05 January 2015

මහින්ද රාජපක්ෂගේ ලෙගසිය (legacy) කුමක්ද ?



සයවෙනි මිහිඳු රජ සමය වසර නවයකින් නිමා  වීමට බොහෝ ඉඩ ඇත . එය එසේම විය යුතුයැයි  අයෙක් කියති .
කන්නසාමි රජ කෙරවූ , පිළිමතලව්වේ මහාධිකාරම , ශ්‍රී වික්‍රම රාජ අණින් ගෙළ සිඳ  මැරීමට පෙර කියූ ලෙසින්ම , කලෙක රජුන් තනන්නන්ටම , පසු කලෙක ඔවුන් නසන්නට වීම ලෝක ස්වභාවයයි .

උරුලෑවා ගිය මග උගේ ගඳ ඉතුරුවන්නා සේම  , රජෙක් ගිය මග ඉතිරි වන යමක් වේද,  ඒ ලෙගසියයි .  හතලිස් අටේ සිට හුන් හැම ජනනායකයෙක්ම ඉතිරි කළ සාකල්‍ය උරුමයක් හෙවත් ලෙගසියක්  ඇත . උරුලෑ ගිය මග මෙන්ම , බොහෝ විට එය හොඳ අඩු , ගඳ වැඩි එකකි .

ජාතිවාදය ඇවිස්සීම බණ්ඩාරනායක උන්නැහේගේ ගිණුමට බැරවෙන විට , මේ පවතින ජරාජීර්ණ දේශපාලන ක්‍රමයේ ,දුෂණයේ , භීෂණයේ ජාතකය හිමි වන්නේ ජූනියස් රිචර්ඩ් ජයවර්ධනටය . එතරම් ඈත අතීතය ගැන විමර්ශනය නොකර හිඳිමු . අපි මහින්ද රාජපක්ෂගේ ලෙගසිය ගැන විමසමු .

සුනාමි රළ රට ගිල ගත් වෙලේ , රටේ නායිකාව රටේ නොසිටියාය . එවෙලේ හෙලිකොප්ටරයක නැගී, රළ පෙළ දුක් දුන් ජනයාගේ කඳුළු පිසින්නට ගියේ මහින්දය . ඉන් පසු ජාතික නායකයෙක් ලෙස ඉතා වේගයෙන් ඉදිරියට එන්නට ඔහුට අවස්තාවක් ලැබුනේය . නමුත් මුදල් වංචා ගැන මතුවූ සැකයන් නිසා ඒ කිරි බඳුනට ගොම බිඳක් එක්  විය .

කාලයාගේ ඇවෑමෙන් ඔහු ජනපති විය . තිස් වසරක යුද්ධය නිමවිය . ඒ උදෙසා රජෙකුට හිමි කාර්යය  හේ 100% ඉටු කළේය . ඒ ගෞරවය ඔහුටය . නමුත් ඔහු , සෙන්පතියන්ට හිමි ගෞරවය , සෙබළුන්ට හිමි ගෞරවය සියල්ලම තම දෑතටම බදා ගන්නට ගියේය . සතුරන්ට,  රජෙකු මෙන් නොසැලකුවේය ( මේ කියන්නේ උන්ට අභය දානය දීමට කියා නොවේය. නමුත් සටනක් විජයග්‍රහණය කළ රජෙකු සතුරන්ට සලකන විදියක් ඇත . ) . රාජ සභාව  කාර්යශුර ඇමතියන්ගෙන් නොව වන්දිභට්ටයන්ගෙන්  හා කවටයන්ගෙන්ම පිරවුවේය . නිස්සංකමල්ල ගිය මග යන්නට පටන් ගත්තේය . දෙවැනි කිරි බඳුනටද ගොම තලියක් එක්  විය .

තෙවැනි වරට ජනතා වරම (බොහෝ දෙනෙකුට මෙය වරමක් බව අමතක වේ. එය අයිතිවාසිකමක්, උරුමයක්  යයි සිතන්නට පටන් ගනිති  ) ඉල්ලන විට , පරණ ප්‍රවෘත්ති සිරස්තල ප්‍රති ප්‍රචාරයෙන් ඔබ්බට යාමට ඔහුට නොහැකි වී ඇත්තේ නේද යයි , මෙය ලියන විට මට සිහිවේ  .  රටේ ඇත්තේ මතුපිටින් ඇති , ශෝ කේස් සංවර්ධනයෙන් ඔබ්බට කිඳා නොබැසුනු සංවර්ධන තත්වයකි . බිම් මට්ටමේ සිට ඉහළට  මෙන්ම ඉහළ  සිට  පහලටද  විහිදවිය හැක , එය ගැන තර්කයක් නොමැත . නමුත් රටේ සංවර්ධනයේ මුලික අංගයන්හි පවා  තිබෙන ව්‍යාකුල , නොපිරිපුනු තත්වය  යටතේ , රට සංවර්ධනයෙන් ඔබ්බට ලොව දිනන මගක් ගැන කීම විහිළුවක් යැයි  සිතමි .

ආණ්ඩුවෙන් අලෙවි කරන ප්‍රධාන සටන් පාඨය , රටේ ස්ථාවරත්වය සඳහා මහින්දට නැවත වරමක් දෙන්න යන්නයි. නමුත් නව වෙනිදා සිදුවිය හැකි ප්‍රතිපල දෙකෙන් කුමක් උදා වුවත් සිදු වන්නේ රට අස්ථාවර වීම පමණකි .

නිකමට අපි මහින්ද දිනුවේ යයි සිතමු . ආණ්ඩුවේ පවුරු වළලු  මේ වනවිට පුපුරා ගොස් ඇත . එවන් කල්හි අනාගත ආණ්ඩුව ස්ථාවර කිරීමට ඇති ක්‍රම කිහිපයකි . ඒ කුමන ක්‍රමයක් යටතේ වුවත් ආණ්ඩුවට එක් කර ගත හැක්කේ මුදලට , තම පටු න්‍යාය පත්‍රයන් ඉටු කර ගැනීමට එක්වෙන අවස්තාවාදින්ය . උන් කොයි මොහොතේ දැයි ෂුවර් නැත . එසේ වුවොත් මීටත් වැඩියෙන් බලය , ජනපති හා ඔහුගේ හිතයිෂීන් වටා තබා ගනු වලකනු නොහැකිය . ප්‍රජාතන්ත්‍රවාදය , බලය විමධ්‍යගත වීම ගැන අමතක කළ  මනාය . රාජ්‍යයක් ලෙස ලංකාව තවත් , ලොවේ හුදකලා වෙනු ඇත  . අපිට ඇති (චීනය වැනි ...වැනි කිව්වට චීනය විතරක්මද මන්දා )  සීමාසහිත විකල්පයන් ගේ සෑම කොන්දේසියකටම යටත් වීම හැර අන් විකල්පයක් නැති වෙනු නියතය .

නවවෙනිදා මයිත්‍රී පාලනයක් ඇතිවුවත් , ස්ථාවරත්වය පිළිබඳව විශාල ගැටළු ඇත . දෙන්න දෙමහල්ලෝ මධුසමය අවසන් කර , ඇට්ටෝම් එකෙන් පසු ජීවත්  වෙන්නට ගත් විට කුමන නම් ගැටළු ඇතිවේවිද . ( දින සීයක්  යනු ඔය කියන තරම් කෙටි කාලයක් වත් , සියලු පක්ෂ මහා මැතිවරණ උපක්‍රම සාදන අතරේ , ජාතික ආණ්ඩුවක්ද පවත්වා ගනිමින් , ඔය මහා දිග පොරොන්දු ලැයිස්තුව ඉටු කිරීමට  තරම් සෑහෙන  කාලයක් වත් නොවන්නේය.)

ඉතින් මහින්ද රාජපක්ෂගේ ලෙගසිය  සැබවින්ම කුමක් දැයි සිතන්නට වීමි

මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවද ,  සාමයෙහි පැරදුනේ නොවේද  . .....
අවුරුදු තිහක බෙදුම්වාදය පරාජය කලද , නවමු බෙදුම්වාදයක බිජ රෝපණය කළේ නොවේද ......
 රට පාලනයට ස්ථාවර වරමක් ලදද , විරුද්ධ පක්ෂ බිඳ , දෙවන පෙළ අනාගත නායකත්වයක් ඇතිවීමද  උවමනාවෙන්ම වලකා රටේ අනාගතය අස්ථාවර කළේ නොවේද  ......
දේශ මාමකත්වය , දේශප්‍රේමය, ජාතික චින්තනය  නැවතත් දන  සිත් තුල උපදා   , ඉන් පසු එය විකුණා , ඉනික්බිති එය බලෙන්ම පොවා . අවසන  එය විහිළුවක් , ලජ්ජාවට කාරණයක් , අනාගතයේ කිසිවෙකුට එය පදනමක් කර නොහැකි තැනට ගෙන ගියේ නොවේද  . .......

එසේනම් ඔහුගේ ලෙගසිය , වාසනා ශක්තිය හා තම දක්ෂතාවය නිසා   නිසා මහඟු අවස්ථා ලද , එහෙත්  අහිමි වූ (lost opportunities ) , විහින් ඒවා අහිමි කරගත් , මුළු රටටම ඒවා අහිමි කළ  ......
නැතිනම් 
Who came to the edge of a few astral leaps yet failed to take that one last step
 එහෙමද ?

16 comments:

  1. බලයෙන් වියරු වැටුනම මිනිහෙක් පත්වන අවසානාවන්තම අවස්ථව මේකයි කියලයි මට හිතෙන්නේ.

    ගොම වැටුන කිරි කලේ යුද්දය නිමාවීමත් සමග සහමුලින් පිරිසිදු කරගන්න මහින්දට පුළුවන් වුනා. ඒත් ඒක නියම විදියට පාවිච්චි කරන්න ඔහුට බලය වෙනුවෙන් තිබුන පෙරේතකම ඉඩ දුන්නේ නෑ.

    අද පාරේ යනකොටත් මොකෙක් හරි රස්තියාදුකාර චන්ඩියෙක් ඇවිත් බලෙන් ඇඟෙන් හැප්පිලා අපේ කණට ගහන්නේ මහින්දගේ දේශපාලනයේ බල මහිමයෙන් කියලත් අමතක කරන්න හොඳ නෑ.

    ReplyDelete
  2. ඉතා වටිනා අදහස් ටිකක්. හැම පැත්ත ලැනම හිතලා සමබරව තරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මටත් හිතෙන්නේ කවුරු දිනුවත් පැරදුනක් රටේ ස්ථාවරත්වය මේ වෙනකොට දෙදරා ගිහින් ඉවරයි කියන එක. 8 වෙනිදායින් පස්සේ මේ දෙදරා යාම ඔස්සේ ඇතිවන වෙනස මිසක් වෙනත් වෙනසක් සිදුවේ යැයි සිතන්න බැහැ.

    ReplyDelete
  3. හොඳ ලිපියක්....
    මේ සිද්ධ වෙන්නේ රටේ තිබ්බ ස්ථාවරයත් නැතිවෙන පොටක් තමයි කියන එක අපේ බයියන්ටවත් ටොයියන්ටවත් තේරෙන්නේ නැති එක තමයි අවුල...
    උන් සල්ලි වලට ගෙම්බෝ පන්නනවා.

    ReplyDelete
  4. වෙන වෙනම නොව ඉහත ප්‍රතිචාර වලට එක ප්‍රතිචාරයක් ලියන්නම් .

    දෙපැත්තෙන්ම ඉදිරිපත් කරන රටේ ස්ථාවර බව යනු හිස් සටන් පාඨයකි . කනගාටුවට කරුණ , එදා ප්‍රභාකරන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජනතාව අද දෙකට බෙදා , ගොඩක් හැටියට අලෙවි කරන්නට (ගොඩටම ගාණක් කියන්න ) දේශපාලකයන්ට හැකිවීමයි . මුස්ලිම් ජනයාද එසේමය .

    නමුත් 8 වෙනිදා ගත යුතුව ඇත්තේ ,මහින්දට වඩා සිරිසේන හොඳද , මහින්දගේ අතීත කල් කිරියාවට වැඩ සිරිසේනගේ කල් කිරියාව හොඳද යන තීරණය නොවේය ... මෙතනින් මතු රටේ අනාගතය කුමක් විය යුතුද යන්නය .

    ඒත් සුදු සරම යටින් කැමා යට කලිසම් ඇඳි . හැම විටම එය උස්සා පෙන්වන දේශපාලන සංස්කෘතියට . බිල්ලෝ පෙන්වා චන්දය ගන්නා දේශපාලනයට. සල්ලි විසිකර , වරදාන දී ජනතා වරම විකෘති කරන දේශපාලනය .රටක නායකත්වය එක පුද්ගලයෙකු වටා එතු , දෙවන පෙළ තෙවන පෙළ , විකල්ප නායකත්වයක් නොසාදන , සැදීමට ඉඩ නොදෙන , ඉන්න උනුත් නැති කරන කුහක දේශපාලනයට , මෙතනින් එහාට රට , පරම්පරා ගණනාවක මතු අනාගතය ඉදිරියට ගෙන යාමට නොහැකි යයි සිතමි .

    ඒ උගත් බව , මගේ ශිලාචාර බව යහ පාලනය වැනි සංකල්ප වලට හේත්තු වී පෙන්වීමට නොවේ . එවැනි දීර්ග පාලන සමයන්හිදී , සමාජයේ ආචාර ධර්ම හර පද්ධති බිඳ වැටෙන බැවිනි . මිනිසුන් නිර්මාණශීලි බවින්, බලාපොරොත්තු වලින් , උත්සාහයෙන් , වගකීමෙන් තොර උන් වෙන බැවිනි . අවසන එවැනි රාජ්‍ය ඒ බලගතු නායකයින්ගේ ඇවෑමෙන් පරිහානියට පත් වෙන බැවිනි

    මට නම් හිතෙන්නේ ඇත්තටම නම් අපිට 8 වෙනිදා ඇත්තේ එක ඔප්ෂන් එකක් කියාය ... අමාරු වැඩේ තියෙන්නේ 9 වෙනිදා සිටය , ඒ හරවා ගත් පාරේ මෙය තල්ලු කර ගෙන යාමය

    ReplyDelete
  5. මේකත් අර වේවැල් ගොතන නැටුම වගේ.

    ReplyDelete
    Replies
    1. මට හරියටම තේරුනාද මන්දා..හීන් ටොක්කක් වගේ දැනුනේ

      Delete
    2. නෑ බං, ඒකාධිපති ක්‍රමයේදී මැද ඉන්නා කෙනා කරනම් ගහනවා අනෙක් අය නට නටා වටේ යනවා. වේවැල් නැටුම ඒ විදිහමයි.

      Delete
  6. මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ ලියවෙන්නේ, ස්වීප් එකක් දිනා එම මුදල් පිස්සු කෙල කාබාසිනියා කොට පාරට වැටුන හිඟන්නකු ලෙසය.

    ReplyDelete
  7. //මට නම් හිතෙන්නේ ඇත්තටම නම් අපිට 8 වෙනිදා ඇත්තේ එක ඔප්ෂන් එකක් කියාය ... අමාරු වැඩේ තියෙන්නේ 9 වෙනිදා සිටය , ඒ හරවා ගත් පාරේ මෙය තල්ලු කර ගෙන යාමය// හරවා ගත යුතුයි යන්නට ඔබත් එකඟයි.. ඒක හරි වෙන විකල්පයක් නෑ. 9 වෙනිදා සිට ගමන වඩා අමාරු බව හැමෝම දත යුතුයි. හැමෝගෙම සහයෝගය අදට වඩා එදාට අවශ්‍යය වේවි..

    ReplyDelete
  8. //ආණ්ඩුවෙන් අලෙවි කරන ප්‍රධාන සටන් පාඨය , රටේ ස්ථාවරත්වය සඳහා මහින්දට නැවත වරමක් දෙන්න යන්නයි. නමුත් නව වෙනිදා සිදුවිය හැකි ප්‍රතිපල දෙකෙන් කුමක් උදා වුවත් සිදු වන්නේ රට අස්ථාවර වීම පමණකි //
    ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයකින් පස්සෙ රට අස්ථාවර වනවා යයි කීම ආණ්ඩු ගැත්තන් ගෙනයන එක් මිත්‍යාවකි. "මහින්ද දිනුවොත් හරි, නැත්නම් රට අස්ථාවර වේවි", "ශක්තිමත් ආණ්ඩුවක් අැතිවීම සඳහා විධායක ක්‍රමය තිබියයුතුයි" වගේ ගොන් තර්කත් ඔය අතර තියනව. ඡන්දෙන් දිනපු කෙනාට ඉඩදීල පරාජය වෙච්ච කෙනා යනව නං මොකද්ද ප්‍රශ්නෙ?

    ReplyDelete
    Replies
    1. එවගේම පැරදුන කෙනාට ගෞරවාන්විතව බැහැලා යන්න දෙන්න අපිත් වග බලාගන්න ඕනේ

      Delete
  9. Replies
    1. Bestman never wins the bride නේ? :)

      May the best option win

      Delete

Have commented