21 February 2015

මහත්වරුනි please ..... (පලමු කොටස ) // Gentlemen Please

සතුරෙක් ඕනෑ  කර තිබේ (Mahinda please)

සතුරෙක් නැති තැන වීරයෙක් නැත . වීරයාගේ තරම දුෂ්ටයාගේ තරමටය . දුටු ගැමුනුට එළාරය , ගම්මන්පිලට සාලිය , දෙදහස් නවයේ මහින්ද රාජපක්ෂට ප්‍රභාකරන්ය . 

එළාර දුටුගැමුණු යුද්ධය නාටකය මා කිහිපවරක් රස වින්දෙමි . මම සංවේදී මිනිසෙක්මි . එය මාගේ ජානමය දුර්වලතාවයකි . ජාතියක් හැටියට මගේ ජාතියම අතිශ්‍ය  සංවේදීය . එය අපේ ජාතියේ  archili's heel එකයි . මහින්ද මාමා ප්‍රමුඛ කුරහන් සාටක නඩය ඇල්ලුවේ ඒ නිලයයි . මුලින් මුලින් මහින්ද මහත්තයා , පොඩි උන්ගේ ඔලුව අත ගාද්දී , ආච්චිලාට කිති කවද්දී , මහා පොළව  ඉඹි ද්දී , රෝහලේ හමුදා භටයින් ගේ හිස අත ගාද්දී,  ඒ නිලය තෙරපුනි  . ඊට ම එක්වූ ශ්‍රී ල නී පය ප්‍රමුඛ ඒ පේට්ට්‍රොනික් නඩයට ආවේනික පැකේජින් එක නැවුම් රසයක් එක්  කළේය . ඒ පාපොච්චාරණයක් කරන්නේ නම්,  ඒ ජාත්‍යාතල් එක මට යම්කිසි වින්දනයක් ලබා දුන්නේය .  

දැන් ඒ  මහා රජානෝ , නැවතත් මහින්ද මහත්තයාට  ඇඳ,  රට බේරාගන්නට පෙරට   විත් පෙර පව් සියල්ල අහෝසි කම්ම කරන්නට යයි යෝජනා කරමින් නැවත ඒ නිලය අල්ලන්ට හදන්නේය . කලකට ඉහත කැලණියේ මර්වින් තනතුරෙන් අස්විය , ඉන්පසු දුටුගැමුණු කුමරා අපිට ඕනෑ  යයි කියා ඔහුගේ සපෝටර්ලා උද්ඝෝෂනය  කළහ . ඔහු නැවත තනතුර බාර ගත්තේය . (මහින්ද මහත්තයා තුළ , මර්වින් සිල්වා තුල ඉන්නවාටත් වඩා විශාල,  මර්වින් සිල්වා කෙනෙක් ජීවත්  වෙන්නේ දැයි මට විටෙක සිතේ . )

නමුත් දැන් එළාරට වඩා විශාල සතුරෙක් අවශ්‍ය වී ඇත .කොටින්ගේ ස්වර්ණමය සමයේ සිටියාටත් වඩා තර්ජනයක් දැන් තියෙන්නේ යයි දැන් කියවෙන්නේ ය . මුළු යාපනයේම කොටිය . මහින්ද මහත්තයාට වැරදීමකින් උන්ට චන්ද අයිතිය දුන් නිසා (මම මෙතෙක් කල් සිතා සිටියේ හතලිස් අටට කලින්ම සර්ව ජන චන්ද බලය ලැබුණාය කියාය ) දැන් උන්ට ආණ්ඩු ඇතිකිරීමේ බලයද ලැබී ඇත . කට්ටියක් දැන් හතුරාගේ හැඩ  තල අප හිත තුල අඳිමින් සිටිති . ඒ සතුරා වූ කලි ,  රටෙන් බාගයකට වඩා වැඩි සේනාවක් ඇති,   නමක් නැති , රුවක් නැති , ගඳක් පමණක් ඇති හතුරෙකි  ද . නොබෝ  දිනකින් ඌට නාම රූප  ලැබෙද්දී , ඌ , අවීචි මහා නරකාදියට අධිපති වසවර්ති මාරයා විය හැක . එක්  අයුරකින් එළාර යුද්දයෙන් ඔබ්බට  ඇත්තේ මාර පරාජය  ම පමණකි . නමුත් අනේ අපේ වාසනාවට වීරයා  මැරිලා නැත ( මැරිලා ඉපදී තියෙන්නේ අපිය )


 නමුත් මට නොවැටහෙන්නේ එක දෙයකි . තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක්ද , ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායක බලයද සහිතව විනාශ කිරීමට නොහැකි වූ සතුරා , ඊට වඩා අඩු බලැති  පාර්ලිමේන්තුවක අගමැති පමණක් ලෙස පරදවන්නේ කෙසේද යන්නය . මට මතක හැටියට ( මේ දවස් වල රට පුරා පැතිරී යන අමතක වීමේ වසංගතය නිසා , මගේ මතක ශක්තියද දුර්වල වී ඇත ) පහුගිය පාර්ලිමේන්තුවේ අගමැතිට හිමිවුයේ බුද්ධ සාසන අමාත්‍යංශය පමණකි . එක අතකින් මාර පරාජයට අවැසි වන්නේද ඒ අමාත්‍යංශය ම පමණකි 



ඒවුනාට වික්‍රමසිංහ  (Ranil please)

මිස්ටර් වික්‍රමසිංහ නුවණැත්තෙක් යයි ආකල්පයක් පැතිරී තිබේ .බොහෝ අය මෙන්ම , ඒ intellectual නඩයට හේත්තු වීමට කැමති මිනිසෙක්ද මා තුළ  සිටින්නේය. ලංකාවේම උගත් , කොළඹ විශ්ව විදුහලකින් උපාධිය ගත්  එහෙත් මිස්ටර් වූ වික්‍රමසිංහ හැමදාම ගැසුවේ "ඒ වුනාට ..." කාඩ් එකයි . ඒ කියන්නේ අරක බැරි උනාට මේක පුළුවන්ය .  සරම නොඇන්දාට දේශප්‍රේමිය , කතා කරන්න බැරි උනාට රාජ්‍ය පාලනය පුළුවන්ය , රඟ  පාන්න බැරි උනාට කළමනාකරණය පුළුවන්ය , ගොන් ජෝක් දැම්මට මහවූ දැක්මක් ඇත . 

ආදරේ , ජාතිආලය , එඩිතර කම වගේම , නුවණැති බවත් මැනිය නොහැකි මිම්මකි . ඉදින් ආසියාවේ හොඳම මොලයක් ද නැද්ද යන්න , එයින් ලබා දුන් ප්‍රතිලාභ නැති කලෙක හුදක්ම (ඔප්පු කළ නොහැකි වුවද ප්‍රතික්ෂේප කලද නොහැකි )   උපකල්පනයක් , විශ්වාසයක් පමණකි .

ඒ වුනාට මිස්ටර් වික්‍රමසිංහට  වැඩ කරන්න කාලයක් ලැබීම නැත ...(නැවතත් ඒ වුනාට )... ලැබී ඇත්තේ එක්කෝ නයිට් වොච්මන් චාන්ස් එකකි , නැත්නම් අනුන්ගේ මගුල් ගෙදරක කෑම අල්ලන්නය . නමුත් මෙවර වෙනස්ය . ඉදිරිපත් කලේ දින සියයකට වැඩසටහනකි . ඒ සඳහා දින සියයක් නියතවම ඔහුට ලැබෙනු ඇත . දැන් මේ දින සියය තුළ ලබාදීමට පොරොන්දු වූ වැදගත්  බොහෝ දේ නොලැබෙන බවක් පෙනෙන්නට තිබේ . ලබා දුන් දේ ද ඇත . ඒත්  ඒ ගැන නම් කෙනෙකුට හිතෙන්නේ මේවා දුන්නේ කෙසේද කියා නොව  , කලින් මේවා නුදුන්නේ ඇයි  කියාය .මිස්ටර් වික්‍රමසිංහ  මගදී මේ (ජෝන් වැල්  ජෝන්  නොව වැලේ වැල්  නැති ) ජෝන් කේස්  එකක් ඇද  ගෙන ගහන්නට හදන්නේ නැවතත් ඒ පරණ කාඩ් එකම දෝ යි මට සිතේ . 



පලි : මම සර්ව අසුබවාදියෙක් නොවෙමි . නමුත් අසුබ වාදී සිතිවිලි දිගේම බලෙන් හෝ ගමන් කරද්දී , සාමාන්‍යයෙන් නොඇල්ලෙන සියුම් තැන ඇතැම් විට අසු වේ .  එක අතකින් මගේ හිත සැහැල්ලු කර ගැනීමට ලියුවකි . මේ සටහන දිග වැඩි වෙන නිසා අදට මෙතනින් නවත්වමි . තව දින කීපයකින් දෙවැනි සටහන පළ  කරන්නෙමි 

9 comments:

  1. රනිල් පොලිට්‍රික්ස් දන්නේ නෑ.. එයා මෛත්‍රිපාලව විශ්වාස කරනවා.. දේශපාළණයෙදි, එකෙක්වත් විශ්වාස කරන්න නරකයි..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.... දුමින්ද සිල්ව අල්ලන්නෙ නැත්තෙ මෛත්‍රීපාල විස්වාස කරලා...නැතුව රේනෝ ගේ සල්ලි වල බලේට නෙවෙයි. කිසිම පළපුරුද්දක් නැති අකිල විරාජ්ට උසස් අද්යාපන ඇමති කම දුන්නේ මෛත්‍රීපාල විස්වාස කරලා. ජෝන් අමරතුංග ට මොකුත් නොකර ඉන්නෙත් මෛත්රීපාල ගේ වදේ බැරි කමටමයි. පෝර්ට් සිටි එක නවත්තනවා කියල හිටන් දැන් ඔන්නොහෙ කරමු කියන්නෙත් කොහෙද මේ මෛත්‍රීපාල ගෙන් බේරිල්ලක් නැති කමට.

      ලිපිය කියවලා වත් ඉඳපන් බන් කමෙන්ට් කරන්න කලින්.

      Delete
    2. මම නම් හිතන්නේ වෙනස් විදියකට . රනිල් ගහන ගේමට සිරිසේන උන්නැහේට තනියම මුහුණ දෙන්න බෑ . රනිල් B ටීම් එක මේ twenty 20 මැච් එකට එව්වේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ . ඇත්තම කතා කරනවානම් තිබ්බේ එයාට තියෙන්නේ ටාගට් හතරයි නේ .

      1) මිනිස්සුන්ගේ බඩට කතා කරලා චන්ද පදනම වැඩි කර ගැනීම
      2) ව්‍යවස්ථා වෙනස් කම් කිරීම
      3) විදේශීය මතය පොඩ්ඩක් වෙනස් කර , ඩෙඩ් ලයින් එක පොඩ්ඩක් දික් කර ගැනීම
      4) ජාතිකත්වය මුලික වූ චන්ද පදනම අඩු කිරීම (බයියන්ගේ බලය )

      මේවායින් කීයක් නම් රනිල්ට මේ දින සිය තුළ සාර්ථකව ඉටු කර ගත හැකිද ? සිරිසේන ශ්‍රීලනිප බලය තහවුරු කර ගැනීම තුළ රනිල් නැවතත් අසරණ වේවි . මහින්ද නැවත ඒමෙන් ( ඔය කිව්වට එන්නේ නැතයි සිතමි . වෙන්නේ ඩීල් එකක් ගසා ඔහුගේ කඳවුරේ කිහිප දෙනෙකුට නොමිනේෂන් ලබා ගැනීම පමණි ) වාසිය රනිල්ටය

      Delete
  2. Ranil ugathek buddimath kenek kiyala kiyana media walinmai.
    Oka media walinma athi karapu boruwak,
    Ranil Kapatiyek. Kapatikama wadi nisa modaya wenawa.
    ekai atta.

    ReplyDelete
    Replies
    1. පුද්ගල ප්‍රතිරූප වලටම අපේ රට ගොදුරු වෙලා . ඒ දීන මානසිකත්වය තමා එක අතකට අපිව පස්සට අදින්නේ ..මගේ අදහස

      Delete
  3. එකෙක්වත් විශ්වාස කරන්න නරකයි everytime everywhare.

    ReplyDelete
    Replies
    1. යමෙක් විශ්වාස කිරීමට එඩිතරකමත් , අවිශ්වාස කිරීමට නුවණත් ( the courage to trust and the wisdom to doubt ) එකවිට තිබිය යුතුයි .

      Delete
  4. තව ඉඅවසන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉවසනා දනා, රුපු යුද්දේට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු

      Delete

Have commented