20 January 2015

දූසන අල්විස් මාමා වෙත // Who wants to be a government witness ?

අර පොඩිහිටියාගේ අප්පොච්චා , මගේ මිතුරා , ඔබට මතකද ? (මෙතනින් මතක් කර ගන්න )
ඔහු මේ ලඟදි දවසක කතා කළේය . කතා බහ අතරතුර මම නිකමට වාගේ ඇහුවේ "පොඩි එකා කොහොමද " කියලාය .

"අනේ මචං ඌත් එක්ක කතාකරන්න අපිට බෑ , නියම ඇම්ඩන් "

"ඒ මොකෝ "

"මේ ඊයේ පන්තියේ ටීචර් කියලා රාජකාරී  ලිපියක් ලියන්න කියලා , මූ  ලියලා මාර ලියුමක් . ඔන්න මම එවුවා බලපන්කෝ "


දූසන අල්විස් මයා 
බයිබයි කොමිසම 

කොළඹ 

දයාබර දුසාන් දූසන අල්විස් මාමේ 

මේ ලියන්නේ පහුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ දුෂණයක් ගැන ඔබ දැනුවත් කිරීමටය . මෙය සිදුවුයේ අපේ පංතියේය . මේ චෝදනාව ගොනු කරන්නේ අපේ පන්තියේ මහාම මහා දූෂක ජයසුමන හෙවත් ජයියා  ගැනය . ඌට ගෙදරට කියන්නේ බබා කියාය . 

ගිය ඔක්තෝබරයේ අපේ ඉස්කෝලේ වාර්ෂික දානමය පිංකම තිබුනේය . එයට එක එක්කෙනා කම හදා ගෙන ආවෝය .මම  ගෙනිච්චේ ගොටු කොළ  සම්බෝලයක්මි . අපේ තාත්තා රජයේ සේවකයෙක් නිසා ඔය මස් මාළු ගෙනෙන්ට එහෙම අත  උස්සන්න එපා යයි , මට ස්ථාවර නියෝගයක් අපේ ගෙදර විධායක ජනාධිපති , අම්මා  කියා තිබෙන නිසා , මම කරෝල බැදුම් හෝ හාල්මැස්සන් බැදුමකටවත් අත නොඋස්සුවෙමි . 
ටවුමේ ග්‍රෝසරියේ මුදලාලිගේ පුතා , වරුණ ගෙනාවේ කටලස් ය . ඒවායේ පුසුඹ දැනුනාම මට එකක් ගිලින්න හිතුනේය . ඒත්  අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ , ගෙදරට දානෙට ඇවිත් හොඳ බත් කන්දක් වලඳා , පෘට් සැලඩ් , අයිස් ක්‍රීම් , වටලප්පන් ඔක්කොමත් වලඳා , ඉන්පසු කෝලිකුට්ටු වහන්සේ කෙනෙකුත් වලඳා , දේශනා කලේ සාංඝික නොකළ කෑම  කෑවොත් ටක්කෙටම අපායේ යනවා කියලාය . මට එය  මතක තිබුනේය . 

ඒත්  එතනට ආ ජයියා දඩස් ගා එක කට්ලස් එකක් ගිල්ලේය ඉන්පසු තව එකක් ගිල්ලේය . මම ඔහුට සංඝික කතාව කියූ විට,  ඌ කිව්වේ උගේ වාසගම සංඝදාස නිසා , දැන් සංඝිකයි කියාය . ඔන්න ඔහේ ඕනේ එකක් කියා මමද එකක් කටේ දා ගත්තෙමි .ටීචර් පන්තියට එන විට මගේ කටේ කටලස්ය , ජයියා  පෙනෙන්නට හිටියේ නැත . අයියෝ මගේ ඉරණම අර සුමනදාස අංකල්ගේ වගේ සෝචනීය විය 

මෙපමණක් නොවේ ජයියාගේ දුෂණ රැසකි . මිට අමතරව ජයියා  භීෂණයද පතුරනවාය . අපේ  පන්තියේ අයිස්චර්යා කියා ගෑල්ළමයෙක් සිටිනවාය . ඈ  පැත්තෙන් බැලුවාම ජැකලින් වාගේය . මම හැම තිස්සෙම පැත්තෙන් බලන්නෙමි . ඇයත්  මට ටිකක් කරුණාවය . දවසක් මම ඇගේ  අතින් අල්ලන් ඉඳිද්දී . ඇය සමග පාඩම් වැඩක් ගැන කතා කරමින් සිටිද්දී එතැනට  ආ ජයියා , ඌ අයිස්චර්යයේ අයිස්චර්යාගේ අයිතිකාරයා කියා , මගේ කණට  ගැසුවේය .

මාමේ මේ ලියුම ලියන්නේ මේ හැම තැනම යහ පාලනේ පැතිරෙන නිසාය . කොටින්ම අපේ තාත්තා දවසක් පොඩ්ඩක් මතට තිත තියාගෙන ඇවිත් , රෑට කන්න තිබුනේ පරිප්පුයි වැටකොලුයි  පානුයි නිසා අපේ අම්මාට සද්දයක් දැම්මේ , "මේකද තමුසේගේ යහපාලනේ " කියාය . මාමේ මේ ලියුම ලියන්නේ හැමෝම මේ දවස් වල දුෂණ ගැන මාමාට  ලියන නිසාය . මා ඉල්ලා සිටින්නේ ජයියා ගැන කඩිනමින් විමර්ශනයක් කරන්නට කියාය . උන්ගේ ගෙදර ලම්බෝ ගිනියක් ඇත්දැයි , ඇත්  දළ කන්ටේනර් , උගේ මුහුණ ගහපු පිඟන් සෙට් එකක් එහෙම ඇත්දැයි මට සැකය . ඌ රට පනින්න ඉඩ ඇති නිසා ඉතින් ඉක්මනින්ම ඒ පරීක්ෂණය සඳහා පොලිසිය  වන්ෂෝට් ව එවන්නැයි ඉල්ලා සිටිමි . 

මාමලා  දැන් ජයියාව අල්ලන්න ගියාම,  ඌ මගේ ගැනත් විවිධ චෝදනා ඉදිරිපත් කරන්නට ඉඩ ඇත . ඒවා ගණන් ගන්නට එපාය . ඒ කිමද යත් , මම  රජයේ සාක්කි කාරයෙක් වීමට කැමැත්තෙන් සිටින බැවිනි . අම්මා දවසක් ප්‍රවෘත්ති බලා ඇහුවේ  "යකෝ ඔක්කොම සාක්කි කාරයෝ උනාම , කෝ වැරදි කාරයෝ කියාය " අපේ තාත්තා අම්මාට  තතු පහදා දුන්නේ එය ධර්මිෂ්ට සමාජයක් කරා යන ක්‍රමයයි කියාය . ඒ කොහොමද කියා  ඇසුවාම ඔහු කීවේ  ඔක්කොම සාක්කි කාරයෝ උනාම වැරදි කාරයෝ නෑ , වැරදි කාරයෝ නැති තැන වරදක් තියෙන්න බෑනේ කියාය. "අනේ තමුසේගේ  ලොජික් " කියා අම්මා සභාව විසුරවා හැරියාය .

ඉතින් මාමේ මම මෙතනින් නවතින්නම් . 

මිට විශ්වාසී 

පොඩි එකා 

පලි : මම මේ අමාරු සිංහල වචන කොහෙන් ඉගෙන ගත්තාදැයි මාමා හිතනවා ඇති . පහුගිය ටිකේම බැලුවේ දේශපාලන සංවාද නිසා මගේ සිංහල සද්දකෝෂය පෝෂණය වෙලාය 

20 comments:

  1. පොඩි එකාගේ ළියුම පට්ටේ හොඳම එක..

    ReplyDelete
  2. හිහ් හිහ් හී
    මරේ මරු. පස්ට කියන්නෙ හිනා සාගරයයි.
    අර තාත්තගෙ ලොජික් එකත් මරු කතාව හිහි

    ReplyDelete
    Replies
    1. තාත්තලාගේම පුත්තු නේ

      Delete
  3. කෝ බලන්න මතක් කරලා ...අපිත් දැනුවත් ව ඕව සිද්ද වෙලා තියෙනවද කියල.. ඊ මේලුත් බාරගන්නවලු නේද ?

    ReplyDelete
    Replies
    1. අර ප්‍රෙඩි සිල්වා කිව්වා වගේ.. නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි..

      Delete
  4. ජේ පී ට කියන්න අද මටත් මේ වගේ කතාවක් අහන්න ලැබුනා. අද මම වැඩට ගියේ මා ජීවත්වෙන නගරයෙන් සාමාන්‍යයෙන් දුරම තියන (හා කිසිම පිළිවෙලක්) නැති ඔෆීස් එකක ඩොකියුමන්ට් වගයක් සබ්මිට් කරන්න. ඒ මදිවට ඒක තියෙන්නෙත් මානසික ලෙඩ්ඩුන්ගේ හොස්පිටල් එකක් තියෙන යාඩ් එකක. නිකම් හිතාගන්නකෝ හම්බන්තොට ගියාවගේ.
    අපි ඉතින් ඔය වැඩක් කරගන්න ගියාම සේෆ් එකේ පැනි පොඩ්ඩ්ඩක් හලල ඉන්න මිනිස්සු එක්ක ටිකක් හිතවත් වෙන එක සාමාන්‍යය දෙයක්නේ. ඕකට ලේසිම දේ සිගරට් එකයි කෝපී එකයි. (අපිවත් ඉතින් මිනිස්සු බ්‍රයිබ් කරන්නේ ඔය දෙකින් තමයි.) මගේ ක්ලයන්ගේ ඩොකියුමන්ට් සබ්මිට් කරලා මම එතන හිටපු කන්සල්ටන් එක්ක එලියට හෙම ගිහින් සිගරට් එකක් හෙමත් බොන ගමන් එයාට කෝපි එකක් අරන් එන්නම් කියලා ගියා. ( සිගරට් එක ඔෆර් කලේ මම) මෙන්න මම කෝපි එක අරන් ආපහු එනකොට ඉක්මනට එයාගේ ඔෆීස් එකේ දොරත් වහලා ලොකු රහසක් කියනවා වගේ කියන්නේ මොනවද දන්නවද? නියම විදියට නම් මට දැන් යාළුවෙක්ගෙන්වත් කෝපි එකක්වත් ගන්න බෑ ගිය සුමානේ එයාගේ පස්දෙනෙක්වම ඇරෙස්ට් කලා බ්‍රයිබරි කේස් වලට කියලා.
    මට නේද? මට පැලෙන්න හිනා. (රජයේ ආයතන වල ගසාකාපු සෙට් එකක්ම මේ ඊයේ පෙරේද ඇල්ලුවා.) ඒ අස්සේ මට එක පාරට මතක් වුනේ ලංකාවේ මේ දවස් වල වෙන සිදුවීම්. දැන් මට හීනෙනුත් පේන්න ගනියි බ්‍රයිබ් කේසස්.
    ඒකෙන් මේකෙන් දුප්පත් අපේ කෝපි එකටයි සිගරට් එකටයි තමා හෙණ ගැහුවේ....

    ReplyDelete
    Replies
    1. බුරූ ට හිනෙන් එහෙම පෙනෙන කොට.. අපේ දූසන අල්විස් මහත්තයට මේ දවස් වල මහා භයානක හීනයක් පේනවලු.. ෆයිල් වැස්සක් වැහලා මහා ෆයිල් කන්දක් හැදෙන්වලූ. ඒ කන්ද යකෙක් වෙලා පස්සෙන් පන්නන් එනවලු

      Delete
  5. //මම ගෙනිච්චේ ගොටු කොළ සම්බෝලයක්මි .//

    හී හී නියමයි...

    ReplyDelete
    Replies
    1. මම නම් මි. අපි නම් මූ නේද? ඇයි කුමාරෝදයේ තිබුනේ

      Delete
    2. කුමා ස්ටිකර්ස් රෝදයේද?

      Delete
  6. මමත් ට්‍රයි කරපු කෑල්ලක් හිටියා
    පැත්තෙන් බැලුවම ජැකලින් වගේ
    පස්සෙන් බැලුවම අයිස්චර්ය වගේ
    ඉස්සරහින් බැලුවම පවිත්‍රා වගේ

    ReplyDelete
    Replies
    1. අපගේ සාතිශ්‍ය සෝකය

      Delete
    2. පස්සෙන් බැලුවාම අර කාඩිෂ්ටාන් වගේ නොවෙයිද?

      Delete
    3. රසිකට එකපාරටම මතක් උනේ එයාව නේ

      Delete
    4. කිම් කාඩේශන් නේද, කාඩිශ්ටාන් නෙමෙයි

      Delete
  7. //මම ගෙනිච්චේ ගොටු කොළ සම්බෝලයක්මි//

    උක්ත අාඛ්‍යාත ගලපන්න පොඩි ඒකා මනාව දන්නා බව පෙනේ... පට්ටය.....................

    ReplyDelete
    Replies
    1. කොලුවා ඇල්මෙන් අකුරු උගන්නේය ඉදිරි වැඩ තකා ..

      Delete
  8. පට්ට එකෙත් හොඳම එක.. පොඩි එකා ගේ අනාගතේ පැහැදිලියි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. වර්තමානය තමා පොඩ්ඩක් අපැහැදිලි

      Delete

Have commented