ප්‍රභාකරනුත් මහත්තයෙක් තමයි
අද උන්නා නම්
කැලෑ සූට් එක , සෆාරි කිට් එක එල්ලූ අල්මාරියේම
තිබ්බලු ඉඩ
නැෂනල් සූට් එකකටත්
කිරි පාට
ඔය කියන
මිස්ටලා මැඩම්ලා දොට්ටලා
කලේ හැමදා
ජාතිආලය, සංහිඳියාව
මාරුවෙන් මාරුවට
දවසට තුන් සැරයක්
මේස හැඳි දෙක බැගින්
බලෙන්ම පොවා
ඉස්පොල්ලේ ගිහින්
මොළේට දැවිල්ල අල්ලන ඇසිල්ලේ
අපේ පොකැට් එකටත් විදලා
පතොරොම් දන්සැල් දුන් එකයි
පතරොම්
මරා ගනියව් කියා
රත්මලානේ එයාපෝට් එකේ ගේට්ටුවෙන්
පිටවෙලා
මාවත් , අතුපාරවල් දිගේ
විහිදුන මූසල
සයිරන් නලා හඬ
කිලිනොච්චි අහස අවුලවා
වැටී ෂෙල් වරුසා
බිරාන්ත කළා අපේ හිත්
සීල් පෙට්ටි කෙහෙල් කඳන් බරට
මිනී ගොඩ ටැට්ටර් පිරෙන්න
මතක වමනෙට එනවා
මට
ඒත්
මිස්ටලා දොට්ටලා ගියේ එස්කෝට් පිට
ආ ..රක්ශාවයි අනේ ඉතින්
ඒ උතුමන්ට
ස්මාරකේ නම් හොයන අම්මලා
පපු කුහරේ
කැට ගැහුණ උණු කඳුළු
හොයනවා කාක්කෝ
පැකට්කරලා විකුනන්න
සිල්ලරට
ඩිමාන්ඩ් එක අඩු උනාම
උන් යාවී යාපනේ
කරේ තියන් කැමරාව
ඒ දුකටත් ලන්සු තියන්න
තොග මිලට
මිස්ටලා දොට්ටලා
එදාටත් ඇවිදින්
අද සේම
අත ගසාවි කෙන්ඩියට
පැන් වඩන් , සිහි කරන්
මියැදුණු , අපේ පුතුන්