ණයට ගත්ත සිංගප්පුරු හීනය
මේ ලඟදි මා මිතුරෙකු ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් (Arcade Independence) ගොස් මුහුණු පොතේ චායාරූප කීපයක් එල්ලා තිබුණි . එහි සටහනක් ලෙස ඔහු ලියා තිබුනේ , ඔබේ චින්තනය වෙනස් කර ගතහොත් සිංගප්පුරු ගියා වැනිය කියාය (If you change your perception it is like in Singapore). අන්තර්ජාතික කුමන්ත්‍රණ ගැන දොඩවන අපිම , ලෝක බැංකුවෙන්ද (කොහෙද) ගත් ණයකින් සැදු මේ සංකීර්ණයට Arcade Independence යයි නම තැබීම එක අතකට නරුම විහිළුවකි . එය පැත්තකින් තබමු . කොළඹ ලස්සනය, දැන් උදේ බස් එකේ ගාල්ලේ චින්තනට ආස්චර්යයේ හයිවේ එක දිගේ , හයිවේ බස් එකක පුංචි රුපියල් පන්සීයක් දී රූන් ගා විත් , සිංගප්පුරුව බලා හවස ගෙදර යා හැක . ඇවිත් සිංගප්පුරුව වැනි ගොඩනැගිලි , උද්‍යාන බලා , කඩ සාප්පු වල ඇති දේ ෂෝ කේස් එකේ එළියෙන් බලා හුල්ලා , පරණ සයිවර් කඩයෙන්ම බනිසක් කා, හවස ගෙදර යා හැක . ඒ චින්තනගේ නො හැකියාවයි . එනමුදු ඒ කඩ සාප්පු වලින් බඩු මිලදී ගන්නවුන්, ඒ කැෆේ වලින් කන බොන වුන්ද සිටිති . ඒ උන්ගේ හැකියාවයි .නමුත් මේ සිංගප්පුරු තොරන් ගසන්නට ගත් ණය වාරිකයට , පොළි වාරිකයට නම් චින්තනත් සම්මාදම් වෙන්නේය . එයට නොහැකියාව හැකියාව අදාළ වන්නේ නැත්තේය
සංවර්ධනයේ මිනුම් දඬු #1
සංවර්ධනය මැනීමේ එක් මිනුම් දඬුවක් නම් අවුරුද්දකට සැරයක් දෙකක් ලංකාවට එන ඩයස්පෝරිකයන්ට , කොළඹ සිට ඩවුන් සවුත් , හබරණ , දඹුල්ල , නුවර , යාමට යන ගමන් කාළය වසරින් වසර කෙතරම් අඩු වේද යන්නය . අලුතෙන් තාර ඇතිරු මං තීරු දකින විට "Oh development is happening all around " යයි මුවගින් මුවඟට කියවේ
සංවර්ධනයේ මිනුම් දඬු #2
උත්සව සමයෙහි කඩ සාප්පු වල සේල් දමති . ඒවාට ඇන්දෙන මිනිස්සු ණයට කඩ සාප්පු වලින් බඩු මිලදී ගනිති . අනවශ්‍ය විදුලි කේතලයක් වට්ටම නිසාම මිලදී ගන්නා අපිට නොමිලේ පීරිසි කෝප්ප කට්ටලයක්ද ලැබේ . ඒවායේ වටිනාකමද කේතලයේ මිළට එකතු වී ඇති බව අපිට නොදැනේ . අලුත් කේතලයක් ගෙදර ගෙන ගියාට , විදුලි බිල ගැන සිතා දර ලිපේම වතුර උණු කර ගන්නෙමු . අල්ලට සීනි අහුරක් ගෙන කහට උගුරක් බීමට පීරිසි කෝප්පද අනවශ්‍යය . එහෙත් දැන් අපේ ගෙදර , මාසේ ගානේ ගෙවන , විදුලි කේතලයක් ඇත .
රටක සංවර්ධනය , විදුලි කේතල හිමිකරුවන් ගණනින්ද මැනිය හැකිය .