26 March 2017

කාලයාගේ පොටෝ ගැහීම








මගේ තියෙන පැරණිම චායාරූපය, මාස හතක්  අටක් විතර වයස බිලිඳු මා වඩා ගෙන , අප්පච්චි සිටිනා චායාරූපයක්. ඒ පින්තූරේ මම ඉන්නේ සිනා වෙලා උනාට , සැබෑ ජීවිතයේ බොහෝ විට මුහුණේ සිනහවක් තිබුණු අප්පච්චි, ඉන්නේ කැමරාවට ඔරවාගෙන . 
ඊට පස්සේ පැරණිම පින්තුරේ නුගේගොඩ ගාමිණි ස්ටුඩියෝ එකේ ගත්ත මගේ පින්තුරයක්. බස් එකේ නුගේගොඩ හන්දියට යනවා, අපේ අම්මා මගේ කොන්ඩේ කැරලි හදනවා, මුණේ  පුයර උලනවා මට තවම මතකයි .මගේ වයස එතකොට අවුරුදු තුනක් විතර ඇති. ඒ පින්තුරේ ගන්න, හෙලවෙන්නේ නැතිව එකම ඉරියව්වෙන් සෑහෙන  වෙලාවක් හිඳින්නට වූ බවත් මට මතකයි. ඒ  පින්තුරේ මම ඉන්නේ කැමරාවට ඔරවාගෙන . 

කැමරාව ඉස්සරහ විරිත්තාගෙන , පින්තුරේ ගන්න කන් බලාගෙන ඉන්න එකා හිතන්නේ මේ පින්තුරේ ප්‍රධාන නළුවා ඌ කියලා. කැමරාව පිටුපස්සේ ඉඳන් පින්තුරේ ගන්න එකා හිතන් ඉන්නේ චායාරූපයෙන් පෙනෙන්නේ උගේ හැකියාව , ප්‍රතිභාව කියලා. හැබැයි අයෙක් කලකට පෙර කියා තිබ්බේ චායාරූපයක ප්‍රධාන නළුවා හැමවිටම ආලෝකයමයි කියලා.

හැබැයි මා නම් සිතන්නේ, චායාරූපයක ප්‍රධාන භූමිකාව හැම විටම රඟන්නේ කාලය විසින්මයි කියායි. ඝනිකරණය වූ මොහොතක්, රූපයක්  ලෙස මතකයේ ගුදම් තුළ පල් වී ලැබෙන නොස්ටල්ජීක මත් බව මෙන්ම , ෂටරය දිගු කලක් විවරව තබාගෙන කාලයේ හෙවනැලි වුවද සටහන් කර ගත හැකියි. ඇලෙක්සි ටිටාරෙන්කෝ ගේ "නුවරම නවකතාවක්" The city is a novel පින්තුර පොත පුරාවටම ඔහු කතා කරන්නේ (ඔව් කතා කරන්නේ ) මේ ගැන . ඇලෙක්සි මගේ පින්තූර ගැහිල්ලට , එක්තරා නිර්මාණ නිමිත්තක් දුන් කෙනෙක් 

මාත් මේ වැනි පර්යේෂණ කීපයක් කරමින් ඉන්නේ. මේවා හොඳ පින්තූර වලට වඩා, උගත් පාඩම් කියලයි මා සලකන්නේ.  

මෙන්න මේ සබැඳිය ඔස්සේ පොඩ්ඩක් ගිහින් බලන්න . ඔබට හිතෙන දේ කියන්න .

ගතයුතු, තවත් බොහෝ පින්තූර ගැන සටහන් මනසේ මෙන්ම මගේ සටහන් පොත් පිටු අතරත් තියෙනවා. ඒත්  කාලය පින්තූර  ගන්න වෙලාවක් නැති වෙලා තියෙන්නේ



පලි: අද මේ සටහන ලියුවේ, ලියන්න හිතේ හිරවෙලා තියෙන දේ ලියලත් බැරි සහ එය නොලියා ලියන්න වෙන දෙයකුත් නැති නිසා.
පොටෝ එකක වගේම, ජීවිතේත්, අනෙක් බොහෝ දේ වලත්  අප හැමෝම හිතන් ඉන්නේ කතාවේ ප්‍රධාන නළුවා තමන් කියලා. ඒත්  අපි හැමෝම කාගේ හරි කතාවක සහය නළුවෝ කියලා එක්කෝ නොතේරීම මැරිලා යනවා නැත්නම් තේරෙන්න කල් යනවා. 

4 comments:

  1. මෙහෙම දේවල් හිතුවට ඔබට වගේ ගලපගන්න බැරි නිසා ඉරිසියා කරමි. මගේ ඉරිසියාව පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. අර එලිසබෙත් ගිල්බර්ට් ගේ බිග් මැජික් පොතේ තියෙනවා වගේ , නිර්මාණ නිමිති කියන්නේ ඔහේ පාවෙන සත්තු ජාතියක් අපේ වෙලාවට එක්කෝ ඔබට අහුවෙනවා නැත්නම් මට අහුවෙනවා

      Delete
  2. වෙනත් පැත්තක් ගැන හිතලා තියෙනවා ....

    ReplyDelete

Have commented