19 March 2015

බන්දුගේ විශ්‍රාම ගැනීම හෙවත් සනත් ජයසුරිය සින්ඩ්‍රෝම්

කාලයකට පෙර මා සේවය කල කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු නොහොත් සී සී , බන්දු , තනිකඩයෙක් විය . දිනක් උදේම පැමිණ ඔහු මැනේජර් මහතා හමුවී කියා සිටියේ තව දෙසතියක් ඇවෑමෙන් ඔහු සේවයෙන් විශ්‍රාම ගන්නා බවය. 
" වැඩ කලා ඇති සර් . මම අලුත් කට්ටියට ඉඩ දීලා ගෙදර නවතිනවා . පින් අතේ වැඩ කරනවා " ඔහු කිවේය. 

සාමාන්‍යයෙන් තෙමසක දැනුම් දීමක් කළ  යුතු මුත් . ඔහුගේ මෙතෙක් කල්  කැපවීම සලකා බලා ලොක්කා ඊට අවසර දුන්නේය . ඉන්පසු සති දෙක තුල , අලුත් සී සී කෙනෙක් පත් කිරීම . වැඩ ඉගන ගැනීම මෙන්ම බන්දුගේ සමුගැනීමේ සාදය සංවිධානය කිරීමද කඩිමුඩියේ සිදුවිණි . අපිත් සල්ලි සල්ලි කියා නොබලා සම්මාදම් වී ඔහුට කමිසයක් අරන් දුන්නෙමු . එය එසේ මෙසේ නොව වෑන් හුසේන් විය .

සිකුරාදා වේ සාදය යහමින් පැවතුනි. සමුගැනීමේ කතා අතරේ ගෑනු කට්ටිය කදුළු සැලුහ . මදු  සාදය අතරේ කොල්ලෝ දෙදෙනෙක් බන්දුව බදා ගෙන හැඬු හ .  හරියටම කොහොමද කියා මතක නැතත් , සභා තොමෝ පාන්දර තුනට විතර විසිර ගියහ . ලොක්කා කාර් එකෙන්ම බන්දු  ව ගමේ ගෙදරටම ගොස් බස්සා  තිබුණි


සඳුදා , බන්දුගේ මේසය හිස්ය . මාලිනි මිස් ඒ දෙස බලා සුස්මක් හෙලීය . තේ හදන විමලේට අමතක වී දහයට තේ කෝප්පයක් බන්දුගේ මේසය මත තබා තිබුණි . කෝප්ප නැවත එකතු කිරීමට ආ විට ඔහුට වරද වැටහුණි . " බන්දු  සර් නැතිව ඔපිස් එකේ කිසි ගතියක් නෑ අප්පා " ඔහු කීවේ  කාටත් ඇහෙන්නය .

අඟහරුවාදා උදේ පාන්දරම වැඩට එන විට , මෙන්න බන්දු ආයෙත් වැඩට ඇවිත්ය .
"කම්මැලියි බං  ගෙදර ඉන්න . මම පොඩි බ්‍රේක්  එකක් නේ ගත්තේ , කව්ද කිව්වේ රිටයර් වෙනවා කියලා "  බන්දුවා  ඇඟට නොදැනී  කිවේය .

මගේ ඇස  ගියේ ඔහු හැඳ  හුන් කමිසයටය . මූ අර වෑන්  හුසේන් කමිසයම ඇඳ ගෙන ඇවිත්ය .



පලි : සාමාන්‍යයෙන් ලෙඩකට නමක් දමන්නේ එය වැළඳුනු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හෝ එය සොයා ගත්  අයගේ නමිනි . මේ රෝගයට වෙනත් නමක් දමන්නට  වේ දැයි සැකය .

17 comments:

  1. සනා පොලිටික්ස් වලිනුත් විශ්‍රාම යනවලු.
    ගිහින් ආයිමත් එයිද ඒ කියන්නෙ?
    අපරාදෙ රටේ ජනතාවගෙ වැන් හුසේන් ටික (බදු සල්ලි)

    ReplyDelete
    Replies
    1. සනා විතරක් නෙමෙයි මෙය ඊට ලොකු අයටද අදාලය

      Delete
    2. ඔය කවුරු තප්පුලෑවත් ඌට ආයෙ එන්න බෑ.
      ආවත් තවත් පච වෙලා යන්නයි වෙන්නෙ

      Delete
  2. සනත් ජයසූරිය සින්ඩ්‍රෝම්......... පට්ට හරිය

    ReplyDelete
    Replies
    1. නම වෙනස් වෙයිද මන්දා

      Delete
  3. ඕකේ අලුත්ම ඩිවලොප්මන්ට් එක මහිරාජ සින්ඩ්‍රෝම් එක මං හිතන්නේ.. හැක් හැක්..

    ReplyDelete
  4. When people say 'We miss you so', don't take it too seriously.

    ReplyDelete
    Replies
    1. Good one. just like some people tale"all you can eat " as a personal challenge

      Delete
  5. අනේ නම වෙනස් කරන තැනට නං වැඩ සිද්ද කරන්න එපා ඔන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද . එහෙම නොවෙයිද?

      Delete
  6. සති දෙකක් බන්දුව ඉවසුව නං ඔක්කෝම හරි අනේ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඒත් එකම විදියට හිටියම මිනිස්සුන්ට බෝරින් ගතියක් එනවනේ

      Delete
  7. මම නම් මුල ඉඳන්ම කිව්වා මේක වෙන වග. මට පුදුම සමහර මැච් දිණපු එක..

    ReplyDelete
    Replies
    1. වැරදි තැනක වැරදි කමෙන්ට් එකක්ද මන්දා

      Delete
  8. අපෝ බන්දු ආදේශය. හරියටම හරිය.

    ReplyDelete
    Replies
    1. දැක්කද මාලීනී විමලේ ගෙත් පුන්චි ඇපියරන්ස් තියෙනවා

      Delete

Have commented