29 July 2016

සුද්දාගේ රටේ සිංහලෙන් කතා කිරීම // keeping the flag flying

පෙ . ලි 
මේ සටහන කාලයක්  සිතන, එත් ඒ ගැන සිතුවා මදියැයි සිතුනු   නිසාම නොලියු,   තේමාවක් සම්බන්ධවය . 

එය පළ කිරීමට ආසන්නම හේතුව  රසිකොලොජිස්ට් ලියු මේ සටහන විය  (http://rasikalogy.blogspot.hk/2016/07/english-or-singlish.html.) . රසිකගේ අදහසට මම සම්පුර්ණයෙන්  එකඟ නොවෙමි . නමුත්  සත්‍යය සාපෙක්ෂයයිද සැම දෙයකම තුන් පැත්තක් ඇතැයි  මම ඉදුරා විශ්වාස කරමි . මේ සටහන මතයක් ඉදිරිපත් කිරීමේ චේතනාවෙන්ම ලියමි . එමෙන්ම මෙය ඇඟිල්ල දිගු කිරීමකට වඩා , කැඩපතකට එබී බැලීමක් ම වේ. එය වටහා ගැනීමේ හැකියාව රසිකලොජිස්ට ඇති බව දනිමි.  
අනෙක් අතට දිවි නිපුණතාවක් ලෙස බසක් ඉගැනීමේ අදහසට මේ සටහන විරුද්ධ නැත . නමුත් ඒ බස උගන්නේ , ලංකාවේදී අදහස් හුවමාරු කර ගැනීමටද , සිංහල පත පොත කියවීමටද , නැතිනම් ඊට වඩා මහා වූ කාර්යකටද යන්න මම ප්‍රශ්ණ කරමි 


***
ඉකුත් සති දෙකෙහි අපි සංචාරයක යෙදී සිටියෙමු . එක්තරා නගරයකදී , යාචකයෙක් අප ලඟට පැමිණ , දින ගණනාවකින් නොකෑ  බවත් , මාරු සල්ලි තිබේ නම් ඔහුට දෙන ලෙසත් ඉල්ලා සිටියේය .

මද වෙලාවකින් මා දියණිය කීවේ , ඉංග්‍රීසියෙන් කෙනෙක් හිඟමන් ඉල්ලීම ඈ  කම්පනයට පත් කළ  බවයි . ඈ  මෙය කීවේ  "ඒ රටේ හිඟන්නෝ හිඟා කන්නෙත් ඉංග්‍රීසියෙන් " වැනි කියමනකට වඩා වෙනස් අරුතකින් යයි දන්නා බැවින් මම ඊට හේතුව ඇසුවෙමි .

ඈ කීවේ ලංකාවේ හිඟන්නෝ සිංහලෙන් කියන බොහෝ දේ ද , අපි ජීවත් වෙන හොං  කොං  හි හිඟන්නෝ කැන්ටන් බසින් කියන දේද ඇයට නොතේරෙන මුත් , මේ ආයාචනය මුළු මනින්ම ඇයට වැටහුණු නිසා බැවින් කියාය .

***

ඔන්න මීට දශක ගානකට පස්සේ , අඟහරු ග්‍රහයාගේ ජනාවාස ඇතිකරන්න හැකියාවක් ආවාලු  .
. හැම රටකින්ම ජෝඩු දෙකක් තෝරා ගෙන අඟහරු ග්‍රහයාගේ පදිංචි කළා ලු . කාලයාගේ ඇවෑමෙන් , ඒ මිනිස්සු ඒ ජීවිතයට හුරුවුනාලු . වගා කරගෙන , දරු මල්ලෝ හදා ගෙන ජීවත් වුනාලු . ලංකාවෙන් ගිය පවුල් දෙක තම සම්බන්ධතාවය දිගටම පවත්වා ගෙන ගියා ලු.  මින් එක පවුලකට  දරුවන් ලැබෙන්න ටිකක් කල් ගියා ලු . කොහොමෙන් කොහොමෙන් හරි , තම බිරිඳට දරුවෙක් ලැබෙන ආරංචිය කියන්න ඒ සැමියා අනෙක් අයගේ නිවසට ආවා ලු . ඇවිත් අහනවා ලු " අයියේ දැන් පොඩි එකා ඉපදුනාම ගෙදර කතා කරන්න ඕනේ සිංහලෙන් ද ?" 

***

මේ අවකාශයේ ලියන , හැසිරෙන , ඇතැමෙක් එතෙර වෙසෙන්නෝය . එයිනුත් අප කිහිප දෙනෙකුගේම දූ දරුවෝ , එතෙරම ඉපිදී හෝ කුඩා කළ සිට එතෙරම හැදී වැඩෙන්නෝය. බොහෝ විට උගන්නේද විදෙස් බසකින්මය . 


විදෙස් සමාජයක ජීවත් වෙන මුත් , එහි කොටසක් වීමට අපි  මදක් මැලිවෙමු . ඇතැම් විට ඒ සමාජය තුළ අපගේ අනන්‍යතාවය ගැන වූ ගැටළුවක් අපට ඇත  . (අනන්‍යතාවය පිලිබඳ ගැටලුව ඇත්තේ විදෙස් ගතවුන්ට පමණක්ම නොවේ ) . එහෙයින් අපට පුරුදු සංස්කෘතිය දිගටම පවත්වා ගෙන යාම තුලින් ඒ අනන්‍යතා ගැටලුව විසඳා ගැනීමට අපි තතනමු . (එතකොට ලංකාවේ සුද්දෝ වගේ ජීවත් වෙන්න හදන අය? ....ඒ සමාජ පන්ති ප්‍රශ්නයකි )

මිනිසෙකුගේ සංස්කෘතිය තමන් සිතන බස  සහ පය ගසා සිටින පොළව මත රඳා පවතී යයි මම විශ්වාස කරමි . 
ලංකාවේ ඉපිද , සිංහලෙන් හෝ දෙමළින් උගත් වැඩිහිටි අපි බොහෝ දෙනාගේ මව් බස සිංහලය නැතිනම් දෙමළය. අප ලියන්නේ , කියන්නේ , ඊටත් වඩා  අප සිතන්නේ ඒ බසින් ය. 

වෙසක් එකට දන්සැල් දෙමින් , අවුරුද්දට  රෙද්ද හැට්ටය ඇඳ  කොට්ටා පොර ගසමින් , නොස්ටෙල්ජියාව විඳීමට අමතරව ,  අප කරන්නේ මේ සංස්කෘතිය මෙනෙහි කිරීමය. එහි වරදක් නැත . 

නමුත් ඇතැම් විට අප දු දරුවන්ට ඒ සංස්කෘතිය බලෙන් ගිල්ලන්නට තනන්නේ දෝ යි  විටෙක සිතේ .  දිනපතා ඔවුන්ගේ ඇඟේ  නොවැදෙන සංස්කෘතියක් ඉගැන්වීමේ ඵලය කිම ? සංස්කෘතිය යනු , සමාජයක ඇවතුම් පැවතුම් ය , විශ්වාස හා ඇදහිලිය . ඒවා දැනුම පුළුල් කර ගැනීමට, දිවි නිපුණතාවක් ලෙස ඉගනීමේ කිසි වරදක් නැත . නමුත් මේ කරන බොහෝ දේවලින් අපි ඊට වඩා යමක් බලාපොරොත්තු නොවෙමුද ?
දිනපතා ඇඟේ වදින මහා සංස්කෘතියෙන් වියුක්ත , එය හා අනුගත නොවෙන , ජීවත් වෙන භූමිය  හා නොබැඳි උප සංස්කෘතියක් කර පිට පටවා ගැනීමට අප දරුවන්ට පිලිවනිද ? 

 (ඒ කියන්නේ රටක් වෙනස් කරපු තමන්ගේ ජාතිය ආගමත් වෙනස් කරන්න කියලද ?... ජාතිය හෙවත් ජාතකය යනු තමන් අයිති ගෝත්‍රය නොවේද ?.  ගෝත්‍රිකයෙක් , ගෝත්‍රයේ ගමෙන් දුරට ගෙන යන්නට යන්නට , ඔහු නැවත පැමිණීමේ සම්භාවිතාව අඩුවන්නට අඩුවන්නට , ජාතිය යන සංකල්පයේ තේරුම අහෝසි නොවෙන්නේද ? . නමුත් ආගම ඊට වෙනස් ය, සංකීර්ණය . එය ඊට වඩා දුරක් ඇදෙන රැහෙනකි . එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි )

ආසියාවෙන් ඇලස්කාව ආශ්‍රිත පෙදෙසට සංක්‍රමණය වූ එස්කිමෝ/ ඉනියුට්  වරුන් ගැන සිතන්න . ඔවුන් ගේ සංස්කෘතිය ඔවුන් ජීවත්  වෙන බිම හා තදින් බැඳී තිබේ . ඔවුන් මුල් බිම් වලින් ගෙන ආ  සංස්කෘතිය , බස , විශ්වාස,  අහෝසි වී අලුත් දෑ ඒ වෙනුවට මතු වී ඇත . ඔවුන් පමණක් නොව , සියලුම ආදී වාසී ජන කොටස් වලට මෙය පොදුය . 99% ක්ම මේ ආදී වාසීන්  සංක්‍රමණිකයෝ  වෙති . කාලයාගේ ඇවෑමෙන් ඔවුන් ගේ සංස්කෘතිය, ඔවුන් කර පින්නාගෙන ආ  මුල් සංස්කෘතියෙන් වෙනස් වී , භූමියට උචිත ලෙස විකාශනය වී ඇත . හෝමෝ සේපියන් ලා සංක්‍රමික සත්ව කොටසකි . ඔවුහු අලුත් බිම් සොයා යාමේ සහ ඊට අනුකූලව හැඩ ගැසීමේ රුසියෝය . ඔවුන් යම් තැනක ලැගුම් ගත්  පසු මුලින්ම නිෂ්පාදනය කර ගන්නා දෙයක් වන්නේ , සංස්කෘතියය . එය තමන් ගෙනා දෙයින් තනා , අලුත් බිමේ පැළ කර , කාල අවකාශය තුළ  විකාශනය කර ගනිති . එය ඉතා කෙටි කලකින්ම , මුල් සංස්කෘතියෙන් ඉදුරාම වෙනස් හැඩයක් ගනී . නමුත් දිවයිනක හිරවී සිටි ලාංකික අපට මෙය නුහුරුය , අපහසුය .

මා සිතන්නේ සංක්‍රමික අපගේ සංස්කෘතිය සංක්‍රමික එකක් විය යුතු බවය. එහි හැඩ තල හරියටම මම  නොදනිමි . නමුත් එහි අපි ගෙන ආ දැනුම මෙන්ම , නව බිමට අනුගත වීමට අවැසි නිපුනතා ද අඩංගු විය යුතුයයි සිතමි  .  නව බිමේදී අපට අත්දකින්නට වෙන අනාගත අභියෝග වලට මුහුණ දීමේ ක්‍රමෝපායද  එහි අඩංගු විය යුතුය . උදාහරණ ලෙස අපගේ කතාන්දර,  දිවයිනක හිරවුවන්ගේ කතා වෙනුවට , නව දේශයන් සොයා යන්නවුන්ගේ කතා වලින් සමන්විත විය යුතුය . සිංහලෙන් හිම ගැන කතා ලියැවිය  යුතුය.  අමුතු රටක තනිවූ ගලිවරයන් ගේ වැනිවූ කතා අප සංස්කෘතිය තුළ  මැවිය යුතුය . අප විශ්වාස ...හ්ම් ...එය ටිකක් සංකීර්ණ ය , නමුත් වෙනස් විය යුතුය . 

අප දරුවන් හිතන්නේ ඉංග්‍රීසියෙන් නම් , රුසියන් බසින් නම් , චීන බසින් නම් , ඉතාලි බසින් නම්  අප කළ  යුත්තේ , උන්ට සිංහල උගන්වා , සිංහලෙන් සංස්කෘතිය කියාදෙන්නට යාම නොව ,  අපි කර පින්නා ගෙන ආ සංස්කෘතිය ගෙඩි පිටින්ම ප්‍රති නිර්මාණය කර  , අපගේ නොස්ටල්ජික ෆැන්ටසියන් සංසිඳුවා ගැනීම නොව , උන් සිතන බසකින් උන්ට අවැසි සංස්කෘතියක පාඩම් කියා දීමයයි මම සිතමි .

ඔබට හිතෙන දේ මේ සංවාදයට එක්  කරන ලෙස ඉල්ලමි  




16 July 2016

මැදුම් පිළිවෙතෙහි කවියෝ

උඹ කොහොමෙයි කවියෙක්
වෙන්නේ
හිත් පතුලෙන් කවි
පද අහුලන්නේ
දුෂ්කර කිරියා කරන් නැතිව , කොහොමෙයි
ඇස් කෙවෙනි අගට කවි බිංදු උනන්නේ
දුක් විඳින් නැතිව කොහොමෙයි
කවියෙක් වෙන්නේ ?

වෙන්න කවියෙක්
විඳින්නෝනි 
කන්දරාවක් දුක්
හරියට මැදලා අඳින්න
කලිසමක් වත් නැතිව
කමිසේ බොත්තම් පේලියේත්
 හිදැස්
ජීවිතේ වගේම

සිද්ධාර්ථ උනත්
දුෂ්කර ක්‍රියා කළේ
ඔතෙන්ටිසිටි
ඕනේ නිසා දර්ශනේට
නැත්නම් සාරා සංඛ්‍ය කල්ප ලස්සයකුත් 
පුරලා 
තව සාවසක් 
මොකෑ එක්ස්පීරියන්ස්

වින්දට කමක් නෑ  සහෝ
ඒත් පෝලිමේ ඉඳීද්දි හිටං
ගන්න සම්මාන
පැත්තකින් තියහන්
දුක්
වින්දට කමක් නෑ
සහෝ 
නංවන්න එපා දුක වේදිකාවට
රහ වින්දට
දුකේ 
කවුරුත් කැමති හිනාවෙන්න 
අත්පුඩි ගහන්න 
විඳින්න මිසක් 
කරේ තියන් ගෙදර ගෙනියන්න නෙමේ 
උඹේ දුක .

කවියෙක් වෙන්නත් ඕනේ 
මැඳුම් පිළිවෙත මැයි 

06 July 2016

ඇයි මම බොන්නේ (කවිද මන්දා )

ඇයි මම බොන්නේ 

එහෙම නැත්නම් 
මටත් වෙන්නේ 
හතේ ඉඳන් නවය වෙනකං 
සුසුම් එක්ක පාන් කන්න 
 දහයේ  ඉඳන් දොළහ වෙනකං 
පොලිටි ජෝක්ස් වලට හිනාවෙන්න

***


01 July 2016

මම ගියා නිල්කස් හොරුන්ටත් එහා ගිය මිනිසා සොයා













(මේ තරම් සියුමැලිද කළුගල් තාලයට )

ඩඩ් ඩ  ඩ ඩා , ඩඩ් ඩඩ ඩඩ , ඩඩ් ඩඩ ඩඩ

ට්රියුඌ න් ට්රින් ට්රින් , ට්රියුඌ න් ට්රින් ට්රින් 

මේ තරම් අවමන් නිගා මට 
දරන්නට තව බැරි නිසා 
මම ගියා 
නිල්කස් හොරුන්ටත් 
එහා ගිය 
මිනිසා සොයා 
එහා ගිය 
මිනිසා සොයා 

බැංකුවේ මහා  දොරත් ඇරගෙන 
චන්ඩියා ලෙස ආ නියා 
බලා කීවේ,  හිටින් යයි මට 
අගමැතිත් ළඟ එන නිසා 
අගමැතිත් ළඟ එන නිසා 

නම්බු පිට දැන් වරද පිළිගෙන ගෙදර යන්නට වෙයි කියා 
කියූ විට මම , හිනැහුනා උන් , ටිකක් රෑ වේ යයි කියා  
බලා හිටහං යයි කියා 



පලි : මෙතන යන්නේ වෙනම ගේමක් බව පැහැදිලිය . මට හිතෙන්නේ මෙතැන ඇත්තේ හොරකමකට එහා ගිය දෙයක් බවය. ඒ අස්සෙන් පොලිටිකල් හීන්සැරයක්ද  යන්නේ , අවධානය වෙනතකට යොමු කිරීමටද,  නැතිනම් අලි කැලැත්තු  වලේ ලුලන් ඇහිලීමක් ලෙසද කියා නොදනිමි .