මහා පෙරහැර ගොස් අවසන්ය . කොටින්ම දිය කැපීමේ පෙරහැරත් නිමාවෙලාය . මේ කීවේ නුවර පෙරහැර නොව , නෙලුම් යාය පුරා ගිය සින්දු පෙරහැර ගැනය .
ප්‍රබුද්ධ ගී විචාර ලියන උන්නැහේ මේ දවස් වල නිවාඩු ගිහින් නිසාවෙන් , ඒ අන්තරයේ , ලූලා නැති වලට කනයා කියා පහුවෙලා වුනත් සිත් ගත් ගීතයක විචාරයක් ලිවීමට මට සිතක් පහළ විය .
මුලින්ම ගීය අසන්න / බලන්න
මේ ගීය මා ඇස ගැටුනේ මාරම මාර යාං ලියන ශ්රංග ගේ මුහුණු පොතේ ය .
මේ ගීතය ගැනට වඩා මේ වර්ෂන් එක ගැන මෙන්ම , මියුසික් වීඩියෝ එක ගැනම ද විචාරයකි .
මෙහි මුල් ගීතය , ගැයූ ගායකයාට වඩා , මේ ගායකයාගේ වර්ෂන් එක , මෙන්ම මේ රූප රචනයම සමකාලීන සමාජ යථාර්තය මනාව පිළිබිඹු කරන්නේය . ඔහු ගීය පටන්ගන්නේ මිදුල ඇමදීමෙනි ,නමුත් වැඩේ මගදී ඔහු නවතා දමයි . මෙමගින් ලාංකීක ජන සමාජ හැසිරීම මනාව පිළිබිඹු වේ. මුළු ගීය පුරාම කියවෙන්නේ නන්තාරේ ගිය , නැහැදිච්චි පැටව් නිසා පස්චාත් තාපයට පත් වෙන පියෙකුගේ අදෝනාවකි . " නැහැච්චි එවුන් නිසා දරුවෝ මරන්නද ? " කියා ඔහු අසන්නේය .. අපි කොහොමෙයි තනියම නිවන් දකින්නේ කියා අසන්නේ , තවමත් මේ සංසාරේ වටේ කැරකෙන හේතුව කියා පාමිනි . රජෙක් වුවත් මෙවැනි දුකක් සිතට මහා වදයක් බවනම් කිව යුතුය . ඒ ගැන උදාහරණ මෑත අතීතයේ රාජාවලියේද අපට හමුවේ .
මේ නළුවා / ගායකයා ඉතාම තාත්වික අයුරින් එය ඉදිරිපත් කරන්නේය . ඔහුගේ අසරණ බව , "මොනවා කරන්නද ? " කියා විනාඩි 1.09 හිදී අසන අයුර ඕනෑම කෙනෙකු හද කම්පා කරවන්නේය . මුවින් නොකී කතා , හස්ත මුද්‍රාවෙන් කියන්නේය .
මුලදී ඉතා සංවරව සුදු සරමක් හැඳ , කමිසයක් හැඳ ගීය ආරම්භ කරනා ගායකයා . මගදී කමිසය ගලවා මොටෝ සයිකලයක් උඩට විසි කරන්නේය . මෙහිදී මොටෝ සයිකලය තාරුණ්‍යයේ බලාපොරොත්තු සහ භංග වූ දේශපාලන පොරොන්දු සංකේතාත්මකව නිරුපනය කරනවා දෝයි සිතේ .
ගීය මගදී , සුදු සරම කැහ පට ගැසේ , සංයමය ආවේගයකට හැරේ ."සරන් බරන් " ඉබේම "සටන් පටන් " බවට හැරේ .
ලාංකීක දේශපාලන යථාර්තයක් පොල්ලෙන් ගහනවා සේ පැහැදිලිවේ .