26 January 2014

(හායි හූයි ) බබී ආච්චීට උචිත ජොබ් එකක් // Job hunting ..please help

"පුතේ, උඹ මොකුත් ලොකු වැඩක්ද ?" කියාගෙන බබී ආච්චි මා හුන් තැනට පැමිණියාය .

බබී ආච්චි , අපේ ගෙදර වැඩ පල වලට උදව් කරන තනිකඩ තලත්තෑනී ගැහැනියකි . පොඩිඑකා ආමන්ත්‍රණය කරන විදියටම "ආච්චි"  කීමට ගෙදර හැමෝටම පුරුදු වී ඇත . ඇයටද  එහි ගානක් නැත .

"මොකෝ බබී ආච්චි"

"මටත් හිතිලා තියෙන්නේ මොකක් හරි ජොබ් එකක් කරන්න කියලා පුතේ ."

මට ඉහලට ඇදී  හුස්ම ඉස්පොල්ලේ ගියේය .

"මොකෝ මේ  එකපාර"

"නෑ ඉතින් මට නිකන් හිතුනා"

"ඉතින් ආචිචිට මොකුත් සුදුසු කන් එහෙම තියෙනවද"

"තුනේ කැලැසියට  ගිහින් තියෙනවා පුතේ ."

"එහෙම නම් අමාරුවෙයි ආච්චි"

"නෑ  නෑ  තාත්තේ ආත්තිට හරියන ජොබ් තියෙනවා". 
මා පුතුද කොට කලිසම ඔසවමින් සංවාදයට එක්වීය .
දැන් මට වැඩේ පැහැදිලිය . චියරින් ස්කොඩ් එක කවුද . නූල් දුන්නේ කවුද කියා මට පැහැදිලි විය .

"එහෙම රස්සා හොයන්න බෑ පුතු . හොඳට ඉගෙන ගන්න ඕනේ "
 මම වැඩේ ගොඩින් බෙර ගන්නට තැත්  කලෙමි .

"බොරු කියන්න එපා තාත්තේ මේ මම දැන්වීම් දෙකක් හොයල දුන්නා  ආච්චිට ."

"අනේ බලපන් කෝ පුතේ ..."

මම පත්තර කොළ දෙක අතට ගතිමි

______________________________________________________

කේතුමතී  සිටී ෆිල්ම් ප්‍රඩක්ෂන් 


 ඉතිහාස කතාවක් පටක කරගත් චිත්‍රපටයක කුමරියගේ චරිතයට නිලියන් අවශ්‍ය කර  තිබේ .
නොකැළැල් චරිතය අනිවාර්යයි . බිකිනි , නාන ඇඳුම්  අඩුම ගණනේ දිය රෙද්දක්වත් නො ඇඳි,  එක්ටම් ගෙයක හැදුනු වැඩුණු  රූබර කුල කුමරියක් සිටිනම් අයදුම් කරන්න .
චිත්‍රපටයට අදාළ කාලසමයේ ඇඳුම් පැළදුම් වලට අනුව , මදක් නිරාවරන විලාසිතාවෙන් සැරසීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න .

මුලික පරීක්ෂණය , කේතුමතී නුවර නගර සභා ශාලාවේදී .
තෝරාගත්  අපේක්‍ෂිකාවන්ට, වැඩිදුර  ශාරීරික පරික්ෂාව කේතුමතී සිටි හොටෙල් හිදී , සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධික්ෂණය මැද 

______________________________________________________

"පිස්සුද ආච්චි මේක හරියන්නේ නෑ   වයසත් එක්ක .."


"හැට අටත් වයසක්ද  පුතේ ...හා එහෙනම් මේක බලහන් කෝ "

මම දෙවැනි පත්තර කෑල්ල  කියවන්නට වීමි .


______________________________________________________

කේතුමතී පළාත් සබාවට ශ්‍රී ල.පේ අපේක්ෂිකාවන් ගෙන් නාම යෝජනා කැඳවීමයි 



ඔබේ පියා , මාමා , ලොකු තාත්තා  , බාප්පාගේ පුතා  දේශපාලනයට සම්බන්දද? නැතිනම් ඔබ ටෙලිනාට්‍යයක අතිරේක චරිතයක් හෝ රඟ  පා ඇත්ද ? ගීත ගැයීමට පුලුවන්ද ?  හුරතල් අයුරින් , බැරි බැරි ගානේ සිංහල උච්චාරණය කල හැකිද ? සභා වාරවලදී ,රුපවාහිනී සංවාද වල වට්ටිඅම්මා කෙනෙකු මෙන් හැසිරිය හැකිද ? 

  ශ්‍රී ලලනා පෙරමුණෙන් ඉදිරිපත් වී ඔබේ පලාතට සේවය කිරීමට ඔබත් කැමතිද? උදළුතල  බෙදාදීම් , බෝක්කු සදා ප්‍රදර්ෂණය  කිරීම වැනි මහා සංවර්ධන ක්‍රියාවන්හි දීමට ඔබ කැමතිද ? 


එසේනම් පෙරට එන්න . 

අනියම් සබඳතා ඇති අයට  වැඩි සැලකුම් . අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි.  
ශරීර ප්‍රමාණය කුමක් වුවත් ඔබට සම අවස්තා . 


නාන  ඇඳුමින් , බිකිනියෙන් සැරසී   ගත්  ජායාරුපයක් සමග අදම අයදුම් පත  යොමු කරන්න . (නිරුවත් සේයාරු වලට වැඩි ලකුණු )_____________________




"හොඳයි තාත්තේ මේකට බැරිද අපේ බබී ආච්චිට "
නැවතීමේ තිතට ඇහ  යන්නටත් පෙර කොලුවා ඇසුවේය .

"මොකෝ පුතේ මට බැරි වෙයිද ..."

මම ගොලුවිමි . මොනවා කියන්නද කියා සිත ගන්නට නොහැකිය . එනිසා සැනෙකින් බ්ලොග් පෝස්ට්  එකක් ලියා ඔබෙන් අවවාදයක් ගැනීමට සිතා ගතිමි . 


පලි : ප්‍රේක්ෂක ජනතාව මගේ පිළිතුර බලාපොරොත්තුවෙන් තවම පුටුව අසල රැඳී සිටින  බැවින් ඔබේ ක්ෂණික ප්‍රතිචාරය  බලාපොරෝත්තුවෙමි .

14 comments:

  1. ආච්චිව නිලියක් කලා නම් වැඩිය හොඳයි. :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පොකු, ආච්චි නාන්නේ දිය රෙද්ද ඇඳගෙන ගොඩේ විදියට

      Delete
  2. ආච්චිට ඔය දෙකම ගැලපෙනවා.අර කිව්වත් වගේ හැට අටත් වයසක්ද?මේකප් පාරක් දාල ගත්තම හරි.මතක ඇතුව කන්‍යාවක්ද කියල චෙක් කරලම යවපන්.
    අනෙකටත් අවුලක් නෑ.හැට අට වසරක් දුක් විඳපු එක මාකට් කරන්න බැරියැ.කාන්තා විමුක්තිය වෙනුවෙන් හඬ නගන්න හොඳ සුදුසුකමක්.....අනෙක දැන් මේ ඉන්න ඔක්කොමල තාල බොනීලානේ.ඔය අස්සට තල වැනීලත් ආවම කොහොමද ආතල්.

    ReplyDelete
    Replies
    1. හැට අට වයසක් නොවේ. දැකලා නැත්ද හැට අටේ කොල්ලෝ එක්සසයිස් කරනවා
      හැබැයි අර දිය රෙදි කේස් එක නිසා ආච්ච් චරිතවත් මදිද මන්දා

      Delete
  3. නියමම ඇබැර්තු දෙක , අච්චිවත් Sex seen ඒකකට දාල ගත්තනම් ඡන්දේ උඩින්ම දිනාවි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ආච්චිට ලජ්ජා හිතිලා යන්න ගියා

      Delete
  4. බෙන්තරට දාමු බබී ආච්චිව ගීතා ආච්චිට ෆයිට් එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. කකා වරද්ද ගන්න එපා, බෙන්තර ඇල්පිටිය.
      හැබැයි රෑ ඇඳුමෙන්ම සේවය කරන්න තරම් අපේ ආච්චිගේ කැපවීම මදි

      Delete
  5. නියම ලියැවිල්ලක් ඈ..

    පව් ආච්චිත් අමුවට කෙලසෙන්න වගේ හදන්නේ..

    ReplyDelete
  6. අර රියර්ගේට් එකේ කීවා වගේ මේවා කියනන් එපා ඕහි. හෙට වෙනකොට මේවා ඇත්ත වෙලා තියෙයි.
    අනේ කාලේ වනේ වාසේ කියන්නේ දැන් අපිට විහිළුවක් කියලා හිනාවෙන්නත් සිය පාරක් හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් මේ දැන් ඒක කියෙව්වා විතරයි. වෙනදා වගෙම චාමි ඇත්ත ගුලි කරලා මූනට දමලා ගහනවා

      Delete
  7. /// ශ්‍රී ලලනා පෙරමුණෙන් ඉදිරිපත් වී ඔබේ පලාතට සේවය කිරීමට ඔබත් කැමතිද? උදළුතල බෙදාදීම් , බෝක්කු සදා ප්‍රදර්ෂණය කිරීම වැනි මහා සංවර්ධන ක්‍රියාවන්හි දීමට ඔබ කැමතිද ? ///////

    බෙදනවා කොහොම වුනත් ඊලඟ ටෙලිය ගන්න උදැල්ල දානවා අනිත් එකීට. බෝක්කු කිසි ප්‍රශ්ණයක් නැහැ පන්සලට ගියත් විවෘත කරගෙන ඉන්නේ මහ බඩවැල පේනකම්.
    බබි ආච්චි හරයන්නේ නැහැ වගේ.

    ReplyDelete

Have commented