09 June 2015

හඳුනාගන්න , මැය මාර්ටීන් (එක ජීවිතයකින් කෙතරම් දේ කළ හැකිද ) // Martine Rothblatt Story

හඳුනාගන්න , මැය මාර්ටීන් .. 

ඔව් ඒක  පිරිමි නමක් තමා . මැයත්  මීට  අවුරුදු ගණනකට පෙර පිරිමියෙක් . මෙහෙම අයට  අපි කිව්වේ බිලිං කජ්ජෝ කියලා (කැප්ටන් එල්මෝ ජයවර්ධන ගේ සෑම් ගේ කතාව පොතෙත් තියෙන්නේ ..) . මැය මාර්ටින් කාලේ , ඔහුට බීනා ව හමු වෙනවා . ඔවුන් ප්‍රේමයෙන් වෙලෙනවා . අවසන විවාහ වෙනවා.  මේ කල ඔහු sirius xm ( නෑ නෑ , අර තනි නොතනියට ඉන්න සිරස fm නෙමෙයි ) නමින් කොම්පැණියක් ආරම්භ කරනවා . එමගින් චන්ද්‍රිකා තාක්ෂණය  ඔස්සේ ගුවන් විදුලි වැඩසටහන් විකාශනය කරනවා .

ඉන් පසු ඔවුන් දරුවන් ලබනවා . ඊටත් පස්සේ ඔහු ගැහැණියෙක් වෙන්න තීරණය කරනවා . ඔහුගේ පවුල විවිධ අයුරින් මේ තීරණය , දිරවා ගන්නවා .. පොඩි ම දුව කියනවා " මම මගේ තාත්තට ආදරෙයි.. ඇයත්  මට ආදරෙයි " කියලා .
මාර්ටීන්  සහ බීනා  තාම විවාහකයි , අවුරුදු තිහක් ... (ඒත්  සමහරු නම් කියන්නේ විවාහයක් සාර්ථක වෙන්න , අරකම ඕනෑ  කියලා ..... ) . මේක අසාමාන්‍ය  ලිංගික ගති පැවතුම් ගැන සටහනක් නෙමෙයි . මේක මිනිහෙක් ගැන කතාවක් ..මේක  මට නම් මගේ සිතිවිලි වට කර ගෙන තියෙන පවුරු පිලිබඳ ව මතක් කිරීමක් ..අපි අපිටම කියාගන්න සීමාවන් ගැන .... හරි  ආයෙත් කතාවට යොමු වෙමු .

මාර්ටීන් පොතක් ලියනවා ( apartheid of sex ). එහි ඔහු කියනවා ලිංගිකත්වය යනු  තමන්ට පිහිටි ලිංගික අවයව වලින් ඔබ්බට ගිය දෙයක් කියලා . ඔහු කියන්නේ ජාතිය , ආගම නම්වූ ප්‍රබන්ධ වගේම , ලිංගිකත්වයත් ප්‍රබන්ධයක් කියලා . ඔහු කියන්නේ ලිංගිකත්වය යනු නිතර වෙනස් වෙන , ස්ත්‍රී පුරුෂ වගේම තවත් අහු නොවුණු බොහෝ ලක්ෂ ඇති රේඛා වක් කියලා . ( මේක ටිකක් විකාරයක් කියලා මට හිතෙන්න ගන්නවා ..ඒත්  එක්කම මතක් වෙනවා ඉයන් බැන්ක්ස් ගේ  විද්‍යා ප්‍රබන්ධයක එක ලෝකෙක ඉන්නවා ලිංගිකත්ව තුනක් , ස්ත්‍රී පුර්ෂ සංසේචනයෙන් පස්සේ , නියුට්‍රල් කෙනෙක්ගේ ගර්භාෂයේ තැන්පත් කරනවා ... ඉන් පස්සේ ස්ත්‍රීය හා නියුට්‍රල් තමා එකට ජීවත් වෙන්නේ ).

කොහොම හරි ටික කාලෙකට පස්සේ ඇයගේ දියණියට , දුලබ රෝගයක් හැදෙනවා . බෙහෙත් නෑ . දොස්තරලා මරණ සහතිකය කලින්ම ලියනවා . . මාර්ටීන් බලාපොරොත්තු අතාරින්නේ නෑ . ඇය මේ ගැන කියවනවා . ඇයට  දැන ගන්න ලැබෙනවා , Glaxo Wellcome සමාගම මේ රෝගයට බෙහෙතක් හොයාගෙන තියෙනවා ඒත් මේ රෝගයේ දුලබ බව නිසා , ලාභ ලැබිය නොහැකි නිසා ඔවුන් එය නිෂ්පාදනය කරන්නේ නෑ කියලා . ඇය ඔවුන්ට කරදරයක් වෙනවා මේ බෙහෙත විකුනන්න කියලා .. අන්තිමේදී ලැබෙන ලාභ වලින් 10% දෙන පොරොන්දුවට ( හැම තැනම ටෙන් පසන්ට් ලා ) ඇයට  ලැබෙන්නේ , මූලික පර්යේෂණ මට්ටමේ , අවසාන බෙහෙතට ගොඩක් ඈත , සුදු කුඩු වගයක් . ඇය කොම්පැනියක් පිහිටුවලා , විශේෂඥයන් යොදා ගෙන පර්යේෂණ කරලා බෙහෙත නිපදවනවා . දුව ජෙනෙසිස් අද , තිස් වියැති කාන්තාවක් . මේ රෝගය ට විසඳුම් සොයන ඔවුන්ගේ පර්යේෂණ ආයතනයේම ඇය  සේවය කරනවා .

මේ දවස්වල මාර්ටීන් , රොබෝවෙක් හදනවා . බීනා ගේ මොලය ආශ්‍රය කරගෙන . ඇයගේ ගති පැවතුම්, මතක , හැඟුම් , විශ්වාස ,  පරිඝනක ප්‍රෝග්‍රෑම් වල සටහන්  වෙනවා . ඇය කියනවා , අපි දෙන්නම මේක කරනවා , එතකොට කවදා හරි අපි නැති දවසක අනිත් එක්කෙනාට තනි කමක් නොදැනේවී කියලා . ඇය කියනවා , අපි අපේ ගතින් ඔබ්බට ජීවත් වෙනවා කියලා ..

කතාව එතනින් ඉවර වෙනවා . මම ඇස් දෙක වහගෙන හිතන්න ගන්නවා . අපේ ජීවිත , අපේ හිත් දක්කාගෙන යනවා . හිත්  වලින්ම හදන පවුරු වළලු තුළ  ගාල් කරවනවා .. එක ජීවිතයකින් කොච්චරක් නම් දේවල් කරන්න පුලුවන්ද ?

පලි : පුලුවන්නම් වෙලාව ගන්න මේ වීඩියෝව බලන්න . 


11 comments:

  1. ඉයන් බැන්ක්ස් ගේ පොත් වල ඒ වගේ අමුතු දේවල් තියෙනවා. මම කියවූ ඔහුගේ පොතක තිබුනා යුවලක් මාරුවෙන් මාරුවට ගැහැණු පිරිමි බව වෙනස් කරලා දෙදෙනාම ඔවුන්ගේ දරු ගැබ මාරුවෙන් මාරුවට දරා සිටි සිද්ධියක්!
    //ඔහු කියන්නේ ජාතිය , ආගම නම්වූ ප්‍රබන්ධ වගේම , ලිංගිකත්වයත් ප්‍රබන්ධයක් කියලා //
    ඇත්ත නේද? තම තමන්ගේ ජාති/ආගම්/ලිංගිකත්වය මේ හැම දෙයක්ම අල්ලාගෙන ඉන්නේ අපේ සක්කාය දිට්ඨිය නිසයි!

    ReplyDelete
    Replies
    1. ඔව් නීරෝ , ඔහු පරිකල්පනය එහි නිම් වළලු පුළුල් කරමින් විහිදනවා .

      Delete
  2. මේ ගැන මට කියන්න දේවල් කීපයක් තියෙනවා. කියන්න ගිහින් ස්නානය නොකර යන්න හිතුව.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් කීවා නම් මට වටී

      Delete
  3. අද තමයි ඔබේ blog එක සෙට් වුනේ , දිගටම එන්නම්. මම තමයි ජයග්‍රාහී 100 වෙනි follower , හුරේ !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ඔබට යමක් ලැබේයැයි පතමි . දිගටම එන්න

      Delete
  4. Martin මාර්"ටි"න් - පිරිමි මක්, Martine මාර්"ටී"න් ගැහැණු නමක්

    Justin/Justine වගේ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , හැබැයි කියනකොට එක වගේ නේ ඇහෙන්නේ

      Delete
  5. වෙනස් විදිහක අදහසක්...

    ReplyDelete

Have commented