03 April 2015

අපි වෙනුවෙන් අපි

(වෙරළ පුරාවට එක දිගට ඇඳුනු පා සටහන් තෙත වැල්ලේ ඈතට විහිදීලා , මුතු මාලයක් වගේ . ගිලි ගෙන යන ඉර, තැඹිලි පාටට සිතිජය මෙපිටින් මූදේ  දිය වෙනවා . )

සේන , මොනවද ඔච්චර හිතන්නේ 

මට ඉස්සර මතක් උනා රේණු 

හ්ම්ම් 

(මා ඈ මුහුණ දෙස බැලීමි . එහෙන් මෙහෙන් ඉදුණු හිසකේ නටනවා හුළඟේ, ඒත් ඉස්සර වගේ දඟකාර කමක් නැතුවා වගේ . වෙනදා වගේ රේණු හැම තිස්සෙම අතින් අල්ලලා කෙහෙරැල්ල මට්ටු කරන්නෙත් නෑ . පුරුදු වෙලා වෙන්ටෑ .මූණෙත්  කළු ගැහුණු පැල්ලම් . කම්මුල දිගේ ගලපු කඳුළුම වේලිලා ..)
_____________________________________________________

මට සමාවෙන්න සේන ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගත්තේ .... මට ඔයත් එක්ක එන්න බෑ  .....කිව්වා වගේ එහෙම කලොත් අපේ අම්මා වහ බොයි 

මට තේරෙනවා රේණු .... අම්මා බය ඇති ඔයාටත් කෙහෙල් කොටයක් දාල සීල්  කරපු පෙට්ටියක් බදා ගෙන අඬන්න  වෙයි කියලා රේණු ...

මූසල  කතා කියන්න එපා සේන 

_____________________________________________________


 මම ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා ... නො ඒවිද කියලා හිතුනා 

බස් එක කැඩුනා මගදී .. 

මා දකුණු අතින් කලවා පිරිමැද්දේ ඒ දිගේ ඇදුනු වේදනාව පිරිමැද අඩු කළ  හැකි සෙයිනි . ඈ ඒ දෙස බලා ගෙනම සිටියාය .

කකුල තාම රිදෙනවද 

නෑ දැන් අඩුයි.. තුවාල වේලිලා .. ලබන මාසේ ආවම  කකුළට මෙසමන්ට් අරන් ඕඩර් එක දෙමු කියලා ඩොක්ට කිව්වා .

පුරුදු විදියටම , ඇඩුම්  එනු නොහී  ඈ යටි තොළ විකාගත්තාය .... ඈ අහස දෙස බැලුවේ කඳුළු යළි ඇස්  කෙවෙනි තුළටම ආපසු හරවන්නට මෙනි .

"වහින්න වගේ "

(වසත් කළ අග මෙවැනි සන්ධ්‍යාවක අහස කොහොමත් වලාකුළු බරය )
______________________________________________________

සේන, කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්නද නේද 

හ්ම්ම් , අපි වයසට ගිහින් ....ඔයාට කසාදයක් බඳින්න තිබ්බේ රේණු

ඒ මොකටද 

එතකොට ඔයාටම කියලා කෙනෙක් ඉන්නවා 

හ්ම්ම් , (ඈ පිට කළ  සුසුම වසර ගණනාවක් තිස්සේ ඈ සුසුමින්ම පිරුණු මේ වාතලයට එක්විය . මට යන්තමට උණුහුමක්  දැනුනි . අලුත් සුසුම් කොහොමත් මදක් උණුසුම්ය)  ...එහෙම කෙනෙක් දැනුත් ඉන්නවානේ 

රේණු ....ඔය නැගිට්ටේ යන්නද

ඔව් පරක්කු උනා 

රේණු 

ඕ 

හෙටත් එනවද 

(රළක් විත් වෙරළේ  වදින හඬ එක වරම සද්දයට ඇසුනි  )

ඔව් හෙටත් එනවා 




මේ ලියවිල්ලට නිමිත්ත වූයේ එඩ්වඩ් ගේ මේ ගීතයයි . 




පලි : 
කලක් අපේ රටේ ඉසිරිනු වැලි ඇට වගේ සුලභ වූ රේණුලා , සේනලා  අද එලිපහලියේ එච්චර පේන්නට නැත. උතුරට වෙන්නට එවැනිම නඩරාජලා , තංගමනිලා සිටින්නට ඇත . රේණු හා  සේන කසාද නොබැන්දේ, ජාතිආලයක් නිසා නොව , අපි ඔවුන්ට ඊට ඉඩ නොදුන් නිසාය. ඔවුන්ට නම් දරුවන් නොවුනි. සීල්  පෙට්ටි ගමට නාවත් , ඒ ආ පෙට්ටි දිහා ඇස් ඇර ගෙන හුන් පොඩි එවුන් , අද කරදඬු උස්වූ තරුණයන්ය , තරුණියන්ය .  අපි දකින්නට කතාකරන්නට  අකැමති ප්‍රශ්නයක් එතැන  ඇතැයි මට සිතේ 

12 comments:

  1. මුහුණේ ලස්සන හදවතෙත් ඇත්නම්... ත්‍රී වීල එකක පිටිපස්සේ ගහලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. මටද කිව්වේ .

      තව එකක තිබ්බා . නිසංසලා ගේ චංචල සිත කියලා

      Delete
  2. JP, මේක කියවන ගමන් හරි අපූරු දෙයක් උනා.. ඒක මෙතන ලිවිය යුතුමයි සිතුණා.. ඊයේ අහම්බෙන් මෙන් මගේ මිතුරෙකු හා මිතුරියක එකවර යම් ස්ථානයකදී මුණ ගැහුනා.. මිතුරා නා.හ. නිළධාරියෙක්. මිතුරිය මා සමඟ එක්තරා පාඨමාලාවක් හැදෑරූ අයෙක්. ඔවුන් දෙදෙනාම විවාහකයින්. දෙදෙනාටම හොඳ පවුල් ජීවතත් තිබෙනවා දන්නා තරමින්. නමුත් ඔවුන් දෙදෙනා ඇවිත් හිටියේ එකට.. අහම්බෙන් මා දුටුවිට දෙදෙනාම වෙන වෙනම තිගැස්සුනා.. ඒ අපහසුතාවය තේරුම් ගත් නිසා මා හැකි ඉක්මණින් ඔවුන්ගෙන් මිදුනා. අද උදේ මූණු පොතේ පෙර කී මිතුරියගෙන් මෙවැනි කෙටි පණිවුඩයක් තිබුණා.
    ".. he was my very first crush.. a simple and sweet person..met him after so long and we want to talk whenever possible."
    දැන් ඇයත් සමඟ චැට් එකක ඉන්නේ. ඔවුන්ට සිදුවී තිබුණේත් ඔබ කියූ දෙයමයි. ඔහු හමුදාවේ නිසා ඇගේ ගෙදරින් සම්භන්දයට ඉඩ දී නෑ. ඔබට මෙම සටහන තබන ගමන්ම මම ඔබේ මේ ලිපියේ සබැඳිය ඇයට යැව්වා.. කාලෙකින් අපූරු අවස්ථා ගැලපීමක්.

    ReplyDelete
    Replies
    1. මාර ගැලපීමක්නේ. මගෙත් ඉන්නවා හමුදාවේ යාලුවෙක් , දෙයියන්ගේ පිහිටෙන් එහෙම තුවාල වුනේ නෑ . ඒත් උගෙත් කතාව මේක තමයි මම දන්න තරමට. උන් වසන්තයේ අග හමු වෙනකොට ..... විචාරක මහත්තයා නම් දනී මෙවැනි කතා තොගයක් මම හිතන්නේ

      Delete
  3. ඒ කැපවීම කලා නම් ජීවිතය කොපමණ සොඳුරු වෙයිද?
    ජීවිතේ හැටි. සංවේදී සටහනක්.

    ReplyDelete
    Replies
    1. චන්දි , මම නම් හිතන්නේ රේණු කැප කිරීමක් කරලා ඉන්නේ කියලා . අපේ රටේ ගෑනු කී දාහක් නම් එහෙම කැප කිරීම් කලාද ?

      Delete
  4. ලස්සණ ආදර කතාවක්. එක් වුනානම් මෙච්චර ලස්සණ වෙන එකක් නෑ. :)

    ReplyDelete
  5. හිත පිච්චි පිච්චී වුනත් විඳින්ට හැකි ජීවිතේ අපුර්වත්වය..

    ReplyDelete
    Replies
    1. හැම විට හිත නිවන ඔබේ සටහන්

      Delete
  6. මගේ ප්‍රියතම ගීතයක්!

    ReplyDelete
    Replies
    1. මේ වර්ෂන් එක අහලා බලන්න http://youtu.be/Yg4ynYJRyuI

      Delete

Have commented