08 January 2017

පොඩ්ඩා නුදුටු පොස්සගන්

පෙර කියවීම 
මේ කතාවේ කතානායක පොඩි එකාට වයස  අවුරුදු පහක් හයක් විතර. පොඩි  එකාට තිබ්බේ නැව් පිස්සුවක් . ඌ බාටා පෙට්ටි වලින් නැව් හදා ගෙන සාලේ එහෙ මෙහෙ යනවා . සීයාට කියලා කොළ බෝට්ටු හදා ගෙන ලිඳට ගිහින් දානවා . චිත්‍රයක් අඳින්න කියලා කිව්වත් අඳින්නේ නැවක් 

"අම්මපා මූ ලොකු වුනාම නැවක කැප්ටන් කෙනෙක් වෙයි "  සීයා ඔලුව අතගාලා කියනවා 

"නෑ මං තෝමාලියාවට ගීන් මුදූ ඔල්ලකාලයෙක් වෙනෝ "කියාගෙන පොඩි එකා දුවනවා 

අල්ලපු ගෙදර අයියා යන ගමන් කියාගෙන ගියේ , "ධීවර ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ මාමේ" කියලාය . පොඩි එකාට තියා සීයාටවත් මේ හරුපේ නම් තේරුනේ නැත .

ඒත් පොඩ්ඩා තවම   ඇත්තටම නැවක් දැකලා නැත . මේ කියන දවසේ  කට්ටියම කොළඹ එන්න ලෑස්ති උනේ පොඩි එකාට වරාය පෙන්වන මූලික පරමාර්ථයෙනි .  

ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවාය  හැම කොල්ලෙක් වාගේ ම මේ පොඩි එකාත් නැව්  වලට අමතරව කැමැත්ත තිබුනේ කාර් වලටය . දවසක් ගම්පහ මාමාලා පොඩි එකාගේ ගෙදර ආවේ ඔවුන්ගේ කාර් එකෙනි. ඒක නිකන් ඉබ්බෙක් වගේය . 

"මාමේ මේ මොකක්ද මේ කාල් එක ? "

"මේක වොක්ස්වැගන් බීට්ල් "

"පොස්සගන් ??!!"

එදා සිට පොඩි එකාට හැම කාර් එකක්ම පොස්සගන්  එකක් විය . හදිසියෙවත් පාරේ පොස්සගන් කාරයක් දැක්කොත් , පොඩි එකාට හරිම සතුටුය . 



ප්‍රධාන කතාව 

ස්ථානය : කොළඹ වරාය 
වෙලාව : හොඳටම හවස් වෙලාය 

පොඩි එකාගේ පවුලේ අය කොළඹ ආවේ , පොඩි එකාට නැව් පෙන්නන්නය . මූ දැන් වරායෙන් යන්න බෑ  කියලා අඬන්නේ ය . 

"පුතේ ආයේ දවසක එමු" ...ඒ කොලුගෙ මවය .

"පුතේ අපි එලියට ගිහින් අයිස් ක්‍රීම් කමු" ... ඒ පියාය 

"මට බෑ "... කොලුවා සැලෙන්නේ නැත. වරායෙන් දෑස ඉවතට ගන්නෙම නැත 
 එන්න එන්නම හවස් වෙනවාය . ගෙදර යන්නට දැනටම පරක්කුය 

පුතේ අර එළියේ නවත්තලා තියෙන කාර් එකේ ජාතිය මොකක්ද ...පිය තෙම  ඇමක් දමන්නේ කොලුවෙ අවධානය වරාය වෙතින් වෙනතකට හරවන්නය .

කෝ ?.... ඇම පොඩ්ඩක් වැඩ කරන්නේය 

අර අර එළියේ තියෙන්නේ ..පොස්සගන්  එකක්ද ?

පොස්සගන් ? කෝ 

අර අර ඈත තියෙන්නේ 

පෙන්නේ නෑ නේ 

ඒකනේ මෙතනට පෙන්නේ නෑ තමා . යමු කෝ එලියට 

පොඩ්ඩා ඇම ගිලියි . පවුල පිටින් එලියට එන්නේය ..

කෝ තාත්තේ පොස්සගන් ?

ඒකනේ ,  මම හිතන්නේ , අපි පරක්කු උන නිසා ඩ්‍රයිවර් එලවාගෙන යන්න ඇති . ඔහොම ඉන්නකෝ අපි ත්‍රී විල් එකක් නවත්තගෙන පස්සෙන් යං . 

ඈත සිට එන වීල් එකක් පෙනේ . අත දැමු සැනින් නවතින ත්‍රිරෝද රථයට කට්ටියම ගොඩ වෙති .  මාපියන් මැදින් ඉඳගත් පොඩ්ඩාගේ ඇස් පාර දෙසමය .  කොල්ලුපිටිය හරියට එනවිට , කොල්ලා කටහඬ අවදි කරන්නේය 

කෝ තාත්තේ පොස්සගන් එක ?

ආ අර තියෙන්නේ ...තාත්තා පාරේ යන වෙන මොකක්දෝ කාර් එකක් පෙන්නන්නේ ය 

ඊයා තාත්තේ ඒ පොස්සගන් නෙමෙයි නේ 

නෑ නෑ  ඒ පොස්සගන් තමයි . හොඳට බලන්න 

ඒ පොස්සගන්ද ? 

නෑ පුතේ පිස්සුද ඒ පොස්සගන් නෙමෙයි 


පසු කියවීම 

කලින් සටහනක කීවාක් මෙන් , දේශපාලනය යනු වෙන්වූ සිද්ධීන් නොව,  ඒවා එකිනෙක අතර ඇති සම්බන්ධතාවයයි 


පලි:
"යකෝ රස්සා දෙන එක වැරදිද " කියා අසන්නට කලින්ම මම කියන්නේ "ඉට් ඩිපෙන්ඩ්ස්" කියලාය . මම ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකු නොවෙමි . එනිසාම මසිතේ මතුවී ඇති ගැටළු කිහිපයකි . දන්නා අයගෙන් අසා දන ගන්නට උත්සහ කලත් ඒවා හරියටම ලිහා ගන්නට හැකි වී නැත.

සංක්ෂිප්තව කියනවා නම් 


1. මේ ආයෝජනයෙන් , රටේ තිරසාර සංවර්ධනයට දායක වන , රටට විදේශ  ප්‍රාග්ධනය ලෙස , කාර්මික ඥානය / පුහුණුව ලෙස , රටේ සන්නාම කීර්තිය වැඩීමට ලැබෙන්නේ මොනවාද .

2.  එකලස් කර දේශීය වෙළඳ පොලේ විකුණන වාහන ව්‍යාපාරයක් දිගු කල් දුවන්න තරම් වෙළඳ පොලක් අපේ රටේ තිබේද ?

විදෙස් රටවලට විකුනනවා කියා කියුවත් , ඉන්ධන වාහන පාවිච්චිය හැම රටකම අඩුවෙමින් පවතී . කොටින්ම දැනටම මේ ප්‍රවනතාව ආසියානු රටවලටත් පැතිරිලාය . දැනට එසේ නොවන විශාල වෙළඳපොළ වන්නේ චීනය හා අප්‍රිකාව පමණි . මේ වෙළඳ පොළ දෙකෙහිම වාහන නිපදවීම ඉතා ලාබෙට සිදුවේ 

ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස මට පෙනෙන මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය .   ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද  

මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය .   ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද 

3. රුපියල් වලින් ආදායම එකතු කර සේවකයන්ට පඩි ගෙවන ව්‍යාපාරයක් රටේ තිබෙන (මට තේරෙන තරමට )  අපේ රටේ ඇති විදේශ සංචිත පිලිබඳ , ණය ගෙවීමට ඩොලර් හිඟයක් පිලිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද ?

4. පොසිල    ඉන්ධන මත යැපෙන වාහන මත රටේ ප්‍රවාහන ගැටලුවට පිළිතුර තව තව ස්ථාපිත කිරීමෙන් , රටේ ඉන්ධන වියදමට , පරිසරයට ඇති බලපෑම කුමක් වේද ?
අපේ රටේ විය යුත්තේ වැඩි වැඩියෙන් මිනිසුන්ට වාහන විකිනිමද , පොදු ප්‍රවාහන තත්වය දියුණු කිරීමද ?


මේ ගැන අපි සංවාදයට පිවිසෙමු . ඔබේ අදහස් මම ඉතා අගේ කර සලකමි .
එහෙත් "අනේ ගොනෝ ඒකවත් තේරුනේ නැද්ද ?"  නැතිනම් "නිකන් කොරහේ කිඹුල්ලු දකින්න එපා ".. එහෙමත් නැතිනම් "එතකොට මහින්දගේ කාලේ"  ..වගේ ප්‍රතිචාර වලින් නම් අපගේ සංවාදයට කිසිම ඵලක් නොවේවි . .. මෙය අපේ පාට කන්නාඩි ගලවා , අනාගතය දෙස බලා සංවාද කිරීමට උත්සාහ කරමු .  

26 comments:

  1. ෆුල් රසවත් කතාවක්. ලංකාවේ දනටනත් වාහන එකලස් කරල විකුණන වියාපාරයක් තියෙනව නේද?

    අනික එහෙම තිබිලත් දැනට ලංකාවේ මනුස්සයෙකුට වාහනයක් ගන්න එක සිහිනයක්.

    හැබැයි වොක්ස්වැගන් කියල මේ කර්මාන්ත ශාලාව මගින් ජනතාව රැවටීම මගින් මොවුනුත් තවත් නොන්ජල් දේශපාලකයන් කියල ඔප්පු උනා.

    ඒත් කමක් නැහැ කුමණ හෝ කර්මාන්ත සන්නාමයක් යටතේ රටට වැඩදායි ණය යම්තාක් මට්ටමකින් පියවගතහැකි විරැකියාවට විසඳුමක් වෙන සාමාන්‍ය ජනජීවිතයට බලපෑමක් කරන්ට පුළුවන් දෙයක් වෙනවනම්.

    හදල ඉවර කරන්නම තව අවුරුදු 3ක් යන නිසා බලං ඉමු මොකද වෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. දේශපාලන හැසිරීම පැත්තකින් තියන්න . සම්බන්ධ වොක්ස්වැගන් විහිළුවත් අමතක කරන්න . මේ ව්‍යාපාරයෙන් ලැබෙන විනිමය හා රස්සා ගැන ඇති ප්‍රශ්න මට නම් තවම ඉතිරිය . පුළුල් ආර්ථික විද්‍යාත්මක පිවිසුමකින් උත්තරයක් තවම ලැබුනේ නැත

      Delete
  2. ඔය ප්‍රශ්න ටිකම මයික්‍රෝ එකටත් අදාලයි නේද? විරුද්ධනම් දෙකටම විරුද්ධ වෙමු.
    මේ කර්මන්තශාලාවත් මයික්‍රෝ මට්ටමෙන් ඉවර උනොත් ඔබ කියනවා වගේ රටට මහලොකු දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් අනාගතයේ සෘජු වොක්ස්වැගන් ආයෝජනයක් බවට පත්වුනොත් සහ ඒවටා කුඩා කරමන්තශාලා පද්ධතියක් බිහිවුනොත් යම් ප්‍රතිලාභයක් ලැබිය හැකියි.
    සරලම දේ නම් වාහන නිෂ්පාදනය තවදුරටත් අලුත් රටවලට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අවම වශයෙන් විශාල දේශීය වෙළඳ පොලක් නැතිව. අනික කාර් නිපදවන එක තව දුරටත් අලුත් දෙයක් නෙමෙයි. නමුත් මිනිස්සුන්ට ඔය පොඩි පොඩි ඉලෙක්ත්රොනික් පාර්ට්ස්, ටෝයිස් වගේ ඒවා නිපදවන ඒවා වල ඇපීල් එකක් නැහැ. ඒවායේ ග්ලැමර් එක නැහැනේ. සැබෑ නිෂ්පාදන ආර්ථිකයක් එන්නනම් පටන් ගන්න ඕනේ ඉනොවේෂන්ස් වලින්. එකට R&D දියුණුවෙන්න ඕනේ වගේම රටේ මිනිස්සුත් අලුත් දේ හොයාගන්න කැමති ජාතියක් වෙන්න ඕනේ.
    අවාසනාවට ලංකාවේ මිනිස්සුන්ට ඒ සංස්කෘතික ලක්ෂණ පිහිටලා නැහැ. තියෙන ටිකත් ලෝකේ දිහා අසුබවාදීව බලන බුද්ධාගමෙන් මොට්ට කරලා දානවා. ඉතින් අපිට උපරිමේට යන්න පුළුවන් තායිලන්තේ, මැලේසියාව වගේ අතපල්ලෙන් ලැබෙන සන්වර්ධනේකට තමයි.

    ReplyDelete
    Replies
    1. //තියෙන ටිකත් ලෝකේ දිහා අසුබවාදීව බලන බුද්ධාගමෙන් මොට්ට කරලා දානවා.
      ඔකට කරන්න තියෙන්නේ පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් වීමයි.

      Delete
    2. කොයි බුද්ධාගමත් එකයි බන්. මිනිස්සුන්ගේ මනස විකෘති කරන එක තමයි කරන්නේ. ඒ අතින් දේව ආගම් ස්වාභාවිකත්වයට වඩාත් සමීපයි.

      Delete
    3. උඹල දාහක් හේතු හිතන්න ඕනනේ උඹල ආස වැරදි දේවල් සාධාරණීකරණය කරන්න උඹලගේ ඔය කියන අවිහිංසාවාදී පට්ට ආගමත් බේරගන්න ගමන්. දේව ආගම් ඒ වගේද. ගැහුවොත් ගහපන්. මැරුවොත් මරපන්. එන්ඩ් ඔෆ් ද ස්ටෝරි.

      Delete
    4. ඔව් මේ ප්‍රශ්න මයික්‍රෝ වලටත් අදාලයි . ඒත් එක්කක් තියෙනවා කියලා තව එකක් දාන එකේ තර්කය මට නොවැටහේ . අනික මයික්‍රෝ ඇති කිරීමේ පරමාර්ථයත් වෙනස් නේ . නමුත් ඔබේ එතනින් එහාට ඇති අදහස් ගැන එකඟයි . අතපල්ලෙන් වැටුණු සංවර්ධනය ... මරු කියුමක් .. මරු තේරුමක් .

      බුද්ධාගම බාධාවක් නම් ජපානය ? මම හිතන්නේ බාධාව සිංහල බෞද්ධාගම . (කිසිම විශේෂඥ දැනුමක් නැතිව ) මගේ යෝජනාව , කාර් නොවී එලෙක්ට්‍රික් බස් වගේ උනා නම් රටත් ගොඩ , තිරසාරයිත් එක්ක

      Delete
    5. ජපානය.. හිකිස්.
      ඔබ හිතන්නේ මම ජීවත් වෙන්නේ කොහේ කියලද? ඔබ හිතන්නේ ජපානේ බව්ද්ද කියලද? ලෝකේ ගැන ඔබට තව ගොඩාක් දැනගන්න තියෙනවා මිත්‍රයා. ඔබ ලංකාවේ සමාජය ගැන ටිකක් වෙනස් විදියකට දකින, සාධාරණ විවේචන කරන කෙනෙක් කියල හිතන් හිටියට මේ කමෙන්ට් එක දැක්කම මට මාර ලැජ්ජාවක් ඇති උනා.
      //ඒත් එක්කක් තියෙනවා කියලා තව එකක් දාන එකේ තර්කය මට නොවැටහේ . අනික මයික්‍රෝ ඇති කිරීමේ පරමාර්ථයත් වෙනස් නේ .//
      ඔබ කියන දේ මටත් නොවැටහේ. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
    6. මේ කොමෙන්ටුවෙන් ඔබ කියන්න හදන්නේ ඔබ ඉන්නේ ජපානයේ කියලායි මම සිතමි මගේ නොදැනුවත් කමට සමාවෙන්න , ඒත් මම යමක් නොදන්නා බව දැන ගැනීම ගැන මම ලජ්ජා නොවෙන්නේ එය ඉන්පසු දන්නා නොදන්නා දෙයක් බවට පත්වෙන නිසාය. එය නොදන්නා නොදන්නා දෙයට වඩා ප්‍රගතිශීලී යයි සිතන බැවිනි . අපි සියලු දෙනාම නොදන්නා දේ බොහෝ ඇත , නමුත් එවැනි බොහෝ දේ නොදන්නා බව අපි නොදනිමු . ඇතැම්විට ඔබ ලජ්ජා වෙන්නේ , ඔබ තුළ මා ගැන තිබු මිම්ම වැරදීම ගැනය .

      මාගේ වැටහීම , ජපානයේ සංවර්ධනයට හේතුවූ හර පද්ධති , zen දර්ශනය හා මහායාන දර්ශනය අතර මිශ්‍රණයක් බවයි . මා එසේ ලියුවේ එනිසයි . අද එය පුර්ණ ධනවාදී රටක් බව මම දනිමි . නමුත් එහි ජීවත් වී හෝ ඒ ගැන හදාරා නැති බැවින් , එහි හදවත ගැසෙන රිද්මය නම් නොදනිමි . මගේ අනුමානය වැරදි නම් මම ඒ තර්කය ඉල්ලා අස් කරගන්නම් . ඒත් බුදු දහම හෝ මිහිඳු හිමින්ගෙන් පසු රටේ පැතිරුණු බුද්ධාගම සංවර්ධනයට බාධාවක් යයි නොසිතමි . එය කාලනුරුපිව සකස් කර ගත හැක . නමුත් සිංහලබෞද්ධාගම නම් බාධාවක්මය .

      මයික්‍රෝ ගැන - මයික්‍රෝ අයිතිකරු ගේ කල්කිරියාව පැත්තකින් තිබ්බොත් , මයික්‍රෝ යනු දේශීය ආයෝජනයක් නිසා ඉන් ආර්ථිකයකට ලැබෙන දේ විදේශ ආයෝජනයකට වඩා වෙනස් . අපිට අවශ්‍ය වන්නේ දිගු කාලින විදේශීය ආයෝජන නේද . ඉතින් අපේ වැනි කුඩා රටක , කුඩා වෙළඳපොලක් විතරක් පාවිච්චි කරලා , රට මේ කඩුල්ලෙන් පන්නන්න පුලුවන්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා

      Delete
    7. ජපානේ ගැන කතා කිරීම පැත්තක තියමු. ජපානේ උන් අදහන බුද්ධාගමක් නැහැ කිව්වම ජපානේ උන්ටත් වඩා මල පනින්නේ ලංකාවේ ඉන්න බුහ් ධාගම් කාරයින්ට. බොරුනම් මේ වීඩියෝ එක බලන්නකෝ. (අනුෂ විතානගේ අදහස් සහ 46mins~ වගේ බලන්න ඔක්කොම බලන්න කම්මැලිනම්)
      https://www.youtube.com/watch?v=NETyDS8UYYY


      //මයික්‍රෝ යනු දේශීය ආයෝජනයක් නිසා ඉන් ආර්ථිකයකට ලැබෙන දේ විදේශ ආයෝජනයකට වඩා වෙනස් .//
      තවමත් පැහැදිලි නැහැ. පහසු වෙන්න මගේ ප්‍රශ්නේ වෙනස් කරන්නම්කො.
      ඔබ මයික්‍රෝ එකේ ආයෝජනේටත් විරුද්ධද? නැතිනම් මයික්‍රෝ එක අවුලක් නැහැ, අලුත් ෆැක්ටරිය විතරද අවුල? ඔබට තේරෙන විදියට මේ ආයෝජන දෙක අතර වෙනස මොකක්ද?

      Delete


    8. මම දන්නා තරමින් ව්‍යාපාර දෙකම දේශීය ආයෝජන . දේශීය ඉල්ලුමට දේශීය සැපයුමක් සැලසීමෙන් , රටෙන් පිටට යන විදේශ විනිමය ඉතුරු වෙනවා තමයි . ඒ අතින් එය වාසියක් . දැනට (ම දන්නා තරමින් වසරකට 1.2bn විතර යනවා වාහන ආනයනයට ) . ඒත් එකම වෙළඳ පොලට වෙළෙන්දන් දෙදෙනෙකු ඇතුළු වීමෙන් වෙන්නේ market share එක බෙදී යාම නොවේද ? වෙළඳ අධිකාරියක් කඩන්න නම් ඒක වැරදි නෑ . ඒත් මයික්‍රෝ වලට එහෙම වෙළඳ අධිකාරියක් නෑ නේද ?
      අනෙක් අතට සර්ව සුභවාදීව හිතලා අපි හිතුවොත් රටේ වාහන හිමි යන් වැඩිවෙලා , වාහන මිලදී ගන්නන් ගේම market එක ලොකු වෙනවා කියලා , අර ඉතුරු වෙන විදේශ විනිමය ඉන්ධන ආනයනයට වියදම් වේවී . ඒ වගේම වාහන වැඩිවෙලා , යටිතළ පහසුකම් සඳහා වියදම , කාලය නාස්තිය (පාරේ තදබදය නිසා ) නිසා ඇතිවන මුල්‍යමය පාඩුව වැඩිවේවි . එය බලපාන්නේ සෘනාත්මකව නේද ?

      සාරාංශ කරනවා නම්

      මයික්‍රෝ හොඳද ? නරක නෑ

      ඒ කියන්නේ ? දැනට හොඳයි . හැබැයි රටේ දිගු කාලීන සංවර්ධන ඉලක්ක එක්ක සමපාත වෙන්නේ නෑ

      එතකොට වෙස්ටන් ඔටෝ ? හොඳට වඩා නරකයි

      ඇයි ඒ වෙනස ? මයික්‍රෝ තියෙන නිසාමයි දෙවැන්න නොගැලපෙන්නේ

      ඒ කිව්වේ ? ගෙදර පොඩි වලක් කපා ගන්න එක උදැල්ලක් ඇති , දෙවැනි උදැල්ලක් වත් බැකෝ එකක්වත් ඕනේ නෑ

      එහෙනම් මයික්‍රෝ එක තව දියුණු කලොත් ? මේ දේශීය ව්‍යාපාරවලට ආයෝජන එන්නේ දේශීය බැංකු වලින්ම නම් විණිමය හිඟයට උත්තරයක් නෙමෙයි නේද ?


      පලි සමාවෙන්න , මා ඇත්ත යයි සිතන කරුණු කීපයක් validate කිරීමට සිදූවූ බැවින් මේ ප්‍රතිචාරයට කල් ගත විය .

      Delete
    9. //මයික්‍රෝ හොඳද ? නරක නෑ

      ඒ කියන්නේ ? දැනට හොඳයි . හැබැයි රටේ දිගු කාලීන සංවර්ධන ඉලක්ක එක්ක සමපාත වෙන්නේ නෑ

      එතකොට වෙස්ටන් ඔටෝ ? හොඳට වඩා නරකයි

      ඇයි ඒ වෙනස ? මයික්‍රෝ තියෙන නිසාමයි දෙවැන්න නොගැලපෙන්නේ

      ඒ කිව්වේ ? ගෙදර පොඩි වලක් කපා ගන්න එක උදැල්ලක් ඇති , දෙවැනි උදැල්ලක් වත් බැකෝ එකක්වත් ඕනේ නෑ //
      මොනවද බන් මේ තර්ක. දැන් ඔය විදියට බැලුවම ලංකාවේ කර්මාන්තයක් පටන්ගන්නවනම් එක ජාතියෙන් එකයිනෙ තියෙන්න පුළුවන්.
      සෙල්ටෙල් හොඳයිද? හොඳයි.
      ඩයලොග්? හොඳට වඩා නරකයි.
      එතකොට හච්, බැච්, එයාටෙල්, අරව මේවා? අන්තිමයි.
      ඇයි ඒ වෙනස ? සෙල්ටෙල් තියෙන නිසාමයි අනෙක්ව නොගැලපෙන්නේ

      ඒ කිව්වේ ? ගෙදර පොඩි වලක් කපා ගන්න එක උදැල්ලක් ඇති , දෙවැනි උදැල්ලක් වත් බැකෝ එකක්වත් ඕනේ නෑ . තුන්වැනි උදැල්ලක් කොහෙත්ම ඕනේ නැහැ.

      // ඒත් එකම වෙළඳ පොලට වෙළෙන්දන් දෙදෙනෙකු ඇතුළු වීමෙන් වෙන්නේ market share එක බෙදී යාම නොවේද ? වෙළඳ අධිකාරියක් කඩන්න නම් ඒක වැරදි නෑ . ඒත් මයික්‍රෝ වලට එහෙම වෙළඳ අධිකාරියක් නෑ නේද ?//

      අර ටිපිකල් මයින්ඩ් සෙට් එක කියන්නේ. අපිට මොකද මයික්‍රෝ එකේ ශෙයා එක කැඩුනම. ඒක රැකගන්න උන් දැනගන්න ඕන. බාල බඩු හද හද උන්ගේ පැවැත්ම වෙනුවෙන්ම ආරක්ෂනවාදයක් අපේක්ෂා කරනවානම් අත් දෙකම උස්සල එහෙම කම්පැනි එපා කියන්න තමයි වෙන්නේ. මොකද අවසානයේ ඔක්කොම යන්නේ පාරිභෝගික අපේ කරපිටින්.

      අනික මයික්‍රෝ එකට ඒකාධිකාරයක් ගොඩ නගාගන්න බැරි මොකද? වෙළඳපොල පොඩි නිසාද? නැතිනම් කොලිටි බඩු හදන්නේ නැති නිසාද? ඒක නිසා ඔය එක එක ව්‍යාපාර රැකගන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. කොයි එකද වෙළඳපලේ ඉතිරි වෙන්නේ කියල පාරිභෝගිකයෝ තීරණය කරයි.

      //හැබැයි රටේ දිගු කාලීන සංවර්ධන ඉලක්ක එක්ක සමපාත වෙන්නේ නෑ //
      මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? දිගු කාලීන සංවර්ධන ඉලක්ක මොනවද? වාහන එකලස් කරන එක දේශීය ආයෝජනයක් නොවී විදේශීය ආයෝජනයක් උනාම ඒක අර කියපු ඉලක්ක එක්ක සමපාත වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න පුල්වන්ද?

      Delete
  3. වොක්ස්වගන් එක එන්නේ නෑ කියලා වික්ස්වගන් කොම්පැනිය සෙවකයින් ඉවත් කිරීම හා ඔවුන්ගේ මෝටර් රථ විශාල ප්‍රමාණයකට වන්දි ගෙවීම වගේ දේවල් දන්න කෙනෙක් දන්නවා. ඒ වගේම ආන්ඩුව පරෙස්සම් උනා මුලින් කිව්වට පුස්සගන් එනවා කියලා.. පස්සෙ කිව්වේ මෝටර් රථ කම්හලක් එනවා කියලා. නමුත් ඒක පුස්සගන්ම උනා. හරියට අර පැම්පස් වගේ.

    මට නම් ඕක පුස්සගන්ද කියන දේ අදාල නෑ. ඔතනින් රැකියාවන් හා වක්‍ර රැකියා කීයක් බිහිවෙනවාද කියන එකයි වදගත්...

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නය සහ බය , ඒ රැකියා තිරසාරද කියන එක ... නැත්නම් අපි විසඳුමට පොදී කොමාවක්ද තියන්නේ කියලා ... මට පෙනෙන්නේ රනිල්ට ඕනේ දේ (ෆුල් ලිබරල් සංවර්ධන මොඩල් එකක් ) කරන්න බෑ මේ ආණ්ඩුවත් එක්ක , (ඒ මොඩල් එකට මම එකඟ නැති උනත් ) අනෙක් අතට කොම්ප්රෝමයිස් කරලා වැඩේ අලයක් කර ගන්නයි යන්නේ

      Delete
  4. අපි තාම පොඩියි!

    ReplyDelete
  5. ටාට්ටෙ, ටාට්ටෙ, ඇමටිලාටයි, අමාත්තංසවල අයටයි, ජොස්තරලාටයි හෙම ඔය පොස්සගන් ගන්න කියලා පෝමිට්වලින් කාර් ගෙන්නන එක නතර කරන්න කියලා සිරිසේන අංකල්ට කියමුද?

    ReplyDelete
    Replies
    1. අන්න කොරනවානම් වැඩ

      Delete
  6. පවතින ආන්ඩුව දැන් ඉන්නෙ හත් පොලේ ගා ගන්න ගමන්.
    අර මොලයක් කියන එළුවා මේ පාර කන්නෙ හොදි නැතිව.

    කොහොම වුනත් මේක පෞද්ගලික ආයෝජනයක් නිසා. අනාගත තක්සේරු කිරීම් වලින් තොරව කරා කියන්න අමාරුයි.ආර්ථිකයට ඔය කියන තරම් මගුලක නොවුණත්. ඉන් යම් ප්‍රතිලාභයක් හිමි වේවි.

    ReplyDelete
    Replies
    1. හැබැයි මම නම් ඉන්නේ , කෙළවෙන , අවාසිදායක ආයෝජනත් ඇත කියන තැන .

      උදා . එයාර් ලංකා ඇති කිරීම , හැත්තෑ වේ

      Delete
  7. පොඩි කාලෙ දවසක් අම්ම මගෙ ඔළුව අතගාල කිව්වලු හොඳට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන්න කියල..
    මම කිව්වලු නෑ මං ඉගෙනගන්නැතුව කොන්දොස්තර කෙනෙක් වෙනව කියල.
    හිතුවක්කාර වෙන්න ඉගෙනගත්තෙ ඒ කාලෙමයි

    ReplyDelete
    Replies
    1. එක යට පොරවල්

      Delete
  8. ලංකාවේ අද තියෙන මධ්‍යම පන්තියේ ප්‍රසාරණයත් එක්ක කාර් සිහිනය තව දශකයක්වත් තියේවි. මොකද බයික්, ත්‍රීවීල් ගන්න මනුස්සයත් ඉන්දියන් කාර් ගන්න මනුස්සයත් බලන්නේ තමන්ට තියෙන එකට වඩා ලොකු වාහනයක්. ඒකට සල්ලි නැති හින්දා ලීස් දානවා. ගෙවන්න බැරි වුනාම සීස් කරනවා. ලංකාවේ මහ ලොකුවට ලීසිං කියලා කෑගැහුවට ඔය ඔක්කොම වාහන ලීසිං. යන්ත්‍ර සූත්‍ර ලීස් කරලා ගන්න අහන්න ඔය සමාගම් වලින්, එතනම උත්තරය තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාර් සිහිනය , යාවත්කාලීන නෑ . එය පසුපස දිවීම රටක් හැටියට වැරැද්දක් නේද .

      තිරසාර සංවර්ධනය යනු පොදු ප්‍රවාහනය මත වැඩි බරක් යෙදීම නේද . ලංකාව ලොකු රටක් නෙමෙයි , එවැන්නක් ගැන නොසිතා ඉන්න

      Delete
    2. අරාබියේ ගෑනු වැඩ කරලා එවන සල්ලිම ගෙවලා අපි අරාබියෙන් තෙල් ගෙනල්ලා වාහන වල මේ පුංචි රටේ එහෙ මෙහෙ යනවා

      Delete
  9. මෙන්න මෙහෙම තමයි සංවාද ගොඩ නගන්න ඕන. ඒත් අපි එහෙම කරයිද....ඇදලා ගත්තා..දමලා ගැහුවා...මලක් පිපුනා ...මල පරවුනා..සංවාද තමයි අපි කරන්නේ. දුකයි. නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට.

    ReplyDelete
    Replies
    1. . අරූ මට ඕනේ උනේ මේ ගැන කාත් එක්ක හරි කතා කරන්න . කාත් එක්ක හරි කිව්වට , සුපුරුදු කතාබහ රාමුවෙන් පිට ..මේ ප්‍රශ්නය ගැන නිර්මාණශීලීව හිතන , සංවාදශීලී කෙනෙක් එක්ක . ..මගේ සටහන කියවලා , වෙලා අරන් මේ ගැන යමක් ලියු අයට ස්තුතියි .

      මම හිතන්නේ මෙතන කොමෙන්ට් නොකලත් , මේ ගැන අදහසක් ඇති අයෙක් සිටි නම් තැනගේ අඩවිවල මේ සංවාදය ගෙනියන්න . මොකද රටක සංවර්ධනය මුලින් ඇතිවෙන්නේ රටවැසියන්ගේ මනසේ . ටාගට් එකක් නැතිව අපි කොහොමද ඒ ටාගට් එකට ගෙනියන්න නායකයෝ පත්කරගන්නේ ... කොහොමද ඒකට වැඩ කරන්නේ ...

      Delete

Have commented