18 February 2018

ඇඩ් අස්සේ කතාව , කතාව අස්සේ ඇඩ්



මතකද ආයිබෝං,  ඩයස් මහත්තයාගේ, නන්දිනී ගේ, දීප්තිගේ, සම්පතාගේ, සුදු සීයාගේ කතාව. දූ දරුවෝ. ටෙලි නාට්‍ය කලාවට, කර්මාන්තයට ස්ටෙරොයිඩ් එන්නත් කරන්න  කලින්, පවුල් පිටින් රොද බැඳගෙන බලපු. මතකද නාට්‍යය මැදදී ගිය රක්ෂණ වෙළඳ දැන්වීම ?

කාලෙකට පස්සේ මම කොහේදෝ කියෙව්වා , නාට්‍යය හැදුවේම වෙළඳ දැන්වීම ප්‍රචාරය කරන්නමයි වගේ කතාවක් . ඒ වචන වලින්ම නොවුනත් . ඇත්තටම දැන් වුනත් බැලුවොත් ඒ වෙලඳ දැන්වීම කතාවේම කොටසක් වගේ .
එතකොට අර "අහිංසා ඔයා ..? " දැන්වීම . දැන් පසුව හිතනකොට හිතෙන්නේ නැද්ද නාට්‍යය හැදුවේ වෙළඳ දැන්වීමට මග පාදන්න කියලා . ඇයි අර බවර් ගේ පොහොර දැන්වීම්  අස්සේ ගහපු මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය

ඒත් මේ  දවස් වල ක්‍රමය ටිකක් වෙනස්,  ආයිබෝං .. සහෝදරයා නාට්‍යය මැද්දේ යන්නේ , සුපර් ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එකක් . ගැලපෙනවා නිකන් මස්  කරියකුයි වැනිලා අයිස් ක්‍රීමුයි වගේ .  හැබැයි අවුලක් නෑ  අත්දැකීම නාට්‍යයෙන් පටන් අරන් , නාට්‍යයෙන් ඉවර වෙනවා . ඒත්  ටෙලිය බලලා නැගිටිනකොට , හිතේ අස්සේ ක්‍රීම් කැකර් එකක් ගැන දොළක් පැලවෙලා . එහෙම නැත්නම් අර ඇඩ් එක දැක්ක ගමන නාට්‍යය අමතක වෙනවා




මේ දවස් වල තව නාට්‍යයක් රඟ දැක්වෙනවා . අලුත් ආණ්ඩුව .. ඒකේ එක එක කොටස් වලට වෙන වෙනම  අනු ශීර්ෂ .
පොහොට්ටුව පිපේ .. වෙනස් වූ ජනමතය .. රතු එලිය .. තනි අලියා ආණ්ඩුව ... රනිල් ගෙදර පළ ... ඌ වෙනුවට කරූ .. නිදිමත අගමැති ... මේකේ ඉන්නේ ගේම් කාරයෙක් . ජෙහාන් ලා මොන ගේම් කාරයෝද ... ඒකේ ඉන්න ප්‍රධාන චරිතේ එකපාරටම කතාව නවත්වලා "තේ කක් බොමුද " කියලා අපෙන් අහනවා .
ඒ අස්සේ සැබෑ වෙනසක් කියලා ඇඩ් එකක් පෙන්නවා, විටෙන් විටේ . හීන්දෑරී තලත්තැනි මනුස්සයෙක් කොස් කොළ ඔටුන්නක් දා ගෙන ඇවිත්, ලී කඩුවක් වන වනා විරිදු වගයක් කියනවා .

ඒ අස්සේ එක පාරටම නවත්තපු අර සති ගානක් තිස්සේ පෙන්නපු ඇලාගේ කතාව මතක් වෙනවා .

සමහර වෙලාවට ඇඩ් එකයි කතාවයි වෙන්කරලා අඳුනගන්න අමාරුයි ආයිබෝං . කතාව ඇඩ් එකද , ඇඩ් එක කතාවද කියලා පැටලෙනවා .  එහෙමත් නැත්නම්,  ඔක්කොම ඇලාගේ ඉරණම කියන කතාව අස්සේ හෝ වෙන කතාවක් අස්සේ පෙන්නන , ඇඩ් ද මන්දා කියලා  හිතෙනවා . 

ඇඩ් බලලම අපිට කතාව අමතක වෙලාද මන්දා ආයිබෝං 

12 comments:

  1. ටී වී බලන්නේ නිව්ස් බැලීමට පමණි... කූඹියෝ කතාව පොඩි එකා ඊටත් වඩා රස කර කියන නිසා ඒක බලන්නේත් නැත...

    ReplyDelete
    Replies

    1. ඔබ කොමඩි වලට ඇබ්බැහි වෙලාද මන්දා :)

      Delete
  2. මේකත් ඇඩ් එකක් ද මන්දා..? 🤔

    ReplyDelete
    Replies
    1. දැන් ඇඩ් කතා වෙන්කරලා අඳුනගන්න අමාරැයි තමයි.

      Delete
  3. ඇඩ් දිරවන්නෑ දැං. යූ ටියුබ් සරනං ගච්චාමි.

    ReplyDelete
    Replies
    1. ඒ යු ටියුබ් එකෙත් ඇඩ් යනවනේ

      Delete
  4. ටීවී බලෙන්නෙම නැති නිසා මේකට කොමෙන්ට් නොකර හිටියොත් කොන් වෙයිද? ඉස්සරනම් දු දරුවෝ දරු මුණුබුරෝ බලද්දී ඇඩ් එකක් දෙකක් ගියාට ඒ හැටි දැනුනේ නෑ. ඒවත් නාට්ටියේම කෑලි වගේ තමයි මතක තිබ්බේ.. එතකොට අර මාසෙකට සැරයක් ඊ.ඒ.පී. එදිරිසිංහ සමුහ ව්‍යාපාර ස්වර්ණමහල් අනුග්‍රහයෙන් ගිය සිංහල ෆිල්ම් එක.. ඒකෙ යන එකම විදියේ ඇඩ් ටික මට ඒ කාලේ කටපාඩම්. :)

    ReplyDelete
    Replies
    1. කමි ඒක තමයි සමහර ඇඩ් කතාවෙන් වෙන්කර ගන්න බෑ. සමහර ඇඩ් කතාවේ මූඩ් එක මරන්නම තමයි හදලා තියෙන්නේ...

      ඇඩ් කිව්වම ඇයි " සිනමාවෙන් කවුලුව රෑපවාහිනියෙව් හිමි අහිමි වේදිකාවෙන් ඔතෙලෝ..."

      Delete
  5. පරණ බ්ලොග් ලිපිවලට නැවත නැවත ඇඩ් දැමීම නම් මා ප්‍රිය කරන දෙයක්!
    https://rasikalogy.blogspot.com.au/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html

    ;-)

    ReplyDelete
  6. මටත් මතකයි දුදරෝ සහ ඇඩි එක. එතකොට පොඩි නිසා හිතාගෙන හිටියේ ඇත්තටම නාට්‍යයේම කොටසක් කියලා :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමහර ඇඩ් ඒ වගේ

      Delete

Have commented