26 March 2017

කාලයාගේ පොටෝ ගැහීම








මගේ තියෙන පැරණිම චායාරූපය, මාස හතක්  අටක් විතර වයස බිලිඳු මා වඩා ගෙන , අප්පච්චි සිටිනා චායාරූපයක්. ඒ පින්තූරේ මම ඉන්නේ සිනා වෙලා උනාට , සැබෑ ජීවිතයේ බොහෝ විට මුහුණේ සිනහවක් තිබුණු අප්පච්චි, ඉන්නේ කැමරාවට ඔරවාගෙන . 
ඊට පස්සේ පැරණිම පින්තුරේ නුගේගොඩ ගාමිණි ස්ටුඩියෝ එකේ ගත්ත මගේ පින්තුරයක්. බස් එකේ නුගේගොඩ හන්දියට යනවා, අපේ අම්මා මගේ කොන්ඩේ කැරලි හදනවා, මුණේ  පුයර උලනවා මට තවම මතකයි .මගේ වයස එතකොට අවුරුදු තුනක් විතර ඇති. ඒ පින්තුරේ ගන්න, හෙලවෙන්නේ නැතිව එකම ඉරියව්වෙන් සෑහෙන  වෙලාවක් හිඳින්නට වූ බවත් මට මතකයි. ඒ  පින්තුරේ මම ඉන්නේ කැමරාවට ඔරවාගෙන . 

කැමරාව ඉස්සරහ විරිත්තාගෙන , පින්තුරේ ගන්න කන් බලාගෙන ඉන්න එකා හිතන්නේ මේ පින්තුරේ ප්‍රධාන නළුවා ඌ කියලා. කැමරාව පිටුපස්සේ ඉඳන් පින්තුරේ ගන්න එකා හිතන් ඉන්නේ චායාරූපයෙන් පෙනෙන්නේ උගේ හැකියාව , ප්‍රතිභාව කියලා. හැබැයි අයෙක් කලකට පෙර කියා තිබ්බේ චායාරූපයක ප්‍රධාන නළුවා හැමවිටම ආලෝකයමයි කියලා.

හැබැයි මා නම් සිතන්නේ, චායාරූපයක ප්‍රධාන භූමිකාව හැම විටම රඟන්නේ කාලය විසින්මයි කියායි. ඝනිකරණය වූ මොහොතක්, රූපයක්  ලෙස මතකයේ ගුදම් තුළ පල් වී ලැබෙන නොස්ටල්ජීක මත් බව මෙන්ම , ෂටරය දිගු කලක් විවරව තබාගෙන කාලයේ හෙවනැලි වුවද සටහන් කර ගත හැකියි. ඇලෙක්සි ටිටාරෙන්කෝ ගේ "නුවරම නවකතාවක්" The city is a novel පින්තුර පොත පුරාවටම ඔහු කතා කරන්නේ (ඔව් කතා කරන්නේ ) මේ ගැන . ඇලෙක්සි මගේ පින්තූර ගැහිල්ලට , එක්තරා නිර්මාණ නිමිත්තක් දුන් කෙනෙක් 

මාත් මේ වැනි පර්යේෂණ කීපයක් කරමින් ඉන්නේ. මේවා හොඳ පින්තූර වලට වඩා, උගත් පාඩම් කියලයි මා සලකන්නේ.  

මෙන්න මේ සබැඳිය ඔස්සේ පොඩ්ඩක් ගිහින් බලන්න . ඔබට හිතෙන දේ කියන්න .

ගතයුතු, තවත් බොහෝ පින්තූර ගැන සටහන් මනසේ මෙන්ම මගේ සටහන් පොත් පිටු අතරත් තියෙනවා. ඒත්  කාලය පින්තූර  ගන්න වෙලාවක් නැති වෙලා තියෙන්නේ



පලි: අද මේ සටහන ලියුවේ, ලියන්න හිතේ හිරවෙලා තියෙන දේ ලියලත් බැරි සහ එය නොලියා ලියන්න වෙන දෙයකුත් නැති නිසා.
පොටෝ එකක වගේම, ජීවිතේත්, අනෙක් බොහෝ දේ වලත්  අප හැමෝම හිතන් ඉන්නේ කතාවේ ප්‍රධාන නළුවා තමන් කියලා. ඒත්  අපි හැමෝම කාගේ හරි කතාවක සහය නළුවෝ කියලා එක්කෝ නොතේරීම මැරිලා යනවා නැත්නම් තේරෙන්න කල් යනවා. 

19 March 2017

බල්ලාගේ එක්ස්කියුස් එක සහ කීර්තිනාම ඉස්කෝලේ මහත්තයාගේ නඩු නිමිත්ත

ඕං 
හිටියා උදාර කොල්ලෙක් 
ඌට හිටියා හොඳ තඩි බල්ලෙක් 
පළාතේම නෑ එහෙම හොර ගෙඩියෙක්  
උගේ කනේ හිටියා තඩි මැක්කෙක්

දවසක් දා මූ  දික් කරගෙන කළු හොම්බත් . කුස්සියට පැනලා , වලඳක තිබිච්ච මාළු කූරියෙක් උස්සන්න හොම්බ දැම්මා විතරයි කුස්සි අම්මාට අහුවුනේය . ඕ  තොමෝ , ටොමියාව බෙල්ලෙන්ම අල්ලාගත්තෝය .

මෙච්චර දවසක් මම බලන් උන්නේ අතටම අල්ල ගන්න , හොර  බල්ලෝ  , අද නම් අතටම අහුඋනා . තොට අදනම් ගහේ  බැඳලා දෙන්නේ .... කුස්සි අම්මා බී වාර්තාව ඉදිරි පත් කලේ , ඇසින් දුටු සාක්කිත් අමුණලාය    

හා හා ඔබතුමි  කලබල වෙන්න එපා , දුටු සියල්ල සත්ය නොවේ ...බුහ්  බුහ්  ...හොරු අල්ලන්න නේ මහත්තයා මාව ගෙනාවේ ගෙදරට ..   

එහෙව් එකේ උඹ  කුස්සියට පැනලා ලිප්බෝක්කේ තියන ඒවා හොරෙන් කාපුවහම හරියනවද ?

  නෝනා, මෙතන තියෙන්නේ වරදවා තේරුම් ගැනීමක් . 

මොකක්ද බොල මෙතන තියෙන වරදවා තේරුම් ගැනීම 

 මේ මගේ කනේ ඉන්න මැක්කා  පේනවද ? ඕකා අර අල්ලපු ගෙදර හොර කිටියාගේ කණේ  හිටියේ කාලයක් තිස්සේ .ඔන්න ඔය  මැක්කා තමා ඔය වළඳට හොම්බ දැම්මේ. ඒ සිද්ධිය තමයි ඔබ තුමිය  මම හොම්බ දානවා වගේ දැක්කේ ... හොරකමට 
දෙන දඬුවමක් දෙන්න මේ මැක්කට  ඕං .

බල්ලා  පස්චාත් ගාතය  ඔසවා උගේ කණ  කැසුවේය

***

කීර්තිනාම  ලොකු ඉස්කෝලේ මහත්තයා 55විය තෙක්ම   ගමේ ඉස්කෝලේ ඉගැන්නුවේය . ඉන්පසු තවත් අවුරුදු හතරක් පිනට ඒ දුප්පත් දරුවන්ට  ඉගැන්නුවේය . දැනට ඔහු හිඳින්නේ ගෙදරට වී විවේක සුවයෙන් බණ පොතක් කියවා ගෙනය . එක පාරටම ගිය සතියේ දවසක පත්තරේ කියවමින් සිටි ඔහු , කෝපාවිෂ්ට වී පුටුවෙන් නැගිට්ටේය . ඉන්පසු තනියම කෝපයෙන් කියවමින් ගෙතුළ සක්මන් කරන්නට විය .. එදින සවස  ඔහු වේගවත් ගමනින් හන්දියේ මුදලාලි හම්බු වෙන්න ගියේ ගෙදර ඔප්පුවත් කිහිලි ගහගෙනය .

"මුදලාලි මේක තියාගෙන මට ලස්ස 20ක් දෙන්න " ඔහු කෙලින්ම කාරනාවට බැස්සේය 

මොකෝ ඉස්කෝලේ මහත්තයා ලෙඩක් දුකක් වත්ද ? ඔප්පු ඕනේ නෑ..  දැනට ඕනේ ගාන  කියන්න 

එහෙම බෑ මුදලාලි මේ නඩුවක් කතා කොරන්න , අබ්බගාත් මහත්තුරු අල්ලන්න සල්ලි ඕනේ 

මොකක්ද අප්පේ නඩුව ?  ඉඩම් ප්රශ්නයක්ද 

නෑ  මුදලාලි , මේක මහා අපහාස නඩුවක් . මම දානවා නඩුවක් ඕකුන්ට ලස්ස පන්සීයක් වන්දි ඉල්ලලා 

මොකක් කිව්වා ?....අපහාස  කවුද මේ ගමේ, අපේ ඉස්කෝලේ මහත්තයාට  අපහාස කලේ ?. .. අනික් අතට ඔන්න ඕවා අල්ලලා දාන්න ඉස්කෝලේ මහත්තයෝ , දැන් කාලේ හැදෙන උන් කියන ඒවා ..

නෑ  ගමේ එකෙක් නෙමෙයි .. ඕකුන් දන්නේ නෑ මගේ හැටි.

කවුරු උනත් කමක් නෑ  ඉස්කෝලේ මහත්තයෝ , ඔය අපහාස නඩු එහෙම දිනන ඒවා නෙමෙයි .

අනේ යන්න මුදලාලි , එහෙනම් ඔය මැති ඇමති වරු දාන්නේ ලස්ස සීයේ හමාරේ අපහාස නඩු තමන්ගේ කීර්ති නාමයට මදි පුංචි කමක් උනාය කියලා .. ඉතින් මගේ නමම කීර්තිනාම වෙච්චි 

දැන් මොකක්ද ඔය ඉස්කෝලේ මහත්තයාට  වෙච්ච අපහාසේ , මොකක්ද නඩු නිමිත්ත 

මේං බලන්න 

කීර්ති රත්න ඉස්කෝලේ මහත්තයා හතරට නැවු පත්තරයක මුල් පිටුවක් පයිල්  කවරයෙන් එලියට ගත්තේය . එහි එක සිරස්තලයක් රතු පෑනකින් රවුම් කර ඇත 

" මේ සියල්ලට වග කිව යුත්තේ , මහා බැංකුවේ නියෝජ්ය අධිකාරි තුමා ...."

මුං කෙලින්ම අපහාස කරන්නේ අපේ බුද්ධියට මුදලාලි මහත්තයෝ, 

(දැන් නැවතත් බල්ලාගේ කතාව කියවන්න )

05 March 2017

රූපසිංහ අංකල් ගේ ප්‍රොජෙක්ට් එක හෙවත් Project life cycle and life projects

  

රූපසිංහ අංකල්,   අපි පොඩි කාලේ , කලේ වෑල්ඩින් වැඩ . මුලින් නම් ඔහුගේ වැඩපොළට එහෙම කියලා වැඩක් තියෙනවා මට මතකයක් නෑ . ඒත් කවදා  වත් ඉවර නොවෙන ප්රොජෙක්ට් එකක් ,  බාගේට හදපු පන්සලක පහන් වැටක් නම් හැමදාම වැඩපොළේ වත්තේ අයිනක ගහකට හේත්තු කරලා තිබ්බා . 
(අහපු හැම වෙලාවකම කිව්වේ " ඕක ඉවර කරන්න ඕනේ පුතා " කියලා . )

පහු කාලේක රටේ ආර්ථිකේ විවෘත වෙලා, ක්රෝටන්  වැටවල් වෙනුවට තාප්ප බැඳෙද්දි , උණ බම්බු කඩුල්ල වෙනුවට දමාපු ගේට්ටු හැම එකක්ම හැදුවේ මොහු .  ඊට පස්සේ හොරු වැඩි වෙද්දී ජනෙල් වලට ගහපු ග්රිල් හැදුවෙත් රූපසිංහ අංකල් . 

බොහෝ විට හවසට මද පමණ සප්පායම් වෙලා ඇවිල්ලා , අපේ අප්පච්චි එක්ක කතා කර කර ඉන්නවා පැය  ගණන් . අප්පච්චි අමද්යප වෘතයක් පිරු නිසා , දෙන්නා එක්ක හරි හරියට සිගරට් බොන එක තමා කලේ . 

හැම දාම ගෙදර යනකොට  " මම ඇවිල්ල මහත්තයාගේ සිගරට් ටික ඉවර කරනවා , ඔන්න මහත්තයෝ මම හෙට නම් එනකොට මහත්තයාට  බ්රිස්ටල් පැකට් එකක්ම ගේනවා " කියලා තමා යන්නේ 

අප්පච්චි සිගරට් බීලා ලෙඩවුනා . ඉස්පිරිතාල වාට්ටුවක විඳවලා මැරුණා . මළ ගෙදර ඇවිත් රූපසිංහ අංකල් මගේ අත  අල්ල ගෙන ඇඩුවා . "මොනවා කලත් කමක් නෑ  පුතේ සිගරට් නම් බොන්න එපා " කියලා එලියට ගිහින් පැත්තකට වෙලා සිගරට් එකක් පත්තු කරන් සෑහෙන වෙලාවක් කල්පනා කර කර ඉන්නවා මට මතකයි.

පස්සේ කාලේක වැඩපොළ වැහිලා ගියා. ඔහු ජුබිලි කණුවේ හන්දියේ ත්රී වීල් එකක් එලෙව්වා . 

දශක ගාණකට  පස්සේ අහම්බෙන් මට වෙනත් තැනකදී රෑපසිංහ අංකල් හම්බවුනා . " අද නෝනාට  පැන්සන් , බෙහෙත් ටික ගන්න ආවා" කිව්වට .. සිලි මල්ල ඇතුලේ කාලේ බෝතලේ එලියට පෙනුනා.

"මහත්තයා මොකද දැන් කරන්නේ " ඊළඟ ප්රශ්නෙන් නම් මම පොඩ්ඩක් අසරණ උනා .  මුලින්ම පුතාලා , මහත්තයාලා වීම ගැන වූ සිතුවිලි ගොන්නක් වාං ඇරියා සේ ගලා ආවා. ඊට පස්සේ මගේ රස්සාව මේ මනුස්සයාට විස්තර කරන්නේ කොහොමද කියන එක හිතන්න ගත්තා . තටමලා තටමලා , මම ප්රොජෙක්ට්  කරන ව්යාපෘති කළමනාකාරයෙක්  බව කියා ගත්තා .

"දොස්තර කෙනෙක් නෙමෙයි ??...... ..(නිහඬතාවයක්). .හ්ම්ම් තාත්තට නම් ඕනේ උනේ මහත්තයව දොස්තර කෙනෙක් කරන්න ..." ඔහු බිම බලාගෙන හිමින් සැරේ කිලිටු ලේන්සුවක් ඇහැට ලං කළා .


"මුළු ජීවිතේම ප්රොජෙක්ට් එකක් තමා මහත්තයෝ ... මමත් අපේ දුවව දොස්තර කෙනෙක් කරන්න නේ ඉගැන්නුවේ. ඒත්  ඒක ඉවර කර ගන්න මට සල්ලි තිබුනේ නෑ මහත්තයෝ..ඉතින් මම ඒකිව සල්ලි තියෙන බිස්නස් කාරයෙකු ගේ ඇඟේ ගැහුවා . දැන් උන්ට සල්ලි තියෙනවා , මගේ මුණුපුරා ඇඩ්වාන්ස් ලෙවෙල් සයන්ස් කරන්නේ .... දොස්තර කෙනෙක් වෙන්න .."



පලි : ව්යාපෘතියකට නිශ්චිත ඉලක්කයක්  ඇත . එවන් ව්යාපෘති එක්වූ තැන ඇත්තේ වැඩසටහනකි . 

එක අතකට මුළු ජීවිතයම ප්රොජෙක්ට් එකකි . එක් එක්  කඩඉම් ඇත . ඇතැම් ඒවා සාර්ථකව ලඟා කරගනිමු ඇතැම් ඉලක්ක වලට ලඟා වීමට අපට නොහැකි වේ .

වැඩසටහනක ඇත්තේ ඉලක්ක නොව නිශ්චිත ප්රතිලාභයන් ය . එක ව්යාපෘතියක් අසාර්ථක වුවද , වැඩසටහනක ඒ ප්රතිලාභ ලැබෙන තෙක් අලුතින් අලුතින් ව්යාපෘති දියත් කෙරේ . ව්යාපෘති කළමනාකරු වෙනස් වුවද වැඩසටහන දිගටම ක්රියාත්මක වේ .

මා මේ දවස් වල කල්පනා කරන්නේ , වැඩසටහනක් ලෙස පරම්පරා ගණනාවක් ඔස්සේ දිවුණු දේ ගැනය . ඇතැම් දේ මානුෂිකය , තවත් දේ දේශපාලනිකය .