15 April 2015

කෝච්චියට නැගී අවුරුදු හා කමලාවතිගේ අවුරුදු පිඟාන

කෝච්චියට නැගී අවුරුදු 

අටයි දහය මිස් උනොත් නම් රැස්වීමට යන්න පරක්කු වෙනවා. දොර වැහෙන්නට පෙර දුම්රිය මැදිරියට ගොඩ වීමට මම අඩිය ඉක්මන් කලෙමි 

"පොඩ්ඩක් ඉඩ දෙන්න මටත් ඇතුළට  එන්න " ලයාන්විත කටහඬක් ඇසුනෙන්  මම මදක් ඇතුළට  වුනෙමි. එනමුදු රුවක් ඇස නොගැසුනි . පුරුදු කටහඬක්  . කැවිලි පුසුඹක් ... වෙන්න බෑ .. නෑ  ඇත්තටම කැවිලි පුසුඹක් 

මොනවද බැලුවේ  (ආයෙත් අර කටහඬ )

කවුද ඔය  (මම හඬින්  සිතුවෙමි )

කලබල වෙන්න එපා . ඔව් මම තමා . පේන්නේ  නැති උනාට ...(එවර හීනියට මෙන් ඔංචිලි  වාරමක් ඇසෙන්නට විය )

ඔලුව කොලොප්පන් වේගෙන එනවද කොහෙද 

මේ සැරෙත් මෙහෙ නේද ? අද ගෙදර ඉන්න බැරිවුනයි ? තාම නොනගතය 

මෙහෙ කොහේද  සිංහල අවුරුදු 

ජය වර්ණය රතු . 

අද ප්‍රොජෙක්ට් මීටින්  එකක් ..(කාටද මම මේ උත්තර දෙන්නේ )

කැවිලි ටිකක් වත් ගෙන්න ගත්තද 

මේ සැරේ බැරි උනා 

අඩුම ගානේ කිරිබතක් වත් හදනවද නැකතට කන්න 

සතියේ දවසක්නේ , ගෙදර හැමෝම වැඩට , ඉස්කෝලේ ගිහින් රෑට  වත් හදා ගෙන කනවා 

රෑට කිරිබත් ?

මොනවා කරන්නද ඉතින් 

අම්මලා බලන්නවත්  බැරි උනා මේ සැරේ නේ 

අම්මා ... මේ සැරෙත් ....කෝල් එකක්වත්  දෙන්න ඕනේ 


**********************************
කමලාවතිගේ අවුරුදු පිඟාන 

තාප්පෙන් එපිට බැදෙන 
කොණ්ඩ  කැවුම් පුසුඹ දිගේ 
කමලාවතී ඉස්කෝල හාමිනේ 
කරන්නී 
කාලතරණය 
කමිස 
පොඩි 
සරම් පොඩි 
ඇඳ 
(බඳ  වට බැඳ 
පටියක් 
වැඩි පරිස්සමට )
කෑම පිඟන් ඔබමොබ 
ගෙනගිය 
කොලුපැටව් 
අද නැත 
උන් 
මුහුදු හතක් එපිට 
(නිවාඩු නැති පවට 
මක් කොරන්, ඉතින් .)
කවුරුවත් නැති ගේ වල 
කිරිබත් කැවිලි මක්කට 
සබන් කෑලී දෙක තුනක් 
ගෙනත් තියන්නැහි 
(පැන්සොන් එකේ ඉතිරියෙන් )
පිඟන් දෙක තුනට 


9 comments:

  1. ජේපී මේ කතාව තමයි ඉතින් බහුලවම ඇහෙනවා ඇත්තේ. අද ගොඩාක් වෙලාවට සිංහල අවුරුද්ද බෝතල් පාටි වුනාට කමලාවති නෝනලාගේ පොඩි එවුන්ගේ කාලේ එහෙම වෙන්න නැතිව ඇති.

    නොස්ටැල්ජික් වුනත් ඒ අස්සේත් අමුතු සහනයක් තියෙනවා. මොකද එක පාරක් අවුරුද්ද සමරන්න ගිහින් මම දැක්කේ වාණිජකරණය වෙච්ච එකක්. අන්තිමට මට හිතුනා අර අපි පොඩි කාලේ අවුරුද්ද විතරක් හිතෙන් මතක් කරලා සතුටු වුනාම හොඳටම ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. අවුරුදු තිබ්බේ සහ තියෙන්නේ ගමේ නෙමෙයි හිතේ කියලයි මම හිතන්නේ

      Delete
  2. මේ පාර මෙහෙට නම් වැඩ ඇරිලා ගිහින් අවුරුද්ද ගන්න පුළුවන් උනා. නැකැත් වෙලාවල් තිබ්බේ හවස නිසා.
    ඒ උනාට ඉතින් ඔක්කොම එකතු වෙලා පච හල හල කාඩ් ගහන එක වගේ දේවල් සෑහෙන්න මිස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් චාරිත්‍ර

      Delete
  3. එක අවුරුදු උත්සවයක් දැක්කේ නෑ.. කොහාත් නෑ.. ළෝකය, පරිසරය වෙනස් වෙනවා... මිනිස්සු එතනමයි.. නෑ... මිනිස්සුත් වෙනස් වෙලා.. උත්සවයත් වෙනස් වෙලා... ටී වී එකේ තියෙන අවුරුදු එක ගෙදරකවත් නෑ.. ඒත් ගමේ අවුරුද්ද එහෙමමයි.. දෙන්නෙක් ලොරියට යට කරලා මැරුවා.. ඉස්සර නම් කඩුවෙන් කෙලිනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං , සෝමේ අක්කාගේ පොට් එකෙන් බීලා වැඩි වෙච්ච උන් කාණුවල .. පුණ්‍ය කාලේට එන කෙල්ලෝ බලන්න කොල්ලෝ පන්සලේ , ඒ අස්සෙන් සාමනේරලත් එබෙනවා .... පොලී මුදලාලියා ගතමන් එක හොයා ගන්නවා අනිත් එවුන් ගේ අවුරුදු වලින් . ... වීල් මල්ලිලා හිතෙන හිතෙන ගණන් කියනවා ...කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙනම යුද්ධයක්

      Delete
  4. අපේ ගෙදර 15 වෙනිදාට වෙනදා මුලු නෑදැ සනුහරේම එනවා..ඒත් දැන් එහෙම අර සංසාර පුරුද්දට එන්නෙ නැහැ..කලිං ොකාල් කරලා වද කරලා බල කරලා කියන්න ඕනි..පෝන් එන්න කලියෙන් අපි 12 වෙනිද කොහෙද 15 කොහෙද? 16 කොහෙද ඒ දව්සලට රෑ කොහෙද කියලා හොද පෝගැම් කක් තිබුනා..දැන් ඒවා කාබාසිනියා වෙලා.. තව ටික කාලෙකින් නගෙර ඇත්තො වගේම අප්‍රේල් මැද දවස් ටික නිවාඩු වට පිටරට නුවරෙලි යාවි කිස්ටිය ගමෙනුත්..

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට බැංකොක් යමු

      Delete
  5. අැත්ත... දැන් ඒ සුන්දර අවුරුද්ද විදින්න ළමයි නැහැ.. උන් නොනිම් තරගයක පැටලිලා...

    ReplyDelete

Have commented