15 January 2017

කරුපයියා හෙවත් මුරුගේෂු , සමස්ථ ලංකා අමද්‍යප සංගමේ ආසියා පැසිපික් කලාපීය හොඳම ලේකම්




මේ ඉන්නේ කරුපයියා හෙවත් මුරුගේසු . පොඩ්ඩක් අශිලාචාර ගතියක් තියෙන නිසා මීට පස්සේ අපි කරුපයියා නොකියා මුරුගේසු කියමු .  එක අතකට නමක කොහෙද අශීලාචාර බවක් , අහන එවුන් ගේ මිසක් ...?   හැබැයි ඔන්න මම නෙමෙයි කිව්වේ , කිව්වේ වත්තේ මැනේජර් මහත්තයා , දවසක් .

"අයිශේ  මේ කරූ පයියා , තමුශේ ගේ නම හරි ඉන් ඩීසන්ට් නේ ...අයිශේ  තමුසේගේ නම වෙනස් කරමු ...  මීට පශ්ශේ තමුශේගේ නම  මුරුගේශු "

මුරුගේෂු කහට බැඳිච්ච දත් සෙට් එක පෙන්නා හිනා උනා පුරුදු විදියට .

මුරුගේෂු තමයි සමස්ථ ලංකා අමද්‍යප සංගමයේ ඩඩ් ඩ ඩා වතුයායේ ශාඛාවේ ලේකම් . අනෙක් අතට මුළු වතුයායටම  නෑ , කරුපයියා තරම් සුරා සොඩෙක් . හැ හ්  , එහෙම කොහොමද එහෙම උනේ ?, ඔබ අසාවී .
( මට පෙරළා  අසන්නට හිතෙන්නේ , ඔබ මැරිලා ඉපදුනේ අදද කියාය . නමුත් මේ සටහන මුලදීම වැඩේ අල නොකර ගැනීමට , එසේ නොඅසමි . ) ආශ්චර්යවත් සමයේ මෙන්ම ඉන් එපිට මෙපිට කල්හි මෙවැනි දේ නම් කෙතෙක් නම් සිදුවීද ?

මම කතාව මුල සිටම පටන් ගන්නම් .


පරවේණි උරුමයටම, කරදඬු උස්වෙත්ම  , මුරුගේෂු වත්තේ වැඩට ගියා . එදා ඉඳන් මුරුගේෂු වත්තේ වැඩ . දවසක් වැඩ වෙලාවේ , කණ සාක්කුවට වැටෙන ලෙවල් එකට බීලා තේ පඳුරකට හේත්තු වෙලා නිදා ගෙන ඉන්නවා අහුවෙලා වැඩ  තහනම් වුනා .  ඊට පස්සේ ටවුමේ සමුපකාරේ වැඩට ගියා . මුලින් මුලින් උනේ  මුට්ට අදින්න . පස්සේ බඩු කිරපු එකා ගැන මැනේජර් මහත්තයාට කේලමක් කියලා , උගේ රස්සාවට කෙලලා , මුරුගේෂු බඩු කිරන්න පටන් ගත්තා . අම්මපා තරාදිය පිටිපස්සේ ඉන්නකොට නිකන් මාර මෙව්වා එකක් තිබ්බේ , මුරුගේශුගේ .


"ඒ මුරුගේසු මෙතන තමුසේ වැඩ කරන තැන නේ , අස් පස් කරලා පිරිසුදුව තියාගන්නවාකෝ " සමුපකාර මැනේජර් මහත්තයා සතියකට තුන් හතර සැරයක් මතුරනවා . 
මුරුගේෂු සුපුරුදු ලෙසම  "හරි සර් " කියලා කහට දත් සෙට් එක පෙන්නලා හිනා වෙනවා .

කොස්සක් අත  නොගැසුවත් , දුවිල්ලක් නොපිහිදුවත් ,   කාලයාගේ ඇවෑමෙන් මුරුගේෂු රාක්ක සුද්ද කරන්න නම් ටිකෙන් ටික  පටන් ගත්තා . ගෙදර යනකොට හොඳ කරෝල කෑල්ලක් , සීනි පන්සීයක් ඔතා ගෙන ගෙදර ගෙනිච්චා . කිරි ටින් හන්දියේ කඩේට වික්කා . පස්සෙන් පහු කැෂියර් ලාච්චුවටත් බැස්සා . 
 වැඩේ අහුඋනා , ඒ රස්සාවත් නැති උනා . මුරුගේෂු ආයේමත් වත්තේ වැඩට ගියා .

ඔන්න ඔය කාලේ තමයි , වත්ත අයිති කොම්පැනියෙන් වතු සේවකයන්ගේ සුභසාධන කටයුත්තක් ලෙස සලකා හැම වත්තකම අමධ්‍යප සංගමයේ ශාඛාවක් පිහිටෙව්වේ  ...සෙල්ලම් නෑ  සමස්ථ ලංකා ... එහෙමයි  මැනේජර් මහත්තයා උදේ පෝල් ඉන් එකේදී කිව්වේ .

සංගමයේ සභාපති මැනේජර් මහත්තයා ..දැන්  ලේකම්  කෙනෙක් තමයි අඩු ..මැනේජර් මහත්තයා ඒ තනතුරට මුරුගේෂුව පත් කලා . මොනවා කරන්නද , රස්සාව බේරගන්නත් එපා යෑ . මුරුගේශුත් කැමති උනා ,  . .. පස්සේ තමයි වැඩේ බර පතල තේරුනේ . කථා පවත්වන්නත් ඕනේ . පෝස්ටර් අලවන්නත් ඕනේ ...

සතියයි ගියේ ,  වැඩේ එපා උනා . දැන් මුරුගේසු ගේ උත්සාහය කොහොම හරි මේකෙන් ගැලවෙන්න .. වැඩ මග ඇරියා .. කොටින්ම මනුස්සයා අමධ්‍යප සංගමයේ රැස්වීමට යන්නෙත් බඹරා වගේ . 

 මුලින් මැනේජර් නොදැක්කා වගේ හිටියා .  පස්සේ රැස්වීමේදීම  ඔක්කොම ඉස්සරහ බැන්නා . ඒත් මුරුගේශුගේ ලජ්ජා නහර උපතින්ම පිහිටලා තිබ්බේ නෑ  .


පහුගිය නොවැම්බරේ  ලියුමක් ආවා. ශාඛා ලේකම්ට හරියට අකුරු බැරි නිසා ඒක කියෙව්වේ සභාපතිම තමා . දීපව්‍යාප්ත ශාඛා සංවිධාන වලින් හොඳම  ශාඛා  තෝරලා තෑගී දෙනවලු . උත්සවේ තියෙන්නේ දෙසැම්බරේ ,  කොළඹ . සභාපතිටයි  ලේකම්ටයි දෙන්නටම ආරාධනා කරලා තිබ්බා .

උත්සවේ දවසේ පාන්දරම  මුරුගේෂු කොළඹ ගියේ මැනේජර් මහත්තයාගේ ජිප් එකෙන්.

"මේ මුරුගේෂු හරියට දෙකට එනවා මෙතන්ට . අපි දෙන්නා එකට යමු හෝල් එකට .. බොන්නේ එහෙම නෑ අද " මැනේජර් මහත්තය කිව්වේ තර්ජනාත්මකව .

කිහිප සැරයක් ආසාව ආවත් , බය විසින් එය යටපත් කළා .  වෙලාව ලං වෙනකොට පපුවේ දඩි බිඩිය වැඩිවුනා . ඕ පු කියලා හිතට  දහිරිය එන්න , උගුරට වීදුරුවක් හලා ගත්තා මුරුගේෂු, මජ්ජ පමාවට.

 පහන් පත්තු කරලා , සින්දු කියලා වැඩේ පටන් ගත්තා . තෑගී ප්‍රධානෝත්සවය පටන්ගත්තා . ශාලාව ඇතුලේ මුරුගේෂු ඉඳ ගත්තේ මැනේජර් මහත්තයා ලඟම .

එක පාරටම හෙණ ගහන්නාහේ , " ...සමස්ථ ලංකා අමද්‍යප සංගමයේ ආසියා පැසිපික් කලාපයේ  හොඳම ශාඛා ලේකම් ,  ඩඩ් ඩ ඩා වතු යාය  ශාඛාවේ කරුපයියා " ලවුස්පීකරේ කෑ ගැහුවා . නමේ පුරුදු බවක් තිබුනත් එක පාරටම ඒ තමා බව මුරුගේසුටත් අමතක උනා .

" යනවා යනවා  අයිශේ ස්ටේජ් එකට "...   මැනේජර් මහත්තයා තල්ලු කළා . 
"තෑග්ග අරන් , කෙටියෙන්  ස්තුති කරලා එනවා ..මෙන්න මේක කියවනවා උඩට නැගලා" . මැනේජර් මහත්තයා හතරට නවපු කොලයක් අතේ තිබ්බා.

මුරුගේශුට හිනාවක් ගියා . හැමදාම කණ පැලෙන්න බොන . වැනි  වැනී  අමද්‍යප රැස්වීම් වලට යන,  මුරුගේෂු,  සමස්ථ ලංකාවේම ආසියා පැසිපික් කලාපයේ 
හොඳම ලේකම් වෙලා  ....

මුරුගේශු දන්නෙම නැතිව වේදිකාව උඩටම ඇවිල්ලා. මුළු ශාලාවම බලාගෙන ඉන්නවා . 

"අපරාදේ තව එකක් දා ගෙන එන්න තිබුනේ" මුරුගේශුට එකපාරටම හිතුනා . ආයෙත් මුරුගේශුට හිකිස් ගාලා හිනා ගියා .  තමාගේ ප්‍රයෝග වලට අහුවෙන මැනේජර් මහත්තයා , දෙවැනි මහත්තයා , වත්තේ උන් මතක් වෙලා .... මුන් ඔක්කොටම පයිත්තියන් , මුරුගේෂු තමාටම කියා ගත්තා .

සභාවේ සිනා එන්න එන්නම වැඩි උනා.  මුරුගේශුගේ මුහුණ වෙනස් වුනා .   හැමෝම හිනා වෙන , තමා ට නොකියූ , විහිලුවක පන්ච් ලයින් එක  තමා දෝ කියා
එවෙලේ  මුරුගේශුට හිතුනා.


11 comments:

  1. එලස්,
    ඒත් ඔය අන්තිම පලි කෑල්ල ඕනෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . නිකන් ඇහැට ඇනලා පෙන්නනවා වගේද ..මටත් හිතුනා ..ඔන්න මකලා දැම්මා

      Delete
  2. ඒත් මුරුගේශුගේ ලජ්ජා නහර උපතින්ම පිහිටලා තිබ්බේ නෑ.
    +++++++
    Typical Murugesus.

    ReplyDelete
    Replies
    1. seems you have encountered a few

      Delete
  3. එල ද බ්‍රා
    පොර පව් බං...මොනවා උනත් අහිංසකයෙක්

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බලන්න ඕනේ පොර අමද්‍යප සංගම් රැස්වීම් වලදී දාන ගෙම්බර්

      Delete
  4. අනේ බං මාවත් මුරුගේසු කෙනෙක් කරපන්කෝ..කරුපයියා වගේ නමක් කමක් නැහැ. එක්කෝ අරුපයියා වගේ එකක් නරකම නැහැ. නම් වලඳන්නද බං...

    ReplyDelete
    Replies
    1. රූපයියලා , ඈපායියාලා කිහිප දෙනෙක් මතක් උනා .

      මම ඔබේ සටහනකද කියූ පරිදි , කෙනෙක් ඔබව පෙරේරානෝ කරලා දැනටම

      Delete

Have commented