11 July 2015

රොටි කරවෙන ගඳ





Photo credits Shehan Gunasekare (https://www.facebook.com/574293862595164/photos/a.730572830300599.1073742104.574293862595164/1004042642953615/?type=1&theater)


මේ දිනවල බොහෝ දෙනා සිටින්නේ සිත් තැවුලෙනි . රොටි කරවෙන ගඳක් නාසයට දැනේ. එසේ වුයේ ඇයිදැයි බොහෝ දෙනා විපක්ශිතව සිටිති. එය එතරම් පුදුමයට කාරණයක් නොවේ යයි මම සිතමි . 

සිරිසේන මහතා  පරණ සිස්ටම් එකේ බුවල්ලා ගේ ග්‍රහණයට අසු වී ඇත. මේ බුවල්ලා මහින්ද රාජපක්ෂම පමණක්යැයි නොසිතන්න. මේ බුවල්ලා ගේ අඬු  රනිල් වික්‍රමසිංහය , ජාතික පදනමකින් බලයට එන සුළු ජාතික පක්ෂය , කැපුවත් නිල්  කැපුවත් කොළ දේශපාලනයය, ඒ දේශපාලන ක්‍රමයේ අතපල්ලෙන් වැටෙන දෙයකින් පැවැත්ම සදා ගත්, ඒ සඳහාම පුරුදු වූ සමාජයය. මෙකී  හා නොකී නෙක දේය .

නමුත් අපි ප්‍රශ්නයක් දෙස බලද්දී,  ඇති දෙය ඇසේ ඇනෙද්දී, නැති දෙය පෙනෙන්නේ නැතුව යයි .  මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබී ඇත .. ඒ සමග ඔහු වටා සිටි නඩයටද නාම යෝජනා ලැබී ඇත . ඒ ගැන සිහින් හඬින්  වුව විරුද්ධත්වයක් නැගේ .  එහෙත් පහු ගිය සමයේ බලය ඉතාම අනිසි ලෙස පාවිච්චි කළ බවට බොහෝ අය චෝදනා කළ නිල් බලකායේ අණ දෙන නිලධාරිතුමා  ගැන  කෙඳිරියක්වත් ?... ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කල ප්‍රකට පරීක්ෂණයක් තිබේ . එය "කාමරයට ආ ගොරිල්ලා " ( The Invible Gorilla Test) යයි හැඳින්වේ .  පරීක්ෂණයට ලක්වෙන්නාට වීඩියෝවක් තුල සිටින කළු සහ සුදු කමිස හැඳි අය ගණන් කිරීමට නියම වෙන අතර , වීඩියෝව මැදදී ගෝරිල්ලෙක් කාමරයට එන්නේය . 50% ක් ඒ ගොරිල්ලා නොදකී ...පහුගිය පළාත් සභා සමයේ     ලංකාවේ මෙය අත්හදා බැලුවා ඔබට මතකද , ජිනජර් ව , රුවන්ති ව පෙන්වා ඉන් පසු නාම යෝජනා හකුලා ඒ අස්සෙන් මල්ෂා ව ඇතුලට යැවීම දැන් අමතකද ? ... ඒ සාර්ථක ක්‍රමය නැවත දියත් කර ඇත්ද ?

ජනේරු අටවනදා සිරිසේන මහතාට ලැබුණු ජනවරම තුළ බොහෝ අනිසි තීරණ ආපසු හැරවීම හා දැඩි තීරණ ගැනීමේ අභිප්‍රාය ජනතාවට විය. එය එසේ නොවීමෙන් හා ඔහු මේ ගැන ගොළුවත රැකීමෙන් කියන්නේ , ඒ සැබෑ බලය ඔහු වෙත නැති බව නොවේද ?
"ඕක ඔහොමම වෙනවා තමා හිටං , නිකං  පරඩලක් වගේ මනුස්සයෙක් නේ රැවුලක් වත් නෑනේ හිටං" කියන්නට අයෙක් ඉක්මන් වන්නට පුළුවනි . නමුත් පැණි වරකාවක් ගහෙන් බිමට වැටෙන්නේ, එය ඉදෙන විට එහි බර වැඩි වෙන නිසාම ද , සුර්ය තාපයට එහි නටුව  වේලී  දුර්වල වෙන නිසාම ද , කපුටන් විත් එහි නටුව කඩා දැමු නිසාම ද , සුළඟට අසුවී ඒ මේ ඇත පැද්දුනු නිසාම ද ?   සංසිද්ධියකට එක හේතුවකට වඩා තිබිය හැක .


මයිකලන්ජෙලෝගෙන් වරක් අයෙක් "ඔබ මේ අනගි ඩේවිඩ් ප්‍රතිමාව ඇඹුවේ කෙසේද " යයි විමසු විට ඔහු පිළිතුරු දුන්නේ 
" මම ගලක් අරන් ඩේවිඩ් ඉතුරු කරලා අනිත් ඔක්කොම ඉවත් කළා " කියාය . 

පිළිතුර ඇතැම් විට එයම විය හැක .

6 comments:

  1. දේශපාලන විචාරයන් වලදී පවත්වා ගතයුතු සංවරය තබාගෙන ඔබ මේ ලියන විදිය මට මනාපයි. ඊටත් වඩා මම හිතන විදියට හිතන තව කෙනෙක් නැතිය කියල නිකමට හරි හිතෙන ආකල්පෙත් ඔබ වෙනස් කළා.

    ලංකාවේ දේශපාලනය ගඳ ගහන මට්ටමෙන්, අඩු තරමේ නීරස හොද්දක් තත්වෙට ගන්න පුළුවන් වේවි කියල හිතුන මේ පෙරළියෙන්. නමුත්, එය ඒ තරම්ම සාර්ථක නැති උනත් තවත් අවස්ථා තියෙන බව මමත් විස්වාස කරනවා. බලන් ඉන්නෙක දැන් නම් නුවනට හුරු නැහැ නේද?

    ලියමු තව මේවා... හිතන්න පුළුවන් කෙනෙක්ට ඇත්තටම මේවා ආහාර.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් . බලාපොරොත්තු නැති වුන කළ මිනිසා මියයයි ?

      Delete
  2. මං ඔය ඩේවිඩ් බලන්න ගියා. ඩේවිඩ් වදතරක් නොවෙයි, තව කොටසකුත් ගලෙන් ඉතුරු කරලා තියෙනවා. ඒක නිසායි ඩේවිඩ් නොවැටී ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නොවැටෙන තරමට විතරක් ඉතිරි කිරීම තමා දක්ෂතාවය

      Delete
  3. හ්ම්...මඩ ගොහොරුවක් ගැන දාර්ශනික විවරණයක්

    ReplyDelete
    Replies
    1. දුක එය ගොහොරුවක් ගැන වීම මයි

      Delete

Have commented