19 June 2015

සිරිසේන නම් වූ විරුධාර්ථ // Sirisena Contradictions

පහුගිය දිනෙක මම, මොහාන් රාජ් ගේ වික්ටෝරියා ගැන ,  අනුර කුමාර කල කතාව ඇසුවෙමි .  ඔහු පොතේ අවසානය උපුටාගෙන   කියවීය. ඉන් කියවෙන්නේ අස්වයෙකුට දාව බැල්ලියෙකුගේ  කුසින් බිහිවන අමුතු විකෘති සත්වයෙක් ගැනය . අශ්වයෙක්  මෙන් කෙසර තිබුනද ,  ඌ බල්ලෙකු මෙන් නගුට වනන්නේය . කතුවරයා මෙය උපමා කරන්නේ අපේ රටේ උපත්ති දෝසයටය ...  මෙහි දිගුවක්  ඔස්සේ  යනවිට , බාගෙට තැම්බුණු නිවහල් චින්තනයකට නිදහස ලැබුණු කළ සිදු වන දෙය , ලිපේ තිබ්බ ගමන් බාන්නට වූ ජාතිකත්වයේ හොද්ද කෑ විට වෙන දෙය හමුවේ 

ජනවාරි අට වෙනිදා ඉපදුනු යහ පාලද විකෘති සත්වයෙකි . නාගරික , ලිබරල් , බටහිර සාංකල්පික පියෙකුට දාව , ග්රාමීය ජාතිකත්ව ගැබකින් මොහු උපන්නේය . මේ සතුන් දෙදෙනා ස්වභාවිකව සංසර්ගයේ  නොයෙදෙති . (ඇත්තටම සිතුවොත් ලංකාවේ නගර තිබේ දැයි විටෙක සිතේ . ඇත්තේ ගම් මය. ඒත්  කොළඹට පොලොන්නරුව ගමකි , නමුත් පොළොන්නරුවට පොලොන්නරුව නගරයකි . කොළඹ ට පොළොන්නරුවෙන් එහා ගම්  ගැන සිතෙන්නේ නැත . එහෙත් එවැනි ගම් ඇති බව පොළොන්නරුවේ එකා දන්නේය . නමුත් පොළොන්නරුවේ එකා කොළඹට ආ විට ගමෙත් නොවේය , නගරෙයෙත් නොවේය . (මෙය කොළඹ එකා නිව් යෝක් , ටෝකියෝ , ලංඩන් ගිය විට ද සිදුවේ). කෙසේ වෙතත් මෙවැනි දෙවර්ගයක් ඇතැයි අපි සිතමු . ඒවායේ දෙවිධියකට හිතන , දෙවර්ගයක මිනිසුන් සිටී  යයි අපි සිතමු .).

අපේ යහපාල ද මුලින්ම හිරවුයේ මේ විරුද්ධාර්ථ යේය . ඒ ඔහු ගැමි ද නාගරිකද යන අනන්යතා ප්රශ්නයේය . අර ඉහත කී බලුස්සයා මෙන් මූ ද විටෙක අභිමානවත් අස්ස සෙයියාවෙන් හිට ගන්නේය , ඉන් පසු නගුට වනන්නේය . (නමුත් අට වෙනිදා ඵලගැන්වූ බලාපොරොත්තුව මේ දෙකම නොවන්නේය)


සිරිසේන මහතාගේ සිතේ තිබුනේ  රාජතාන්ත්රිකයෙකු වීමටය .. බ්රෑන්ඩ් එක සිම්ප්ලිසිටි විය. නමුත් සභාපති තොප්පිය දා ගත් පසු , වැඩේ කොම්ප්ලිකෙටඩ් විය . අද ඔහු හිරවී ඉන්නේ දේශපාලනය හා රාජ්ය පාලනය අතරේය . ජාතිකත්වය හා යහපාලනය අතරේය . දේශිකත්වය හා සංවර්ධනය හා ප්රජාතන්ත්රවාදය අතරේය . (ප්රමුඛතා අනුව එක එකෙහි මාත්රාව කාලානුරූපීව වෙනස් විය යුතු වුවද ) මේවා විරුද්ධාර්ථ වන්නේ , ඒවා විරුද්ධාර්ථ යයි සිතන්නන්ටමය . මේ සියලු මාන කලමනාකරණය කළ නොහැක්කන් ( මහින්ද හා රනිල් යන දෙදෙනාම ඇතුළුව බොහෝ දෙනා මේ ගොඩට වැටෙන්නෝ යයි මට සිතේ ) කරන්නේ මෙහි කෑලී ගලවා , විකුනන්න පුළුවන් කෑලි පමණක් අලෙවි කිරීමය . 

මේ යතාර්ථය පිළිබදව සිරිසේන මහතාට හරි අවබෝධයක් තිබුනේ නැතැයිදෝ  විටෙක සිතේ. ඔහු නිදහස් චතුරශ්රයේ ඇවිදිමින් , සෙල්ෆි ගනිමින් සිම්ප්ලිසිටි බ්රෑන්ඩ් එක වික්කේය . එය ඔහුට පුරුදු දෙයම විය .  කොළඹට මෙය මැජික් විය ... කොළඹට මෙය මැජික් වීමම , අනෙක් පෙදෙස් වලටත් මැජික් ම විය .

නමුත් කාලයාගේ ඇවෑමෙන් අර කවුරුත් මුලින් නො ඇසු කුණුහරුප පැණ    කෙනෙක් ඇසුවේය . " මේක සිංහල රටක් ද නැද්ද ? ඒකීය ද එක්සත්ද ?" . හේ  මීට කෙලින් උත්තරයක් දුන්නේ නැතැයි මම සිතමි ( එක්කෝ  "පාස් " කිව්වේය , නැතිනම් කෝල් අ ෆ්රෙන්ඩ් අවස්තාව ගත්තේය , නැතිනම් " පස්සේ හිතලා කියන්නම් " කීවේය )

මේවා  පිළිතුරු දීමට අමාරු ප්රශ්න යයි මම නොසිතමි . මේ ප්රශ්න දෙකටම උත්තර දෙක බැගින් ඇත . ඉන් එකක් නිවැරදිය (පිළිතුරු මෙතන නොලියන්නේ ඒ ගැන වෙනම සටහනක් ලියන්නට සිත් ඇති බැවිනි. එහෙත්. සිංහල යනු ජාතියක් නොවන බවත්  , එය ආගම මතද රඳා නොපවතීන බවත්, එය දේශිකත්වයක්  බවත්. ලාංකික යන්න ඊට සමාන පදයක් බවත්  . සිංහල / ලාංකිකයන් නොවන ලංකාවේ වෙසෙන අනෙකුන් විදේශිකයන් බවත් මම සිතමි . එමෙන්ම  ජාති වාදය ප්රශ්නයක් නොව ලෙඩක් බවත්  . ඒකීය / එක්සත් යනු ඒ ලෙඩේට බෙහෙත් නොවන බවත් සිතමි . ) . අමාරු පිළිතුර තේරීම නොව , ඉන් පසු ප්රතිපලයට මුහුණ දීමය . අර බිම්බරක් පර සේනා ,  බියෙන් වෙව්ලවූ යයි කියන අප්පච්චිත් මේ ප්රශ්නයට උත්තර නොදී කල් ඇරියේ බයටමය . 

ජනාධිපති වරණයට පෙර දුන් ඒ සංස්කෘතික වෙනස් කිරීමට නම් , දේශපාලනයෙන් ඔබ්බෙන් , රාජ්ය තාන්ත්රික තීරණ ගත යුතුය .  යහපාලනය යහම පාලනය වී , කිරි බඳුනට ගොම රිටි එක් වුයේ , චන්ද දිනන්නට අවැසි ක්රමෝපාය එක එකා ඇඹරු බැවිනි.
මේවාට මුහුණ දිය හැක්කේ දේශපාලඥයෙකුට නොව රාජ්ය පාලකයෙකුටය . මයිත්රීපාල සිරිසේනට එවැන්නෙක් විය හැක. ඔහු එය වටහා ගත යුතුය 

10 comments:

  1. හිටං සිරියා

    ReplyDelete
    Replies
    1. :) ඔහේ සිටන් සිටියේය ??

      Delete
  2. ප්‍රශ්නෙ තියෙන්නෙ රාජ්‍යපාලනයට ඉස්සෙල්ල ශ්‍රීලනිප පාලනය කරන්න හදනවනේ. ඒකෙ ඉන්න උන්ට වෙන මොනවත් ඕනෙ නෑ ආයිත් බලය ගැනීම හැර. ඉතින් සිරිසේනට මොනව කරගන්නද කියල තීරණය කරන්න බෑ.
    නිර්පාක්ශික ජනාධිපතිකෙනෙක් විදිහට ඉන්න එක තමයි සුදුසුම. ඒත් මේ ශ්‍රීලංකාව !

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒත් මේ ලංකාව...

      Delete
    2. අනේ මන්දා ..ඒක හේතුවක්ද , වෙනස් විදියට හිතන්න , වෙනස් නොවී ඉන්න නිදහසට කාරණයක්ද කියලා

      Delete
  3. සාංකාබර
    හද ඔලොගුවෙහි ලා ගනිමි
    එකිනෙක සිහින..
    නිශ්චිත නරකයක
    අවිනිශ්චිත සුබ සිහින....

    යහපාලනය
    යුක්තිය... සාධාරණය..
    නිදහස.. ආදරය...
    සමානාත්මතාවය
    තිරසර සංවර්ධනය......

    මෙවන් පාදඩ ලොවක
    අකැප ය
    එවන් සුන්දර සිහින....

    අයියන්දේ, නෙරූදා, වික්ටර් හාරා
    අවකාශයට මුසු කළ
    අවසාන සුසුම් කැටි
    තැන්පත්ව හද පත්ළ
    මහ බරකි ජීවිතය....

    විටින් විට අතීතෙන්
    ඇසෙන්නෙය කටහඬක්...
    "අත්නොහැරිය යුතු ය සුබ සිහින
    යහපත් හෙටක් ගැන"
    චේ ද..... කැස්ත්‍රෝ ද...
    මැන්ඩෙලා ද.....
    නොදනිමි..
    ඒ සියල්ලන්ම විය හැකි ය....

    ප්‍රේමය ම මිස අන් අවියක් වේද
    සියල් දුසිරිත් නසන
    කුරුස ගසෙහි එල්ලී
    විමසයි ජේසු ප්‍රේමය ම පිරි නෙතින්...

    අරාජික සිහිනයකි
    වෙඩි වැදුණ... පණ ගැහෙන...
    ජීවිතය දෙන්නට
    සැවොම පෙළ ගැසිය යුතු...

    http://tharurasi.blogspot.com/2015/04/never-give-up.html

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ බොහෝ දේ (සාධාරණත්වය , යුක්තිය , ජාතිවාදයෙන් ඔබ්බට , නීති ගරුක බව , ප්‍රජාතන්ත්‍රවාදය ) බොහෝ දේ පටන් ගත යුත්තේ මතු එන පරම්පරා දෙකකට පස්සේ කියලයි මම හිතන්නේ ... මතු එන පරම්පරා ඒ සඳහා යොමු කිරීමයි. ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමයි කල යුතු කියලයි මම හිතන්නේ .
      කවිය මරු !

      Delete
  4. කියෙව්වේ නෑ.. යන විදියට හිතුනා..

    ReplyDelete
    Replies
    1. දේශා ... (වැඩිය සිරා ගන්න එපා , විහිලුවට වගේ කියන්නේ )...ඕකම නොවේද ප්‍රශ්නය , නොකියවා යන විදිය හිතා ගැනීම ...

      Delete

Have commented