05 March 2017

රූපසිංහ අංකල් ගේ ප්‍රොජෙක්ට් එක හෙවත් Project life cycle and life projects

  

රූපසිංහ අංකල්,   අපි පොඩි කාලේ , කලේ වෑල්ඩින් වැඩ . මුලින් නම් ඔහුගේ වැඩපොළට එහෙම කියලා වැඩක් තියෙනවා මට මතකයක් නෑ . ඒත් කවදා  වත් ඉවර නොවෙන ප්රොජෙක්ට් එකක් ,  බාගේට හදපු පන්සලක පහන් වැටක් නම් හැමදාම වැඩපොළේ වත්තේ අයිනක ගහකට හේත්තු කරලා තිබ්බා . 
(අහපු හැම වෙලාවකම කිව්වේ " ඕක ඉවර කරන්න ඕනේ පුතා " කියලා . )

පහු කාලේක රටේ ආර්ථිකේ විවෘත වෙලා, ක්රෝටන්  වැටවල් වෙනුවට තාප්ප බැඳෙද්දි , උණ බම්බු කඩුල්ල වෙනුවට දමාපු ගේට්ටු හැම එකක්ම හැදුවේ මොහු .  ඊට පස්සේ හොරු වැඩි වෙද්දී ජනෙල් වලට ගහපු ග්රිල් හැදුවෙත් රූපසිංහ අංකල් . 

බොහෝ විට හවසට මද පමණ සප්පායම් වෙලා ඇවිල්ලා , අපේ අප්පච්චි එක්ක කතා කර කර ඉන්නවා පැය  ගණන් . අප්පච්චි අමද්යප වෘතයක් පිරු නිසා , දෙන්නා එක්ක හරි හරියට සිගරට් බොන එක තමා කලේ . 

හැම දාම ගෙදර යනකොට  " මම ඇවිල්ල මහත්තයාගේ සිගරට් ටික ඉවර කරනවා , ඔන්න මහත්තයෝ මම හෙට නම් එනකොට මහත්තයාට  බ්රිස්ටල් පැකට් එකක්ම ගේනවා " කියලා තමා යන්නේ 

අප්පච්චි සිගරට් බීලා ලෙඩවුනා . ඉස්පිරිතාල වාට්ටුවක විඳවලා මැරුණා . මළ ගෙදර ඇවිත් රූපසිංහ අංකල් මගේ අත  අල්ල ගෙන ඇඩුවා . "මොනවා කලත් කමක් නෑ  පුතේ සිගරට් නම් බොන්න එපා " කියලා එලියට ගිහින් පැත්තකට වෙලා සිගරට් එකක් පත්තු කරන් සෑහෙන වෙලාවක් කල්පනා කර කර ඉන්නවා මට මතකයි.

පස්සේ කාලේක වැඩපොළ වැහිලා ගියා. ඔහු ජුබිලි කණුවේ හන්දියේ ත්රී වීල් එකක් එලෙව්වා . 

දශක ගාණකට  පස්සේ අහම්බෙන් මට වෙනත් තැනකදී රෑපසිංහ අංකල් හම්බවුනා . " අද නෝනාට  පැන්සන් , බෙහෙත් ටික ගන්න ආවා" කිව්වට .. සිලි මල්ල ඇතුලේ කාලේ බෝතලේ එලියට පෙනුනා.

"මහත්තයා මොකද දැන් කරන්නේ " ඊළඟ ප්රශ්නෙන් නම් මම පොඩ්ඩක් අසරණ උනා .  මුලින්ම පුතාලා , මහත්තයාලා වීම ගැන වූ සිතුවිලි ගොන්නක් වාං ඇරියා සේ ගලා ආවා. ඊට පස්සේ මගේ රස්සාව මේ මනුස්සයාට විස්තර කරන්නේ කොහොමද කියන එක හිතන්න ගත්තා . තටමලා තටමලා , මම ප්රොජෙක්ට්  කරන ව්යාපෘති කළමනාකාරයෙක්  බව කියා ගත්තා .

"දොස්තර කෙනෙක් නෙමෙයි ??...... ..(නිහඬතාවයක්). .හ්ම්ම් තාත්තට නම් ඕනේ උනේ මහත්තයව දොස්තර කෙනෙක් කරන්න ..." ඔහු බිම බලාගෙන හිමින් සැරේ කිලිටු ලේන්සුවක් ඇහැට ලං කළා .


"මුළු ජීවිතේම ප්රොජෙක්ට් එකක් තමා මහත්තයෝ ... මමත් අපේ දුවව දොස්තර කෙනෙක් කරන්න නේ ඉගැන්නුවේ. ඒත්  ඒක ඉවර කර ගන්න මට සල්ලි තිබුනේ නෑ මහත්තයෝ..ඉතින් මම ඒකිව සල්ලි තියෙන බිස්නස් කාරයෙකු ගේ ඇඟේ ගැහුවා . දැන් උන්ට සල්ලි තියෙනවා , මගේ මුණුපුරා ඇඩ්වාන්ස් ලෙවෙල් සයන්ස් කරන්නේ .... දොස්තර කෙනෙක් වෙන්න .."



පලි : ව්යාපෘතියකට නිශ්චිත ඉලක්කයක්  ඇත . එවන් ව්යාපෘති එක්වූ තැන ඇත්තේ වැඩසටහනකි . 

එක අතකට මුළු ජීවිතයම ප්රොජෙක්ට් එකකි . එක් එක්  කඩඉම් ඇත . ඇතැම් ඒවා සාර්ථකව ලඟා කරගනිමු ඇතැම් ඉලක්ක වලට ලඟා වීමට අපට නොහැකි වේ .

වැඩසටහනක ඇත්තේ ඉලක්ක නොව නිශ්චිත ප්රතිලාභයන් ය . එක ව්යාපෘතියක් අසාර්ථක වුවද , වැඩසටහනක ඒ ප්රතිලාභ ලැබෙන තෙක් අලුතින් අලුතින් ව්යාපෘති දියත් කෙරේ . ව්යාපෘති කළමනාකරු වෙනස් වුවද වැඩසටහන දිගටම ක්රියාත්මක වේ .

මා මේ දවස් වල කල්පනා කරන්නේ , වැඩසටහනක් ලෙස පරම්පරා ගණනාවක් ඔස්සේ දිවුණු දේ ගැනය . ඇතැම් දේ මානුෂිකය , තවත් දේ දේශපාලනිකය .

13 comments:

  1. \\..එක අතකට මුළු ජීවිතයම ප්‍රොජෙක්ට් එකකි . එක් එක් කඩඉම් ඇත . ඇතැම් ඒවා සාර්ථකව ලඟා කරගනිමු ඇතැම් ඉලක්ක වලට ලඟා වීමට අපට නොහැකි වේ ...//


    👍🏽👍🏽👍🏽

    ReplyDelete
  2. "මා මේ දවස් වල කල්පනා කරන්නේ , වැඩසටහනක් ලෙස පරම්පරා ගණනාවක් ඔස්සේ දිවුණු දේ ගැනය"
    මා නම් මේ දවස්වල කල්පනා කරන්නෙ සුරන්ගලෑ ගමේ පොජෙට් එක මානුෂිකද දේශපාලනිකද කියන එක ගැනය.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇහුවා... මේ පැත්තෙන් බලපුහම මේ වගේ ..අනෙක් පැත්තෙන් බලපුවාම

      Delete
  3. මා හිතන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ පොඩි ප්‍රොජෙක්ට්ස් ද, ඒවා ඇතුලේ තවත් පොඩි ප්‍රොජෙක්ට් ද යනාදී ලෙස ප්‍රොජෙක්ට්ස් මල්ලක් ම ඇති බවයි!

    ReplyDelete
    Replies
    1. අර රැසියානු බෝනික්කෝ වගේ?

      Delete
  4. ප්‍රොජෙක්ට ඒක කෑලි කැඩිලා ...වාසි පැත්තට හෝයියා

    ReplyDelete
    Replies
    1. බයිට් සයිස් වලට ප්‍රොජෙක්ට් විතරක් නෙමේ හීන උනත් කැඩීමත් එක් විදියකට කලමනාකරනයක්

      Delete
  5. The greatest mistake you can make in life is to be continually fearing you will make one.
    - Elbert Hubbard

    ඒයි මේ රූපසිංහ අන්කල් ඇත්ත චරිතයක්ද ? මට ජුබිලි කණුවේ වෙල්ඩින් වැඩපල සහ රූපසිංහ අන්කල් රින්ග්ස්ද බෙල්.

    ReplyDelete
    Replies
    1. දෙසරයක් පස්ස බිම ඇනුනට පස්සේ වැරදීමට තියෙන බය නැතිව යනවා.ඒත් .. වයසට යන කොට අවදානමක් ගැනීමට බය නම් දැනෙනවා ඒක හරිගස්ස ගන්න කාලයක් නැති වෙයි කියලා හිතිලා.

      මනුස්සයා ඇත්ත කෙනෙක් .. සිද්ධිනුත් ටිකක් ඇත්ත. එකම දේ මට මිනිහා හම්බ උනේ නම් නෑ.. ජුබිලි කනුවේ නෙමෙයි වැඩපොල පාගොඩ දේවාල පාරේ.. ඒ කාලේ රබර් වත්ත කිව්ව පෙදෙසේ... දැන් නම් දේවාල ලේන් වෙලා...අපි ඒ පෙදෙසේ පදිංචියට ගියේ අසුවේ.. රෑපසිංහ අන්කල් ඇවිත් තියෙන්නේ කොල්ලා කාලේ

      Delete

Have commented