03 December 2015

සහෝදරී

සහෝදරී 

මම මේක උඹට වගේ ලියෙව්වට , උඹට මේක කියවන්න නොලැබෙන බව දන්නවා . ඒත් එහෙම ලියන්නේ මගේ හිතේ ඇති කම්පනය පොඩ්ඩක් තුනී කර ගන්න හිතාගෙන .

හෙට දවල්ට ඔහේට ගල් වරුසාවක් වහින්න නියමිතයි ලු . ඒත්  අහසින් නෙමෙයි.  අන්  ලඳක් දිහා හොරෙන්වත් නොබලපු , අන්සතු ලඳක් අතින් වත් නොඅල්ලපු , අන් සතු ලඳක් හා සිතින් වත්  රමණය නොකළ , කොටින්ම රහසින් වත් පව් නොකළ ශුද්ධවන්තයන්ගේ අත් වලින් ගන්න ගල් අහුරු ,  ඉණට උසට වැල්ලෙන් හිර කල උඹ දෙසට යොමු වේවි . ඒ ගල් වැදී   උඹේ හිස් කබල පුපුරාවී . ඉන් ගලන රුහුරු ගිනියම් කතර වැල්ල පොඟවාවී . 

උන් නීතී පොතේ උඹ පව් කාරියක් . මිනිමරලා , හොරකම් කරලා , කුඩු විකුනනලා නෙමෙයි .... හිතේ හැඟීමට ඉඩ දුන් පවට .. එහෙත් මෙහෙ වගේම , නිතීය සැමට සමානයි , ඇතමෙකුට එය වඩාත් සමානයි . මොනවා කරන්නද .

මම නිකන් බොරුවට ලියන්නේ නෑ උඹේ ජීවිත කතාව මට තේරෙනවා කියා , උඹේ දුක මට තේරෙනවා කියලා . හැබැයි මට ටිකක් දුරට හිතා ගන්න පුළුවන්. උඹ අරාබියට ගියේ ජොලියට නොවන බව නම් මට හොඳටම විශ්වාසයි . උඹේ පවුලේ විස්තර මම දන්නෙත් නෑ . ඒත් උඹේ මේ ඉරණම ගැන දුක් වෙන කඳුළු බොන කවුරු හරි ඇති. උන්ගේ වේදනාව තරම් නොවුනත් මගේ හිතෙත් මොකක්දෝ ලොකු බරක් එල්ලිලා .

හයිවේ වල ඇරලා යන්න වාහන වලට තෙල් ගන්න , සුපර් මාර්කට් වල කාට් පිරෙන්න දා ගන්න පිටරටින් බඩු ගෙන්න , කොටින්ම කන්න බොන්න මේ ඔක්කොටම වියදම් කරන්නේ උඹලා වහල්  සේවය කරලා එවන කඳුළු ඩොලර් තමයි වැඩි හරියක් . ගොඩක් නෝනලාට මහත්තයාලට ඒක  අමතක වෙනවා සහෝදරී .(උඹේ ජීවිතේ මම ගෙවලා නැති උනත් , මම ඒ බව දන්නවා .) කොණ්ඩයා එල්ලන්න දහසක් මොර ගාපු , ප්‍රංශ කොඩිය මුහුණු පුරා එල්ල ගත්ත දේශයක , උඹ ගැන සිහින් කෙඳිරිල්ලක් වත් නැත්තේ ඒ නිසා වෙන්නැති . 

උඹ ඕවා හිතට ගන්න එපා . දුක හිතෙනවා විතරයි . අම්මපා මට නම් ලැජ්ජයි මම ගැනම . විලි ලැජ්ජයි අපේ දුප්පත් කම ගැන , අපේ අසරණ කම  ගැන . මොකටද බන් ආණ්ඩුවක් , සමාජයක් , ඩයස්පෝරාවක් , ජාතිකත්වයක් , රටක් අසාධාරණ අමනුෂ්‍ය නීතියක් නිසා මරන්න යන එක ගෑණියෙක් වත් බේර ගන්න බැරි 

හෙට දවල් , උඹ දිගු සුසුමක් අරන් ඇස් දෙක වහගනින් තදට . ප්‍රාර්ථනා කරපන් ආයේ දුප්පත් වෙලා , ගෑනියෙක් වෙලා,  ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා . 

සහෝදරී උඹට හෙටින් මතු දුක් නැති වේවායි පතමි . 


පලි : සාමාන්‍යයෙන් මෙවැනි දේ ගැන සටහන් නොලියන මුත් , මේ සිද්ධිය මා සිත තදින්ම කම්පනය කරලා . ඉතින් මොනවා හරි ලියන්නම වුනා 

13 comments:

  1. මේ කාලයේත් මේ වගේ දේවල් වෙන එක දරා ගන්න හරිම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේක හිතේ ගැඹුරුම තැනක් හීරුවා

      Delete
  2. සහෝදරී උඹට හෙටින් මතු දුක් නැති වේවායි පතමි .

    ReplyDelete
  3. //හෙට දවල් , උඹ දිගු සුසුමක් අරන් ඇස් දෙක වහගනින් තදට . ප්‍රාර්ථනා කරපන් ආයේ දුප්පත් වෙලා , ගෑනියෙක් වෙලා, ලංකාවේ නම් ඉපදෙන්න එපා කියලා . //

    කියල වැඩක් නෑ.. ඉස්තරම්.. මේ ලෝකය ගැන මට තියෙන අප්පිරියාව එන්න එන්නම වැඩි වෙනවා බං

    ReplyDelete
  4. වැඩක් නෑ මචං කතා කරලා...
    පර වේස බල්ලෝ ඔක්කෝම නාමලෙන් බැහැලා කහවතුරෙන් නාලා සදුන් කෑල්ල අතේ තියාගෙන ඇවිත් එකිව ගල් ගහලා මරපියව්

    ReplyDelete
    Replies
    1. මට නම් වැඩියෙන්ම අපි ගැනම දුක හිතෙනවා මෙන්ඩෝ

      Delete
  5. තවමත් මේ වගේ නීති දඬුවම් ලෝකේ තියෙනවා කියන එක ගැන හිතද්දීත් එන්නේ වේදනාවක්.

    ReplyDelete
    Replies
    1. ලොකුම විහිලුව මානව හිමිකම් කවුන්සලේත් ලොකු තැන් වල ඒ රටේ කුමාරවරු

      Delete
  6. මේක ගල් ගසා මැරීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. උන්ගෙ රටේ මිලේච්ඡ් නීති උන්ගෙ රටේ... ඒත් තමන්ගෙ හොඳම වයසෙ තමංගෙ සැමියයි ලමයින් එක්කයි ඉන්න ඕන කාලෙ මේ වගේ මිලේච්ඡරටවලට ගිහිං තමංගෙ පවුලට විතරක් නෙමෙයි මුලු රටටම සල්ලි හම්බකරන්න සිද්ද කරපු මේ කරුමක්කර රටේ ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්ණ වලින් මිනිස්සුංගෙ හැඟීම් ශාරීරික අවශ්‍යතා පාලනය කරන්න බෑ. ඒවා නිරෝහී මිනිසගේ අත්‍යාවශ්‍ය කාරනා. මම දැක්ක සම හරක් කියල තියෙනව පිට රටකට ගියහම ආපුකාරනාව මොකද්ද කියල මතක තියාගෙන වැඩ කරන්න කියල. බම්බුව මේ වේසිගෙ පුතාල ඒ මිනිස්සු හම්බරකන සල්ලි වලින් කාල තමංගේ ගෑනි හරි වෙන එකෙක් එක්ක හරි බුදිය ගෙන අර දරදිය ඇදින උන්ට කියනව ආපු කාරනාව මතක තියන් වැඩ කරන්න කියල. උංගෙ අම්මලට....තව කියන්න ගියොත් මල පනිනව....

    මරනය කියන අන්තයට ගිය නිසා ඔය ගැන කතා වෙනව.. මරනය කියන අන්තයට නොගියපු ඒත් හැමදාම මැරි මැරී ඉන්න තව කීදාහක් මෙහෙ ඉන්නවද....

    ReplyDelete
    Replies
    1. මටත් වැඩිපුරම අපේ අසරණකම ගැන තමා දුක හිතුනේ

      Delete
  7. ම්ලේච්ඡත්වය මිසක මේකට කියන වෙන වචනයක් හිතාගන්න අමාරුයි.ගැහැණිය පමණක් ගල් ගසා මරා දමනවා..

    ReplyDelete

Have commented