනුහරුපයක් වෙනවා නේ ...

අයියේ මේක වෙසක් නේ ..මොකක් හරි වෙන එකක් කරමු සර්ධාව වැඩිවෙන්න ..

හැබැයි යෝ යෝ නිගා නිගා දාන්න වෙනවා 

හා හා හරි 

එහෙනම් මෙහෙම ගමු . ..

හ ...හ හ ...යෝ .... ඔබේ රාගී මන කැ ළ බෙදෝ ..යෝ.. යෝ .. 
පිවිතුරු හදවත . .. නිගා නිගා .. පෑ ..රේදෝ ..
ඒවන්  මේසුතන් ඒකන්  සමයං ...  අපි දෙන්නා හිමිදිරියේ පාන තියන්  .. 
බේබේ ..
එම විට පවසනු මුවින් ඔබේ ... 
යෝ යෝ නිගා නිගා ...
  
අනේ මන්දා අයියේ ...

බය වෙන්න එපා ...මම මේක පොඩ්ඩක් ටියුන් කරලා ගන්නම් .. දැන් කවුද මේ රැප් එක කියන්නේ ?

ආ ඒකට ඉන්නවා අපේ දහම් පාසලේ මල්ලි කෙනෙක් ..කිසාන් ... මරුවට කවි විරිඳු එහෙම කියනවා 

එහෙම බෑ මල්ලි .. රැප් කියන්න රැප් පොරක් හොයාගන්න ඕනේ ..

මූ හොඳයි අයියේ , සිස්සත්තේ කළා විතරයි ..සෙල්පි රැප් එහෙම කියන්න පුරුදු වෙනවා .

එහෙමනම් ඉස්සරහ පස්ස මාරුකරලා කැප් එකක් වත් දාලා ගන්න ....අනික රැප් නමක් දාන්න ඕනේ .. ... 

කොල්ලගේ නම කිසාන් දොන් ..

වාසගම ඕනේ නෑ ..ඔය ටිකෙන් හදමු එකක් .. මෙහෙම දාමු ....  ගැන්ස්ටා ගතියක් තියලා....ඩොන් කී ...කොහොමද ?

20 April 2016

කාච දෙකේ කැමරාව සහ මාර වෙනස



මම යූ  ටියුබ් පරම්පරාවට වඩා වයස්ගත වුවද , ඉඳ හිට නිරතුරු මා නරඹන චැනල කීපයක් ඇත . ඒවා මාගේ විනෝදාංශ හා සබැඳි ය . මේ චැනලය (mattday) ඉන් එකකි . මොහු වෘත්තියක් හැටියට කරන්නේ සොහොන් ගල් කෙටිමය , ඔහු ගේ විනෝදාංශය චායාරූප ශිල්පයයි . මේ දෙකම මතකයන් අල්ලා රඳවා ගැනීමේ , ඝනීභවනය කිරීමේ දෙවිදියක් . නමුත් චායාරූපකරණයට ඔහුගේ පිවිසීම ටිකක් අමුතුයි . ඔහුට එය විනෝදාංශයකට වඩා ජීවන රටාවක් (ලයිෆ් ස්ටයිල් එකක් ) 

මේ අත්භූත කාච  දෙකේ පෙට්ටි කැමරාව ගැන මම ඉගන ගත්තේ මේ මාර්ගයෙනි . මෙය TLR  මාදිලියේ කැමරාවක් . ඒ කියන්නේ සාමාන්‍ය SLR  කැමරාවක් මෙන් , රූපය දකින්නට හා ෆිල්ම් එකේ රූපය  ඇඳීමට එක කාචයක් වෙනුවට මේ කාර්යයන් දෙකට කාච දෙකක් තිබීමයි (ඔව් ඔව් ඒ වගේ වෙනත් සංසිද්ධිත් තියෙනවා තමා ..හැක් හැක් ) . ඉතින් ඔන්න මේ වගේ දෙයකට මගේ හිතෙත් ආසාවක් ඇඳෙන්න ගත්තා .  ඉතින් ඔන්න  හිතලා හිතලා , මමත් ගත්තා එකක් . 

ඉස්සර,  හැම තැනම ඒජන්සි තැපැල් කන්තෝරු නොතිබුණු කලෙක , හැඳුනුම් පතකට , අයදුම් පතකට ජායාරුපයක් ගන්න ස්ටුඩියෝ එකකට යන්නම ඕනේ .  එහෙම ගියහම පකිස් පෙට්ටියක් වගේ එකක් මත හිඳුවා  ( බොහෝ විට එය කළු රෙද්දකින් වහපු  පකිස් පෙට්ටියක්මය )  පින්තුරේ ගත්තේ මහා පෙට්ටි කැමරාවකින් .  මේ වැඩේට මීට වඩා පොඩි උපකරණයක් තිබ්බෙම නැත්ද  අනන්තවත් හිතුනත්, දැන් තමයි දන්නේ,  ඒ විශාල ආකෘතියේ (large  format ) කැමරාවක් බව . දැන් තමයි දන්නේ එහි කොලිටියේ තරම .

ඒ large  format  නේ , මේ කැමරාව මධ්‍ය ආකෘතියේ , medium format . හදලා තියෙන්නේ 1939 ඉඳන් 1945 වෙනකන් . සම්පුර්ණයෙන්ම මැනුවල් . ස්වයංක්‍රීය කොටස් කිසිවක් නැත . සැකසුම නිකන් යුද්ධ ටැංකියක් වගේ . හැබැයි අවුරුදු අසූවකට කිට්ටුවෙන්න වයස උනත් භාණ්ඩේ වැඩ . හැට  පැන්නත් වඳුරෝ ....

මේ වෙනකොට මම රෝල් දෙකක් තුනක් පින්තූර අරන් තියෙන්නේ . ඇත්තටම අත්දැකීම මාර වෙනස් . වෙනත් වෙනස් කම් වගේ නෙමෙයි මේ වෙනස නම් , පොඩි මෙව්වා එකක් තියෙනවා ( වෙනස සැපද කියා ඇසීම නොමනාය ). ලොකුම වෙනස නම් චායාරූපයක් ගැනීම ඉතාම කල් ගතවෙන අත්දැකීමක් . එය ඔබට හිතන්නට කල් දෙනවා , හිතන්නට බල කරනවා . මුළු අත්දැකීමම විඳින්න ඉඩ සලස්සනවා . මම චායාරූප ගන්න පටන් ගත්තේ ෆිල්ම් කැමරාවකින් උනත් , එහි ස්වයංක්‍රීය නාභී ගත කිරීමේ පහසුකම (auto  focus ) මෙන්ම ස්වයංක්‍රීය සැකසුම් (auto settings ) පවා තිබුනා . මේ කැමරාව ඊටත් ප්‍රාථමිකයි . ඒ කිසිත් නෑ . මරු .

( ඔන්න දැන් මද විරාමයක් සහ පොඩි ඇඩ් එකක් )
මම මේ කැමරාව ගැන , එයින් ගත පින්තූර ගැන වැඩිදුර මෙහි (pinchpointfotos) ලියුවෙමි . ඔබ උනන්දු නම් ගිහින් පොඩ්ඩක් කියවන්න කියා ආරාධනා කරමි . 

ඔබත් මා මෙන්,   ආධුනික, විනෝදයට චායාරූප ශිල්පය හදාරන්නෙක් නම් , පුලුවන්නම් මැනුවල් ෆිල්ම් කැමරාවක් හොයාගෙන රෝලක් දෙකක් පින්තූර  ගන්න . එය ඔබට අධ්‍යයන අත්දැකීමක් වේවි. 

ඇත්තටම ඒ වෙනස මාරය  

16 April 2016

අවුරුද්දට ගම ඒම - පොඩිහිටියාගේ රචනයකි

මෙය රචනාවකි . ලාංකීය අධ්‍යාපන ක්‍රමය එක තැන ලොප් වෙතැයි කීමට , අවුරුදු තිහක් තිස්සේ පාසැල් රචනා මාතෘකා නොවෙනස්ව තිබීමම සෑහේ . රචනාවේ කතෘ , මා මිතුරු තෙමේ පුත් , ඔබ සැම දැන් හඳුනන , පොඩිහිටි තෙමේමය .


අවුරුද්දට ගමේ යාම 

අවුරුද්ද යනු සුරියා මීන රාසියෙන් මේස කිහිපයකට සම්ප්‍රාප්ත වීමයයි ඇල්බට් අයින්ස්ටයින් කිව්වා යයි ෆේස් බුක් එකේ තිබුණි .  අවුරුද්දට ගමේ යාම අනාදිමත් කාලෙක සිට පැවැත එන සිරිතකි . 

එය අපේ පවුලට විශාල ප්‍රශ්නයක් විය . ඒ,  අවුරුදු කන්නට අපේ තාත්තා ගන්නා ෆෙස්ටිවල් අල වන්ස් එක ගෙවන්නට වෙන නිසා , වෙසක් මාසේ සිට අග හිඟ කම් වැඩි වීම නිසාම නොවේය . යන්න ගමක් අපේ අම්මාටත් තාත්තා ටත් නොතිබුණු බැවිනි . අපේ අම්මාගේ ගම බත්තරමුල්ලය . තාත්තා ගමේ ගියාට,  යන්න මහගෙදරක් නැත . එය උගසටද මොකටද සින්න වුනා යයි තාත්තා දවසක් කීවේය  . මේ නිසාම කලකට ඉහත තාත්තා බණ්ඩාරගම පැත්තෙන් පොඩි ඉඩම් කෑල්ලක් අඩුවට ගත්තේ , අහළ පහළ  එවුන්ට පෙනෙන්නට , හිතේ හැටියට ගමේ යන්නය . නමුත් එය ලාබෙට ලැබුනේ කනත්තකට අල්ලලා තිබුණු නිසාය . වත්තේ තිබුනේ ගෙඩි නැති  දෙල් ගහක් සහ පාලු ළිඳකි . ගමේ අපි දන්නා අඳුනන කවුරුත් නැත . ඉතින් අපි ජනෙල් දොරවල්  වසා දමා , යතුර අල්ලපු ගෙදර සෝමා ඇන්ටිට දී, උදේ පාන්දරින් ගමේ ගියාට,  කරන්නේ , පානදුරෙන් බැස , ටවුමේ හෝටලේකින් දවල්ට කා , හන්දියේ එළවලු තට්ටුවකින් කොටු එළවලු ටිකක් ගෙන හවස නැවත ගෙදර ඒමය . අපේ අම්මා ඒවා බෙදන්නේ ගමේ කොටුවේ එළවුළු කියාය .   වැඩේ  දෙල් උනේ බණ්ඩක්කා මල්ලක දවසක් කැරට් අලයක් තිබිලාය . (මේ කොටස වාරණය වුයේ රාජ්‍ය රහස් පිටත දීම වැලක් වීමටය .  තොරතුරු දැන ගැනීමේ පනත ගැන කීමට ගොස් මාධ්‍යවේදියෙකුට කණ අනෙක් අතට කරකැවීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණ දීමටද  සිදුවිය ).

ඉන් පසු තාත්තා ගමේ යාම නවතා දැමුවේ ලංකාවේ හැම තැනම ගම්  මිසක් නගර කොහේද  කියා අසමිනි . මට ඒ හරුපේ එතරම් තේරුනේ නැත . 

ඉතින්  දැන්  නම් අපි ගමේ යන්නේ නැත්තෙමු . ඒ ගම අවුරුද්දට අපි වෙත එන බැවිනි . අපේ ගම තියෙන්නේ රූපවාහිනියේය .  ඒ ටීවී එකේ තියෙන ගම ගමෙත් නැත . හැමෝම ඉන්නේ හිනාවෙලාය . අවුරුද්ද දාට ගම්  වල ඉන්න කණ සාක්කුවේ දා ගත්ත මාමලා එහි නැත . බඩ  පෙනෙන්න හැට්ටේ ඇඳලා , කකුල දණහිසටත් උඩට පෙනෙන්න පාට පාට රෙද්දේ ඇඳලා ඉන්න එළකිරිස් සිරියාවන්ත ගැමි ලියෝ , ලස්සනට එකට නටති . හිටපු ගමන් රබානක් වට කරගෙන රබානට නොරිදෙන්නට රබන් ගසති . සමහර රබන් පද අපේ ආච්චි දන්නෙත් නැත . සමහර ඒවා සින්දු රබන් පද කරලාය . රම්බරි සින්දුවත් එසේ වැයිය  හැකිය .

කොන්ඩෙ ජෙල් ගාලා පැත්තට පීරපු , චන්න සර් ගේ පන්තියේ ගැමි තරුණයෝ , සාරංග අයියා එක්ක අර ගැමි ලියෝ ඔන්චිලි පදිනවා බලා සිටිති . අවුරුදු මේසයේ දේශීය ආහාර රැසකි . අපේ ගෙදර මේසයේ මෙන්  මාස් මෙලොස , කුරක්කන් ක්රෑකර්ස් පමණක් නොව , ආස්මි , නාරං  කැවුම් වැනි දුලබ කෑමද ඇත . ටීවී එකේ ඉන්න අවුරුදු විසාරදයෝද ගමේ සංස්කෘතිය ගැන විවිධ දේ කියවති . (අවුරුද්ද ගැන , වෙසක් එක ගැන , නිදහස් දිනය ගැන , පෙරහැර ගැන ඔය හැම එකකටම විසාරද කොමෙන්ට්‍රි දෙන්නේ එකම කට්ටියය .) අපේ සීයා  නම් කිව්වේ , ටීවී එකට පිං  සිද්ධ වෙන්න, මැරෙන්න ඉස්සෙල්ලා එහෙම ගමක් බලා ගන්න එයාට හම්බවුනා කියලා ය . 

ටීවී එකේ ගමේ ගෙදර ගෘහ මුලිකයා ගොවියෙක් ය . හැබැයි අර අමුඩ ඇඳන් කොළඹ ආපු ගොවියන්ගේ ප්‍රශ්න නම් එයාට නැත . එයා හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවාය. අනික වී මිලදී ගත්තේ නැතත් , පෝර සහනාධාරේ නොලැබුනත් එයා මුළු ගමටම  අවුරුදු පාටියක් දානවාය . ඒ සල්ලි ඉතුරු කර ගත්තා නම් සහනාධාර එච්චර ඕනේ නෑ  නේද කියා මම ඇසු විට තාත්තා කීවේ , එහෙම කරන්න බැරි බවය . ගිණි  පොලියට ගත්තත් , බුරිය උල් වෙන්න අවුරුදු නොකා සිංහල කම රකින්න බෑ  කියාය .

09 April 2016

තෙසක් රියේ විසේසඥයා

මල්ලි යමුද හයර් එකක් ?

හරි යමු සර් 

ප්රාරාරාට්  ටට් ටට් ටට් , ට්රූම් ට්රූම් ට්රූම් 

මීටර් ද ?

ඔව් සර් හැබැයි වැඩ කරන්නේ නෑ ..හදා ගන්න ඕනේ 

ආ එහෙමද?   කමක් නෑ යමුකෝ 

මෙන්න ඇඩ්රස් එක.. මේ ලඟම වෙන්න ඕනේ 

සර් මම නම් හරියටම දන්නේ නෑ , මම කොළඹ නෙමෙයි නේ 

ඈ , ඒකත් එහෙමද , ඔයා ටැක්සි එලවනවා පාරවල් දන්නේ නෑ 

ඔව් සර් මම කුරුණෑගල 

ආ ඇත්තද කුරුණෑගල කොහෙද ,

කුරුණෑගල , ***

එහෙ කොහේද , මම ලඟදි ගියා ඒ පැත්තේ .. අර සමුපකාර ස්ටෝරුවක් තියෙන්නේ 

දන්නේ නෑ සර් ...මම කාලෙකින් ගමේ ගිහින් නෑ , කොළඹමනේ දැන් අවුරුදු ගානක් 

ඒකත් එහෙමද 

සර් මේ යහපාලනේ ගැන මොකද හිතන්නේ ?

අනේ මන්දා එහෙම එකක් තියෙනවද දැන් ?

හෙහෙහෙ.. ඒකත් ඇත්ත ...දැන් බලන්න සර් ඔක්කොමත් හරි අර වොකින් ට්‍රැක් එක ගලවලා නේ ...ඒක වය්වස්තාවට උනත් පටහැනියි කියන්නේ .

එහෙමද 

ඔව් ඔය පටන් ගත්තා විතරයි ....ඇහුවද ගිය සතියේ සලකුණ ?

මොන මළකුණ ද 

නෑ නෑ සර් , අර බෙංගමුවේ හාමුදුරුවෝ ආවේ සාකච්චාව 

නෑ  මොකද කිව්වේ 

උන්නාන්සේ කියනවනේ උන්නාන්සේ ගේ ඔත්තු සේවයට අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියලා 

උන්නාන්සේගේ මොකක් කිව්වා ...තොත්තු සේවය ??

රහස් ඔත්තු සේවය. ... උන්නාන්සේ ඕවා දන්නවා .... මොකෝ උන්නාන්සේනේ යුද්දේට අණ දුන්නේ උඩින්ම 

නෑ ...දැන් හාමුදුරුකෙනෙකුත් උප්පැන්නේට අත්සන් කරන්න හදනවද ?

ඔය හාමුදුරුවන්ට පීල්ඩ් මාෂල් එකක් දෙන්න තියෙන්නේ සර් 

ඔහෙත් පාරවල් දන්නේ නැති උනාට අනිත් ඔක්කොම හොඳට දන්නවනේ 

(නිහඬ තාවය ) 

සර් මමත් මෙහෙම හිටියාට රණ විරුවෙක් 

සමාවෙන්න මම දැන ගෙන හිටියේ නෑ ...ආමි එකේද නෙවි එකේද ?

නෑ නෑ මම නෙමෙයි , අපේ බාප්පාගේ පුතා .... ආමි එකේ... දවසක් ෂොට් එකක් දාන වෙලේ මම ඌට කියලා දුන්නා යුද්දේ කරන්න ඕනේ විදිය ... මම හිතන්නේ ඌ ගිහින් උගේ කොප්‍රල්ට කියලා , වැඩේ උඩටම දැනුම් දෙන්න ඇති .... එහෙම බලපුවම මගෙත් සෑහෙන දායකත්වයක් තියෙනවා යුධ ජයග්‍රහණයට ....

(නිහඬ තාවය ) 

සර් දන්නවද ඔය බෙංගමුවේ හාමුදුරුවෝ , අපේ ඈතින් නෑ වෙනවා 

ඒක නම් මට නිකන් හිතුනා 

03 April 2016

ඔහේ හප හපා යන්න ..

ඉස්සර ...

 ඇත්තටම ඉස්සර කිව්වට දැන් නම් දැනෙන්නේ ආත්ම ගණනාවකට පෙර වගේ  , අපි සිංහල අවුරුද්දට ගමේ යන්නෙමු . 

කොටුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් නුවර බස් එකක නැගලා , එතනින් අලකොලංග (ද කොහෙද ) බස් එකක නැගලා , තිස්මඩ හන්දියෙන් බැහැලා , විනාඩි 15ක් විතර පයින් යන්න ඕනේ නුවර ආතම්මලාගේ ගෙදරට (මරු නුවර!! ).
ඔය අලකොලංග බස් එක , එක දොරක් තියෙන බාග සයිස් ලංගම බසයක් . මට බොහෝ විට යන්න ලැබෙන්නේ , රියදුරු අසුනට පිටිපසින් ඇති ගියර්  බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන . ඔය ගියර් පෙට්ටිය උඩ මාර තැනක් , අසුනක් නොවුනත් , අසුනක්ම වෙන.. රියදුරුට ලඟම ..එහෙම තැන් නම් කොච්චර තියෙනවද කියලත් හිතෙනවා ... වටේ යනවා කතාව ..ආයේමත් එමු කොටුව බස් ස්ටෑන්ඩ් එකට ... 

මම මේ කියන කාලේ ඉන්ද්‍රසිරි බසුත් නැත්තේය ..කොටින්ම පෞද්ගලික බසුත් නැත්තේය ... සියලු දන සරණ , සිලෝන් ටකරන් බස්ම පමණි . .. 

පෝලිමේ ඉඳලා නැගලා එක ළඟ සීට් තුනක් අල්ලලා,  අම්මාවයි , අපිවයි ඉන්දන අප්පච්චි , බැහැලා යන්නේ ළඟ කඩේකින් දුම් කුරක් අරන් උරන්න,  අම්මගේ නොරුස්සුම් බැල්ම දැක්ක නැති ගානට . (ප්‍රසිද්ධියේ දුම් බීම එකල අසම්මතයක් නොවුනත් , ඔහු කවදාවත් අප ඉදිරියේ දුම් නොබිව් බැව් එකපාරටම සිහිවිය ..අනෙක් අතට ඔහු දුම් බීමේ ආදීනව කියා දුන්නත් , එය නොකරන ලෙස නොකී බව තුල , තවත් දිගට ලියවෙන කතාවක් ඇතිබැව් සිතේ ).

ඉතින් ඔය බසයට නැගලා ඉඳ ගත්ත ගමන් තෙල් බෙහෙත් කාරයෝ , කැලැන්ඩර්/ ලිත් කාරයෝ , සුවීප් කාරයෝ , යාචකයෝ මෙන්ම ටොපි සිකරේට්  චුයින්ගම් කාරයෝ ද බසයට නගින්නේ තම වෙළඳාම කරගැනීමටය (ඇතැම්හු කන බොන දේ විකුණන අතර , අනෙකෙක්  විකුනන්නේ මිත්යාදෘෂ්ටියයි , යාචකයෝ ස්වීප් කාරයෝ විත් අපේ හිත් වල ඇති අනුකම්පාවේ  සහ බලාපොරොත්තුවේ වණ කසා , කීයක් හරි කඩා ගෙන යන්නෝය . මෙකී නොකී කාරයන් ගෙන් මගේ ප්රියතමයා , ටොපි චෝකලේට් කාරයාය . ඔහු ළඟ ඇති චුවින්ගම් කෑමට මම ඉතා රුචි විමි . 

ඔය චුයින්ගම් අපුරු සංකල්පයකි . ඉතා කෙටි කලකට රසයක් තියෙන , නැවුම් බවක් ලබා දෙන , ටික වෙලාවකින් කොහැල්ලා ගුලියක් වෙන ...එවිට අලුත් චුයින්ගම් පෙත්තක් පැකට්ටුවෙන් ගෙන කටේ දමා ගත යුතුය .... එවිට කටේ තිබෙන චුයින්ගම් ගුලියේ තරම දෙවරක් වේ ..හැබැයි මෙය දිගින් දිගටම කරගෙන යාමේදී හපන්නට බැරි තරමට ගුලිය විසල් වේ . .. ඔක්කාරයට එයි..(එවිටනම්  ලංගම බසයක නුවර යන සත් හැවිරිදි කොලුවෙකුගේ තත්වය ඉතා සෝචනීය වේ ... චන්ඩි ගති ක්ෂණිකව වාෂ්ප වී , මවගේ ඇඟට හේත්තු වෙන්නට සිතේ ..)

චුයින්ගම් , වෙළෙන්දන් විකුනන්නේ , "බබාට චොකලට් , නෝනාට ලොලිපොප් , බේබිට චුවින්ගම් ... ගමන් වෙහෙස නිවෙන්න , හප හපා යන්න " වැනි යමක් කියමින් බව මට මතකය . දැන් හිතනකොට එය මොන කුනුහරුපයක් දැයි කියා සිතේ  . අනෙක් අතට හැම වෙලෙන්දෙක්ම කියන්නේ කුනුහරුපමය . ඒත්  මිලදී ගන්නන් නොඅඩුය . විකුනන්නේ භාන්දම පමණක් නොවේ , අදහස් ආකල්පද නිදහස් ආර්ථිකය තුළ අලෙවි කෙරේ . ඇතැම් ඒවාට රාජ්‍ය සහනාධාර ලැබේ , ඇතැම් ඒවා වලට වෙළෙඳ ඒකාධිකාරියක් ඇත .

දැන්නම් බස් වල චුයින්ගම් කාරයෝ හිඟය . ඔවුන් දැන් මාධ්ය්ය අංශයේ ප්‍රවුර්ති විකුණන සෙයකි .

පලි 
ලිත් කාරයෝ , සාත්තර කාරයෝ රූපවාහිනී චැනල්වලය , සංවර්ධනයේ ලොතරැයි අපිට විකුණා උන් සංවර්ධනය වන ස්වීප් කාරයෝ පළාත් සභාවේය , පාර්ලිමේන්තුවේය .... මුළුරටම යාචකයෝය .

පලි යට පලි 
ඇත්තටම ලංකාවේ උග්‍ර නිව්ස් හිඟයක් පවතින බව , නිව්ස් බලන අයෙකුට පෙනේ . මේ එට්කා එක යටතේ හෝ ඉන්දියාවේ නිව්ස් මෙහෙ චැනල් වල හඬ කවා ප්‍රචාරයට ඉඩ ලබා ගන්නේ නම් එය මහඟු සේවයකි . එතකොට සිංහලෙන් ඇඩ් එකක් දෙකක් පමණි