20 December 2015

ඇස් වලින් ඇසු සිංදුව

ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .
මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් . 

ඈ ,  අසා සිටින්නී දෙනෙතින් ,  දෙ ඇස්  දල්වා .

මිමිණුම , කාටත්  හොරා වචන බවට පත් වේ 

"සුදෝ ..... මම ආදරේ ....." 

වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ,  ඔහේ වල්  පල් කතා කරමින් කල් මරණ , තම ආගන්තුක සත්කාරය ඉක්මවා සිටින නෑයෙක් වැන්න .

ඔහු බලන්නේය, දෙඇස් ඔසවා ස්වර ප්‍රස්ථාරයෙන් .

ඇය , අසා හිඳින්නී නිහඬතාවයද, පද සේම. ස්වර සේම . 

ස්වර පෙරහැර නැවත ඇරඹේ , ඈ  විඳින්නී රිද්මය, තට්ටු කරමින් දණ හිසට දැඟිල්ලෙන් . 

"පොඩ්ඩක් ඕෆ් ටියුන් ගියා ..කමක් නෑ එයාට දැනුනේ නෑ " ඔහු දිග හැරුණු සිතුවිලි වසා ස්වර කළාලයක් එළන්නේය . 

අවසන් ස්වරයට පෙර ස්වරය ....
.....අවසන් ස්වරය ...
අන්තිමම අන්තිම ස්වරය .

ඈ අත්පොලසන් දෙන්නී , ළදැරියක්  මෙන් .
සිහින් ඇඟිලි කරකවා , මවන්නී වදනක් හස්ත මුද්‍රාවෙන් .

ඔහු කියවන්නේය එය 

"ලස්සනයි .." 

පලි : මේ කතාවට නිමිත්ත මා  ඇසු කතාවකි . එනම් මරදාන ඉස්ටේසමේ සින්දු කියූ යාචක යුගලක් ගැනය . සැමියා වයලීනය ගැසූ බවද . ඔහුගේ පාදයේ රිද්මයට මියුරු හඬින්  ගී ගැයූ බිරිඳ ශ්‍රවනාබාධිත බවද ඔහු කියූවේය . 

7 comments:

  1. ශ්‍රවනාබාධිත අයෙකු බොහෝවිට ගොළු නොවේද

    ReplyDelete
    Replies
    1. පස්සෙ කාලෙක ශ්‍රවනාබාධිත වෙච්ච කෙනෙක් වෙන්නැති. කවුරු දනීද!

      Delete
    2. බොහෝ විට නේ

      Delete
  2. ප්‍රේමය දෙසවනින් නොව දෙනෙතින් ද කියවිය හැකි දෙයක්..

    ReplyDelete
  3. නිමිත්ත නැත්නම් හිතාගන්නම බෑ.

    ReplyDelete
    Replies
    1. මගේ ලිවීමේ අඩු පාඩුව

      Delete

Have commented