06 November 2013

(කවුරු මොනවා කිව්වත්) චෝගම් සමුළුවෙන් අපිට ලැබෙන වාසි // Kid strikes again

මචෝ, අපේ පොඩි එකා තව රචනාවක් ලියලා 

මේ සැරේ මොකක් ගැනද 

මේ චෝගම් එකට ඉස්කෝලෙන් කියලා , චෝගම් සමුළුවෙන් අපේ රටට ලැබෙන වාසි කියලා රචනාවක් ලියන්න කියලා . අපේ නෝනාට හදිසි මළ ගෙයක යන්න වෙලා ඒක  බලන්න බැරි වෙලා . මු ගෙඩි , නටු , කොළ පිටින්ම ඒක  පන්තියට ගෙනිහිල්ලා 

ඉතින් දැන් මොකෝ වෙලා තියෙන්නේ .

අපි දෙන්නාටම ලබන සතියේ සඳුදා ඉස්කෝලෙට එන්න කියලා ලියුමක් එවලා තිබුනා

ඒක නෙවෙයි,  පොඩ්ඩක් කියවපන්කො මටත් ඇහෙන්න 


චෝගම් සෝලියෙන් සමුළුවෙන් අපේ රටට ලැබෙන වාසි 

චෝගම් සමුළුව මේ සැරේ පැවැත්වෙන්නේ අපේ පුංචි රටේය . චෝගම් යයි කීවාට , එයට එහෙම කියන්නේ ඇයිදැයි මම හරියටම දන්නේ නැත්තෙමි . එය පවත්වන්නේ ඇයිදැයි කියාද මම හරි හැටි නොදනිමි .

අපේ තාත්තා  නම් කීවේ  එය ඔහුගේ පාසැලේ  ආදී සිස්ස ශිෂ්ණ  ශිෂ්‍ය සංගමය වගේ කියලාය . ඒ ඕල් බෝයිස් එකේ ඉන්න අංකල්ලා අවුරුද්දකට වරක්  හමුවන්නෝය . ටර්න් එක අරන් කාගේ හරි ගෙදරක රැස් වෙන ඔවුන් පරණ කතා කර කර , අලක්කු බොන්නෝය , බයිට් වෙන්නොය කන්නෝය , සිනා සෙන්නෝය . බෝතල් එක දෙක හිස් වෙනකොට ලොකු ලොකු ප්ලෑන්  ඇඳෙන්නෝය . පින් අතේ වැඩ , සංවර්ධන වැඩ , ප්‍රතිපත්තිමය තීරණ පෝලිමේ සෙට් වෙන්නොය . හැබැයි පහුව දාට අපේ තාත්තාට කිසිවක් මතක නැත . අනිත් අංකල්ලා ටත් එහෙම මතක නැත්දැයි හරියටම දන්නේ නැත . සැරයක් තාත්තා වෙරි මරගාතේ , ස්වේච්චාවෙන් , චන්ඩියා වගේ  ශ්‍රමදානයකට කුකුල් මස් කිලෝ 3ක් දෙන්න බාර අරගෙන අපේ අම්මාගෙන් හොඳවයින් අහගත්තේය .
අම්මා කිව්වේ "මේ  ගෙවල් කුලී ගෙවා ගන්න බැරි ව ඉන්න අස්සේ , පාටි දාන්න හදනවා කියාය"
අම්මා විපක්ක විපක්ෂයේ මාමලා  වගේ ය .

ඒ වුනාට මේ චෝගම් එකෙන් නම් අපේ රටට මහා වාසි ගොඩක් ලබෙන්නොය . සති දෙකකට කලින් , අපේ තාත්තා , මාව බලෙන්ම පුටුවක ඉන්දා , රතු ඉර එකේ මාමා කෙනෙක් ඒ වාසි ගැන විස්තර කරන අහං  ඉන්නට බල කළේය යෝජනා කළේය . 

ඒ මාමා කී  විදියට , අපේ රටට විදේශිකයන් ගෙන් හරි අරියාදුය. සමහරු " අයියෝ ඔහේ යන්න එපා , දුෂණය කයි , භිෂණය දෂ්ට කරයි " , " " මොකක් හරි උනොත් බෙහෙතකටවත් පජාතන්තරවාදය හොයා ගන්න බෑ  " වගේ අගේන්ස්ට් ටෝක්ස් දෙන්නෝය . ඉතින් විදේශිකයන් එන්නට මැලි  වෙති . ඉතින් කොච්චර සංවර්ධනයේ ගුද සේද මාවත් හැදුවත් අපිට ඒවා පෙන්වා නයා අරින්නට විදියක් නැත .එත් අපේ තනා ධි පති, ජනා අන්දන පති , අරලිය ගහ ගෙදර ලොකු මාමා  කපටියාය .   ඔහු "පාටිය අපේ රටේ තියමු " කියා කීවෙන් දැන් නම් විදේශිකයන්ට එන්නම වෙනවාය .

ඇවිත් නෙලුම් පොකුණේ ඉඳගෙන අපේ අක්කලා  නටනවා බලන්නම වෙනවාය . ඉන්ටබල් එකේ දී අයිසි චොක්  කන්නම වෙනවාය . එකෙන් අප රටේ ජාතික ආදායම සුස් ගා වැඩිවන්නේය . 

ඒ කට්ටිය , "අපි එනකොට ගැස්සෙන්නේ  නැතිව යන්න ඔය පාරවල් ටික හදන්න"   කියා  , අපිට තවත්  සල්ලි දෙන්නෝය . අපරාදේ අර සැන්ගිලා හෝටලය හදලා  තිබ්බා  එහෙ නවත්වන්න තිබුනේය . මහමෙර වාගේ ඈතට පෙනෙන එකට " හැං ගිලා"  කියන්නේ ඇයිද කියා මට නොතේරේ . ඒක පිටිපස්සේ වෙන මොනවා හරි හැංගි  ඇති ද දන්නේ නැතිය . කෙසේ හෝ සල්ලිනම් දෙනවා කියන්නේ මදි නොකියන්නය .

මිට අමතරව අපේ රටේ වී ඉස්ටෝරි වල ගුලෝ ගහන හාල් , කුණුවී විසිකරන එළවලු පලතුරු දැන් අපිට උයා මේ අයට  කන්න දෙන්න හැකි වන්නේය . කාවේ නැත්නම් අත්තම්මා මට කවනවා වගේ , බත් ගුලි හදාගෙන පස්සෙන් පන්නා  ගොස් හෝ කවන්නට වෙනවාය .

ඊට පස්සේ අපි මේ කට්ටිය හම්බන්තොට ගෙන ගොස්  ගස් හිටවන ශ්‍රමදානයකට සහබාගී  කරවන්නෙමු .  ඉන් අපේ පාරසරික ප්‍රශ්නයටද විසඳුමක් ලැබේ . පසු කාලෙක ඒ ගස් ටික කපා ගන්න වුනත් පුළුවන්ය .

එන ගමන් අපි ඔවුන්ව , පින්නවල ගෙන ගොස් අනාථ  අලි පැටවුන්ට කිරි පොවා උන්ට නම් තබන්නෙමු . අරලිය ගහ ගෙදර ලොකු මාමා අලි පැටවුන්ට කිරි පොවන්න හරි කැමතිය . මේ නම් තැබීමෙන් පසු ගෝමරයා , කන් කොටා , නොන්ඩියා  හා  කිරා ,  එතැන් පටන් බර්නබාස් , ඇබට් , කෙන්යාටා  හා මන්මෝහන් වන්නෝය.
එවිට අපිට පසු දිනයක ගොස් මන්මෝහන්ට  ආනමාළු  කෙසෙල් කන් ඇවරියක් වුව කැවිය  හැකිය .

ලොකුම අලියාට අපි මිහිඳු කියා නම තබන්නෙමු , එතකොට මිහිඳු පස්සේ වැටි අනික් අලි එන විට , ලපටි අපේ සිත් වල මහා ආඩම්බරයක් හට ගන්නෝය .

මීට අමතරව , එකමත් එක රටක ඉඳන් චාර්ලිස් කුමාරයා ද එන්නේය . එයත් අපේ ප්‍රේමකුමාර සීයා වගේය . කුමාර කිව්වට නාකිය . දෙමාපියන් ළමයින්ට නම් තබද්දී ඔවුන් වයසට යනවා යයි සිහියේ තබා ගත යුතුය .
කුමාර සීයාගේ හැටපස් වෙනිද කොහේද උපන් දිනයද පවත් වන්නේ අපේ රටේය . එයද අපේ රටට මහත් වූ වාසියකි . එමගින් අපේ රටේ බැලුම් නිෂ්පාදනය ඉටි පන්දම් නිෂ්පාදනය සීග්‍රයෙන් වැඩි වන්නේය .
කට්ලස් ගුලි ටිකක් හදා ගන්න කියා කොකියෙකුත් සමග කමලා කැමිලා ආච්චිද එන්නීය . අයියෝ සල්ලිය , නැත්නම් ඒ වාසියත් රටටමය .

මේ අනුව බලන කල කොච්චර වි පස්සෙන් හිනා වුනත් මේ චෝගම් සමුළුව නිසා මහත් වූ වාසි ලැබෙන්නේය . මම එයට ඉතා සිතින් සුභ පතමි
 .

පලි .
පොඩි එකාට කියලා දීලා තියෙන්නේ වැරදිච්ච තැන්  කුරුටු ගන්න එපා එක ඉරකින් කපා හරින්න කියලා .

10 comments:

  1. ළමයි ඕනෙවට වඩා කීකරු වුනාමත් කේස් නේද? මින් පස්සේ කලු තීන්තෙන් මකලා උඩින් ටිපෙක්ස් ගාන්න උගන්නන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ගුරුවරු කියලා දෙන දේවල්නේ.

      හෙන්‍‍රි, ඔය ගුරුවරු ඉන්නවා නේද? :)

      Delete
  2. hilarious..... nothing to add.
    බැරිද දන්නේ නෑ පොඩි එකාගේ රචනාව කොපි කරලා අපිටත් ඔය කොහෙ අහරි එල්ලගන්න...!

    ReplyDelete
  3. පොඩි උන් ඉස්සරහා ඕන් නැති දේවල් කතා කොලාම ඔහොම තමයි.. අපේ එකා ඇහුවා චොගම් කියන්නේ මොකක්ද කියලා.. මම කිව්වා රටේ හැමෝටම චුංයිං ගම් එකක් වගේ හප හපා ඉන්න පුළුවන් එකක්ය කියලා.. ඊට පස්සෙ ඇහුවා ඒ කියන්නේ කෑමක්ද කියලා.. මම කිව්වා සමහර අයට නම් රහ කෑමක්.. සමහර අයට නම් නීරස කෑමක් කියලා..

    මම නම් ආසයි චොගම් වලට.. චාර්ලිස්ට බස් එකේ යන්න බස් හෝල්ට් හිටන් අලුතෙන් හදලා..

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනම් ප්‍රවාහන සේවයත් දියුනු වෙන්නේය.
      කොහොමද එදාට බස් ස්ට්‍රයික් එකක් තිබ්බා නම්. ප්‍රශනයක් අර වෙලේ ගම මහත්තයා ඉන්නෙ බස් එක එලවන්න

      Delete
  4. මේකත් කළින් එක වගේම නියමයි jp...........

    ++++++++++++++++++

    කවද හරි ඔය කොල්ලා නිසා ඔහේලා දෙන්නට එළි බහින්නම වෙනවා..දැන්ම කරන දෙයක් කරන්න ... :)

    ReplyDelete
    Replies
    1. උගේ අම්මගේ කේන්දරේ තියෙනවා දරුවෙක් නිසා ලොවක් මතක් කරයි කියලා

      Delete
  5. දැන් ඉන්න සමහර පත්තර" කාරයින්ට" වැඩිය පොඩි එකාගේ රචනාව ශෝක්. මන් දැක්කා ලපටි චෝගම් එකට සම්මන්ත්‍රන ශාලාවක් ඇරියා හම්බන්තොට. ඒකත් ඒ පැත්තේ ඇරපු අනිත් ඒවා වගේ වෙයිද දන්නේ නැහැ. ටියුෂන් සර්ලාටවත් කුලියට දෙන්න බැරිවැයි.

    ReplyDelete
    Replies
    1. ලමයාගේ දෙමාපියෝ පොඩ්ඩක් බය වෙලා ඉන්නේ කොලුවා ජනාධිපති මාධ්‍ය උපදේශකයෙක්වත් වෙයිද කියලා ලොකු වෙලා

      Delete

Have commented