නවත්තපු තැනින්ම පටන් ගන්නම් .
කටුනායක ගුවන් තොටුපොළට අහස යන්තරේ ලඟා වෙනකොට මැදියම් රැ යටත් කිට්ටු වෙලා . පරණ පුරුදු විදියටම ලොක්කයියා ඇවිත් හිටියා අපිව ගෙදර ගෙනිහින් බස්සන්න .
ලොක්කයියා කිව්වට, එහෙම කියලා ළඟ නෑ කමක් නෑ . නෑ කමට වඩා ළඟ හිතවත්කම .
(“ඔය එහෙන් මෙහෙන් වාහන හයර් කරන්න එපා මහත්තයෝ , ආරක්ෂාව මදි “ කියාගෙන හැම සැරේම එනවා අපිව ගෙදර ගෙනියන්න .)
අපේ ගමන් මලු , අබලන් හයි ඒස් වෑන් එකේ පටවාගෙන , වාස දේස කතා කර කර අපි ආවා ගමට .
ගමේ පාරට හරවපු ගමන් .“කොහොමද ලොක්කයියේ කුසුම අක්කා “ කියලා ඇහුනේ පුරුද්දට වගේ .
“ඉන්නවා ඉන්නවා “ ලොක්කයියා ක්‍රීන් කියලා ගියර් එකක් කැඩුවා .
ලොක්කයියා , කුසුමේ අක්කගේ මනාපය ලබා ගත්තේ දැනට වසර ගණනකට පෙරය . දැන් වෙනකොට , කසාද බැඳලා , දරුවන් දෙතුන් දෙනෙකුත් ලැබිලා තියේවි කියලා , බොහෝ අය හිතුවත් , කුසුමේ අක්කගේ මනාපය එක හිතින් බාරගෙන , පරිස්සමට පැත්තකින් තබපු ලොක්කයියා විවාහය කල් දිනෙන් දිනෙන් කල් තබන්නේය . ගෙදර හදනකන් , පාරට තාර වැටෙනකන් , වැනි නෙක හේතු මවන්නේය .
කුසුමේ අක්කලාගේ නිවස පසු කරත්ම මට නිකමට මෙන් ඒ දෙස බැලිනි . තාප්පය පුරාවට පෝස්ටර් වගයක් අලවා ඇත . දියාරු හෙඩ් ලයිට් එලියට පවා , පෝස්ටර් වලින් හිනාවෙන ලොක්කයියාගේ මුහුණ මනාවට පෙනුනි .
“මොකෝ මේ ලොක්කයියේ ?”
“නෑ මල්ලි , මනාපේ දුන්නට හිත වෙනස් වෙන්න පුලුවන්නේ ...මමං ඉතින් ඉඳල හිටලා ගිහිල්ල කට්ටියට කතා කරලා , කුසුමේගේ නංගිගේ පොඩි එකාගේ කම්මුල මිරිකලා එනවා . වෙනසකටත් එක්ක මේ සැරේ ගැස්සෙව්වා පෝස්ටර් ටිකක් “
“කව්ද ගැහුවේ “
“මේ චන්දෙ වැඩ කරපු කොල්ලෝ ටිකක් , උන් මයි ඩි සයින් කරලා මගේ මුණ දාලා
“ ඔබේ මනාපය දිනු ලොක්කයියාගේ උදාර සංකල්පයක් අනුව “ කියල වචන සෙට් කරලා හැදුවේ “
“ඉතින් මොකෝ උනේ .”
“මල්ලිට කියන්න මේ වල් හු …. දේශ ද්‍රෝහියෝ ….කුසුමේලාගේ ලැට් එකේ බිත්තියේත් එකක් අලවලා ලැට් එකේ දොරත් ගලවාගෙන ගිහිල්ලා “
“ඕක නම් විජාතික කුමන්ත්‍රණයක් “ මට ඉබේම කියැවුනි .
පලි : අපේ අත්තම්මලාගේ ගෙදර යන්න තියෙන්නේ බස් හෝල්ට් එකේ ඉඳන් ටික දුරක් ගිහින් , කන්දටම කපපු පඩිපෙළ බැහැලා .ඉස්සර බස් එකෙන් බැහැලා අපි ඒ පඩිපෙළ බහින්නේ පඩි දෙකෙන් දෙක .
නිවාඩුත් ඒ වගේ . සාමාන්‍යයෙන් මන්ද වේගයෙන් සතියේ දවස් දුවන කාලය , නිවාඩු ගත්ත ගමන් දුවන්න ගන්නවා හැල්මේ .
සති තුනකුත් ගෙවන්න ගියා . බොහෝ වැඩ කර ගන්න හිටියත් ….දන්නවනේ ඉතින් වෙන දේ .
හැබැයි ඉතින් , අනේ ඇස් වහක් කටවහක් නෑ , බිල් බෝඩ් පිරෙන්න ලොකු මාමාගේ අර සීදේවි මුණ , තනි නොතනියට ...යන යන තැන
පපලි :
මේ බ්ලොග් ලිවීමට ඇබ්බැහි වෙච්ච එකට බෙහෙතක් ගන්න කියලා වේද මහත්තයෙක් හම්බු උනා . මේ ලෙඩේට බෙහෙත් නා කියන්නේ … ඉතින් මොනවා කරන්නද , ලියනවා ඇරෙන්න ...