23 April 2015

සත්‍යයේ ගීතයට විවිධ තනු ඇත // A song may have many tunes

මේ සටහනට නිමිත්ත වන්නේ පසුගිය දිනෙක මා සවන් දුන් සාකච්චාවකි . සාකච්චාව මෙහෙය වූයේ , මේ දිනවල හැම සාකච්චාවක්ම පාහේ මෙහෙයවන සිංහල සර්ය .  මේසයේ අනෙක් පස අසුන් ගෙන සිටියේ රංග දසනායකය . සාකච්චාව මැද  එක නිශ්චිත පැනයක් ඇසෙන්නේය . මයිකල් ජැක්සන් වගේ එමිනෙම් වගේ ලංකාවේ ගායකයින් තම පුද්ගලික ජීවිතයේ විඳි දුක් කම් කටොලු කලා නිර්මාණ තුලින් එලියට නොදාන්නේ , බොබ් ඩිලන් වගේ ජෝන් ලෙනන් වගේ සමාජ අසාධාරණය ගැන තම කම්පනය ගීත තුලින් එලියට ලංකාවේදී නොඑන්නේ ඇයි  ?
රංගට  එයට හරි පිළිතුරක් දීමට නොහැකි වන්නේය . 

සිංහල සර්ට නන්දාලා කපුගේලා අමතක වුනාදෝ මට මුලින් සිතුනි , නන්දාලා කපුගේලා සමාජ විෂමතාවන්ට එරෙහිව කලෙක මොර ගෑහ . නමුත් පවන , සත්‍යයේ ගීතය මෙන්ම කම්පනද විකුණුනු  බව මට පසුව සිහිවිය . එය විවාදාත්මක කාරණයක් බව දනිමි . ඔවුන් අමතක වුවා සේම ඔහුට , පුද්ගලික ජීවිතයේ  අත්දැකීම් ඇසුරෙන් ගී පද පෙළ ගැස්වූ ප්‍රේම් , මෙන්ම ක්ලැරන්ස් ද අමතක වන්නේය.

ක්ලැරන්ස් මා ප්‍රියතම ගායකයෙකි , ගී රචකයෙකි . ඔහු පද වල ඇත්තේ වතුර වගේ රසයකි. සැර නැත , අමුතු රස කාරක නැත , ඔහේ අහගෙන සිටිය හැකිය. එහෙත් උල්පතකින් පටන් ගෙන ගඟක් සේ අවසන් වනතෙක් ගලායන දියේ , දියවුණු අනේක කතන්දර එහි තුළ  දියව ඇත .
ඔහු බොහෝවිට ගැයුවේ සරලවූ පද මාලාවකට , තම හෝ ආසන්නතමයෙකුගේ දිවියේ අත්දැකීම්ය. නමුත් ඔහු තුල සමාජ අකටයුත්තේදී තැවෙන, කම්පා වෙන පරිපුර්ණ කලා කරුවෙක් සිටි බව මට පසක් වෙන්නට, උහත සල්ලාපය මා සිතේ එල්ලී ටික දිනක් ගතවිය . ඒ එක ගීයක් අහම්බෙන් නැවත ඇසුණු නිසාවෙනි .

පළමුව මේ ගියේ වස්තු බීජය හා පාදක වෙන සමය ගැන කෙටි හඳුන්වා දීමක් අවැසි යයි සිතෙන්නේ , ඒ කළ  ගැන අවබෝධයක් නැති පාඨකයන්ද සිටිය හැකි බැවිනි . ප්‍රේමදාස ජනපති සමයේ එල්ෆින්ස්ටන් රඟහල සුද්ද බුද්ද කර  (ඒ කාලේ , බොහෝ දේ සුද්ද වුනි රාලේ ) , රට වටේ සිටි යාචකයන් මග ගයන්නන් , මග රඟන්නන්, විරිදු කියන්නන් ගෙන ගොස් වේදිකාව මත සිටවූ "මාවතේ අපි " නමින් වැඩසටහනක් දියත් විය . එය රූපවාහිනියෙන්ද විකාශනය විය ( එකළ  තෙරුවන් නමදිම , 7ට 8ට 9ට ප්‍රවෘත්ති , ගම්  උදාව සංදර්ශන හැරුණු කොට , රූපවාහිනියේ වෙනත් යමක් විකාශනය කිරීමට ඉතුරු වූයේ  සුළු කාලයකි ). මේ තරඟයෙන් කවුරු දිනුවාද , ලැබූ තෑගි කෙබඳුද කියා මම නොදනිමි . නමුත් එහි ගී යි නෙත් අඳ යුවල නම් තවම නුගේගොඩ සුපර් මාර්කෙට්ටුවේ ගී ගයන බව නම් දනිමි .

ක්ලැරන්ස් ගැයුවේ මේ සංසිද්ධිය ගැනය . මේ දිළින්දන් වේදිකාව මතට නැංවූවාට පසුව ඔවුන්ගේ ජීවිකාවට වූ බලපෑම , ගැන ඔහු ගයන්නේය . යාචකයන් යනු වෘත්තිකයන් පිරිසක් බවට පත්ව ඇති අද මේ අදහස කෙතරම් අදාලද , වලංගුද යන්න වෙනම විවාදයකි . (නමුත් අනෙක් අතට අපි  සැවොම අඩු වැඩි වශයෙන් සිඟන්නන්ම වන්නෙමු ).  ඔහුගේ සාමාන්‍ය ගායනයට වඩා මෙහි ඇති වෙනසක්. පද අතර හිරවී ස්වර තුළ ගැයෙන වේදනාවක්. රිද්මය තල්ලු කර ගෙන මෙන් යන ආවේගයක් මට අහු වේ .

මෙන්න ගීය , සවන් දී බලන් . 


20 April 2015

101 වැනි දින හෙවත් කෝඳුරු තෙල් වෙදකම // day number 101

දින 100 නිමාවිය . කෙරුණු දේ ඇත . කෙරේ යයි සිතු දේ සිදුවී නැත. දින සීය ඇතුලත සිදුවූ දේ ගැන මදකට සිතමු .

පළමුවෙන්ම යහපාලනය අමුම අමු කුනුහරුපයක් තරමට පක්ෂ විපක්ෂ සියල්ලන් විසින් පත් කරන ලදී . අතේ කෝට් හොරු බේරීමට හැදුවෙත් යහපාලන රෙද්ද අස්සේය .. ගොන් රන්ජා වැසිකිලි පෝච්චි ඇර බැලුවේත්  යහපාලනයේ නාමයෙනි . එතරම් වැදගත් සංකල්පයක් තිත්ත කුනුහරුපයක් කළෝ ඔවුන්ය . ඒ අතරේ, එක්කෝ යහපාලනය , එහෙම නැත්තම් මව්බිම, දෙකම එක සැරේ බෑ කියන තරමට මොළ සෝදන්නට කට්ටියක් තැතැනුහ . ඔවුහු තරමක් දුරට සාර්ථක වුහ .

රත්තන් මාලයක් කඩාගෙන යන හොරෙක් , අහුවෙන්නට ඔන්න මෙන්න තියෙද්දී මාලය ගිල්ලේය . හොරා පසුපස හඹා  ආ එවුන් කීවේ "මූ  යකාගේ හොරෙක් මූ  හොරකං  කරලා තියෙන්නේ අහු නොවෙන්න නේ කියාය " . හොරා කීවේ "හොරකං කලානම් බඩුත් එක්ක අල්ලපන්නේ " කියාය . බඩු බඩේ බව හැමෝම දනිති . එහෙත් මෙවැනි විලි ලැජ්ජා නැති කතාම කියති . මේ දින සියයේ හොරුන් නැති හොරකම් අහුවිය .

වෙලේ සුදා දින සියයෙන් වැඩි හරියක්ම සාක්කි දුන්නේය . රජ මැතිදුන් ගැන රාළහාමිලා ගැන ,  නිලියන් ගැන සුරංගනා  කතා කියුවේය . රහස් පොලිසියද ඒවා සටහන් කර ගත්තෝය . පොලිස් සටහන් පිළිවෙලය. වචන දෙකක් අතර ඇඟිල්ලක ඉඩය . වචන රිංගන්නට නොහැකිය . නිලියන් ගැන පරීක්ෂණ පවත්වා ඔවුන් නිවැරදි කලෝය . නිලියන් ගැන කියූ දේ බොරු නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අනෙක්වා ගැනත් සිතන්නට අපට ඉඩ තියා "මගේ කතාව මින් අවසානයි , අසා සිටි ඔබ සැමට ස්තුතියි " කියා වෙලේ සුදා වේදිකාවෙන් බැස  යන සෙයකි .

අප්පච්චිගේ හා ඔහුගේ නඩයේ කට්ටිය කළ  විගඩම් ගැන කිහිප විටක් ලියා ඇති නිසා වැඩිදුර සටහන් අනවශ්‍යය . නමුත් නිල් බලකායේ ජෙනරාල් වගේ සිටි දඩබ්බර කොලුවා දැන් ධර්මාචාර්ය කෙනෙක් මෙන් වී ඇත . නමුත් ඒ තුළ  කලින් නොපෙනුන යථාර්තය වැඩියෙන් පෙනෙන්නට පටන් ගෙන ඇති බව ඔහුට නොතේරෙනවා වන්නට ඇත .

මේ යහපාලන සමයේ බොහෝ අය  තමන්ගේ අහිංසක චූන්  විඳින්නට වුහ. චම්පික තම ජනපති සිහිනය රැයෙත්  දහවලෙත් දකිද්දී , සෙන්පති ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් යෂ්ටිය අතේ තියාගෙන සිටි ( ඔහුගේ රණ ශූර බව ගැන කිසි සැකයක් නැතත් , මේ ගැන ඔහු හැසුරුණු විදිය නම් ටිකක් නොමේරු යයි මට සිතේ ).

අනේ ඒත්  සෝභිත හිමි ගේ රොටිය නම් කර විය . දැන් වැඩේ දෙල්ය . මොකෝ නායක හාමුදුරුවෝ පන්සලේ රොටි පුච්චනවා යයි වරදවා සිත් ගත්  දායක තෙමේ දානය දීමෙන් වැලකි සිටීමටද  ඉඩ ඇත.

 මේ දින සියය පටන් ගත තැනම  ලොකු හිල් කීපයක් විය . මේ සිදුවූ දෙයට ඒවා බල පෑ  බව මාගේ අදහසයි . පළමුව රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව පිහිටුවන්නට වන්නේ වෘත්තීය වශයෙන් දුරක් ගිය එහෙත් දේශපාලන සුහුඹුලන් සමගය . එය හොඳ ප්‍රවණතාවයකි . ඔහුගේ අදහස වන්නට ඇත්තේ එවිට වෙන වෙන 
ඇජෙන්ඩාවන්ට වැඩ කරනවා වෙනුවට ඔවුන් අතේ ඇති වැඩයට තම ශක්තිය යොදවා වී යයි කියා විය හැක (get on with the task at hand). එහෙත් සිදුවුයේ ඔවුන් දේශපාලක ඔස්තාර්ලා වීමට යාමය . ( ජනවාරි මස මුල සිටි හර්ෂලා , සුජීවලා , විජේදාසලා සහ දැන් ඔවුන් ගැන සිතන්න . )

 දෙවැන්න  සිරිසේන මහතා ඈතට විසි කරන්නට හදන විධායක ජනාධිපති අසිපතයි . ඔහුට එය ඈත විසි කිරීමට සැබෑ උවමනාවක් ඇති සෙයකි . එහෙත් එය කවුරුන් අහුලා ගනී දැයි හිතේ සංකාවකි (ඔහු තරඟයට ඉදිරිපත් වුයේ දින්නන්ට නොව හොඳ සටනක් දෙන්නට යයි මට විටෙක සිතේ .)

තෙවැන්න දින සියයමය. ඒ කීවේ මුට්ටියක බත්, පිඟානකට බෙදන්නට යාමය . එයට සැලැස්මක්ද විය . හැන්දක්  ගත්තා -මුට්ට්යෙන් බත් අරන්- පිඟානට  බෙදුවා , ඒ සිම්පල් ප්ලෑන් එකය (ඔබට මා කියන දේ වැටහේ යයි සිතමි) 

අවසාන එක , ජනතාව යහපාලන නඩය ගැන  හා ඔවුන් ජනතාව ගැන සිතු අයුරුය . වටවෙලා ඔවුන් එක්ක සෙල්ෆි ගන්නකොට , මුහුණු පොතේ ස්ටේටස් ලියන කොට දේශපාලකයන් හිතුවේ මේ වැඩේ කරගන්න මුන් අපිත් එක්ක දිගටම චියර් කර කර ඉඳීවි කියලාය . හු හු උන්ට වැරදුනි .අපි එහෙම නොවේය රට උන්ට බාරදී අපි නින්දට යනවාය .

අපි හිතුවේ මේ ගොඩේ  ඉන්න හොරු බයට හොරකන් නොකරයි කියාය . අපටද වැරදුනි .

අපි දැන් මෙතැනය . ආපසු යා නොයුතුය . රියැදුරා නිදි කිරන්නේනම් එක්කෝ ටොක්කක් ඇන ඔහු අවදි කළ  යුතුය , නැතිනම් සුක්කානම අතට ගත යුතුය .

පලි : කෝඳුරු තෙල් වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනෑය . හත්පට්ටයක් සොයා ගත්තද අර අවසන් "ටික" සොයා ගැනීම ඉතා අපහසුය

15 April 2015

කෝච්චියට නැගී අවුරුදු හා කමලාවතිගේ අවුරුදු පිඟාන

කෝච්චියට නැගී අවුරුදු 

අටයි දහය මිස් උනොත් නම් රැස්වීමට යන්න පරක්කු වෙනවා. දොර වැහෙන්නට පෙර දුම්රිය මැදිරියට ගොඩ වීමට මම අඩිය ඉක්මන් කලෙමි 

"පොඩ්ඩක් ඉඩ දෙන්න මටත් ඇතුළට  එන්න " ලයාන්විත කටහඬක් ඇසුනෙන්  මම මදක් ඇතුළට  වුනෙමි. එනමුදු රුවක් ඇස නොගැසුනි . පුරුදු කටහඬක්  . කැවිලි පුසුඹක් ... වෙන්න බෑ .. නෑ  ඇත්තටම කැවිලි පුසුඹක් 

මොනවද බැලුවේ  (ආයෙත් අර කටහඬ )

කවුද ඔය  (මම හඬින්  සිතුවෙමි )

කලබල වෙන්න එපා . ඔව් මම තමා . පේන්නේ  නැති උනාට ...(එවර හීනියට මෙන් ඔංචිලි  වාරමක් ඇසෙන්නට විය )

ඔලුව කොලොප්පන් වේගෙන එනවද කොහෙද 

මේ සැරෙත් මෙහෙ නේද ? අද ගෙදර ඉන්න බැරිවුනයි ? තාම නොනගතය 

මෙහෙ කොහේද  සිංහල අවුරුදු 

ජය වර්ණය රතු . 

අද ප්‍රොජෙක්ට් මීටින්  එකක් ..(කාටද මම මේ උත්තර දෙන්නේ )

කැවිලි ටිකක් වත් ගෙන්න ගත්තද 

මේ සැරේ බැරි උනා 

අඩුම ගානේ කිරිබතක් වත් හදනවද නැකතට කන්න 

සතියේ දවසක්නේ , ගෙදර හැමෝම වැඩට , ඉස්කෝලේ ගිහින් රෑට  වත් හදා ගෙන කනවා 

රෑට කිරිබත් ?

මොනවා කරන්නද ඉතින් 

අම්මලා බලන්නවත්  බැරි උනා මේ සැරේ නේ 

අම්මා ... මේ සැරෙත් ....කෝල් එකක්වත්  දෙන්න ඕනේ 


**********************************
කමලාවතිගේ අවුරුදු පිඟාන 

තාප්පෙන් එපිට බැදෙන 
කොණ්ඩ  කැවුම් පුසුඹ දිගේ 
කමලාවතී ඉස්කෝල හාමිනේ 
කරන්නී 
කාලතරණය 
කමිස 
පොඩි 
සරම් පොඩි 
ඇඳ 
(බඳ  වට බැඳ 
පටියක් 
වැඩි පරිස්සමට )
කෑම පිඟන් ඔබමොබ 
ගෙනගිය 
කොලුපැටව් 
අද නැත 
උන් 
මුහුදු හතක් එපිට 
(නිවාඩු නැති පවට 
මක් කොරන්, ඉතින් .)
කවුරුවත් නැති ගේ වල 
කිරිබත් කැවිලි මක්කට 
සබන් කෑලී දෙක තුනක් 
ගෙනත් තියන්නැහි 
(පැන්සොන් එකේ ඉතිරියෙන් )
පිඟන් දෙක තුනට 


11 April 2015

ලෝකය වෙනස් විදියට දැකීම ( කතාවක් මැද ) // A different perceptive (a very short story)





These two Islands sit in the shallow waters like two old lovers . Peacefully. They are connected by a thin strip of sandbank, which get's submerged during high tide . I could close my eyes dream of a man living in one island, in a small house. An old man , with a scruffy beard, in a dirty pair of shorts . He get's up early and rushes to the shore to walk down the sand bank to the other island . To sit in his favorite place . To gaze at the sea and watch the seagulls. Then before the high tide he rushes back . Everyday.

But can't you see the gulls from your island

I can

Then can't you see the sea from there

I can the sea too

Then why do you go to the other side 

everybody needs a different perceptive I guess

                                                         * * *

මේ දුපත් ද්විත්වය , හිඳී නොගැඹුරු දියේ , වියපත් වූ ප්‍රේමවන්තයන් දෙදෙනෙක් මෙන්. දුපත් දෙක සම්බන්ධිත වැලි ඉවුර වඩදියට නොපෙනී යයි . බා දියට මතුවේ , මදකට පමණක් දෑත් අල්වා ගන්නා සේ වියපත් ප්‍රේමවන්තයන් . මම දෑස   පියා ගනිමි . මට මැවී  පෙනේ එක දුපතක කුඩා නිවසක දිවි ගෙවන වයසක මනුස්සයෙක් . මුහුණ පුරා තැනින් තැන වැවුණු රැවුල , දුර්වර්ණ වූ කොට කලිසම. 

අරුණැල්ලේ ම ඔහු පැමිණේ වෙරළට , වැලි ඉවුර දිගේ අනෙක් දිවයිනට යාමට .  ඔහුගේ ප්‍රියතම තැන හිඳ  මුළු දවසම සයුර දෙස බලා සිටීමට . ලිහිණියන් සුළගේ පාවෙන අයුරු , දියේ කිමිදෙන අයුරු බලන්නට .

වඩ දිය එන්නට කලින් ඔහු පැමිණේ නැවතත් . හැමදාම .


ඒත්  ඇයි  ? ඔබේ දූපතට පෙනෙන්නේ නැද්ද මුහුද 

පෙනෙනවා 

එහෙනම් ලිහිණියෝ ?

උනුත් පෙනෙනවා 

එහෙනම් ඇයි හැමදාම යන්නේ අනෙක් පැත්තට ?

මම, වෙනස් විදියට ලෝකය දකින්න  කැමති  මිනිහෙක් 

09 April 2015

කන්කරු පක්ෂය , පී කොක් පැලස් සහ අපේ රට

ලෝකේ බොහෝ රටවල කම්කරු පක්ෂ තිබේ . ටයි කෝට්  ඇඳ  ඉංගිරිසියෙන්ම  කතා කලත් , ඒ පක්ෂ වල ප්රතිපත්ති සමාජ වාදී ය . නමුත් අපේ ලංකාවේ තත්වය ඊට වෙනස්ය . සමාජ වාදීන් නොම්මර එකේ ධනපති වාදීන්ය , ජාතිවාදීන්ය , ඒකාධිපතිවාදී එහෙයියන්ය . ඒ අස්සේ ලංකාවේද කම්කරු පක්ෂයක් තියෙනවාය . එය කම්කරු කීවාට , කන්කරුය . ඒකේ නායකයා මහා ව්යාපාරික ලියන මහත්තයාය. ඔහු මයි කා මයි පෙට්රෝල් වර්ගයේ ව්යාපාරිකයෙකි. තමන්ගේ මුදලින් , අනුග්රහය දක්වමින් , තමන්ම නිවේදන කටයුතු කරන , තම දූ  දරුවන්ම ගී ගයන පැය  දෙක තුනක වැඩසටහනක් කරන්නට තරම් ඔහු විටෙක නිහතමානි විය. ඉතින් ඔය ඕනෑ  තරම් චැනල් තියෙන්නේ , බලන්න අකමැති නම් වෙන එකකට චැනල් එක මාරු කරන එකනේ තියෙන්නේ අයෙක් කියන්නට හැකිය . නමුත් ඇතැම් ප්රදේශ වලට පෙනෙන්නේ චැනල් දෙකක් විතරක් නිසා , ඔවුන් තමන්ගේ සල්ලි වලින් ගත් රූපවාහිනිය  නිවා දමා කලින්ම නින්දට ගියහ. මුදල් වලට බලයක් තිබේ . මුදල් කන්දකට , මඩිස්සලේ ඇති පිච්චියකට වඩා බලයක් තිබේ .
මේ ලියන මහත්තයා සල්ලි සල්ලි කියා බලන්නේ නැතිව කන්කරු පක්ෂයක්  පිහිටුවා ගෙන තිබේ. වසරේ බොහෝ දින වල, රස්සාවේ හේතුවෙන් තම ආයතන ප්රධානියාට "ගුඩ් මෝනින් සෑර් " කියන සේවක තෙමේ , දැන් මැයි  පලවෙනිදාද , කොම්පැනියෙන් ම දුන් රතු ටි ෂර්ට් එක ඇඳ , පෙළපාලියෙන් අවුත් වේදිකාව මත සිටින තම ආයතන ප්රධානියාට " ගුඩ් මෝනින් සෑර් , ජයවේවා  සහෝදරයා " කියන්නෝය . තමන්ගේ නමින් නිකායකුත් පිහිටුවා ගෙන , එහි සංඝ නායක කම ගත්තා නම්, පෝය දොලහෙත් වැඳුම් ලැබීමට හැකිය .

මේ කන්කරු නායකයාට , පී  කොක් පැලස් නමින් මහා මන්දිරයක් තිබේ . එයට ඒ නම කියන්නේ මොණරු බොහෝ ඒ අඩවියේ ගැවසුන නිසාවෙන්යයි  කියවේ . රුපියල් දාහේ කොළේ  ඉන්නෙත් මොණරා ය. ඔහු දැන් එය පරිත්යාග කරන්නට යන්නේ , රටම ඉල්ලන (අනේ අපි නොදන්න) අප්පච්චිටය  . ඊට හේතුව , මේ වසර දහය තුළ  මේ අසහාය නායකයා රට වෙනුවෙන්ම කැප වූ නිසාම , කොළඹින් පොඩි ඉඩම් කැල්ලක් අරන් ගෙයක් හදාගන්නවත් බැරිවිය . අඩුම ගණනේ ගමේ ඉඳන් පැයට  දෙකට කොළඹ එන්න හයිවේ එකක්වත් හදා ගන්නට බැරිවිය . අපේ රට එවන් රටකි . කම්කරුවෝ , උන්ගේ සල්ලිවලින් මහා මන්දිර සදා , ජන නායකයින්ට තෑගි දෙති .

මේ කතාවේ සංකේතාත්මක බව මුළු රටේම පැති කඩක් බඳුය. දවල් මිගෙල් රෑ දනියෙල් ගේම් වල සිට , මොණරු ගැවසෙන පී  කොක් මන්දිර දක්වා , ඒ මන්දිර දන් දෙන අනේපිඬු සිටුන් දක්වා , ඒ දන් පිළිගන්නා අප්පච්චිලා දක්වා , ඒ පිං බලෙන් මතු මතුත් , ආණ්ඩුවක් ආණ්ඩුවක් පසා  ලැබෙන  දිව්ය සැප සම්පත් දක්වා එය දිගු කළ  හැක

06 April 2015

තරාතිරම නොබලා , දඬුවම් ( පැන්නොත් හිරේ )

ළඟදීම  දඬුවම් දෙයි වගේ නේ ?

ඒ කිව්වේ?

මම කිව්වේ , තරාතිරම නොසලකා , දඩ , සිර දඬුවම් ළඟ ළඟ 

එහෙමද ?

ඔව් ඔව් 

එහෙනම් හොඳයි .. අනික එහෙමනේ මේකෙත් තියෙන්නේ
(මම "දින සීයකින්  අලුත් රටක් " පොතේ අදාළ පිටුව සොයන්නට වුනෙමි )


ඔව් ඔව්... චම්පික මහත්තයාටත් බේරෙන්න අමාරු වෙයි . සමහර විට හිරේ යන්න වෙයි 

චම්පික මහත්තයා ? මම හිතුවේ මෑන්ස්  කතා කරන විදියට සුපිරිසුදු චරිතයක් කියලා . අනික එයා ෆයිල් අරන් අල්ලස් දුසන එකටත් ගියානේ. ඒත්  ඉතින් මිනිස්සු කාලා බලන්න යෑ  නේද 

සුපිරිසිදු බව නම් දන්නේ නෑ ඒත් දඬුවම් වලින් නම් බේරෙන්න බැරි වෙයි 

තරාතිරම නොබලානේ 

එහෙනම් . ඒ විතරක් නෙවෙයි අනුර සහෝදරයාටත් , ටිල්වින් සහෝදරයාටත් .. ඔය වචන හරඹ දාලා බේරෙන්න බැරිවෙයි 

නෑ 

නෑ නෙමෙයි ඔව් .. හාමුදුරු කෙනෙක් කියලා බලන එකක් නෑ රතන හාමුදුරුවන්ටත් දඬුවම් කරයි 

අප්පට සිරි 

ඇයි  හිරුනිකා 

අයියෝ ....හිරුනිකාආආආ...? 

ඔව් ඔව් නීතිය ගැසට් කරලානේ, දැක්කේ නැද්ද  ..දැන් ක්‍රියාත්මකයි ..ට්‍රැක් පැනීම තහනම් ..ට්‍රැක්  පැන්නොත් දඬුවම් .

ආ ඒකද මේ කිව්වේ ..මම හිතුවා ..

මොකක්ද ?

නෑ එකෙන් කාරියක් නෑ .. ඒක නෙමෙයි ඔහොම ට්‍රැක් පනින අය ගැන චෝදනා ගොනු කරන්න පුලුවන්ද ?
(මම , අතේ ඇති පොත දෙස බැලීමි , ..මයිත්‍රී පාලනයක් , ස්ථාවර රටක් යන වදන් පෙළට උඩින් සිරිසේන මහත්තයා අඩමානේට වගේ මද සිනාවක් නගා ගෙන මා දෙස බලා සිටින්නේය )

04 April 2015

තුන් දෙනෙක් ඩබල් දාලා යෑම

බොහෝ කාලේකට,  අපේ අප්පච්චිට සන්තකේටම වාහනේකට කියලා තිබ්බේ පුෂ් බයිසිකලයකි. එතරම් වාහන බහුල නොවූ එකළ , නුගේගොඩ මහා මාර්ග දිගේ පමණක් නොව හයිලෙවෙල් පාර දිගේද බයිසිකලයෙන් ගමන් යාම එතරම් අපහසු කාරණයක් නොවීය .  මේ කියන්නේ එතරම් ඈත නොව අසූව  දශකය මුල් භාගයේය .

ඒ දවස්වල බොහොම අමාරුවෙන් බැංකුවෙන් ණයක් අරගෙන , අපේ ගෙදර හදන කාලයයි . හැම දාම හවස අප පදිංචි වී සිටි නාවල ඇළ  අසළ  කුලී නිවසේ සිට හැදෙන අලුත් ගෙදර වැඩ බලන්නට , අප්පච්චි බයිසිකලයෙන් යන්නේය . නමුත් ඒ තනියම නොවේ . අම්මා ලගේජ් එකේ හිඳ  ගෙනය . මම බාර් එක මතය. කන්දක් ආවිට අම්මා බයිසිකලයෙන් බසින්නීය . අප්පච්චිත් බැස්සත් මම බාර්  එක උඩමය .  එවැනි ගමන් කියක් ගියාදැයි මට හරියටම නිනව්වක් නැත . එහෙත් මුලින්ම එසේ ගිය දවස නම් හොඳටම මතකය . මේ බාර්  එක උඩ  අල්ලා ගන්නට කිසිත් නැතිව හුලන් වැදී  වැදී  මම ගියේ පරාන බයෙනි . එසේ ගොස් අප්පච්චි දවස් කුලිය බේරා  එන තෙක් මම,  වැලි හලා ඉතුරු උන තිරිවාන ගල් ගොඩේ , නැවත ගෙන යාමට ගල් කැට  එකතු කරන්නෙමි. මැණික් වෙන්නේ තිරිවානාමැයි, අත්තම්මා දිනක් කියා තිබුණි . ඒ ගල් ගොඩේ මා සෙවුවේ ඒ වැනි මාණික්‍යයකි.   

දිනක් තනියම අප්පච්චි බයිසිකලයෙන් හන්දියට ගොස් එන විට, වෑන්  එකට ඉඩ දී අයින් කරන්නට ගොස් බයිසිකලය පෙරලි ඇද  වැටි තිබුණි . තමන්ගේ නූතන  විද්‍යාත්මක දර්ශනය අනුව පැනඩෝල් පෙති දෙකක්, අම්මාගේ පෙරැත්තයට තැම්බූ වෙනිවැල්ගැට  වතුර සමගින් බොන ගමන් ඔහු කීවේ  . "තනියම පැදපු  නිසා බැලන්ස් නැති වුනා කියලාය ."

එදා මට ඒ කතාව නොතේරුනි . පහු කලෙක කර දඬු උස්වී බයිසිකල් පදින්න , මෝටර් සයිකල් පදින්න පටන් ගත්තත් මේ කතාව මට නොතේරුනි . නමුත් අද දරුවන් ලැබ , ඉහ නිකට පැහී  ගෙන එද්දී මට මේ කතාව වැටහෙන්නට පටන් ගෙන ඇත . 

ජීවිතේ  බැලන්ස් කරන්නේ දරුවන්මැයි .

පලි  : කොහෙන් ගියත් මැක්කාටම එනවා කියලා හිතන්න එපා .  මේ කතාව ලියන්න පටන් ගත්තේ අර පරණ පීල්  ඇඩ්  එක බලලා ...අර "මෙන්න තුන් දෙනෙක් බයිසිකලේ ඩබල් දාලා යනෝ " කියලා  කෑ ගහන්නේ ... රනිල් , මයිත්‍රී ඩබල් දාලා යන එකේ ලගේජ් එකේ , තව කව්දෝ ඉඳගෙන යනවාදෝ කියලා හිතිච්ච නිසා ...ඒත්  මේ පරණ කතාව මතක් උනා .. ඒ දිගේ හිතන්න ගත්තා ..නමුත් අර මුල් කතාවත් සඳහන් නොකලොත් අඩුවක් කියලා හිතුනා 

03 April 2015

අපි වෙනුවෙන් අපි

(වෙරළ පුරාවට එක දිගට ඇඳුනු පා සටහන් තෙත වැල්ලේ ඈතට විහිදීලා , මුතු මාලයක් වගේ . ගිලි ගෙන යන ඉර, තැඹිලි පාටට සිතිජය මෙපිටින් මූදේ  දිය වෙනවා . )

සේන , මොනවද ඔච්චර හිතන්නේ 

මට ඉස්සර මතක් උනා රේණු 

හ්ම්ම් 

(මා ඈ මුහුණ දෙස බැලීමි . එහෙන් මෙහෙන් ඉදුණු හිසකේ නටනවා හුළඟේ, ඒත් ඉස්සර වගේ දඟකාර කමක් නැතුවා වගේ . වෙනදා වගේ රේණු හැම තිස්සෙම අතින් අල්ලලා කෙහෙරැල්ල මට්ටු කරන්නෙත් නෑ . පුරුදු වෙලා වෙන්ටෑ .මූණෙත්  කළු ගැහුණු පැල්ලම් . කම්මුල දිගේ ගලපු කඳුළුම වේලිලා ..)
_____________________________________________________

මට සමාවෙන්න සේන ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගත්තේ .... මට ඔයත් එක්ක එන්න බෑ  .....කිව්වා වගේ එහෙම කලොත් අපේ අම්මා වහ බොයි 

මට තේරෙනවා රේණු .... අම්මා බය ඇති ඔයාටත් කෙහෙල් කොටයක් දාල සීල්  කරපු පෙට්ටියක් බදා ගෙන අඬන්න  වෙයි කියලා රේණු ...

මූසල  කතා කියන්න එපා සේන 

_____________________________________________________


 මම ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා ... නො ඒවිද කියලා හිතුනා 

බස් එක කැඩුනා මගදී .. 

මා දකුණු අතින් කලවා පිරිමැද්දේ ඒ දිගේ ඇදුනු වේදනාව පිරිමැද අඩු කළ  හැකි සෙයිනි . ඈ ඒ දෙස බලා ගෙනම සිටියාය .

කකුල තාම රිදෙනවද 

නෑ දැන් අඩුයි.. තුවාල වේලිලා .. ලබන මාසේ ආවම  කකුළට මෙසමන්ට් අරන් ඕඩර් එක දෙමු කියලා ඩොක්ට කිව්වා .

පුරුදු විදියටම , ඇඩුම්  එනු නොහී  ඈ යටි තොළ විකාගත්තාය .... ඈ අහස දෙස බැලුවේ කඳුළු යළි ඇස්  කෙවෙනි තුළටම ආපසු හරවන්නට මෙනි .

"වහින්න වගේ "

(වසත් කළ අග මෙවැනි සන්ධ්‍යාවක අහස කොහොමත් වලාකුළු බරය )
______________________________________________________

සේන, කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්නද නේද 

හ්ම්ම් , අපි වයසට ගිහින් ....ඔයාට කසාදයක් බඳින්න තිබ්බේ රේණු

ඒ මොකටද 

එතකොට ඔයාටම කියලා කෙනෙක් ඉන්නවා 

හ්ම්ම් , (ඈ පිට කළ  සුසුම වසර ගණනාවක් තිස්සේ ඈ සුසුමින්ම පිරුණු මේ වාතලයට එක්විය . මට යන්තමට උණුහුමක්  දැනුනි . අලුත් සුසුම් කොහොමත් මදක් උණුසුම්ය)  ...එහෙම කෙනෙක් දැනුත් ඉන්නවානේ 

රේණු ....ඔය නැගිට්ටේ යන්නද

ඔව් පරක්කු උනා 

රේණු 

ඕ 

හෙටත් එනවද 

(රළක් විත් වෙරළේ  වදින හඬ එක වරම සද්දයට ඇසුනි  )

ඔව් හෙටත් එනවා 




මේ ලියවිල්ලට නිමිත්ත වූයේ එඩ්වඩ් ගේ මේ ගීතයයි . 




පලි : 
කලක් අපේ රටේ ඉසිරිනු වැලි ඇට වගේ සුලභ වූ රේණුලා , සේනලා  අද එලිපහලියේ එච්චර පේන්නට නැත. උතුරට වෙන්නට එවැනිම නඩරාජලා , තංගමනිලා සිටින්නට ඇත . රේණු හා  සේන කසාද නොබැන්දේ, ජාතිආලයක් නිසා නොව , අපි ඔවුන්ට ඊට ඉඩ නොදුන් නිසාය. ඔවුන්ට නම් දරුවන් නොවුනි. සීල්  පෙට්ටි ගමට නාවත් , ඒ ආ පෙට්ටි දිහා ඇස් ඇර ගෙන හුන් පොඩි එවුන් , අද කරදඬු උස්වූ තරුණයන්ය , තරුණියන්ය .  අපි දකින්නට කතාකරන්නට  අකැමති ප්‍රශ්නයක් එතැන  ඇතැයි මට සිතේ