14 December 2016

ඇසිලියාගේ සාත්තරේ (විකාශනය), තිත් සහ ඉරි ප්‍රහේලිකා සහ මෝඩයන්ට ජෝක් පත්තියන් වීම

කලකට පෙර මම  ,  හැම දෙයටම රෙද්ද කඩපු  ඇසිලින් ගැන මේ අඩවියේ ලියුවෙමි .  ඔබ කිහිප දෙනෙකුට හෝ එය මතක ඇති https://pinchpoints.blogspot.hk/2012/06/blog-post.htm.

ඇසිලින් රැකියාවක් හැටියට කලේ ස්වයං ව්‍යාපාරයකි . කොටින්ම ඇගේ  මුළු පවුලම පාහේ මේ ව්‍යාපාරයේ යෙදුනහ. 
දෙටු පුත්‍රයා නිෂ්පාදන අංශයද , කනිටු පුත්‍රයා බෝතල් කිරීමේ අංශයද බාරව සිටි අතර , වෙළඳ අංශය බාරව සිටියේ ඇසිලියා ය . ඇගේ  සැමියා , වැලිකඩ බෝඩිමේ වැඩි කාලයක් ගත කළ  අතර , නිවාඩුවට ගෙදර විත් සිටින කාලයේ රස පරීක්ෂක ලෙස කටයුතු කළේය .

මීට අමතරව ඇගේ  අලෙවි හලේ නිරතුරු ගැවසුණු පාරිභෝගිකයන් කිහිප දෙනෙකි . ජෙමා ඒ අතරින් එකෙකි . ඔහු ගැන විස්තර කරනවා නම් , ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම ජෙමෙක් ම විය 

ඉඳ හිට , ඇගේ  තිප්පොල පොලිසියෙන් වටලන්නේය . පොලිස් ජීප් එක වැයික්කියට ඇතුළු වූ වහාම ආරංචිය ලැබෙන්නේය . වැඩිපුර බූලි  දෙක තුන ඒ ලැබෙන ඉඩ කඩින් සැඟ වෙන්නේ , එඬරු යායේය . පොලිසියේ මහත්තුරු වත්තට ඇතුළු වූ වහාම නිසැකයෙන්ම සිදුවන සිද්ධීන් තුනක් ඇත  . මුලින්ම ඇසිලියා රෙද්ද කඩා දමන්නේය , ඉන්පසු ජෙමා හූ  කියන්නට ගන්නේය , ඉන්පසු කවුරුන් හෝ ජෙමාගේ  සරමත් කඩා දමන්නේය . පොලිස් නිලධාරීන් මේ දර්ශනය මගහරින්නට එහේ  මෙහෙ දුවති 

මේ ජරමර ඇසිල්ලේ , බොහෝ දෙනෙක් මාරුවෙන්නෝය .

අහුවෙන දෙතුන් දෙනාට පොළී  සමග පොලිස් ගුටි ලැබුනද , නඩු සාක්කි නැති බැවින්  ටික දිනකින් ලාබෙට නිදහස් වෙන්නොය .සිද්ධිය එසේ සිදුවේ .

ඇසිලියාගේ මේ සාත්තරේ සමාජයේ විකාශනය වී ඇති සෙයකි .

සුපර්ස්ටාර් සංජන්ලාගේ   අනිත් එවුන් ගේ රෙද්ද කැඩීමේ සිට , පාර්ලිමේන්තුවේ දී ජෙමා ලාගේ රෙදි කඩා  පුරුෂ ලක්ෂණ පෙන්වීමේ සිට, කැප්ටන් හැඩොක් ලා , ටින්ටින් ලාට කණට  ගසා රෙද්ද කඩා දැමීම දක්වාම ඇත්තේ ඇසිලියාගේ  මේ සාත්තරේ ම නොවේදැයි මට විටක  සිතේ . 

රෙදි කැඩෙ , හෙළුව පෙනේ  , හූ කියවේ , බඩු බූලී පිටින් මාරුවේ .

***
පොඩි කාලේ , මම කැමතිම ප්‍රහේලිකා වර්ගයක් වුයේ තිත් යා කර චිත්‍රයක් මතුකර ගැනීමේ ප්‍රහේලිකා ය . තිත් ටික විසඳන්නාට ලැබේ , නමුත් ඒවා යා කරන ඉරි තමන් විසින් විසඳා ගත යුතුය . මුළු චිත්‍රය මතුකර ගත හැක්කේ තිත් දෙස බලා සිටීමෙන් නොව සම්බන්ධතා කියවීමෙනි 

 ලංකාවේ දේශපාලන යයි බොහෝ විට පෙනෙන්නේ , දේශපාලනය හා සම්බන්ධ සිද්ධීන් ය . මේවා කියවීමෙන් , දේශපාලනය කියවිය නොහැක . 

වර්ජන ,  වොයිස් කට් පමණක් නොව , බල පෙරලි හා මතුවී එන  නායකයින්ද මේ තිත් ඝනයට අයත්ය . 

සිද්ධීන් කියවීමේදී , ඒවා සම්බන්ධ  පුරුක් නොපෙනී යයි .  නමුත් දේශපාලනය කියවිය හැක්කේ පුරුක් කියවීමෙනි . 

එසේ සිතන්නට වූ කළ  මේ ගොන් ජෝක් වල භයානක කම මෙන්ම , ඒ ජෝකර් ලා ගේ භූමිකාවද පෙනෙන්නට ගනී 

***

මෝඩයෙක් එකම විහිලුවට තෙවරක් සිනාසෙන්නේලු .

මුලින්ම  අනෙකුන් සිනාවෙන නිසාද,  දෙවනුව විහිලුව තේරී ද, තෙවැනුව මුලින් බොරුවට සිනහා වූ බව සිහි වීද ඔහු සිනහා වේලු . නමුත් අන්තිමට ඇඬේන විහිලුත් ඇති බව මට සිතේ 

14 comments:

  1. උඩ ලින්ක් එක වැඩ නැත. මේක ක්ලික් කර බලන්න.
    https://pinchpoints.blogspot.com/2012/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ඒක කිහිප සැරයක් බැලුවා, මොකක්දෝ හේතුවකට වැඩ නැත

      Delete
  2. නාහෙට නාහන නා.හ. පති අදාල රිපෝට්ව කලින් ම හඳුණා ගෙන දෙඤ්ඤං සම්බුව කියා සෙට් වී පැමිණ ඇති බවයි පේන්නේ.

    ඇසිලිං වගේ අහිංසක වැඩක් නොවේ!


    "මෙහිදී මාධ්‍යවේදියකුට පහරදීමක්‌ කළා දැයි නාවික හමුදාපතිවරයාගෙන් "දිවයින" කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

    http://www.divaina.com/2016/12/12/news02.html

    මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා."

    ReplyDelete
    Replies
    1. මෙය සිල්ලර සිද්ධියක් නොවන බවට එකඟයි .

      ඒත් මේ අතරේ , බුලී දෙක තුනක් හැංගුනා වගේ දැනෙනවා

      Delete
  3. මම දුටු නිර්මාණශීලීම පෝස්ටුව මේ

    චන්ද එල්ලාවලගේ...

    නහයට ප්ලාස්ටර් එකක් දාගෙන අපු
    මගේ මාධ්‍ය මිත්‍ර‍යා දැකලා මං කලබල උනා...

    මොකෝ උනේ..

    ප්‍ර‍හාරයකට ලක් උනා නේ...

    සිරාවට මොකක් ආවරනය කරන්න ගිහින් ද ?

    බොක්සිං මැච් එකක් බං
    මං හොඳ පින්තූරයක් ගන්න වලල්ල ඇතුලට ගියා
    මං මාධ්‍ය මාධ්‍ය කීවත්

    උෟ මට අමානුශික ප්‍ර‍හාරයක් එල්ල කරා.

    ReplyDelete
  4. //සිද්ධීන් කියවීමේදී , ඒවා සම්බන්ධ පුරුක් නොපෙනී යයි . නමුත් දේශපාලනය කියවිය හැක්කේ පුරුක් කියවීමෙනි . //
    පැත්තකට වී මනසින් තිත් යා කිරීම ෆන් වැඩක් වුවත් රූපය මතු වූ විට බොහෝ විට ඒ ෆන් එක නැතුව යයි. හරියට යා කළොත් බොහෝ දේ පෙනෙන තරමට මේ වන විට තිත් ස්ථානගත වී තිබේ. කණගාටුවට කරුණ වන්නේ ගොඩක් අය විසින් පුරුක් අමතක කර තමන්ට අවශ්‍ය රූපය ඇඳෙන පරිදි තිත් යා කර ගෙන තාවකාලික සුවයක් විඳිමින් සිටීමයි. පිටස්තරයන් වන අපට ලොකු දෙයක් කිරීමේ හැකියාවක්ද නැත.

    ReplyDelete
    Replies
    1. විවාදයකට වගේ මෙහෙම ඇහුවොත් .... රූපයට බයෙන් යා නොකර සිටීම ?

      අනෙක් අතට අපි තිත් යාකර අඳින්නේ අපිට ඕන රූපය බවත් හැබැව ...

      අනෙක් අතට ඇතැම් විහිලු වලට , සිනා නොයයි , හැඬුම් එයි

      Delete
    2. //විවාදයකට වගේ මෙහෙම ඇහුවොත් .... රූපයට බයෙන් යා නොකර සිටීම ?//
      විවාදයක් නෑ. එකඟයි. මනසින් තිත් යා කළත් එතැනින් එහාට ගිහින් පැන්සලෙන් යා නොකර සිටීම වඩා සුරක්ෂිතයි.

      Delete
  5. මේවා නම් ඇඬෙන විහිළු. දැන් දැන් සිද්ධවෙන දේවල් බැලුවාම බූලි හංගන එක තමයි ටාගට් එක. අනිත් කෑලි නාට්ටියට එල්ලපු ඒවා. අර ගෝනි එලුවා මොඩ්ල් එකේ ඒවා.

    /////ඇගේ සැමියා , වැලිකඩ බෝඩිමේ වැඩි කාලයක් ගත කළ අතර , නිවාඩුවට ගෙදර විත් සිටින කාලයේ රස පරීක්ෂක ලෙස කටයුතු කළේය .////////
    මෙන්න පොරවල්.

    ReplyDelete
  6. " ලංකාවේ දේශපාලන යයි බොහෝ විට පෙනෙන්නේ , දේශපාලනය හා සම්බන්ධ සිද්ධීන් ය . මේවා කියවීමෙන් , දේශපාලනය කියවිය නොහැක"

    සහතිකෙන්ම..........

    ReplyDelete
  7. එල ද බ්‍රා
    දැන් රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි
    නාවික හමුදාපති එල්ලමු

    ReplyDelete
  8. මටත් කියන්න තියෙන්නෙ රෙද්ද කැඩීම වගේ අහිංසක දෙයක් නෙවේ මේක.කරන්නාට සෙල්ලං වුනාට විඳින්නාට ලෙල්ලමක්.

    ReplyDelete
  9. ඇසිලින් ව මහන කරමු පටාචාරාව වගේ.. ජෙමා ට පුරුදු කරමු මල් පැණි බොන්න.. පොලිසිය විසුරුවා හරිමු.. සමහර ජෝක් වලට හිනා යන්නේ නැත. ඒ වගේම හිනායන සමහර කතන්දර කිසිසේත්ම ජෝක් නොවේ.. :)

    ReplyDelete

Have commented