04 September 2016

සිරිලංකා පාටිය , සිරි ලංකා පාටියේ පාටි (සහ ඒ ඔස්සේ මතුවූ අනෙක් වැඩකට නැති සිතුවිලි )


සිරි ලංකා පාටිය බිහිවීම  සිදුවෙන කාලයේ  මා ඉපදී  සිටියේ නැත . ඒ නිසා ඒ වටා වූ භුමියේ සත්‍ය මම නොදනිමි . ඒ ගැන නොදැන සම්පුර්ණ චිත්‍රයක් කිසි ලෙසකවත් ඇඳිය නොහැක . නමුත් අසා කියවා ඇති පරිද්දෙන් නම් එය , එක්කෝ සොලොමන් වෙස්ටලී රිජ්වේ ඩයස්  මහත්තයා පොඩ්ඩක් කලබල වෙලා  එහෙමත් නැතිනම් කල්යල් බලා, සිංහල මහා සභාව කාලේ ඇඳි  ජාතික බැනියම , රෙද්ද ආයෙත් ඇඳ  ගෙන ඩඩ්ලි ගේ ආතල් එක කැඩීමේ ප්‍රයත්නයයි . යමක් කියවා තීරණය කිරීමට යාමේදී , අපේ ද්වීමාන චින්තනය තුළ  සුදු සහ කළු දෙගොඩ නිර්මාණය වී , කතාවේ චරිත ඒ කුලක රවුම් තුලට තල්ලු වීම නොවැලක්විය හැකියි . ඉතින් මේ රාමුවේ සොලොමන් වෙස්ට්ලි  රිජ්වේ ඩයස් කතාවේ වීරයා වේ . කාලයාගේ ඇවෑමෙන් ඔහු සතුරන් පවා පිළිගන්නා වීරයෙක් වේ . ඒ ගස උසටම වැඩෙද්දී  ඒ යටින් තිබු තුත්තිරි ගස්ද සරුවට වැඩේ . පාර්ලිමේන්තු ලොබිය හරහා අනෙක් පැත්තට ගිය ඇතැම් අය  මහා පුරුසයන් වුයේ ඒ ඉඩකඩ තුළ  දෝයි   විටෙක සිතේ . (කුමන සාධක ඔස්සේ වුව  ) ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපනය ලැබූ ඔහු ගේ අකල් වියෝවෙන් පසු , සාමන්‍ය පෙළවත් නොසමත් ඔහුගේ බිරිඳ වීරවරියක් ලෙස කරලියට එන්නේද  මේ වපරසිය තුලමය . රට බාර ගන්නට සුදුස්සියක් වන්නේ බණ්ඩාරනායක මහත්තයා එක්ක  අහවල්  එක කරලා දැයි මම නොඅසමි  . ඒ ද අර ද්විමාන තර්කයේ සුදු පැත්තේ අඩුවක් ඇතිවූ බැවිනි .

කවුරු කොහොම කිව්වත් , දේශපාලනය යනු ඔය කියන ප්‍රතිපත්ති පිලිබඳ , සමාජ සාධාරණත්වය පිලිබඳ කටයුත්තක් නොවේය . දේශපාලනය කියන්නෙම ආතල් දීම සහ ආතල් කැඩීම පිලිබඳ කටයුත්තකි . එහි තුල ඇත්තේ එය පමණි . මේ සංසිද්ධි දෙක තුලින් , බලයේ රැහැන්  අතට ගත හැකි බව රෝම ග්‍රීක කාලයේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පමණක් නොව , ධර්මාශෝකගේ ධර්මවිජය පිළිවෙත තුලද    ,  ලෙනින් , කස්ත්‍රෝ  මාඕ ගේ විප්ලව තුලද අපට හමුවේ . එක අතකට මුළු ජීවිතය පුරාම ඇත්තේ ආතල් දීම හා ආතල් කැඩීමේ නොනැවතින චක්‍රයයි . (මෙය සංකීර්ණ වී , විටෙක තමන්ගේම ආතල් එක කැඩීම  තුලින්ම තමන්ට ආතල් එකක් ලැබීමේ තැනට අයෙක් පත්වේ  .මෙය ප්‍රකෘති තත්වයක්ද විකෘති තත්වයක්ද යන්න ගැන තීරණය තම තම ගුණ නැණ  පමණින්මය .)

කෙසේ හෝ ධනවාදය තුල,  සිස්ටම් එක දිගට පැවතීමට කට්ටියක් බැට් කරන විට බෝල දාන්න මෙන්ම බෝල අහුලන්නත් කට්ටිය පිටියේ සිටිය යුතුය . සිරි ලංකා පාටිය මේ භූමිකාවට අත්‍යාවශ්‍ය විය. කොටින්ම අංකල් නෙවිව් පාටියේ පොෂ් ආතල් දිරවන්නේ නැති එවුන්ට , ගොඩේ ආතල් දීමේ ක්‍රමයක් අවැසි විය  . ජේවීපිය දෙවරක් ශොක් තෙරපියක් හරහා  සංවේදනාව වැඩි නිසා ඇඟ  හිටි වැටෙන තැනටම ඒ  ආතල් එකක්  දුන්හ එය අසාර්ථක විය . (එය ආතල් කැඩීමකින් කෙලවර වෙන බව එක සම්භාවිතාවක් බව ඔවුහුද දැන  සිටියෝයයි  මම සිතමි .   මා මිතුරෙක් දිනක් පැවසුවේ , 1977 ජේ ආර් දිනලා පහුවෙනිදා කවුරු හරි ඉඳ ගෙන අනාගතයේ වෙන්න පුළුවන් අවස්ථා පිලිබඳ සම්භාවිතා රුප සටහන්  අඳින්න ගත්තා නම් , ඉන් එක් අත්තක් නිතැතින්ම අද දක්වා සිදුවූ  සිද්ධි සියල්ල ඇමුනුන එකක් වන බවය . ඒ කියන්නේ අපේ රටේ දේශපාලන සිදුවීම් අතිශ්‍ය  ප්‍රෙඩික්ටබල් බවය . එය හුදෙක් තර්කනය පිලිබඳ ප්‍රකාශයක් නොවේය . ඇත්තටම මේ සිදුවූ කිසිම දෙයක් තුළ  කලු හංස, ඉතාම අහඹු  සිදුවීමක්,  නැත්තටම නැතිවා ය .  ඇත්තේ එකම එකකි ඒ සුනාමියයි .. නමුත් ඉන් දේශපාලනයේ කිසිම වෙනසක් නොවුනි )

ආතල් එහෙම බැරිය , නියමිත මාත්රාවටම විය යුතුය .  

අවුරුදු හැට පහක් පිරෙන සිරි ලංකා පාටියේ උපන්දින පාටි දෙකකි . එකක් නිල එකය , අනිත් එක ඒකාබද්ද එකය . මෙතැන් ඇත්තේද ආතල් දීම් හා කැඩීම් මය . ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය හදන්නේ මේ සහයෝගිතා ආතල් එක බිඳ , නැවත ජාතිවාදී ආතල් එකක් දෙන්නය . ඔවුන්ට රෙඩි  මේඩ්,  ට්‍රයිඩ් ඇන්ඩ්  ටෙස්ටඩ් වීරයෙක් ඇත . ඔහුව මාකට් කිරීමට අවදානම් පරිසරයක් තිබිය යුතුය  . 
එක අතකින් බැලුවොත්, අපි කැමති වුවත් නැතුවත් , ආණ්ඩු විරෝධී මතයට දේශපාලන වශයෙන්  රොක් වෙන්නට ඇත්තේ  මේ මළ බද්ධයම පමණි . නමුත් ඔවුන් කරන්නේ ඒ මතය අවුස්සා , ප්‍රතිචාර පටිගත කර ගෙන , ගොන් ජෝක් දමා ඊට පසුව (canned laughter වගේ ) අර ප්‍රතිචාර නැවත ප්ලේ කිරීමය . 

මීට ආසන්නම උදාහරණය සිරිලංකා පාටියේ පාටියයි . මුලින්ම ඔවුහු අත්  උස්සා මහා පාටියේ මහා පාටියට නොයාමට ජනමතයක් ගත්හ .ඉන්පසු ඒ විරෝධත්වයට හිස නමා , වෙනම කේක්  එකක් ලෑස්ති කර  අත්පුඩි ගසා එය කැපුහ  (එහි මහින්ද රාජපක්ෂ හා දරු කැල යයි ලියා . ..අම්මපා "දරුකැල" අස්සේ අර බන්දුලයත් හිටියා .. මොනවා උනත් හිටපු ජනාධිපති කෙනෙක් නේ ..මේ අපහාස කරන එකේ සීමාවක් තියෙන්න ඕනෑ )


මට ඇති පැනය ඩලස් පවිත්‍රා ට කේක්  කැව්වා ම , සිරි ලංකා පාටි ජනතාවගේ පපු අස්සේ තියෙන විරෝධාකල්ප මතුවෙන්නේ කොහොමද කියන එකය . (චන්ඩි නම් කුරුණෑගල ගිහින් විරෝධය පාන්න තිබුණාය . මලයාසියාවට පැනලා යන්නේ නැතිව අර වේදිකාවටම නැගලා කන් වල ඇඟිලි ගහ ගන්න කතාවක් කරන්න තිබ්බාය . ආතල් කඩනවා නම් , අන්න එහෙමය )

ආණ්ඩුව හදන්නේ "ඔහොම යං " කියා , ඉඳ හිට වොයිස් කට්  , රිමාන්ඩ් කිරීම් හරහා ලාවට ආතල් දෙන්නය .  අනෙක් උන් ගේ ආතල් ලාවට කඩන්නය . අනෙක් උන්  හදන්නේ මෙවැනි සිඟිති ආතල් දෙන්නය .  පෙර කළා  මෙන් විරෝධාකල්ප වල සිනක්කර අයිතිය,   දේශපාලන පක්ෂයකට  බාර දී සිටියොත් ,  මිනිසුන්ට මේ ආතල්  මදිවෙනු ඇත. අපේ රටේ ආතල් දීමට වෙනත් ක්‍රම නැත , සංස්කෘතික ආතල් ඇත්තෙම නැතිය (ඉඳ හිට නිර්මාණ ඇති වුනත් බොහෝ දෙනාට එවන් ආතල් ගන්නට නොතේරේ).  ක්‍රීඩාව අතින් ද එහෙම කියා ජයග්‍රහණ නැත , ඇත්තේ ක්‍රිකට් පමණි . මිනිස්සු ආතල් ගන්නෙම දේශපාලනයෙන්මය. (ක්‍රිකට් අස්සේද  දේශපාලනයමය) . 

මට බය මෙහෙම ගොස්  මිනිසුන්ගේ බුද්ධියට නිගා කිරීම තවත් ඉවසා නොහි , ආතල් ඇරියස් කවර්  කර ගන්නත් එක්ක ශොක්  තෙරපියකට නැවතත් තල්ලු වේ දෝයි  කියාය.

7 comments:

  1. එහෙම වෙන්න ගොඩාක් ඉඩ තිබුනා එජාපය එක්ක දීගෙකට නොගියානම්. ඒ වගේම ඔය කැම්පස් වල ඉන්න හරක් ටික ඇරුනම, අනිත් කොල්ලො කෙල්ලො ටික රවට්ටන්න බෑ ජෙප්පම්ටවත්, පසුගාමින්ටවත්.

    ReplyDelete
    Replies
    1. එතකොට 89 මැරුණේ කැම්පස් කොල්ලෝ විතරද

      Delete
  2. බණ්ඩාරනායක ඝාතනය නිසා රටට ලොකු හානියක් වුනා වෙන්න පුලුවන්. ඔහු චන්දෙ ගන්න කියපු ලාබ ගැලරි දේවල් හා ආපු ගමන් කරපු ලාබ දේවල් සමහරවිට ඔහු විසින්ම වෙනස් කරන්න ඉඩ තිබුනා ඔහු හිටියනම්. ඔහු මැරුවට පස්සෙ ඒ දේවල් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියලා ලොකු ප්‍රචාරයක් තුලින් පස්සෙ ආපු අය ගෙන ගියා. ඒවයින් පොඩි හොඳකුයි, ලොකු නරකකුයි වුනා. ඔහු හිටියනම් ඊට වඩා වෙනස් වෙන්න තිබුනා නේද?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා

      Delete
  3. සිංහල ලියන්න සහ කියවන්න බැරි, සුද්දන්ට කත් ඇද මහා ධනවතෙකුවූ පියාගෙන් බිහිවූද, එවන්ම ධනවත් ප්‍රභූ පවුලක කෙනෙක් කසාද බැඳගත්තාවූද, අගමැති කම එක් වරක් පියාගෙන් පුතාට ගියවිට තමන් අගමැති වීමට පාර කපාගැනීමට සිංහල ජාතිවාදය අවුස්සා, රටට දෙන අය වෙනුවට රටෙන් හැදෙන පරපුරක් දේශපාලනයට ගෙනවිත් සෑදූ පක්ෂය සහ ජනසතු ව්‍යාපාර වලින් සිංහල ව්‍යවසායකයින් පාරට දමා , අද බංකොලොත් පොතේ ලිවීමට පමණක් හොඳ සමාජවාදය පෙන්නාගෙන රජවී ඊට පසු බිරිඳට දුවට යන පක්ශය හැදූ සොලමන්ගෙ චින්තනයට ජයවේවා.

    ReplyDelete

Have commented