"ඉර බහින වෙලාවට ඔය ගෑනිව මුලිච්චි උනොත්, බලන්න එපා , උඹලගේ ඇස් අන්ධ වෙයි " ඒ අපේ අත්තම්මා ඇසිලින් ගැන කියූ හැටිය .
ඇසිලින් ඒ වන විට අවුරුදු හතළිහක් හතලිස් පහක් වෙන්නට ඇති, කළු මිටි ගැහැනියකි . අපේ ගෙවල් වලට ටිකක් එහාහින් තිබු "කොරියාවේ " ජීවත්වූ ඇය, මම දන්නා තරමින්, දවසේ වේල පිරිමසා ගත්තේ නිවෙස් වල කුස්සියේ වැඩ , දාන ගෙවල් වල ඉවීමේ සිට මේසන් බාස්ලාට අත් උදව් ඇල්ලීම දක්වා මෙකි නොකී සුළු සුළු රැකියා කිරීමෙනි.
දවල් ආහාරයෙන් පසු බීඩි කොටයක් දල්වා ගන්නා ඇය , සවස අතට ලැබෙන සොච්චමින් රේස් බයි රේස් කඩයට රිංගා පිට රට දුවන අස්සයෙකුට තුන්ඩුවක් දමා , පෙට්ටි කඩයෙන් පාන් බාගයක්, පරිප්පු 250g ගෙන , කමලක්කගේ ගෙදරින් ගිනිවතුර වීදුරු දෙකක්ද උගුරට හලා ගෙන ගෙදර ගිය අහිංසක ගැහැනියකි.
නමුත් ඇයට එක් නරක පුරුද්දක් තිබුණි. ඒ කෝපවූ විට , සතුටු වූ විට , ඔට්ටුවට , තැනක් නොතැනක් නොසලකා , ඇය ඉන ඇඳි සේල ඔසවා පෙන්වීමය. මෙය දන්නා කොල්ලෝ කුරුට්ටෝ ඇයට හූ කිව්වේ , මේ මනස්කාන්ත දර්ශනය නැරඹීමටය . අපේ අත්තම්මා මැය මුණ නොගැසෙන්න යයි කීවේ මෙවැනි වෙලාවටය .
එවැනි විටක හමුඋනොත් , සති දෙකට පෙර හෝ කවුරුන් හරි කී හූවක් මතක් වී , ඇය දත් සම්භාව්‍ය වදනින් හමුවූ අයගේ මව් පාර්ශවයේ ගුණ වනා, ඈ තිරය ඔසවා සත්‍යයේ නිරුවත පෙන්වන්නිය.
වරක් ඇය පළාත් සභා චන්දයේදී , ඇල්මන් පීරිස් දිනන බවට ලීලානන්ද මුදලාලි සමග ඔට්ටුවක් ඇල්ලිය . ඇය ඔට්ටු අල්ලන්නේ මොනවාදැයි මුදලාලි ඇසු විට ඈ " අපිට කොහෙද මුදලාලි සල්ලි, පුරුදු විදියට රෙද්ද උස්සන්නම් " කිවේ , අවටින් මහා හිනා හඬක්ද ලාවට හූ හඬක්ද නංවමිනි. මුදලාලි හාමිනේ ගස්සාගෙන ඇතුලට ගියාය . ඔට්ටුව අහෝසි විය.
කසිප්පු බුලි අයිති කරුවෙක් , පොකට් කාරයෙක් , හෝ වෙනත් පින් වතෙක් සොයා කොරියාවට ඉඳ හිට පොලිසියෙන් පැන්න විටද , බොහෝ විට පිහිටට ආවේ ඇසිලින්ය. රෙද්ද කැඩූ ගැහැනියක් ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියද අසරණය .
තවත් වරක අප පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් සංවිධානය වුයේ දහම් පාසලට ආ අලුත් විදුහල් පතිවරයාගේ උනන්දුවෙනි , සාමාන්‍යයෙන් මල් වට්ටියකට රුපියල් 70, 80 වෙනකොට ඈවරයි, දෑවරයි තුන් ඈවරයි කියවුනද , ඇසිලින් ගේ මල් වට්ටිය රුපියල් දෙසීයකට අලෙවි විය . පසුව හෙළි වුයේ දෙසිය පැන්නුවොත් මල් වට්ටියට අමතරව සුපුරුදු නාට්‍ය දර්ශනයද ඇය පොරොන්දු වූ බවකි .
1996 ලෝක කුසලානය අවසාන තරඟයට පෙර රට වටා බෝධි පුජා පැවැත්වෙද්දී, ඇතැමුන් දෙවියන්ට බාර හාර වෙද්දී , ඇසිලින් සුපුරුදු ඔට්ටුව ඇල්ලුයේ . "අපේ කොල්ලන්ට කඩන්නේ නැති රෙද්ද , වෙන කාට කඩන්නද " කියා අසමිනි.
පන්සලේ හාමුදුරුවන්ගේ ද , දහම් පාසලේ විදුහල්පතිතුමාගේද මැදිහත් වීමෙන් හා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය නාට්‍ය දර්ශනය අවලංගු කලේ " ඒ වුනාට මගේ හිතට හරි නෑ මහත්තයෝ , මම ජීවිතේට පොරොන්දුවක් කඩලා නෑ " කියමිනි.
ප ලි
පූනම් පාන්ඩේ භාරත නිළියකි , නිරුපිකාවකි .
ඇය රග පෑ චිත්‍රපටි මා නොදත්තත් , ඇය පහුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව දිනුවොත් , නිරුවත් වීමට පොරොන්දු විය . ඉන්දියාව ජය ගත් අතර ශ්‍රී ලංකාව පරාද විය .
එතැන් පටන් ඈ දැන් දැන් හැම රෙද්දකටම , රෙද්ද කඩන්නට පොරොන්දු වන්නා සේය .