19 March 2016

පස්චාත් විප්ලව වයලන්ස්, ජෝක්ස් සහ විප්ලවයේ ස්වභාවික පරිණාමය


                                 (හොඳින් දකින්න පින්තූරය උඩ  ක්ලික් කරන්න )

2014 සැප්තැම්බර් මාසේ කුඩ ඉහළගෙන පටන් ගත්ත විරෝධතාවය, කුඩ විප්ලවය (umbrella revolution ), හොං කොං නගරය මාස ගාණකට අඩපන කලේය.  අඩපණ  කිව්වට අඩපණම නෙවේ . මිනිස්සු උදේ වැඩට ගිහින් හවස විප්ලවයට සහය දුන්නා . විරෝධතාවයට විරුද්ධවත් මිනිස්සු විරෝධතා දැක්වුවා . තැනක දෙකක ගුටිත් ඇන ගත්තා.  පොලීසිය ඉතාම ඉවසීමෙන් එහෙත් තදින් නීතිය හා සාමය රැක ගන්න උත්සාහ කළා . ලෝකේ කොහෙත් වගේ විරෝධතා දක්වන්නන් පොලීසිය අවුස්සා ගන්න හැදුවා . පොලීසියට  ගල් ගැහුවා , හූ කිව්වා , කුණුහරුප කිව්වා . මේ විප්ලවය ගැන මට වෙනම කියවීමක් ඇතත් එය මේ ලිපියට අදාළ නොවන නිසා පැත්තකින් තබමු . කොහොම හරි විප්ලවය ඉවර වුනා .
ඒ මාර්ගය අස්  කරන්නේ නැතිව ටික කලක් තිබ්බා . විප්ලව වාදීන් නැතිව පාලුවට ගිය පාර , සංචාරකයන්ට තෝතැන්නක් උනා . මිනිස්සු ආවා . සෙල්ෆි ගත්තා . අයිස් කිරීම් කාරයෝ , අයිස් කිරිම් වික්කා . රාජ්‍යය, ඉවසීමෙන් මිනිස්සුන්ගේ ෆැන්ටසිය , නව්‍යතාවය යනකන් , විහිළුවක් වෙනකන් දිග ඇරෙන්න ඉඩ ඇරියා . පොලීසිය ඒ පාරේ ට්‍රැෆික් පාලනය කළා .

මේ පින්තුරය මම ගත්තේ එසේ විප්ලව වාදීන් ගේ නිර්මානයක් ඉස්සරහ හිටගෙන පින්තුරයක් ගන්න ආච්චි කෙනෙක් . 

සාර්ථක විප්ලව වල උප්පැන්නට අත්සන් කරන්න පෝලිමේ එන එක , විප්ලවයට ප්‍රාණය දීපු කලාකෘති පසුව බයිලා වෙන එක , විකිණෙන එක,  හැම තැනටම පොදු සංසිද්ධියක් .  

කියුබාවේ විප්ලවයෙන් පස්සේ , චේ ගේ මුහුණ ටී ෂර්ට් වල ප්‍රින්ට් වෙලා ඇමරිකාවේ විකිනෙනවාටත් වඩා  , හැතැප්ම දාස් ගණනක් එහා රටක තෙසක් රියක , පිටිපස්සේ ඉස්ටිකර් එකක් වෙනවාටත් වඩා උත්ප්‍රාසාත්මක වන්නේ , ධනවාදී ආර්ථිකය දිනු ආයතනයක , ධනවාදයේ ප්‍රාග්ධන හිමියෙක් ඒ තොප්පිය දමා ගෙන තම හිතේ ඇති ෆැන්ටසියක් සැබෑ කර ගැනීමට තැතනීමය . (මනුස්සයා හොඳ විය හැක , නමුත් සංසිද්ධිය මට පොඩ්ඩක් අවුල්ය )

මීට මාස කීපයකට පෙර සීතල දුරුත්තේ , ආයෙමත් හොංකොං වල,  වීදී අහර වෙළෙන්දන් පිරිසක් පොලීසියට පහර දුන්නා . හේතුව අනවසරයෙන් , නීති විරෝධී තැනක , මහජනයාට අවහිර වෙනසේ ඔවුන් තම තාවකාලික අලෙවි කුටි අටවා ගැනීමත් , පොලීසිය ඒවා ඉවත් කිරීමට තැනීමත් ය ..එහිදී ඔවුන් කෑ ගැහුවේද ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සටන් පාඨ යි !

ලංකාවේ ජනවාරි අටවෙනිදා වූයේ දේශපාලන විප්ලවයක් යයි මම නොසිතමි . එහෙත් ජන විප්ලවයක් වූ බව සිතමි  . ඒ කියන්නේ කුමන හෝ හේතුවක් නිසා , වෙනස් වූ ( ඒකාධිපති වාදය බිඳ වැටීම හෝ වේවා , බොරු ෂෝ එක පුපුරා යාම හෝ වේවා ,  අන්තර්ජාතික නුල් සුත්තර හෝ වේවා , හැමදාම දකින කුකුලාගේ කරමලය සුදු වීම හෝ වේවා , කුමක් හෝ වේවා ) ජන විඥානය විසින් රටේ පාලකයා වෙනස් කළේය . ඇත්තටම සිතුවොත් මෙය මැජික් එකක් නොවේ . ඒ කිමද යත් අපේ රටේ සිස්ටම් එකේ හැටියට විය යුත්තේ එයම බැවිනි . නමුත් අපේ රටේ කිසිම දෙයක් සිස්ටම් එකේ හැටියට නොවෙන නිසාම අපි මෙයින් විශ්මිත වුනෙමු . 

අටවෙනිදායින් පසු,  පාලනයේ හිටි අය ගෙදර ගියේ , සුදු සරම් වලට යටින් ඇඳ සිටි කැමා ෂෝටවල් වැනු වැලවලම තබාය . (බලය නැතිව තග අමාරුය ). යහපාලන දරුවාගේ උප්පැන්නට අත්සන් කල තාත්තලා මෙන්ම , ඒ දරු උපතට වින්නඹු කම් කළ අය පමණක් නොව, සංසේචනයේ සිට (ඇතැම් විට ඊට පෙර සිට ) උදව් කළ අයද , අර දමා ගිය ෂෝටවල් ඇඳ ගත්තහ .
දේශපාලකයන් පැත්තකින් තබමු . එතනින් ඔබ්බට බැලුවොත් ....

ආසන්නම උදාහරණය ලෙස , පහු ගිය දිනෙක මහාචාර්ය සමරජීව , රඟ දැක්වූ ජවනිකාව පෙන්වන්නේ පස්චාත් විප්ලව ප්‍රචණ්ඩත්වය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයයි.  ලිප්ටන් වටරවුමට ආ සයිකල් පෙරේඩ් එකෙන් පෙන්වන්නේ ,  , ඒ පෙරලිය විහිළුවක් , වෙළඳ අගයක් පමණක් බවට පරිණාමය වීමේ ස්වභාවික සංසිද්ධියේ කලාන්තරය දිගු කර ගැනීමේ අවශ්‍යතාවයයි .

පලි . මේ ගැන ලියන්න සිතාගෙන සිටි නිසාත්. පෙර ලිපියෙන් පසු පින්තූර පළ කරන ලෙස ඉල්ලීම් තිබු නිසාත් , කුරුල්ලන් දෙදෙනෙකුට එක ගලක් ගැසීමි 

12 March 2016

පොටෝ ගැසීම



පොඩි කාලේ අපිට හැපී බේත් ඩේ නොතිබුනද , උදේට කිරිබතක් සැදුනේය . තෑගි ලැබුනාද නොලැබුනාද හරියට මතකයක් නැත . එක වරක්නම් හුලං ගේ කඩයෙන් බැට්  පිත්තක් ලැබුණු බවද . අත්තා  හැමවිටම , උදේට වඳින විට , මහජන සම්පත මුල් තෑග්ග ඇදුනු විට , උපන් දිනේට ගෙනත් දෙන බයිසිකලය ගැන සිහි කල බවද මතකය . පාටි නොතිබුණද ,  හවසට පරාක්‍රම පොටෝ එකෙන් , පරාක්‍රම අංකල් කැමරාවත් අරන් ආවේ පොටෝ කීපයක් ගන්නය . එය ෆිල්ම් කැමරාවකි . අපිව තනි තනිව , මෙන්ම පවුලේ පින්තුරත් ඔහු ගත්තේය . විනාඩි කීපයක් හුස්ම අල්ලා ගෙන සිටියේ , කැමරාව නිශ්චල ව තබා ගැනීමට ඔහු නොව , චායාරූපයට පෙනී සිටි අපිය . බොහෝ විට ඒවා , බලෙන් ඉන්දවා , තුෂ්නිම්භූත වූ අයුරක් ගත්තේය . මේ විශ්මිත උපකරණය හා බැඳී ශිල්පය මට විශ්වකර්ම ශිල්පයක්ම වූයේ  අපේ නිවසේ කැමරාවක් නොවුණු බැවිනි . 

මගේ මීළඟ මතකය අප්පච්චි කාගේදෝ කැමරාවක් ඉල්ලා ගෙන ආ දිනයකි . එහි ෂොට් දොළහක රෝලක් තිබුණු බවද , චායාරූප දහයක් ගැනීමෙන් පසුව ඉතුරු දෙක ගැනීමට මට දුන් බවද . කැමරාව ගෙන ගොස් නිදිකුම්භා මලකට මානනු දුටු අම්මා , නාස්ති කිරීම ගැන මට බැණ  වැදුණු බවද මට මතකය .  මම රැකියාවක් කරන තෙක් මට කැමරාවක් නොතිබුණි . රැකියාවට ගිය මුල් වසරේම , මම කාර්ගිල්ස් එකෙන් පොඩි කොඩැක්  කැමරාවක් ගතිමි . අවසාන රාමුව ගත පසු එය මුද්‍රණය කරන තෙක් මට තිබුනේ මහා නොඉවසිල්ලකි . ඒ රූප කෙසේදැයි දැක ගැනීමේ කුතුහලයය .
එය හැඟීම , ත්‍රිල් එක ෆිල්ම් කැමරාවලින් ඩිජිටල් කැමරාවලට මාරු වීමත් සමග නැති වේ . බොහෝ රූ හරියට නාභිගත වී නොතිබුණි . සමහර ඒවා කළුම කලුය . 
කුඩා කළ තිබු දැඩි ආසාව , හා විශ්මිත බව නිසාමදෝ චායාරූප කරණය ගැන මට ඇත්තේ මහත්වූ ලාලසාවකි . පොටෝ ගහන්න නම්, මොහොතකට ඔබ ඔබේ හුස්ම අල්ලා ගත යුතුය . ඒ කියන්නේ කාලය නවත්වා ගත යුතුය . චායාරුපයක් යනු එක අයුරකින් නැවැත්වූ කාලයේ හරස්කඩකි . මා වඩාත්ම කැමති , ජීවන රූප හෙවත් street  photography වලටය . එය මා ජීවත් වන තැන අනුව ප්‍රායෝගිකය. එවැනි චායරුපයක් කතාවක් කියයි . කතාව ඇඳෙන්නේ එය දකින්නාගේ මනසේය . 

ඉඳහිට මා චායාරූප පළකලද . චායාරූප ගැනම ලිවීම වෙනම තැනක විය යුතුයැයි මම සිතුවෙමි .නිවී හැනහිල්ලේ සිතා , ලියන මේ සටහන්  ඉංග්‍රීසියෙන් පළකරන්නේ , එහි ඉලක්ක පාඨකයන් පරාසය ටිකක් පුළුල් නිසාය . අනෙක, සමහර අදහස් සහ වදන්  සිංහලට පෙරලීමට ඇති අපහසුව නිසාය .

ගිහින් බලන්න . කියවන්න . අදහස් දක්වන්න 

Pinchpointfotos

06 March 2016

දැන් පෙන්නනවා


(උදෑසන බනිසක් කා ප්ලේන්ටියක් බීමට හෝටලයකට ගොඩවුනු මට , මාගේ ඇනවුම ලැබෙන තෙක් හිඳින විට , එහා පැත්තේ මේසයෙන් , අපූරු දෙබසක් ඇසෙන්නට විය )

ඒ 

ඕ 

ඊයේ නිව්ස් බැලුවද ?

ඇයි ?

මම හිටියා 

උඹ නිව්ස් කියෙව්වද ?

(මා හිමිහිට හැරී බැලුවේ දන්නා කියන මුහුනක්දැයි කියාය ..)

නෑ නෑ . අර සන්ජන් මහත්තයාගේ අයිටම් එකේ මම හිටියා 

කොතැනද ?

ඇයි බං අර ඉස්සෙලම අර කුලියාපිටියේ ලමයයි අම්මයි ඇවිල්ලා වඳිනවා නේ .. ඊට පස්සේ අර ළමයා උකුලේ තියාගෙන චොකොලට් කවන කොට , වටේට ඉන්න කට්ටියගේ ඉස්සෙරහම හිටියේ මම 

ඇත්තද ? ඇත්තට කොහොමද මචන් ඔය සන්ජන් ?

හරිම අල්පෙච්චයි මචන් .. සුදු සරම ඇඳලා .. යටට ඇඳලත් නැද්ද කොහෙද  

එච්චරටම අල්පෙච්චද ?.. කොහොමත් ලැජ්ජා වෙලා ඔය වැඩේ කොරන්න බෑ  කියනවනේ... දැන් ඔය වැඩේ කොහොමැයි  වෙන්නේ ?

මෙහෙමයි ..ගොඩක් දේවල් ඈස් ඉට් ඊස් ගන්නවා ..සමහර කෑලි නම් ටේක් දෙකක් තුනක් ගන්නවා 

ඒත් ඔය වගේ ඒවාට සම්බන්ධ වෙන එක එච්චරම සදාචාරාත්මක නෑ නේද 

බම්බුව සදාචාරේ... එහෙනම් ඔය ලොකු ලොක්කොත් කෝල් කරන්නේ 

මේ මම අහන්නම කියලා උන්නේ .. ඔය ෆිල්ම් වල හඬ කවන්නේ පස්සෙලු නේද 

අනේ මන්දා  එක නම් 

හැබැයි මචං බලනකොටනම් අපිට පෙනෙන්නේ හරිම නැචුරල් වගේ 

උඹට කියන්න , මේ මටත් මාව දැක්කමත් අඳුනගන්න බැරි උනානේ .. එතැන් හිටපු තව එකෙක් කිව්වා ඌ එක සැරයක් උන්නලු අඬන සීන් එකකට .. ඒක  ෆේස් බුක් එකේ බලනකොට ඌට ඒ ඌ කියලා අමතක වෙලා ආයෙමත් ඇඩුනාලු 

එහෙම වෙනවා ...

( හ්ම්ම් එහෙම වෙනවා ..මම එය හෙමිහිට ප්‍රතිඋච්චාරණය කලෙමි )

01 March 2016

හෙළ සමාජයේ ප්‍රකට මිත්‍යා 2- පොදු ජනයා





මේ  ගජ මෑන් 
ඔහු පොදු ජනයෙක් 
ඔහු දුගීයෙකුත් නොවේ , පෝසතෙකුත් නොවේ 
ඔහු උසත් නැත , කොටත් නැත 
කළුත් නැත , සුදුත් නැත 
ඔහු ලොවෙත් නැත 
ලොවි ගහෙත් නැත 

ලෝකයේ මෙන්ම , අප රටේද බහුතරය,  පොදු  ජනයා යැයි කෙනෙක් සිටිතැයි අයෙක් සිතති . 80% ක් සිතන්නේ , මේ කියන්නේ තමා නොව අන් අය  කියාය . බහුතරය සිතන්නේ තමන්  සාමාන්‍යයෙන් අන් අයට වඩා හැඩයි කියාය . බහුතරය සිතන්නේ තමන් අන් අයට වඩා රසඥතාවය අතින් පොහොසත් කියාය . නමුත් වට පිට බැලුවිට , ලස්සනට වඩා , අවලස්සන වැඩිය . සුසර කළ  රසවින්දයට වඩා අමුවේ රසවින්දනය වැඩියෙන් විකිණේ .

මා සිතන්නේ සාමාන්‍ය ජනයා හෙවත් පොදු ජනයා යනු හිතළුවක් කියාය  .   ඔය කියන සාමාන්‍ය ජනයා  පොදු , අපිට නොපෙනේ . ඒ  ඔබද නොවේ , මම ද නොවේ . නමුත් ඇතැම් විට ඔබද වේ මමද වේ.

මීට එක හේතුවක් වන්නේ සියලු නිරීක්ෂකයාට සාපේක්ෂ වීමය . නිරීක්ෂක "මම " ය . නියැදියේ සාමාන්‍යයට නිරීක්ෂකයා ඇතුලත් කර ගැනීම වැරදිය .  මෙය හුදෙක්  තාර්කික කරුණක් නිසා මදකට පැත්තකින් තබමු .

අනෙක් අතට මිනිසෙක් යනු විවිධාකාර පැතිකඩ රාශියකි එකතුවකි . ඇදහුම් , පැවතුම් , ප්‍රාදේශීය ලක්ෂණ, ජීවත් වන පාරිසරික තත්ත්වය, ආර්ථික තත්වය , සමාජ පන්තිය , ශාරීරික ලක්ෂණ , ස්ත්‍රී පුරුෂ භාවය , ලිංගිකත්වය , සංස්කෘතික රුචි අරුචි කම් , මෙකි නොකී විවිධ මාන මේ සමීකරණයට එක්  විය යුතුය . එසේ බලන කල ඔබ හා මම වෙනස් ය . නියැදියකින් ගන්නා පළමු දහ දෙනා ඉන්පසු ගන්නා දස  දෙනාට වඩා  වෙනස් ය . පොදු ජනයා යනුවෙන් කියවෙන්නේ මුළු ජනගහනයේ කුඩාම පොදු ගුණාකාරය හෙවත් සියල්ලන්ටම පොදු ලක්ෂණයන්ය . ඇතැම් විට මේ පොදු කුලකය ඉතාම කුඩාය . නමුත් දේශපාලනය , සමාජ සුභ සාධනය සිට  පොදු ජන කලාව දක්වා සියල්ල කෙරෙන්නේ මේ පොදු කුලකය ඉලක්ක කර ගෙනය. මෙහි අන්තර්ගතය , කුලක සමුහයකට පොදු බව සැබැවි . නමුත් එය නිරූපනය කරන්නේ සෑම කුලකයම අවශ්‍යතා වලින් , ගති ලක්ෂණ වලින් ,  සංස්කෘතික අනන්‍යතාවයෙන් ඉතාම කුඩා පැතිකඩක් පමණි .

ඔය කියවෙන ඊනියා පොදු ජනයා ටිකක් මෝඩය . ඇතැම් රාජ්‍යයට සමාජයට අතිශය වැදගත් කරුණු , පොදු ජනයාට එක්කෝ නොවැටහේ , නැතිනම් හෝ ඒ නිසාම ඒවා ඔවුන්ට නොවැදගත් බවය . පළමුව රාජ්‍යය යනු ජනතාවම බව මතක් කර ගනිමු .    යම් කරුණක් ගෙන එය , සර්ව පොදු කුලකයේ පොඩි බඳුනට ඔබනට ගිය විට එය නොහැකිය . මට වෙදකම ගැන , රෝග ගැන දොස්තර කෙනෙකුට තරම් දැනුමක් නැත , නමුත් දොස්තර මහත්තයා නිවසක සදද්දී එහි ප්ලැන  ඇඳ ගන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියාය . ඔවුන් දෙදෙනාම , තමන්ගේ නිවසේ විදුලි පරිපථ  ඇද ගන්නේ , විදුලි කාර්මිකයෙක් හෙවත් ඉලෙට්‍රිස් බාස් කෙනෙකුට කියාය . මා කියන්නට හැදුවේ අපේ දැනුමේ දිග පළල විවිධාකාර බවය . ඉතින් විය යුත්තේ , එකිනෙක කුලකයට තේරෙන මට්ටමට බැස වැදගත් කරුණු තේරුම් කිරීමය . කිමද , යමෙකුගේ විෂය දැනුම , බුද්ධියේ තරම ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතියට බාධාවක් නොවිය යුතු බැවිනි .

මේ කුඩා පොදු ගුණාකාරය ඉලක්ක කොට ඔවුනගේ අවශ්‍යතා සැපයීම ද එක් අයුරකින් අසාර්ථකය . එය කිසිම කුලකයක් සෑහෙන්න සන්තෘප්ති නොකරයි. (නමුත් සියල්ලන්ම සිතන්නේ අනේකා තමාට වඩා සන්තෘප්ති වූ බවය) . ඕනෑම කුලකයක් තම නොපිරිහුණු අවශ්‍යතා ගැන කතා කළහොත් , රාජ්‍ය කරවන්නෝ කියන්නේ පොදු ජන අවශ්‍යතා විසඳන බවකි . නමුත් එය පොදු ජන අවැසිතා නොව , ජන පොදු අවැසිතා වන්නේය .

බොහෝවිට සෑම ප්‍රශ්නයකටම 80% බලපාන්නේ  20%ක හේතුන්ය  බොහෝ අවස්ථාවල ප්‍රමුඛ ගැටළු   20% විසඳීමෙන් , 80%ක සංතෘප්තියක් ලබා ගත හැක .  මට සිතෙන්නේ,  විය යුත්තේ ,සෑම කුලකයක්ම වෙන වෙනම ගෙන  ඒවායේ මේ 20% හඳුනාගැනීමය . (මම ගණිතය අවසන් වරට උගත්තේ උසස්පෙළ දී නිසා , මගේ ගණිතමය යෙදුම් භාවිතය දෝෂ සහිත විය හැක ) , මම මෙය මහා පොදු  ගුණාකාරය ලෙස හැඳින්වීමට කැමැත්තෙමි .

කුඩා පොදු ගුණාකරයේ සිට මහා පොදු සාධකය කරා යාම , චින්තන වෙනසකි . එහිදී බලපාන අභියෝග නුහුරුය නුපුරුදුය . ඒ සාමනාත්ම තාව බැලන්ස් කිරීම , තුන් කල් බලා ප්‍රමුඛතා හඳුනා ගැනීම , මිනිසෙක් හුදු (බස් කොන්දොස්තර වරුන් 5හේ කෑලි , 100හේ කෑලි යයි මගීන් සලකන පරිදි ) , ජාතියක කෑලි , ආර්ථික පන්තියක කෑලි , සමාජ පන්තියක කෑලි , සංස්කෘතියක කෑලි , ඇදහිල්ලක කෑලි , ගැහැණු පිරිමි මල් පලතුරු ආදී කෑලි ලෙස නොසලකා , සංකලනයක් ලෙස සැලකීම ආදී  මෙකී , නොකීය . එමගින් බහුවිධ අංශයන්ගෙන් සමගාමී සංවර්ධනයක් ඇතිවේ යයි මට සිතේ .

එය ඉතා වැදගත්ය . මන්ද යත් ආර්ථික සංවර්ධනයේ බිත්ති උඩට බඳිද්දී , එය කඩා නොවැටිමටනම් , සංස්කෘතික , චින්තන , සෞඛය ,ඵලදායීතාවයේ, විනයේ, ගතිපැවතුමේ සංවර්ධනයේ කම්බි , කොන්ක්‍රීට් පදමට ඇනු , කොලම්ස් සහ බීම්ස් වලින් නැවත බලාත්මක (re -enforce ) කළ  යුතුම බැවිනි.

පලි  :
මම ඇතැම් විට හිඳ මෙවැනි විකාර දේ ගැන දිගට කල්පනා කරමි . ඒ සඳහා උදව් වෙන,   (මද කැස්සක් )  ටොනික් ජාතියක්ද  වීදුරුවකට වක්කරගෙන , අයිස් කැට කිහිපයක් දමා ගෙන වඩියක් දෙකක් පාවිච්චි කරමි. අඩිය පෙනෙන විට ... සිතුවිලි කොනිති පාරවල් , නිමේශකයට පෑදී පෙනෙන ....
මෙය මළ  විකාරයක් යයි ඔබට සිතුනොත් ඊට මම විරුද්ධ නොවෙමි .  එනමුදු අපි , සම්මතයක් ලෙස ඇත්ත යයි පිළිගන්නා , හිතළු , සංකල්ප ( උදාහරණ දෙවියන් පිලිබඳ සංකල්පය ,ප්‍රජාතන්ත්‍රවාදයේ සාධාරනත්වය​) කෙතරම් ඇද්ද ?