ඊයේ අපේ කන්තෝරුවේ පොඩි ජය සැමරුමක් ... සති දෙක තුනක් තිස්සේ කණ්ඩායමම විසඳන්න හදපු ප්‍රශ්නයක් , විසඳා ගත්තා . " මට අද හරි සතුටුයි " එකෙක් කියනවා ... " හුරේ " තව එකෙක් ජයඝෝෂා නගනවා
මේ විසඳුමෙන් අපි කාටවත් පුද්ගලික වාසියක් නෑ .. අනෙක් අතට ලෝකෙට ලැබෙන එහෙම කියලා සෙතකුත් නෑ ... ඇත්නම් ඇත්තේ ආයතනයට ලැබෙන ලාබය වැඩිවීමේ සම්භාවිතාවක් විතරයි .... සඳුදා උදේට අපිට අලුත් ප්‍රශ්න තිබේවී විසඳන්න .. ගෙදර ගියාම අපේ ජීවිත වල ප්‍රශ්න පොදිය එහෙම්මම තියෙනවා .
අපි, මිනිස්සු , සංවේදනා වලට ඇබ්බැහි වෙලා . සතුට , දුක , විස්මය , තිගැස්ම ට ඇබ්බැහි වෙලා . ඉතින් ඒ හයි එක ලබන්න අපි කතන්දර ගොතා ගන්නවා .. සමහර ඒවා හැපී එන්ඩින් , සමහර ඒවා ට්‍රැඩජි .
"සුනීතට බිමින් තියන්න කියූ අසුචී කඳ මොකක්ද?" ඔය අස්සේ එකෙක් , දෙකක් දා ගෙනද කොහෙද , බුකියේ ප්‍රශ්නයක් අහනවා
"මොකෝ මේ ?"
" උත්තරේ කියහන්කෝ "
"උත්තරේ මම හිතන විදියට .."
"හරියට හරි "
"මම උත්තරේ කිව්වේ නෑ නේ .."
"කිව්වා"
සිත ගමන් වෘත්තය සම්පුර්ණ කරනවා. සිතුවිලි වළල්ල වැහෙනවා
***
" මගේ කණ්ඩායම ගැන මට මාර ආඩම්බරයි " බොසෙක් ඇවිත් පහක් දෙනවා ...අයිනක කෙල්ලෙක් ඇඹරෙනවා
මගේ සිතුවිලි , බුකියේ පැතිරෙන අලුත් වසංගතයකට සහ ඒ ගැන දැක්වෙන අර්ථදැක්වීම් වලට සමපාත වෙනවා .
"ප්‍රවුඩ් ටු බී ..."
ගෝත්‍රිකත්වයෙන් මිදිලා එලියට ආපු මිනිස්සු ආපහු මුණේ ගා ගන්න ගෝත්‍රයට අදාළ වර්ණය හොයනවා .
" මචන් මේ ප්‍රවුඩ් ටු බී ශ්‍රී ඥානවිමලයින් ( ඔහු ගිය දහම් පාසැල ) වගේ විහිලු දාන්නේ නැතිව , ප්‍රවුඩ් ටූ බී ශ්‍රී ලන්කන් වගේ දාන්න එකෙක් වත් නෑනේ "
" ඇයි එහෙම දාන්නේ "
" අපි ලෝකේ කොහේ ගියත් , කොහේ PR තිබ්බත් , හදවතින් අපි ලාංකිකයි නේ "
" ඒ දෙකම එකයි නෙවෙයිද " (මම නොඇසුවෙමි , සිතුවා පමණි )
21 October 2017
14 October 2017
ෆ්ලෝ ෂයින් සහ ගුටි කන ගුණේ
168 බස් එකේ අයිනේ සීට් එකේ ලාවට නින්දක් දාගෙන ගිහින් , කොන්දොස්තර තෙමේ " සෙන්ට්‍රල් බෑන්ක් බහින්න " කියනකොට අවදිවෙලා , ඊළඟ නැවතුමෙන් බැහැලා උදේ පාන්දර වැඩට ගිය කාලයක් මටත් තිබුනා . විදේශීය බැංකුවක දේශීය ශාඛාවක වැඩ කරපු මට ඇත්තටම එහෙම උදේම යන්න නියමිත වැඩක් නොතිබුනත් , ඉස්කෝලෙන් ගේට්ටුවෙන් එලියට බැහැලා , රස්සාවේ පිළිකන්නට ගොඩ වෙච්ච මට උදේ නැගිටින එක පුරුද්දක් ඇබ්බැහියක් වෙලා තිබිච්ච නිසාත් , උදේ පාන්දර දවස සැලසුම් කරගන්න තියෙන නිස්කලංකය නිසාත් , උදේ කැන්ටිමේ සංගමයට මා ලොල් වී සිටි නිසාත් උදේ පාන්දරම වැඩට ආවා .
පොත අත්සන් කරලා , ඊළඟට මුහුණ අත පය පොඩ්ඩක් සෝදා ගන්න, මුත්‍රාශය හිස් කර ගන්න වැසිකිලියට යන කොටම, හැමදාම ගුඩ් මෝනින් සර් කියලා දෙසවන් දක්වා හිනා වෙච්ච කෙනෙක් උන්නා . අපේ කන්තෝරුවේ සනීපාරක්ෂක කටයුතු ඒ වෙනකොටත් පුද්ගලික ආයතනයකට බාර දීලා තිබ්බේ . ඔහුගේ නම කිහිප විටක්ම අසා ඇති බව මතක තිබ්බත් , නම මතක නෑ . ඒත් කවුරුත් ඔහුව ඇමතුවේ "ෆ්ලෝ ෂයින් " කියලා , ඔහු සේවය කළ ආයතනයේ නමින් .
දවසක් මම මොකක්දෝ වැඩකට මහා බැංකුවට ගියා . මහා ප්‍රතාපවත් කුළුණු අතරින් විදුලි සෝපානය දෙසට යන කොට , මෙන්න පුරුදු මුහුණක් .
"ෆ්ලෝ ෂයින් ??!!"
"ආ සර් .."
"උඹ මොකද මෙහෙ කරන්නේ ? "
" සර් ලෝකල් බැංකු , පොරින් බැංකු , පොඩි බැංකු , මහා බැංකු කියලා නෑ .. අපි ඔක්කොම සුද්ධ කරනවා ..."
මේ සතියේ ප්‍රවෘත්ති කියවා ගෙන යන කොට එක පාරටම මට ෆ්ලෝ ෂයින් මතක් උනා
පලි : සුද්ද කිරීම වනාහි ශිල්පයකි . එය එක තැනක ප්‍රගුණ කර ගත් කල ඕනෑම තැනකදී පාවිච්චි කළ හැක
***
"මචෝ , අරු දුවලා ගියේ , උගේ කට්ටිය ගේන්න ...දැන් වලියක් ෂුවර් එකටම සෙට් වෙනවා , දුවලා ගිහින් ගුටි කන ගුණේට එන්න කියපං "
මා පාසැල් සමයේ , කාලගුනේ , තඩි ගුනේ , ගුඩු බණේ ආදී ගුණේ ලා රාශියක් සිටියහ .
ගුටි කන ගුණේ හෙවත් වන්- ෆෝ -ද -ටීම්- ගුණේට කොල්ලෝ මුහුණට කිව්වේ හිත හොඳ ගුනේ කියලාය . ඒත් යථාර්ථය , ගුටි කන ගුනේ බව , අපිත් , ගුනේත් , ගුනේ දන්නා බව අපිත් , ගුනේ දන්නා බව අපි දන්නා බව ගුනේත් , දැන සිටියා .
ගුනේ කලේ එක අතකට සමාජ සේවයක් . හැබැයි හැම සේවා සපයන්නෙක් වගේම ඔහු ඊට අය කිරීමක් කළා . සුළු සීරීම් සඳහා සිගරට් පැකට් එකක සිට , හන්දි විසන්ධියක් සඳහා රුපියල් දාහක් (ඒ කාලේ ලොකු ගානක් ) දක්වා මිළ දර්ශකයක් ඔහු ගාව තිබුනා .
හොඳට ඇඟ පත තිබුණු ඔහු ඕනෑම වලියකට ඉදිරිපත් වී , සතුරාගේ අවධානය තමන් වෙත යොමු කරගෙන , ඉන්පසු ප්‍රහාරය සඳහා තනිවම මුහුණ දෙන්නේ , ඉදිරියට පැන වන් ෆෝ ද ටීම් ඉල්ලන් කන්නේ, අනෙක් එවුන් ගේ ඇඟ පත බේරා දෙමිනි , ඔවුන්ට බේරී පලායාමට ඉඩ සලසමිනි . ගුටි නොකන වලි පවා , ගුටි කන මට්ටටමට ගෙන ඒමට ඔහු උත්සුක වන්නේ , වාසිය එවිට බැවිනි .
පලි : රස්සාවට ගුටි කන එකාට , ගහන තරමට වාසිය ඌටමය.
ගුණේ වේවා , බැසිල් වේවා , රවී වේවා , ඉරාජ් වේවා , නාන සාර වේවා , රාජිත වේවා , තිලංග වේවා , ගුනේ වේවා, ජයම්පති වේවා කොටින්ම රනිල් වේවා (මෙකී නොකී අනෙකුන් වේවා ) මෙය පොදුය
05 October 2017
රාමු
ලංකාවට යන්නේ නෑ ?
ජූලියේ ගියා , අවුරුද්දට දෙපාරක් යන්න ආසා උනත් ආර්ථිකෙට දරන්න බෑ
එහෙම නෙමෙයි මම කියන්නේ .. ආයේ එහෙ ජීවත් වෙන්නම ...
හ්ම්ම් , ඒක ටිකක් සංකීර්ණයි
අපි නම් යනවා ඊළඟ අවුරුද්දේ
හොඳයි ..ඒත් ඇයි මේ හදිස්සියේම ?
මට ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් , උන් දෙන්නත් ලොකුවෙනවා
ඉතින් ?
නිකන් හරි චීන කොල්ලෙක් හරි , ඉන්දියන් කොල්ලෙක් හරි සෙට් උනොත් වහ කන්න නේ වෙන්නේ
ඒ ඇයි
ඇයි ? යකෝ ..!! අපි දරුවන් වෙනුවෙන් දුක් විඳලා සල්ලි හම්බු කරා ... ලංකාවේ අපිට දරන්න තියා හිතන්නවත් බැරි
බැරි අධ්‍යාපනයක් උන්ට දුන්නා ... සුදු හම දැක්කම අපි වගේ ඇඹරෙන්නේ නැතිව හරි හරියට කතා කරන්න උන්ව ලොකු මහත් කළා . අපේ දූපත් මානසිකත්වයෙන් උන්ව මිදෙව්වා .. හොඳ ලංකාවේ කොල්ලෙක් සෙට් වෙන තැනට වැඩ කරන එකත් අපේ යුතුකමක් ... උඹට එහෙම හිතෙන්නේ නැද්ද ?
පලි
ඇතැම් විට අපි රාමු තුළ හිරවී සිටිමු . ඒ රාමු කඩාගෙන එලියට පැන්න උන් ආයෙත් රාමු ඇතුලට නොඑන්නට හිත හදාගෙන රාමුවෙන් එළියේ හිරවී සිටිති . ඇතැම් විට රාමු පිට රාමුය . පන්ති රාමු , ජාතික රාමු. ප්‍රාදේශීය රාමු , කුල රාමු
මෙන්ම ලිංගිකත්වය පිලිබඳ රාමු අපිට පෙනුනද , බොහෝවිට අනන්‍යතාවය පිලිබඳ රාමුව පාරදෘශ්‍ය වේ .
ඇත්තටම , මට එහෙම හිතෙන්නේ නැත . අනේ මන්දා ...
Subscribe to:
Posts (Atom)