20 February 2016

හෙළ සමාජයේ ප්‍රකට මිත්‍යා #1- රාජපක්ශවරු, සිරිසේන මැතිනිය සහ පෙරේරාලා// Common myths of Sri Lanka

වරක් දෙවරක් මෙහිම ලියා ඇති පරිදි මම හැදුනේ වැඩුනේ  නුගේගොඩට නුදුරු පෙදෙසකය . අසුවෙ  මුල දසකයේ පවා සෑහෙන  දුරකට ගමේ ගොඩේ ලක්ෂණ වලින් හෙබි පෙදෙසකම විය ( ගැමි හා ගොඩේ ලක්ෂණ යනු දෙකකි ) . අපි ජීවත් වූ පෙදෙස පැරණි රබර් වත්තකි . එහි නිවෙස් තනා ගත බොහෝ අය එහි මුල් පදිංචි කරුවෝ නොවුහ . නමුත් ඒ රබර් වත්ත දශක කිහිපයක් පුරාවට කට්ටි කරමින් විකුණා තිබිණි . ඒ හේතුවෙන්ම පරම්පරා ගණනාවක් එහි ජීවත් වූ පවුල්  මෙන්ම කුඩා ඉඩම් කැබැල්ලක් නිවාස ණයකට ගෙන තම පවුල මෙහි කැන්දාගෙන ආ අලුත් පිටගම්කාරයෝද මෙහි වූහ . එනයින් මුල්ගම්කාරයෝ හා පිටගම්කාරයෝ යන සංකල්පය ඉතාමත් ම සාපේක්ෂ කාරණයක් විය .

අප නිවසට නුදුරෙන් වූයේ  පරම්පරා ගණනාවක් එහි විසු පෙරේරා නම් පවුලකි . ඔවුන්ගේ අසල්වැසියන් වුයේ ප්‍රනාන්දු වාසගමැති පවුලකි . එකළ  බොහෝ ගැටුමන්ට මුල්වූ , හේතුවක් වූ වැටේ පිහිටීම , මොවුනතර පරම්පරා ගණනක් දිවෙන නොක්කාඩුවකට හේතුවක් වී තිබින . මේ වැටේ හබය වැටෙන් ඔබ්බට  බොහෝ දුර දිග ගියේය . බඩා මුදලාලිගේ කඩේදී කෙහෙවලු පටලවා ගැනීම් වල සිට , කොරියාවේ ලතාගේ පොට් එකේ වලි දක්වා දික්විය. (පොලිසියට බොරු ඔත්තු දීම. රෑට ගෙවල් වලට ගල් ගැසීම් ගැනද ඕපා දූප පැතිරිණ .)

දිනක් අපේ බොරළු පාරේ- ක්‍රිකට්- තරගයක්, අතරතුර , උඩ පන්දුවක් ගැන කතා බහක් දුර දිග ගොස් , ගඩොල් බාගයක් නළලේ වැදී පෙරේරා පවුලේ හතරවෙනි පරම්පරාවේ කොල්ලෙකු ගේ නළල පැලිනි .

නමුත් මේ සිද්ධිය ගැන කතා කිරීමේදී කිසිවෙක් ඔවුන්ට පෙරේරා වරු හෝ ප්‍රනාන්දු වරු යයි නොකීහ .

දැන් මාතෘකාවට එමු .

රජ සමයේ , රජ ෆැන්ටසියක් රදළයන්ට විය . රදළ පන්ති වල විකාශය හා කුළ ක්‍රමයේ පරිනාමය ඒ සඳහා වුයේය

යටත් විජිත ලංකාවේ , යටහත් බව හොඳ අලෙවි භාණ්ඩයක් විය. ඒ සඳහා ලැබුණු සන්තෝසම, දේශීය උසස් පන්තිය තුළ ලැබුණු තැනය . 
යටත් විජිත සමයේ , රදළ ෆැන්සටියෙන් මෙන්ම යටත්විජිත පාලකයන් පිලිබඳ ෆැනටසියකින්ද පෙළුණු , කොළඹ නගරයට වන්  මැද පන්තිය, රටේ අලුත් රදළ පන්තියක් බිහිකර ,  ඒ සමාජ ක්‍රමය ස්ථාපිත කරගෙන පවත්වාගෙන ආහ. මහන්සියෙන් උපයා ගත් මුල් ප්‍රාග්ධනය, කොළඹ නගරයේ පාලු විසල් , ඇතැම් විට පුස් වැකුණු , කුඩා නගරවන් ( නදී ගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්හි ඈ ලියන පරිදි ) සුද්දන් අත්හැර ගිය මහා මන්දිර තුළ, පැටව්  ගහද්දී, ඒ වස්තුවට ඉතිහාස කතාවක් ගෙතීමට  මෙන්ම පවුල් ගස් අරටුව සවිමත් කිරීමේ විවිධ උපක්‍රම ඔවුහු භාවිතා කළහ . කොළඹ මැද පන්තිය , දෙවන රදළ පන්තියක් ලෙස යම්තාක් දුරකට ස්ථාපිත වෙද්දී , උපනගරාශ්‍රිතව ස්ථාපිත වී හුන් ඉඩම් හිමි මැද පංතිය ඒ ගැන ෆැන්සටියකින් පෙළෙන්නට වූහ. නමුත් ගොඩේ කෝල ගතිය නිසාම ඔවුන්ගේ ප්‍රවේශය මදක් වෙනස් විය .

මේ  හැමටම  ලබා ගත්  තැන ස්ථාපනය කර ගැනීමට පවුල් ඉතිහාසයක් අවැසි විය . එය ඔවුන් විසින් ඇත්ත හා ප්‍රවාද එකට ගොතා , පැල්ලම් ඉවත් කොට,  රැළි හොඳින් ඉස්තිරික්ක කොට සකසා ගති . (මෙහි කිසිම වරදක් මම නොදකිමි . ඕනෑම ඉතිහාස කතාවක් එසේමය . නමුත් මෙවැනි කතා රැසක් එක්වූ විට  එය පුරාවෘත්තයක් බවටත් . ඉන් පසු එය ලෙගසියක් බවටත් පත්වෙන බව අපට අමතක වේ .) මෙවැනි කතා එකින් එක බැඳෙන තරමට පවුල් ගහ පිලිබඳ ලෙගැසිය සවිමත් වේ . එවැනි පවුල් ගස් අතර අවාහ විවාහ සබඳතා ද ඒ ගසේම අරටුවට පෑහේ . මෙය ඉතාමත් ගෝත්‍රිකය . නමුත් කාලයේ පරික්ෂණයට මනාව මුහුණ දී ඇත.

(මෙවැනි සංකල්පීය සංයුක්තිගත (consolidation concept) කිරීමකින් ලැබෙන වාසි නම් අපමණය. මුලින්ම ඔවුන්ගේ භෞතික මෙන්ම , අභෞතික ප්‍රාග්ධනයද එක ගොඩකට ගෙන සැලකීමක් සිදුවේ . එහිදී  මසුන් පංතියකට එක් වීමේදී වන පරිදිම, එය ඉතා විශාල සතෙකු මෙන් පෙනේ . සතුරන් ලංවීමට බය වේ . උන්ට ඉඩදී අනෙකුන් ඉවත් වේ . සැමන්  මසුන් හැසිරෙන්නේ මෙවැනි පංති ලෙසිනි . මෝරෙක් පවා ඇතැම් විට උන්ට ලංවීමට බය වේ . නමුත් උන් ආපහු හපා නොකන බවත් , තනි තනියෙන් ගත්තොත් උන් තනි තනි මාළුන් බවත්  විලෝපිකයන්ට  පමණක් නොව , ආහාර  දාමයේ සම මට්ටමේ සිටින වුන්ටත් නොපෙනේ .පසුව එම හේතුවෙන්ම සීමිත පෝෂන සම්පත් පරිභෝජනයේදී උන්ට වැඩි වාසියක් ලැබේ , ඉන් උන් අනෙකුට වඩා තර වේ . මෙය විෂම චක්‍රයක් වේ ).

මෙය හුදු ඉතිහාසය පිලිබඳ කතාවක් පමණක් නොවේ . අතීතය පමණක් නොව , වත්මනින් ඔබ්බට , සිදුවන සියලු යහපත් දේ  මෙන්ම පාවිච්චි කර ගත හැකි හැම සිදුවීමක්ම , මේ පවුල් ගහේ  ගිණුමට බැර කොට , ඒ ගිණුම යාවජීවව පවත්වා ගෙන යන්නෝය . (ගිණුම යාවජීව යාවත්කාලීන  නොවූ කළ , ටික කලකින් එය අහෝසි වේ . )

උක්‌ත කී පෙරේරාලා (දැන් හය වෙනි පරම්පරාව ) තවම පෙරේරාලාමය . නමුත් මැද මුලන රාජපක්ෂලා  දැන් රාජපක්ෂවරු නමින් හැඳින්වේ. පෙනෙන්නේ පුලතිසි පුර සිරිසේන ලා , සිරිසේනවරු වන කළ ද (දැනටම වසරක් තුළ  මහත්මියක් මැතිනියක් වී ඇත) එතරම් ඈත නොවන බවකි .

25 comments:

  1. ඒක හරිම සරලයි . ඡන්දෙට කලින් කොළොන්නාවේ ගහක් ගලක් ගානේ හිටියේ මරික්කාර් , මගේ හිතෙත් මරික්කාර් කියල කිව්වේ . ඡන්දෙන් පස්සේ උදේ පාන්දර ඉඳන් පෝස්ටර් වල හිටියේ අතිගරු එස්.එම්.මරික්කාර් මැතිතුමා

    ReplyDelete
    Replies

    1. නමුත් සරල යැයි පෙනෙන ඇතැම් දේ ඉතාම සංකීර්ණයි නේද

      Delete
  2. ගිණුම යාවජීව නොව යාවත්කාලීන විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ . ඔන්න නිවැරදි කළා

      Delete
  3. ඔය තුමා, මැතිණිය වැනි කෑලි හලා ගන්නේ නැතුව අපට ගොඩ ඒමක් නෑ. දැන් රූපවාහිණී සාකච්ඡාවක් බලන කොටත් ඔක්කාරෙට එනවා!

    ReplyDelete
    Replies
    1. ගරුතර ඩප්පි සෝමේ මැතිතුමා !!

      Delete
  4. නුගේගොඩ අවටින් තමයි මමත්. අසූව දශකයේ මතක ගොඩයි.

    ReplyDelete
    Replies
    1. මමත් එතරම්ම වයසයි . සමහර විට අපි හඳුනනවා ඇති , සමහර විට එසේ නොවනු ඇති

      Delete
  5. එපා කියද්දිත් කියන ගෝත්‍රිකයෝ ඉන්නේ.... නම කියලා කතා කරන්න සෑහෙන කාළයක් යයි..

    ReplyDelete
    Replies
    1. මේක සම්පුර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එකක් . නිදහසට පෙර , පනස් ගණන් වල , මෙන්ම හැත්තෑ හතෙන් පස්සේ දිවෙන්න ඇත්තේ මේ ප්‍රොජෙක්ට් එකමයි . ඒ දකුණේ . උතුරේත් ඒක එහෙන්මම වෙන්න ඇති . පහු කාලීනව මාතලේ , නැගෙනහිර මුස්ලිම් පෙදෙස් වලත් එහෙම්මම වෙන්න ඇති . ඒ ගැන මම හරියටම දන්නේ නෑ . නමුත් ෆුල් සයිකල් එකම වගේ ඇස් දෙකෙන්ම දැක්කේ රාජපක්ෂකරන ප්‍රොජෙක්ට් එකෙන් තමයි . සමාජවාදී දේශපාලනය මෙන්ම ජාතිවාදයත් එක ලෙසම මේ ප්රෝජෙක්ට් එකටම භාවිතා වේ . ඒ ගැන පසුව ලියමි . මේ ප්රෝජෙකට් එකේ අවසාන නිපැයුම පවුල් ලෙගැසියයි. ඔබ මොකද හිතන්නේ ?

      Delete
    2. මුරුංගා අත්තේ තියන්න කියනවා නෙමෙයි. මාතලන්ට හිතෙන දේ මේ කියන්නේ. ලාංකිය සමාජය ගැන සුපිරිම දැක්මක් තියෙන කෙනෙක් හැටියට තමයි මම ඔහේව දකින්නේ.

      මම නම් හිතන්නේ තව පරම්පරා ගනනකට මේ ඇටිටියුඩ් හදන්න බෑ. ඉන්දියාවයි ලංකාවයි ගොඩබිම් මාර්ගයකින් යා කරනකන් මෙහේ එකෙක් පිටරටක ගියත් ඌට තියෙන්නේ දූපත් මානසිකත්වය. ඒක පට්ට පසුගාමියි. අපි අගය කරන්නේ සාමාන්‍ය මනුස්සයට යටත් විජිතකරණය නිසා ලැබුන නිදහස නෙමෙයි. රජ්ජුරුවරුන්ට නැති උන මහන්තත්තේ. ඒ තරම් කාළකන්නි මිනිස්සු ඉන්න රටක් කව්දා ගොඩ යයිද කියලා හිතා ගන්න බෑ.

      උඹ නිරීක්ෂණය කලා නම් මහින්ද හරි සිරිසේන හරි පිටරටක ගියාම ඒ රටවල නායකයෝ අපිට සලකන විදිය. එතනෙ අපිට සලකන්නේ ගෝත්‍රික ජාතියකට වගේ. ඒ ඇඳුම නිසා. රනිල්ට එහෙම සලකන්නේ නෑ. රනිල් එහෙම හැසිරෙන්නෙත් නෑ. එතනෙ තියෙන්නේ චින්තනයේ ප්‍රශ්ණයක්. මහින්ද නම් කෙලින්ම කිව්වා නේ එයා බයියා කියලා. අපි පොඩියට ගත්තට. ඔය බයි ප්‍රශ්ණය ගැබුරින් හදාරන්න ඕන විශයක් කියලයි මම නම් හිතන්නේ.

      Delete
    3. පාට වැ‍ටුණු හමක් තියෙන මොකෙක් ආවත් ඌ සුද්දෙක්. පට්ට පදිරි...

      Delete
    4. සුදු කබර හැදිච්ච බයියකු පවා...

      Delete
    5. මාතලන් පසුගාමි සහ ඉදිරිගාමි කියන්නේ මොකකටද කියල මටනම් පෙහෙදිලි නෙහෙ.
      ප්‍රදිප් මන්ගලතලන් පසුගාමි සහ ඉදිරිගාමි කියන්නේ මොකකටද කියල මටනම් පෙහෙදිලි නෙහෙ.
      ප්‍රදිප් මන්ගල

      Delete
  6. පොයින්ට් එක ඉතාම පැහැදිලියි. මාළු උදාහරණය ඉතා හොඳ එකක්. සමහර මාළු රැල් වලට ක්ෂණිකව අර පෙනෙන ලොකු සතාගේ ස්වරූපය වෙනස් කිරීමට තියෙන හැකියාවත් මෙවැනි සමාජ සත්තුන්ට තියෙනවා. ඒ වගේම මේ ඕනෑවට වඩා ලොකු සතෙක් පෙන්නීම අවාසියක් වෙන අවස්ථාත් තියෙනවා. (මාළු අයිනකට දැල් වැටෙනවා වැඩියිනේ)

    ReplyDelete
    Replies
    1. ඔබ කියන අවාසිය මටත් පෙනෙනවා . හැබැයි මෙහෙම එකකුත් තියෙනවා . එක සතෙක් කියලා හිතලා අල්ලන්න පැන්නම
      1) ඕනෑවට වඩා ශක්තිය වැය කෙරෙනවා
      2) එහෙම ලොකු සතෙක් නැති නිසා රැවටෙනවා
      3) අහු උනත් අහු වෙන්නේ රැලේ බලහීන එවුන් . අනෙක් උන් පැන ගන්නවා

      Delete
  7. එහෙමද?
    උඹලා මින්පස්සෙ මට ජයවර්ධනවරයෙක් කියලා කතානොකලොත් බලාගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. ඔබ ජයවර්ධන මිස ජයවර්දෙනේ නොවන බැවින් ගැටළුවක් නෑ
      අනික ඔබ කොහොමත් ෆස්ට් නේම් බේසිස් නේ ...ඩුඩ් නේ

      Delete
    2. ආහ්! ජය වෝර් ඩෙ නේ.

      Sure it's first name basis. I was just kidding.

      Delete
  8. first name culture එකක් එනවානම් කොච්චර පහසුද

    ReplyDelete
    Replies
    1. මීට විකල්ප විසඳුමකුත් තියෙනවා ...මම හිතන් හිටියේ , ඉස්කෝල වලටයි කක්කුස්සි වලටයි , අර එක වාසගමක් දාගෙන යනකොට , මේ කට වහරේට කියන පීතෘත්වය නීතිගත කරලා ඔක්කොම එවුන්ගේ වාසගමත් රාජපක්ෂ කරයි කියලා ... කොහෙද වැඩේ ගැස්සිලා ගියානේ :)

      Delete
  9. කවදහරි උඩුවාවරු කියල පරම්පරාවක් හැදෙයිද දන්නෑ හැබෑට

    ReplyDelete
    Replies
    1. ඒවා නිකං වෙන් නේ සෑ හෙන්න මහන්සි වෙන්න ඕ නේ

      Delete
  10. මායාවරු හා මෙස්පොටේමියන්වරු වගේ අය ඇරුණම අනිත් ඔක්කොම 'වරු' බිහිවෙන්නේ රටවැසියන්ගේ නිවටකම නිසා

    ReplyDelete

Have commented