29 September 2014

සතියේ ප්‍රස්නය // This week's question

මෙන්න පහුගිය සතියේ ජයග්‍රාහකයෝ , මොණරාගල ශෂී , බදුල්ලෙන් ප්‍රනාන්දු මහතා සහ හම්බන්තොට ප්‍රේම් . ඔබ සියලු දෙනාටම අපේ සුභ පැතුම් . ඔබට හිමි ත්‍යාග කොළඹ ගිරිගොරිස් මාවතේ අපේ කාර්යාලයට පැමිණ ලබා ගන්න .

මෙන්න මිහිඳු පපඩම් , මිහිඳු කුරක්කන් බිස්කට් , මිහිඳු ගැමි සුවඳ සබන් , මිහිඳු වැසිකිළි පෝච්චි , මිහිඳු පානීය ජලය ඇතුළු දහසින් බැඳී පියල්ලේ වටිනා තෑගී මල්ලක් දිනා ගන්නට මේ සතියේ ඔබ පිළිතුරු දිය යුතු ප්‍රශ්නය .

කොල්ලෝ ඔය රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක් වැඩි කරපන් . ඔන්න ප්‍රස්නේ කියන්න හදන්නේ 

මොකට ද සීයේ  ඔය පපඩම් , නුඩ්ල්ස් ටිකකට ඔච්චර මහන්සි වෙන්නේ 

උඹේ පණ්ඩිත කම් නැතිව ඔන්න ඔය කොලයක් අරන් ඕක ලියා ගනින් පැහැදිලිව 

මෙන්න මේ සතියේ ප්‍රශ්නය . ක්‍රිකට් ක්‍රීඩා තරඟයකදී  එක පන්දුවකට හයේ පහර දෙකක් ගැසිය හැක්කේ කෙසේද ? මෙන්න නැවතත් ......  එක පන්දුවකට හයේ පහර දෙකක් ගැසිය හැක්කේ කෙසේද ?

මෙන්න ඊට අදාළ උපකාරක ඉඟි .....පලවෙනි ඉඟිය විදුලි බිල , දෙවැනි ඉඟිය සීයට  විසිපහ , තුන්වෙනි ඉඟිය බෙහෙතක් නැති ලෙඩේ  . පලවෙනි ඉඟිය විදුලි බිල , දෙවැනි ඉඟිය සීයට  විසිපහ , තුන්වෙනි ඉඟිය බෙහෙතක් නැති ලෙඩේ .

මේ ප්‍රශ්නයට පිළිතුරු , පැහැදිලි අත් අකුරින් තැපැල් පතක පමණක් ලියා,  ලබන බදාදාට  පෙර අප ලිපිනයට ලැබෙන්න සලස්වන්න . අපේ ලිපිනය... මිහිඳු මැජික් සමුහ ව්‍යාපාර , ගිරිගොරිස් මාවත කොළඹ  .

මාර ප්‍රස්නයක්නේ ...කොල්ලෝ ලියා ගත්තද පැහැදිලිව 

හ්ම්ම් 

27 September 2014

A daily miracle // ආශ්චර්යමත් දිනක්

How come that a 
wheeled chair 
Is parked there?
Sans the ill limbed inhabitant
it ought to bear
Beneath the sign 
that says
in green and white 
in case of fire please 
do 
not
take the stairs 
I ask the man walking
Away
From the chair
How come sir ? such a feat
You fair
To be met with a
Stretched stare
And a
Well a miracle happens , every day

somewhere

ගින්නක් නම් කොතැනක 
පාවිච්චි කරන පඩිපෙළ 
කිරි සුදු අකුරින් 
ඇඳි 
කොළ පෑ පුවරුවක 
පාමුළ 
කොනකට හේත්තු කළ 
රෝද පුටුවක් 
පිරේ .... මා සිත .... කුහුලින් 
කෝ ?.... එහි හිඳී .... ඔහු 
ඇවිද යන ඈතට 
හේ , හෙලා බැල්මක් මා දෙස
කියන්නේය 

දන්නේ නැත්ද 
ආශ්චර්යමත් දෙසක් මෙය 
දිනක් අද  

20 September 2014

අදින් පස්සේ // Back to life , Back to reality





අදින් පස්සේ
ගෙදරටම ගෙනත් දුන්
සහන මලු නැත  
සිනා මුව ඇඳි
වතුර බෝතලුත් නැත
නොකඩවා ගලා ගිය  
සෙනෙහෙ කරුණා ගඟුලත් සිඳී
මාමේ නැන්දේ කියාගෙන
ආගිය නෑයොත් නැත
කස කාරයෝ , ගිනි පෙනැලි , හේවිසි
පිරිවරා ගිය
ඩිපෙන්ඩර් රිය පෙරහැරත්
නැත
හවසට කාන්සියට
සින්දුවක් අහන්න තිබුණු
සංගීතෙත් නැත

කොඩිත්  නැත
බයිලාත්  නැත
මැජිකුත්  නැත
එහෙම කාලයක්
තිබුණු වගක්වත්  නැත

අදින් පස්සේ

අනේ ඉතින්

19 September 2014

බඩු කෝච්චිය

තිස්ස තිස්ස

ඕ ?

 මේ කිසි දින හමු නොවෙන රේල් පීලි මත කුමක්නම් ගමන් කරයිද ?

උඩරට මැණිකේ , පොඩි මැණිකේ , රුහුණු කුමාරි වැනි දුම්රියම ගමන් කරන්නෝය 

මැණිකෙලා කුමාරිලා  පමණක්ද ?

කිලිනොච්චියට යනකං යාල් දේවි ද යන්නීය 

මැණිකෙලා , කුමාරිලා , දේවිලා  හැර වෙන කිසිවෙක් ගමන් කරන්නේද ?

අනේක ජිවන බර පොදි  කරේ තියං , බඩු දුම්රියද , කාටත් නොපෙනී මෙන් ගමන් කරන්නේය 






16 September 2014

Occupy Central , ප්‍රජාතාන්ත්‍රවාදය ඕනා සහ සුභ අනාගතය ( ඉට් ඊස් කොම්ප්ලිකෙටඩ් ) -


මා ජීවත්  වන හොංකොං නගරය චිනයේම ප්‍රාන්තයකි . විශේෂ පරිපාලන ඒකකයක් ලෙස ලේබල් කර එය පාලනය වෙනම රජයක් යටතේ වුවද එහි ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් නැත  ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියෙකි (CEO) . ඔහුව පත් කරන්නේ ජනතාව පත්කළ පළාත් නියෝජිතයන් විසින්  පත්කර ගන්නා මණ්ඩලයක චන්දයෙනි . නමුත් පළමුව ඒ නාම යෝජනා සහ පත්වීම චීනයේ මධ්‍යම රජයෙන් අනුමත විය යුතුය . මේ අද තත්වයයි .  
1997 තෙක් මේ නගරය පාලනය කලේ බ්‍රිතාන්‍යයි , ඔවුන් රට චීනයට බාර දෙන විට ඉල්ලීම කිහිපයක් ඉදිරිපත් කලෝය . ඉන් එකක් 2017 වන විට සර්ව ජන චන්ද බලය ලබා දෙන ලෙසයි . අධිරාජ්‍යවාදයේ යකඩ හස්තයෙන් ලෝකයේ රටවල්  පාලනය කල ඔවුන්ට , ඒ රට වලින් ආපසු යන්නට නැව්  නැගී විට  සත්ව කරුණාව පහල වූ උදාහරණ බොහෝ ඇත . අධිරාජ්‍යවාදයේ හදවත එලෙස උණු වේ . සමහර තැන්වල සුළු ජාතීන්  ගැන පතළ  මහා කරුණාවෙන් , වෙනම රටවල් පවා වෙන්කර දුන්හ .

චීනය මේ ඉල්ලීම බාරගත්තේය. දැන් 2017 දී , සර්ව ජන චන්ද බලය  හොං  කොං  වලට ලැබීමට නියමිතය  . එහෙත් පොඩි කොස්සකි . ඒ චන්දයට ඉදිරිපත් වෙන නියෝජිතයන් පත් කරන්නේ චීන රජයෙනි . චන්දය දාන්නේ ජනතාවය . (මෙහෙත් ඔහේ  වගේමය .).    චීනා හරි ඉත්තෝ හරි කොටුවට ඇද  ඇති සෙයකි . 

මීට විරුද්ධව ජාතික සිවිල් ව්‍යාපාරයක් වැඩෙමින් පවතී . Occupy Central නමින් හඳුන්වන එය පහුගිය අගෝස්තු 30 වනදා  500000 පමණ පිරිසකින් යුතු පෙළපාලියක් , මෙහි ප්‍රධාන මුල්‍යමය ආයතන බහුල Central දිස්ත්‍රික්කයට  සංවිධානය කළහ . ඔවුන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි . "පව් නේ අනේ ඒ රටේ ජනතාව , ඔන්න ඔහේ, ඕක  දීලා දාන්න" කියා බ්‍රිතාන්‍ය රජයද ඉල්ලා ඇත . චීන රජය ඔවුන්ගෙන් අසා ඇත්තේ ඔබලා පාලනය කල වසර 150දී ඕක නොදුන්නේ ඇයි  කියාය. චීන රජයට සහය දක්වමින්ද අනෙක් පසින් ද බල සේනාවක් සංවිධානය වී සිටිති . ඔවුහු මේ  Occupy central ක්‍රියා පිළිවෙත හෙලා දකිති ( ඒ වගත්,  කොහේත්  එලෙසමය )

මා මිතුරෙක් දිනක් මේ ගැන විමසුවේ උඹලගේ රටේ මොනවා නැතත් මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍ර වාදය තියෙනවානේ , ඒ නිසා මිනිස්සුන්ට  පූර්ණ නිදහස තියෙනවා නේද කියා අසමිනි. මට කියන්නට පිළිතුරක් නැති විය.  මේ රටේ දේශපාලනය ඔබට උනන්දුවක් ඇති නොකෙරුවත් , මේ කතාබහේ තැන්  කීපයක් නැවත සිහි කරන විට , එය මෙහි පළ කිරීම අඩුම වශයෙන් ඔබ වින්දනයටවත් හේතු වනු ඇති මම සිතුවෙමි .

ඔබේ රටේ ජනතාවට ඕනේ අයව නේද ආණ්ඩුවට පත්වෙන්නේ ?

එහෙමමත් නෙමෙයි 

ඇයි  චන්දෙන් නෙමෙයිද 

චන්දෙන් තමයි 

එතකොට , මිනිස්සු වැඩියෙන්ම කැමති කෙනාට නෙමෙයිද චන්ද වැඩියෙන් වැටෙන්නේ 

ඒක  ඊට වඩා ටිකක් සංකීර්ණයි , ඉට් ඊස් කොම්ප්ලිකෙටඩ් - ( මෙය මා පිළිතුරක් නැතිව හිරවූ විට පාවිච්චි කරන වාක්‍යයකි )

හරි , ඒත්  පත්වෙන මිනිස්සු හරියට වැඩේ කලේ නැත්නම් , වෙන අය  පත් කර ගන්න පුළුවන්නේ 

ඒකත්  ටිකක් සංකීර්ණයි

ඒ වුනාට මිත්‍රයා , උඹලාගේ රට ප්‍රජාතන්ත්‍ර වාදය තියෙන ස්ව්‍යරී රටක් නේ . ඒකට  මෙහේ , ඔක්කොම කෙරෙන්නේ  චීනේ ට  ඕනේ විදියටනේ 

හ්ම් ප්‍රජාතන්ත්‍රවාදයත් ඔබ හිතනවාට වඩා සංකීර්ණයි... සමහර ස්ව්‍යරී රටවලටත් චීනා  ඕනා ...ඉට් ඊස් කොම්ප්ලිකෙටඩ්

ඒ වුනාට උඹලගේ ජනාධිපති තුමා හරි බලපරාක්‍රම පාටයි , අර සුදු සූට්  එකත් ඇඳලා  අර සාලුවත් දාලා  බෙල්ල වටේ ...උඹලට කොච්චර ආඩම්බර ඇත්ද ? 

සාලුව නෙමෙයි සාටකේ 

අනික , උඹ පෙන්නුවේ අර පත්තර වලට දීල තියෙන සම්මුඛ සාකච්ඡා . කෙලින්ම ලෝකේ බලවතුන් එක්කනේ ගේම ඉල්ලන්නේ 

කියලා වැඩක් නෑ ආඩම්බරේ නම් .... ඔව් සිංහල පත්තර වලට නම් ඉතින් එහෙම තමා .හැබැයි ඒකත්  ටිකක් සංකීර්ණයි


පලි : ලී ක්වාන් යුන් ඔහුගේ චරිතාපදානයේ මෙසේ කියන්නේ හැත්තෑව හා අසුව  දසකයේ ලංකාව හා සිංගප්පුරුව සසඳමිනි . "ලංකාවට ඒ වෙනකොට අපට නොතිබූ ගුවන් තොටුපොළක් , ගුවන් විදුලියක් , රුපවාහිනියක්, මහා බැංකුවක් හා ප්‍රජාතන්ත්‍ර වාදය තිබිණි . මේවා ඔවුන්ට වැරදි වෙලාවට ලැබුණු තෑගිය . මේවාම ඔවුන්ගේ සංවර්ධනය අඩාල කරන බව එදා මම ඔවුන්ට කීවෙමි  "

14 September 2014

පොලීසියෙන් පුවත් // Detective Anjanam Devi to the rescue

ටින් ටින් ටින් ..ටූක්‌ ටූක්‌ 

වේලාව මධ්‍යහන දොළහයි . මෙන්න පොලිසියෙන් පුවත් 

කේතුමතී නුවර අවුරුදු හතරක දැරියක් ඊයේ හවස පැහැර  ගෙන ගොස් ඇත . මේ අපරාධයට  සම්බන්ධ අපරාධ කරුවන් සෙවීමට කේතුමතී නුවර පොලීසිය  විශේෂ පරීක්ෂණ අරඹා ඇත . මේ පරීක්ෂණ මෙහෙයවන්නේ රහස් පරීක්ෂක අංජනම් දේවි යයි . ඇයට  සහය වීමට හනුමන්තා ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් කැඳවා ඇත . අපරාධයට මුලින් සැක  පිට අත්අඩංගුවට ගත කට්ටඩි මහතාගේ යෝජනාව පිට මේ විශේෂ කණ්ඩායම කැඳවා ඇත .


මේ ගැන අදහස් දක්වන්නට අපිත් සමග දැන් දුරකතනයෙන් සම්බන්ද වෙනවා කේතුමතී නුවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ට පොලිස් අධිකාරි මඥසෝම මහතා 

හෙලෝ 

ඔබතුමාට කියන්න පුලුවන්ද පරීක්ෂණයේ තත්වය 

මෙහෙමයි පොලිසිය සුදානමින් ඉන්නවා , අපි ළඟදීම පරීක්ෂණ ආරම්බ කරනවා 

කවදද පරීක්ෂණ ආරම්බ කරන්නේ, එතකොට පරක්කු වැඩිවෙලා තියෙයිද 

ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ , ඒක අහන්න ඕනේ  ජනාධිපති තුමාගෙන්  

අපිට ආරංචියි පොලීසිය දැන් අංජනම් බලලයි අපරාධ විසදන්නේ කියලා . මෙය ප්‍රයෝගිකද , බුද්ධිමත් පියවරක්ද 

ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ , ඒක අහන්න ඕනේ අංජනම් දේවිගෙන් 

අපිට පෙනී යනවා මෑතක සිට මෙවැනි කුඩා දරුවන් හොරෙන් පැහැර ගෙන යෑම් වැඩිවේගෙන  යනවා . ඇයි  මේ වගේ ක්‍රියාවන්ට මිනිස්සු පෙළඹෙන්නේ ?

ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ , ඒක නම් අහන්න ඕනේ හොරුන්ගේ අම්මලාගෙන් තමයි 

ඔබතුමා අපිත් සමග සම්බන්ද වුනු නිසා ,මේ ප්‍රශ්නෙත් අහන්නම් . මේ දිනවල ඌව පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වෙනත් පළාත් වලින් පාතාලේ කල්ලි ගොස් ඇතැයි ආරංචි වෙනවා . මේ පිරිස් වලට අනුග්‍රහය සපයන්නේ කේතුමතී නුවර රජයේ ඇමතිවරුන් යයි අයෙක් කියනවා 

ඔන්න ඕක නම් බොරුවක් .  මොකද කේතුමතී නුවර පාතාලයක් දැන් ඇත්තෙම නෑ , අනික මැති ඇමති වරුන් ඒ පාතාලේ කට්ටිය දන්නෙත් නෑ 

නැති පාතාලයක අය කොහොම දැන ගන්නද නේද 

හු හු හුටා ...ඔ ඔ ඔ ඔ ඔව් ඔව් එක තමයි නේ


පලි 

කල්පිතයට වඩා සත්‍යය කෙතරම් අත්භූත ජනක ද ?



සබැඳි පුවත් 

09 September 2014

චන්දෙගේ කෙතේ පඹ උන්නැහේ සහ පුහුලට තැබූ අත .. // This is how we do it, do it ...


චන්දෙගේ කෙතේ පඹ උන්නැහේ


එකමත් එක රටක ගමරාල කෙනෙක් විය. ඔහු නමින් චන්ද්‍රතිලකය . එහෙත් ගමේ ගොඩේ කට්ටිය ඔහුට කටේ හුරුවට කීවේ  චන්දතිලක නැත්නම් චන්දේ  කියාය . ඔහුට ලියැදි  කීපයක කුඹුරු කැල්ලක් විය . එහි අස්වැන්න තම අවැසිතා පිරිමහන්නට මදි මුත්, පුරුද්දට වාගේ , එය වගා කරනට චන්දේ  පුරුදු වී සිටියේය
ගොයම පීදෙනකම් කාටවත් මතක් නොවෙන මේ කුඹුරේ, වී කරල් බිමට නැමෙත්ම  ගිරා , වී කුරුළු රෑන්  විත් පදිංචි වෙති . මාරුවෙන් මාරුවට වී කරල් කපාගෙන යති . වී කුරුල්ලන් සමග ගිරවුන් බහින් බස් වෙති . එපමණක් නොව සුළු සුළු ප්‍රචණ්ඩ ක්‍රියාද  සිදුවේ . ඒ සියල්ලටම වැඩියෙන් කන්නට තියෙන වී උන් කපාගෙන යති .  මේ කාලයට උන් චන්දේගේ  කුඹුරට හරිම ආදරේය . උදේ පාන්දරින්ම රෑන්  පිටින්ම එහි එති . එතැන් සිට ගොම්මන වෙනකං  කරච්චළේය . මෙය චන්දතිලකට කරදරයකි . ඉතින් චන්දෙ , මේ තත්වය පාලනය කිරීමට උපක්‍රමයක් යෙදුවේය . 

ඔහු, මහත්තයෙක් ලෙස කෝට්  බෝට්  හා කකුල් දෙකේ කලිසමක්ද අන්දා , සියලු බලතල පවරා , පඹ රාළ  කෙනෙක් වෙල මැද සිටවූවේය . කළුගැහුණු  හට්ටියේ සුදු හුණු වලින් නපුරට මුහුනක්ද සිත්තම් කළේය . පරණ පොලිස් කාරයෙක් මෙන් උඩු අතට කරකැවූනු රැවුලක්ද ඇන්දේය


මුලින් මුලින් , සෙමින් සෙමින් , සැකෙන් සැකෙන්, ලංවූ රෑන් , පසුව බිය චකිතය පහව ගොස්, පඹ උන්නැහේ ව තඹේකට  මායිම් නොකළහ . උන් , ඔහුගේ හිසේ වසා , මුට්ටියටද තට්ටු කළහ .මෙය දුටු චන්දෙට යකා නැග්ගේය . ඔහු තම කුඩා පුතුට , හවසට විස්කිරින්ඥා අරන් දෙන පොරොන්දුවට කුරුල්ලන් පැන්නීමේ  කොන්ත්‍රාත්තුව බාරදුන්නේය . 

කොල්ලා කැටපෝලය කලිසම් කොටයේ ඉනේ ගසාගෙන , ගල් කැට අහුලා ගෙන සන්නාහ සන්නද්ධ විය . නමුත් ඔහුට දවසම කුඹුරේ සිට ගෙන ඉන්නට නොහැකිය . ඔහු මෙයට උපක්‍රමයක් ලෙස අසල ගසක ටකයක් එල්ලුවේය . ඉන්පසු පඹයා ඇමතීය
“පඹ රාළේ  , කුරුල්ලෝ ආවොත්....ඇවිත් මෙතැන  ඕනේ නැති දේ කලොත් ...ටක් ගාලා ටකේ ගහලා මාව කැඳවන්න , මම ටක් ගාල ඇවිත් වැඩේ විසඳන්නම් “

පඹරාළ  වෙල මැදය . ටකේ ගසේය  . කොල්ලා ගෙදර අඹ ගහ යට සුදානමින් සිටි  .  නමුත් පඹ රාළ කෙනෙක් කෙසේ නම් හඬවන්න ද ටකය. ටකය තවම නිහඬය .තවමත් හිටු කියා චන්දෙගේ අයිතිය උල්ලංඝනය වේ . 



පුහුලට තැබූ අත

පුහුලට තැබූ අත….. නේද ?

06 September 2014

සුලෝචනා සහ Joeline


මේක ඒ විදියකට  කාන්තාවන් දෙදෙනෙක් ගැන සටහනක් . මාතෘකාවේ සුලෝචනා හා ජෝලීන්  කිව්වට,  ඒ දෙන්නා ගැනම නෙමෙයි  ඒ දෙන්නට අමතන කතුන් දෙදෙනෙක් ගැන තමයි ඇත්තටම කතාව .


කෙසේ වුවත් සිදුවී ඇති දෙය සමානයි . දෙදෙනෙක් අතරට තුන්වෙනියෙක් ඇවිත් .
මේ ලඟදි , අන්තර්ජාලයේ අහගෙන ඉන්නකොට පරණ ගුවන් විදුලි වැඩසටහනක් , අර බරට වගේ සැහැල්ලු දේ කියන සිංහල සර් , (ඔව් ඔව් එයා තමයි ) , ඔන්න හීන  අහුලන ගමන් කියනවා කණ  වැටුනා මරු කතාවක් . ඔහු කියනවා අග මෙහෙසියට ප්‍රශ්නයක් වෙන්නේ අන්තඃපුරයට අලුතෙන් කෙනෙක් රැගෙන ආවිට  නෙමෙයි , තව කෙනෙක් අග මෙහෙසිය කරගන්න හැදුවොත් කියලා .. ඒත්  ඒ රජවරුන්ටනේ , අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉතින් ඉන්න එකත් කලමනාකරන්න අමාරුයි සමහර වෙලාවට , කොහෙද තව අන්තඃ පුරයක් තිබුනා නම් .


ඒ වුනාට අදහස පැහැදිලියි නේ ?


හරි නැවතත් කතාවට යොමු වෙනවානම් , ඔබට මතකද දන්නේ නෑ  ඩොලී  පාර්ටන් …. පරණ අයට  නම් මතක ඇති… (ඒ කාලේ නම් කිව්වේ , මොනවා වුනත් හොඳ පපුවක් තිබ්බ ගැහැනියක් කියලා ) එයා තමයි ගයන්නේ පලවෙනි සින්දුව . ඇය කොටින්ම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්


දනින් වැටෙනු ඇත
ඔබ දෙපා අබියස
රජ වරුන්   සිටුවරුන්
රුපුන් යුද දිනු සොඳ
විරුවන්
කළාක්  සේ දඹ රනින්
රුව ඔබේ
කුමරියේ
වසඟයට නොගන්නේ
කවුරුන්


ඒත්  මට සිටින්නේ
මගේ හද සොරා ගත්
එකම එක
එකම එක
කිඳුරෙක්
ඔබ වසඟ රැහැන්  පට
දිය කරනු
නොහී  මට
සප්ත සයුරක් කඳුළු
හෙලුවත්


ඉදින්
මා කිඳුරා ව
දෙන්න  
ඔහු  කිඳුරියට
ඔහු අයිති නොකරගන්
ඔබට හැකි නිසාවට



මෙන්න සින්දුව


හැබැයි සුලෝචනාට , අමරා රණතුංගයන් කියන්නේ එහෙම නෙමෙයි .





"එක කිරුළක් අපිට පළඳින්න බෑ  . එකම සිහසුනේ ඉන්නට බෑ , අප දෙදෙනාටම එක රජ දහනක රජ වෙන්නට බෑ …. " කියා ඈ  කීවත්, ඈ  කියනවා ඊලඟට
."නමුත් මගේ කඳුල ඔබේ සිනහවක් වෙද්දී , ඔබ ලත වෙන්න එපා මේ ගැන , රජ දහනත් කිරුළත් ඔබට පවරා මම ඉවත් වෙන්නම් දුක සිතේ දරා .. "


මට හිතෙනවා මෙතන කියවෙන කතාව සාම්ප්‍රදායික ආසියාතික ගැහැණිය හා නුතන ගැහැණිය අතර කතාව දෝ  කියා  . තමන්ට අයිති දේ වෙනුවෙන් සටන් වදින, සම තැන (නිසි තැන නොව ) ඉල්ලන  නුතන කාන්තාවට වඩා වෙනස්  සාම්ප්‍රදායික ගැහැණිය දුක කන්දක් තරමට ඉහිලුවාය .  ආසියාතික දර්ශනයෙන් නැමුණු සිතෙහි නැගුනු ඒ දුක්, කරුණාවෙන් , උපේක්ෂාවෙන් ම දිය කර  හැරියාය  . බත් හැළිය  ස්වාමියාට හා දරුවන්ට කැමැත්තෙන්ම බෙදා  දී ඈ  දන්කුඩ කෑවාය.  මහමෙරක් තරමටම දුකක් උහුලන්න ධාරිතාවක් , ඒ ගිනි නිවා ගන්නට කරුණාවක් ඈ  හිත තුළ  තිබුනේය  .
අම්මලා මතු බුදු වෙන්නේ ඒ නිසා වෙන්නට ඇති . අම්මලා පමණක් නොව ඒ ඌරුව ළඳකට ටිකෙන් ටික , ලපටි අවදියේ සිටම කාන්දු වෙන්නට ඇත . ප්‍රේමයේ විරහව වුව බාර ගන්නට ඈ  සිත හයිය එලෙස ආවාදෝ මට සිතේ


පලි
වරදවා තේරුම් ගන්න එපාමය  , ගැහැනුන් දුක් විඳිය  යුතු යයි කියන එක නෙමෙයි මා කියන්න හැදුවේ  . මටත් ඉන්නේ දුවෙක් නිසාවට , මමත්  අකැමතියි ඇයට විඳවන්නට  වෙනවාට . නමුත් මා ලියන්නට සැදුවේ , සමහර විට අපි පහත් කොට සලකන දේ තුල එතනින් එහාට ගිය ජීවන දර්ශනයක්  ඇතැම් විට ඇතැයි  කියාය .

03 September 2014

දවසක් බස් ස්ටෑන්ඩ් එකේ පාළුවේ ඉන්නකොට .

දවසක් බස් ස්ටෑන්ඩ්  එකේ පාළුවේ ඉන්නකොට .
කොල්ලෙක්  කීවයි කෙල්ලෙක්ට කට කැඩෙන  කතාවක්  
එහෙම ගෑනුන්ට  එක එක ඒවා කියන එක වැරදියි නේ
අපි කෙල්ලට කිව්වා බැනපන් ඌට  


ඉතින් ?


කෙල්ල  ගත්  කටටම  බෑ  කිව්වා
අපි කිව්වා එහෙම හරියන්නේ නෑ  නංගි  
ස්ත්‍රී වර්ගයා ගැන හිතලා මේක නිකන් අරින්න එපා
ඊට පස්සේ ,  ඔන්න කෙල්ල  බැන්නා යන්තං
ඉතින් ?


අපි විසිල් ගැහුවා . ගැහුවා අත්පුඩි
අපි කියුවා “නංගි  ගහන් කණ පුපුරන්ට  එකක්  
කෙල්ල ආයෙත් අදිමදි  කලෙන්
කීවෙමු දැන් ඉතින් බැනපු එකේ , ඔන්න ඔහේ එකක් ගහන්


ඉතින් ?


කෙල්ල පැනලා ගැහුවා උගේ  කණට  එකක්
අපි ගැහුවා විසිල් , ගහපන් තවත් එකක්  
කෙල්ල තව එකක්  ගැහුවානේ ඉතින්
ඇනපන් ඔලුව බිත්තියේ මොළේ  හෙල්ලෙන්න  


ඉතින්, කෙල්ල කලාද


නැත්නම්


ඊට පස්සේ ?


අපි ඇහුවා කොල්ලගේ නෝනාගෙන්  


ලජ්ජා නැත්ද මේ වගේ එකෙක් එක්කලා  කන්නට දීගේ
රට්ටු මොනවා නොකියාවිද උඹටත්
ඕකාව  අත ඇරලා දාලා සදහටම
පලයන් කෙල්ලේ ගමේ පොඩි එකත් අරං

ගියාද ?


ගෑනි අදිමදි කළා, පස්සේ ගියා

ඊට පස්සේ ?



අපි ඌට හූ කිව්වා , හිනා උනා . ඊට පස්සේ අපි කිව්වා කොල්ලට .


හැදිච්ච කෙල්ලෝ යනවද ඔහොම ඇඳන් .
මොනවා උනත් තමුසේත් මිනිහෙක් නේ
තමුසේට වෙච්ච දේ වැරදියි නේ මල්ලි
කොල්ලෙක් හැටියට තමුසේ  පව් ඕයි .


ඉතින් ?


කොල්ලත් කිව්වා , "ඔව් ඕයි"  කියලා .


ඊට පස්සේ


අපි කිව්වා


ඔහේගේ කනත් පොඩ්ඩක් රිදෙනවා වගේ නේද
පස්සට කරදරයි  කල් ඇරියෝතින්
ඉස්පිරිතාලෙට ගොහින් ආණ්ඩුවේ
පොඩ්ඩක් පෙන්න ගන්නවා හොඳයි මලේ


ඉතින්  ?

කොල්ලා ඉස්පිරිතාලේ ගියා


ඊට පස්සේ ?


අපි කීවා


පව් ඔයි අර කොල්ලා , ඌට උනු  වියෝවා
ගෑනිත් ගියා , කණ ඇහෙන්නෙත් නැතේයා
රාලහාමි නීතිය රකිනට  ඉන්නා
අර රන්ඩු කෙක්ක අල්ලන්  අත්  දෙකටම මාංචු දා


ඊට පස්සේ ?


අත්අඩංගුවට ගත්තම , අපි කිව්වා


අනේ කෙල්ල අහිංසකයි රටක් වටී
කාකී සූට්  ඇඳගෙන කරන්නේම ඔය වගේ ගොන් වැඩමයි
ඒ කෙල්ලට වූ කරදර කවුරු බලන්
තිස් තුන් කෝටියක් දෙවි හාමුදුරුවනේ

ඊට පස්සේ ?

ඔන්න එතකොටම අලුත් නිවුස් එකක් ආවා ….උන්ගේ ප්‍රශ්න උන් බේරාගත්තදෙන් අපි යනවෝ ජනාධිපතිවරණේ බලන්න



පලි : මෙය ඔද්දල් වුනු ප්‍රවෘත්තියක් බව දනිමි . මා කතාවට සෙල්වා හා දිලිණි  පාදක කොට ගත්තේ එය ලඟම  උදාහරණයක් බැවිනි . වලියක් අවුස්සන , ඊට චියර් කරන උන් එකවිටම නැතිවී යන බව ලෝක ධර්මතාවයකි . ඒ බව සැවොම මතක තබා ගත යුතුය . දුප්පත් සෙල්වාට තිලිණිට මෙන්ම රජුන්ට කුමරුන්ට ද මෙය පොදුය