13 November 2016

අත්තලා ගේ ආයෝජන , අප්පලා ගේ මෝඩ කම් සහ අපි

මගේ ජීවිතයට බලපාන්නේ , මගේ සීයාගේ ආයෝජනයන් සහ මගේ පියා ගේ මෝඩ කම් යයි ,  දිනක් මා සිඳුවා,  කිව්වේ අප්පච්චිමය. 

ඔහු කියන්නට උත්සහ කලේ, අපි ආයෝජනය කළ  යුත්තේ පරම්පරා දෙකකට එහා ගැන සිතා බවය . අනෙක් අතට අපේ වැරදි තීරණ බලපාන්නේ , අපිටත් වඩා අපේ දරුවන්ට බවය . 

මේ කියන ආයෝජන මුදල්  පිළිබඳව නොවීය . සීයා කෙනෙක් , මුණුපුරාට කෑමට අඹ ගසක් සිටවීම ගැන කතාවක් මා කුඩා කළ නිරතුරුව ඇසුණි . මේ කියන්නේ ඒවැනි ආයෝජනයන් ගැනය 

එතනින්  එහාට ගැන සිතන්නට වූ කළ  , මේ කියන්නේ සංකල්පමය ආයෝජනද  ගැනය . ඕනෑම සංකල්පයක් , එය බිහිවෙන පරම්පරාවට විහිලුවකි විකාරයකි . ඉන් නොසැලී රැකුනොත් එය ඉන් පසු පරම්පරාවට එය විකල්ප මතයකි . එය හොඳින් ඇවිලෙන්න ගන්නේ තෙවැනි  පරම්පරාව තුලය .

උදාහරණයක් ලෙස අපි සිහින දකින සහජීවනය සහ ජාතිකත්වය අතර නියම මාත්‍රාවට මුසු වූ චින්තනය , අපේ ජීවිත කාලය තුළ  ලැබෙන්නේ නැත . අපේ පරම්පරාවේ හිත්  වල ඇති යුද්ධයේ තුවාල පුර්ණව වේලේන්නේ  නැත .  අම්මා අප්පා නැතිවු දරුවන්ගේ දුක  ඊළඟ පරම්පරාවේ ද යම් දුරකට කිඳා  බසිනු ඇත . ඒත් ඉන්පසු පරම්පරාවට ඒ බර නැත . ඉතින් ඉතිහාසයට නිවහල්ව සිතිය හැකි වනු ඇත . නමුත් එය ඉබේ සිදු නොවනු ඇත, ඒ සඳහා ආයෝජනය පටන් ගත යුත්තේ අපය . එය කළ  යුත්තේ තැන්පතුව කල් පිරෙන්නේ තව පරම්පරා දෙකකින් බව දැන දැන  මය .

අපි පතන යහ සමාජය , පරම්පරා දෙකකට අතික්රමනය කර ඒ සඳහා අවැසි වටිනාකම් වල බීජ දැන්මම රෝපණය කළ  යුතුය ... එතකොට යමෙක් කියාවී  "ඕක තමයි දිගු කාලීන  ජාතික ප්‍රතිපත්තියක් ඕනේ කියන්නේ " ...කොහෙද මේ පක්ෂ ක්‍රමේ නිසා .....එහෙමද ?

වටිනාකම් වැඩෙන්නේ ප්‍රවාද මතය . ඉන්පසු පවතින්නේ ඒවා සම්මතයන් වීම මතය . දැන් අපි කළ යුත්තේ ඒ ප්‍රවාද තැනීමය . අපේ ප්‍රවාද කෙතරම් යාවත් කාලිනද ?  

බොරු නොකියන වීර කතා , හොරකම් කළ  රජවරුන් ජනතාව විසින් එලවන වීර කතා නොමැත . අපේ වීර කතාවල සහජීවනය , සමගිය, එකමුතුබව ගැන කියවෙන කතා කීයක් ඇත්ද . ඇත්තේ එක් වීරයෙක් , මුළු රටක් බේරා ගන්නා කතා නොවේද .

ඉතින් අපිත්  අත්  බැඳ ගෙන දියසේන එනතෙක් බලා සිටිමු ද .. 


36 comments:

  1. කොච්චර බැන්නත් තාමත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ආන්ඩුව කෙරේ. මෙයාලා නිසා නෙමෙයි. ඉන්දියාව හා චීනය නිසා.

    ReplyDelete
    Replies
    1. මුන්ගෙන් වැඩි දෙයක් බලාපොරොත්තුව වීම මිත්‍යාවක් කියලයි මම හිතන්නේ. ඒ වගේම මොකුත් නොකර ඉදලා අනාගතේදේශපාලකයන් මීට වෙනස් වෙයි කියලා හිතන එකත් මිරිඟුවක් කියලා හිතෙනවා

      Delete
  2. බලං ඉන්න ඒකෙන් පලක් තිෙය්විද?

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්න කියන එක නෙමෙයි කියන්න හැදුවේ. දිගු කාලීන ආකල්ප ආයෝජන ගැන . ඒ කියන්නේ මගේ මුනුපුරා ටාගට් එකට යන්න ඔහුගේ පියා කෙබඳු විය යුතුද වැනි දෙයක්

      Delete
  3. අපේ සංහිඳියා කතා බොරු බයිලා.
    මම කියන්නෙ සිංහල ජාතිවාදය තරම්ම බොරුවක් තමා හැම ජාතියක්ම එකයි අපි මිනිස්සු කියන එකත්.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ජාතිය පිලිබඳ සංකල්පය ගෝත්‍රිකයි. ඒත් මිනිසා සැම විටම ගෝත්‍රිකයෙක් . ඒ නිසා තමන්ට අයිති වෙන්න ගෝත්‍රයක් හොයනවා. දකුනත් හුරු වමත් හුරු යයි බෙදීම තරමටම ජාතිය බොලඳයි. මගේ මතය අපි කවුරැවත් අනෙකාට සමාන නෑ කියන එකයි

      Delete
  4. මචෝ, කතාව සහතික ඇත්ත.
    ඔය ආයෝජන කතාව නම් බොහොම වටිනවා. අපි කාටවත් මතක් නොවෙච්චි කාරණයක්.

    අද අපි පවා විහිලුවට ගත්තාට සංහිඳියාව, සහජීවනය කියන්නේ බොහොම වටිනා ආයෝජ්ජන බව දැන් තමයි තේරෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවේ නීති ගරැක බව විනය වගේ ඒවාත්

      Delete
  5. දියසේන කෙසේ වෙතත් සිරිසේන නම් ආවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කට්ටිය අහන්නේ ඔබට ශටුටුයිද දැන් කියලා

      Delete
  6. උබ කියපු කතාවෙත් ගන්ට විශේෂ දෙයක් තිබෙනව.

    ඒත් අපේ රටේ දේශපාලන තියරිය තමයි බලයට ආව ගමන් ජාතියේ මීලඟ පරම්පරා දෙකට හිකවෙලා ගියත් තමන්ගෙ පරම්පරා දෙක සංවර්දනය කොර ගැනීම.

    දැක්කනේ හිට්ලර් යවල චැප්ලින් ආව ගමන් මහ බැංකුවට කෙලලම දාපු දැමිල්ල.. 😳

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා.

      මොකෝ දැන් ඇවිත් ඉන්න අලුත් එවුනුත් කම්බ හොරැ. ඒ අර ෆැක්ටරියෙන්ම එලියට එන නිසා. උන්ට චන්දේදෙන එවුනුත් එන්නේ පරන ෆැක්ටෙරියෙන්මයි

      Delete
  7. //උදාහරණයක් ලෙස අපි සිහින දකින සහජීවනය සහ ජාතිකත්වය අතර නියම මාත්‍රාවට මුසු වූ චින්තනය , අපේ ජීවිත කාලය තුළ ලැබෙන්නේ නැත .///

    එහෙම කියන්නේ කොහොමද...

    ReplyDelete
    Replies
    1. අපේ පරම්පරාවට තියෙන්නේ වේලෙන තුවාල නොවේ. අපේ දරැවන්ගේ ආකල්ප වලටද අපේ තුවාල කැලලි බලපානු ඇත. නමුත් තෙවන පරම්පරාවට ඒ බර නැත.. නමුත් මීට කලින් එය සිදු වුවෝත් මමද ඔබ සමගම සතුටු වෙමි

      Delete
    2. එහෙම හිතන්න හිතන්න වෙළෙන්නේත් නැත.. ඔබ සිතන ලෙස තුන්වන පරම්පාරවට එය ලැබෙන්න විදිහක් නැහැ දෙවි කෙනෙක් ඇවිත් මවලා දුන්නොත් මිසක් අද ඉන්න වැඩිහිටි අයගේ තුවාල අදම වේලුනේ නැත්නම්..

      Delete
  8. ඔබ ඔය කියන හැමදේම හැමදාම අපි අතරම තිබ්බා, තිබුනා, තියෙනවා.. රේස් දුවන අද නෙමේ හෙට කියලා බාලගිරි දෝෂයත් එක්ක වැඩ කරන අය නැවතුන දාට ඔබට එය පෙනේවී..

    http://nimnyakatanivi.blogspot.com.au/2016/11/blog-post.html

    https://nimnyakatanivi.blogspot.com.au/2016/11/blog-post_64.html

    ReplyDelete
    Replies
    1. සැම විසඳුමක්ම ක්ෂනික නුඩ්ල්ස් ගනයේ නොවේ යයි මා අත්දැකිමෙන් දනිම්

      Delete
    2. අනෙක් අතට මා කියන්නේ විසඳුම කල් දමන්න කියා නොවේ. අපපේ ජීවිතේ නොලැබෙන දන්නා මුත් විසඳුමට කැප වීමේ ඇති වැදගත් කමයි

      Delete
    3. එහෙනම් මම හිතන්නේ හෙට ට කල් දැමීම නොව මේ ඉන්න තුවාල වේලි නැති වැඩිහිටියගෙ මනස යථාතත්වයට ගෙන ඒමට කිසියම් වැඩපිළිවෙලක් හැදිම ගැන කතා කිරිම...ඔබ කියන වෙනසට කැපවිම් වල ඇති වැදගත්කම හොඳාකරව හැමෝම දැන දන්න බව ඔබට දැන් වෙනකොට වැටහිලා තියන්න ඕන. එතනින් එහාට කොහොමද යන්නේ ...

      ක්ෂණික නැති නිසාම තමයි යන විදිහක් පැහැදිලිව හදාගන්න ඕන. එහෙම නැතුව මේ දේම තමයි ඉදිරියටත් වෙන්න බොහෝ විට ඉඩ හැදෙන්නේ කියලයි මම නම් හිතන්නේ..

      Delete
    4. දැන් මේකට උත්තර බඳින්නේ කොහොමද

      හරියට , ශ්‍රී ලංකා යි ඔස්ට්‍රේලියයි මැච් එකක් වගේ . ශ්‍රී ලංකා පිළ දුර්වලයි කියලා හිතමු. ලංකාව දිනනවට මම කැමතියි ඒත් යථාර්ථ වාදී ව මට හිතෙනවා ඔස්ට්‍රේලියාව දිනයි කියලා . ඔබ තර්ක කරනවා ලංකාව දිනයි කියලා. ඒත් මම නිවැරදි වෙන්න , ඔබ වැරදි වෙන්න , ලංකාව පැරදෙවා කියලා පතන්න තරම් කුහකයෙක් වෙන්න මට බෑ . ඉතින් මම පතන්නේ මම වැරදි වී ඔබ නිවැරදි වේවා කියලා .

      Delete
    5. එහෙම වෙන්න ඕන නැ.. දිනුමක් පැරදුමක් නැති තැන ඔබ පතන වෙනස් සිදු වෙවී.. :)

      Delete
    6. ඔබට මම කිව්ව දේ ටිකක් හරි වැටහුනා නම් ඔබ මේ වගේ උදාහරණයක් ගන්න එකක් නැ කියලයි මම හිතන්නේ..එකිනෙකා පරයා ඉහළට එන්න තියන තරඟය නිසා නේද මේ ගොඩක් තුවාල ඇති වෙලා තියෙන්නේ.. දැන් ඉන්න වැඩිහිටියන්ගේ ඔලු වලින් එය අයින් කලේ නැත්නම් ඔවුන්ගේ දරුවන් එය දායාද කර ගන්නවා නේද ඉබේම..

      ඉන් පස්සේ නැවතත් මෙවැනිම දරුණු තුවාල ඇති වෙන්න ඉඩ හැදෙන්න පුලුවන් නේද.. ඔබට ටිකක ජිවිත ඇතුලට ගිහින් බැලිවොත් පෙනේවි දැනටත් තමන්ගේ ළමයා ඉහල යවා ගන්න මොන විදිහෙන් හරි දඟලන වැඩිහිටියන්..ඉතින් ඒ ළමයා ලොකු උනාම හැමෝමත් එක්ක සහයෝගෙන් යාවිද... තනියෙන් යාවිද.. දෙයක් අත් හැරිමට සිදු උනොත් උපේක්ෂා සහගත වේවිද..

      Delete
    7. නිම්නි.....අතහැරීම හෝ බදාගැනීම පිලිබඳව අපට කියා දිය හැකියි. නමුත් ඒවා දරුවන් අත්හදා බලන්නේ ජීවිත අත්දැකීම් එක්ක. අම්මා එහෙම කරේ නැහැ...තාත්තා එහෙම කරේ නැහැ කියලා අතහරින හෝ බදාගන්න දේවල් එක්තරා මායාවන්. වඩාත් වටින්නේ ඒ සිතුවිලි හිතේ තියාගෙන ඒවා සමාජ අත්දැකීම් හරහා ගලපවා ගැනීමයි. නැත්නම් නැවතත් බිහිවෙන්නේ රොබෝට් කෙනෙක්. පාඩම් හොඳයි. අත්දැකීම් ඊටත් වඩා හොඳයි.

      Delete
    8. අරුන, අත්දැකීම් හැදෙන්නේ තමන් දකින් දේ අනූවනේ අරුන.. වැඩිහිටියන් හරි පාරේ ඉක්මනින් නොයා අපිට බලාපොරොත්තු තියාගන්න බෑනේ අරුන. ඒක පරම්පරා කීපයක් බලන් ඉන්න එක හරි අපරාධයක් දුකක්..

      Delete
    9. අරුන, මම ඉගෙන ගන්නේ දරුවන්ගේ පළවෙනි අවුරුදු 7 ඇතුලත අධ්‍යාපනය ගැන.. පිරිසිදු මොළයක්, හිහක් එක්ක ඉපදෙන දරුවා යන පාර තීරණය කරන්න සෑහෙන දුරකට මේ පළවෙනි අවුරුදු 7 එයත් එක්ක ගැවසෙන පරිසරයේ ඉන්න අයට පුලුවන්.. එය වෙනස් කීරිම එතරම් ලෙහෙසි නම් නැහැ... මොළය කියන්නේ එක්තරා පරිපථයක්..

      එය මුල සිට පැහැදිලි මාවතක පෑස්සෙමින් යනවා නම් මේ අපි හිතන පතන වෙනස් වැඩි ඈතක නෙමේ කියලයි මට හිතෙන්නේ..:)

      Delete
    10. නිම්නි.....ඔබේ තක්සේරුව නිවැරදි ඇති. ඒ ගැන තර්කයක් නැහැ. සිතීමේ ආරම්භය කුඩා අවධියේ වටපිටාව තමයි. ඒ ආරම්භය අප ලබා දිය යුතුමයි. නමුත් අප සියල්ලම වඩා නිවැරදිවම ජීවිතය සහ වටපිටාව හදාරන්නේ සමාජය නම්වූ කුතුහලය තුලයි. නිම්නි අපේ දරුවාගේ වයස අවුරුදු 27යි. මම විවාහ වුනේ අවුරුදු 24න්. අපි ඇයගෙන් බොහෝ දේ ඉගෙනගන්නවා. එය පාඩමක්. මේක වන් වේ ට්‍රැෆික් එකක් නෙමේ. මුම්බායිවල ට්‍රැෆික් වගේ. ජීවිතය කියන්නේ කිසිම කෙනෙකුට වටහා දිය හැකි දෙයක් නෙමේ. එය ස්වයං අධ්‍යයනයක්. අපි කලයුත්තේ උදැල්ල අල්ලන්නේ කොහොමද කියලා පෙන්නන එක සහ සවිමත් උදලු මිටක් සපයා දෙන එක විතරයි..මාර්ගය ඔවුන්ගේ ප්ලෑන් එක අනුව කපාගනියි. තලය මුවහත් කර ගැනීම පාර සකසගන්නාගේ වැඩක්. ඒක සාර්ථකයි මිට හරියට ගහලා දුන්නොත්. අපි පෙන්නන්න ඕන කපන මාර්ගය නෙමේ. එය සාදාගන්නා ආයුධය. මාර්ගය ඔවුන්ගේ. මේ මට හිතෙන හැටි. ඔබ හිතන දේ මම වැරදියි කියා කියනවා නොවේ.

      Delete
    11. ඔබේවත් මේ ලිපිය ලියු කෙනාගේ වත් අදහාස් වැරදියි කියලා නෙමේ මම කිව්වේ.. ඔබ දෙදෙනාම කියන මාර්ගය හදන්න කල් ගැනීම අපරාදයක්...ඔබත් මමත් මෙහි සිටින අතලොස්සකගේ ජිවිත සහ දරුවන් එක්ක අපේ සමාජ වල සිටින බහුතරය සසඳන්න බැහැ කියලයි මම හිතන්නේ අරුන..

      කැපවෙන්න කියලා පෙන්වා දෙන අය ගොඩක් හිටියත් අඩුම  ගානේ දරුවෙක්ගේ පළවෙනි අවුරුදු 7 වත් අවශ්‍ය තරමට කැපවෙන්න පුලුවන් දුවන්නේ නැතුව වෙලාව හදාගන්න පුලුවන් අය ඉන්නවද.... JP,( ඔබේ නමක් දන්නේ නැනේ )  ඔබව වෙහෙසට පත් කරන්න අදහස් කලේ නෑ මම.. අද කරන්න ඕන දෙයක් හෙට ට කල් දාන අදහසක් දැක්ක නිසයි මම හිතන විදිහ කිව්වේ.

      Delete
    12. ඔබේ ප්‍රතිචාර මා සතුටට මිස වෙහෙසට කරැනක් නොවේ. හැල්මේ දුවන අපිට අල්ලාප සල්ලාපයෙන් ඔබ්බට ගිය සංවාදයකට තියෙන්නේ මේ ඉඩ තමා. ඒ සංවාදය මම ප්‍රියකරමි.

      දැන් මම හිතන්නේ ඔබයි මමයි කියන්නේ එකම දේ . අපිට වගකීමක්තියෙනවා. සුභවාදිඔබ සහ එතරම් සුභවාදි නැති මම ටාගට් එක ලඟාකර ගත හැකි කාලය ගැන එකඟ නොවුනත් තමන්ට කොඩිය ගත හැකි වුවත් නැතත් මුලින් ග්‍රීස් ගහ නගින එකාටත් ලොකු වගකීමක් ඇති බව පිලිගන්නවා. එය හෙට වෙනෙකෙකු කරයි යයි බලා සිටියොත් හැමදාම බලන් ඉන්න වේවි.

      මේ සංවාදයට ඔබ දායකත්වයට බොහොම ස්තුතියි. කරැනාකර ඔබේ අදහස් දිගටම දක්වන්න

      Delete
  9. ආකල්ප ආයෝජනය ඉතා වැදගත්. මෙය ආරම්භ වෙන්න ඕන පවුල කියන පෞද්ගලික යුනිට් එක ඇතුලෙන්. එතන තමයි සිතීමේ ආරම්භය. ආකල්ප ආයෝජනයට රටක කලාකරුවන් තුලින් විශාල දායකත්වයක් ලැබිය යුතුයි. නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම වෙන්නේ අවම වශයෙන්.

    මේ ලිපිය තුල තියෙන්නේත් ආකල්ප ආයෝජනයට දෙන පොඩි තල්ලුවක්. ඒක නිවැරදිව ග්‍රහනය කරගන්න පුලුවන් වෙන්නේ ලිපිය කියවීමෙන් විතරක් නෙමේ. එය සමාජය තුල අත්හදා බැලීමෙනුයි.

    ReplyDelete
    Replies
    1. අරූ , මම මේ ගැන ටිකක් දුරට හිතලා ඉන්නේ . මගේ රස්සාවේ මේ වගේ දේවල් ආයතනික මට්ටමෙන් කරනවා . ඒවා කෙටි කාලීන ප්‍රතිපල සඳහා කරන පොඩි පොඩි දේවල් .ඒත් රටක් හැටියට , දිගු කාලීන (ඉතා දිගු කාලින ) ප්‍රතිපල සඳහා මේ ක්‍රමය පාවිච්චි කළ හැකිදැයි මම ටික දවසක ඉඳන් හිතනවා . මට හිතෙනවා පුළුවන් කියලා .

      Delete
    2. මේක කරන්න පුලුවන් වැඩක් කියලා මම අත්දැකීමෙන් හිතනවා. ඒකට මචං තමන් තමන්ට අවංක වෙන්න ඕන සහ අනිත් අයට විවෘත වෙන්න ඕන. එහෙම වුනාම ඉතා විවෘත අවකාශයක් නිකම්ම හැදෙනවා. මගේ දැණුම ශාස්ත්‍රීය නොවුනත්...මගේ අදහස තුල ඇතිදේ මම පෞද්ගලිකව විඳලා තියෙනවා. මෙය නිවැරදිව අත්හදා බලපු චරිතයක් තමයි මගේ බිරිඳගේ අම්මා. මා ඇගෙන් බොහෝ දේ උගත්තා. අද මහා විශාල සාමාජිකයින් ප්‍රමාණයක් ඉන්න අප දෙදෙනාගේ පවුල්වල සීයට සීයක්ම ලොකු කුඩා සියල්ලක්ම ඇයව ආදරයෙන් සිහිපත් කරනවා. "සෝමාච්චි වගේ වෙන්න" කියලා කියන එක තමයි අපේ පවුල්වල දරුවන්ට දෙන හොඳම අවවාදය. මගේ මල්ලිත් ඇය ගැන ලියා තිබුනා.

      Delete
    3. අරූ පුළුවන් නම් ඒ ලින්ක් එක දෙන්න

      Delete
  10. මගේ ජීවිතයට බලපාන්නේ , මගේ සීයාගේ ආයෝජනයන් සහ මගේ පියා ගේ මෝඩ කම්

    මසුරං!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      Delete
  11. රාවය සංවත්සර කලාපය අරං කියවන්න....
    දියසේන වෙනුවට අපටම තමයි කරන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබ හරි අපිටම තමා කරන්න වෙන්නේ කවදාත් . පත්තරේ හොයාගෙන කියවන්න ඕනේ . එය ඉලෙක්ට්‍රොනිකව හෝ අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න විදියක් තියෙනවද

      Delete

Have commented