සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට . ඒ වුනාට මට පෙනුනෙම විකාර රූපී ම සිහින
සිහිනය 1
මම ගාල්ල නගරයේ ඇවිදගෙන යන්නෙමි . බස් නැවතුම් පොලක් ඉදිරිපිට සිටින්නේ දැක පුරුදු මුහුණකි .
ඒ අනර්කලී ආකර්ශා මෙනෙවියයි .
"ආ මිස් අඳුන ගන්නත් බැරි උනා . මොකද මෙතන . මාතර බස් එකක් එනකන් ද ?
" නෑ මෙයා , අරයා එනවා කිව්වා , ටිකක් පරක්කුයි වගේ . නුවර ඉඳන් එන්නත් ඕනෙනේ "
මෙවන් ලද බොළඳ ලඳකට , චන්දෙන් පැරදුනා මදිවාට , මෙසේ අව් කාස්ටකේ රස්තියාදු වීමට වීම ගැන මගේ සිතේ හීන් දුකක් ඇතිවිය
" මිස් ඕවා ගණන් ගන්න එපා . දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?"
" මම අලුත් වැඩක් පටන් ගත්තා " ඇය මට නේම් කාඩ් පතක් දිගු කරන්නීය .
උපදෙස් ලාබයි . ජනාධිපති උපදේශිකා ...එහි ලියා ඇත
සිහිනය 2
සුදු පාට පජෙරෝවක් ම ඉදිරියට පැමිණෙන්නේය . එහි සන් රූෆ් එකෙන් ඉන තෙක් එලියට දා ගත් තරුණයෙක් මට අත වනන්නේය .
" මචං මම දිනුම් '
" ආ එහෙනම් ජයවේවා කිව්වා "
" එහෙම නෙමෙයි , අද අපි ඔක්කොම සෙට් වෙනවා නයිට් ක්ලබ් එකේ , බේබිත් එනවා . අයියත් එන්න . හොඳ ෆන් එකක් ගත්තහැකි ."
"අපි කිව්වේ ?"
" මගේ ජයග්‍රහණයට කැප වෙච්ච කට්ටිය "
" ආසනේ චන්දදායකයෝ ඔක්කොම එනවද ?"
"උන්ට උදේ කිරිබත් කෑලි ටිකක් බෙදුවා . තාත්තත් කිව්වා ඕකුන්ව වැඩිය ලං කර ගන්න එපා කියලා ජනතා සේවය කරන කොට"
සිහිනය 3
බැංකුවක් මත තැබූ දාන් ලෑල්ලක එක පැත්තක අතිගරු ජනාධිපති තුමා ඉඳ ගෙන සිටින්නේය . අනෙක් පස බිම හිඳගෙන සිටින්නේ හිරුනිකාය .
"ඔන්න ජනාධිපති තුමා මම මෙහෙම මේ ඉත්තවත් කපලා , මේ අනික් ඉත්තවත් කපලා රජ වෙනවා . කොහොමද මගේ මූව් එක ?"
ඇය හඬ නලවා අසන්නිය .
ඔහු කතාවක් නොමැත . මාපටඟිල්ලෙන් රැවුල සකසමින් කල්පනා කරන්නේය.
" ඔබ තුමාට මන් ගැන ආඩම්බරයිද ?"
ඔහු හිමින් සැරේ හොරෙන් වගේ පයින් ලෑල්ලට ගසන්නේය . සමතුලිතතාවය බිඳෙ . ඉත්තන් ඉවතට විසිවේ . ඇතැම් ඉත්තන් වෙනත් කොටුවලය . ඇතැමුන් ලෑල්ලේ දාරේ දිගේය .
ඔහු මුහුණේ අහිංසක පෙනුමක් මවා ගෙන සිනාසෙන්නේය
" ඔහ් කකුල වැදුනනේ . දැන් මොකද කරන්නේ . අයෙත් මුල ඉඳන් අදිමුද ?"
සිහිනය 4
සෙනග රැස්වී සිටිති . ඊට ටික ඔබ්බෙන් දිග මේසයක් පිටුපස අනුර කුමාර මහතා , ස්තුති කතාවක් කරන්නේය . කතාව පැහැදිලිව ඇසෙන්නේ නැත .
එක වරම මා අසල සිටි කෙනෙක් අත්පොලසන් දෙන්නට විය .
"සහෝදරයා ඇහුනද ? මටත් ස්තුති කළා "
" හරියටම ඇහුනේනම් නෑ . නම කිව්වද ?"
" නම නම් කිව්වේ නෑ "
"එහෙනම්?"
' ඇයි කිව්වේ , මෙකි නොකී කියලා "
සිහිනය 5
උදය ගම්මන්පිල වේගයෙන් ඇවිදගෙන පලා යන්නේය . මම ඔහු ලුහුබඳිමි .
"මහත්තයෝ ගම්මන්පිල මහත්තයෝ , ඕයි නවතිනවකෝ "
"මම නැවතී ඉන්නේ පින්වත, ඔබයි දුවන්නේ "
මට යකා නගින්නේය " මේ ඕයි නිකන් බුදු ටෝක් දෙන්න එපා . මට කුණුහරුප එනවා කටට "
" හරි හරි මොකක්ද ගැටලුව ?"
" දැන් ඔබද මහ ඇමති ?"
" බලනවකො ඕයි පින්වත . මගේ දුකට වඩා ඇගේ දුක , දුක වැඩි වුනානේ . දුක තමයි ඉතින්"
" එතකොට අර හදනවා කිව්ව ධර්ම රාජ්ජේ ? එකතු කරපු සීයේ කොල ටික ?"
"චිහ් , ලැජ්ජා නැත්ද ඕයි පිනට දුන්න දේ ගැන ආයෙත් අහන්න ?"
සිහිනය 6
හාත්පසම අඳුරුය . එහෙත් අඳුරු සෙවනැලි අතරේ කවුදෝ ඉන්න බවක් මට දැනේ . එක්වරම හේ ගීතයක් ගයන්නට පටන් ගන්නේය
"මඩේ ලගින තාරාවන් දිනවතහැකි බං
ඌරූ දලින් වුව ගජ මුතු අර ගත්තහැකි බං
චපල බසට කැටයම් දා විකුණත බං
එහෙම කලොත් ඔබ කියාවී "
" පොදු අපේක්ෂකයා , පොදු අපේක්ෂකයා මං ..." මම කෑ ගසමි
" හා හා කලබල වෙන්න එපා . 2016 වෙනකන් ටෙස්ට් මැචස් නෑ " ගොරෝසු හඬකින් කවුදෝ කියන්නේය
සිහිනය 7
"ම ..මයන්න " නිවේදිකාව මා දෙස බලා කියන්නීය .
මම මයන්නෙන් ගීතයක් මතක් කරමි .
" ඔබ දැන් ඉන්නේ ජයග්‍රහණය පෙනෙන මානේ . සීමාසහිත දේශප්‍රේමී සමුහ ව්‍යාපාර අනුග්‍රහයෙන් පිරිනමන අයිස්චර්ය තෑගි මල්ලට බොහෝ ලඟින්."
හරි මතක් උනා . මම ගීතය පටන් ගනිමි
"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න . ...... ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න "
....................."අම්මේ ලං වෙන්න එපා . ඔය එපා කියන්නේ "
ඒත් සමගම සිනා හඬක් පැතිරෙන්නේය . මම දෑස විවර කරමි . යතාර්ථය මට සමපාත වීමට මොහොතක් ගතවේ. මට පුටුවෙම නින්ද ගොසිනි
" අප්පච්චි දැන් හීනෙන් සින්දුත් කියනවා " මා දියණිය ඇනුම් පදයක් එල්ල කරන්නීය
" පුරුදු විදියට ගෙරෙව්වනම් හොඳයි වගේ " මා දයාබර බිරිඳ මාගේ ගායන කෞශල්‍යය අගය කරන්නීය