14 October 2017

ෆ්ලෝ ෂයින් සහ ගුටි කන ගුණේ


168 බස් එකේ අයිනේ සීට් එකේ ලාවට නින්දක් දාගෙන ගිහින් , කොන්දොස්තර තෙමේ " සෙන්ට්‍රල් බෑන්ක් බහින්න " කියනකොට අවදිවෙලා , ඊළඟ නැවතුමෙන් බැහැලා උදේ පාන්දර වැඩට ගිය කාලයක් මටත් තිබුනා . විදේශීය බැංකුවක දේශීය ශාඛාවක වැඩ කරපු මට ඇත්තටම එහෙම උදේම යන්න නියමිත වැඩක් නොතිබුනත් , ඉස්කෝලෙන් ගේට්ටුවෙන් එලියට බැහැලා , රස්සාවේ පිළිකන්නට ගොඩ වෙච්ච මට උදේ නැගිටින එක පුරුද්දක් ඇබ්බැහියක් වෙලා තිබිච්ච නිසාත් , උදේ පාන්දර දවස සැලසුම් කරගන්න තියෙන නිස්කලංකය නිසාත් , උදේ කැන්ටිමේ සංගමයට මා ලොල් වී සිටි නිසාත් උදේ පාන්දරම වැඩට ආවා .

පොත අත්සන් කරලා , ඊළඟට මුහුණ අත පය  පොඩ්ඩක් සෝදා ගන්න, මුත්‍රාශය හිස් කර ගන්න වැසිකිලියට යන කොටම, හැමදාම ගුඩ් මෝනින් සර් කියලා දෙසවන් දක්වා හිනා වෙච්ච කෙනෙක් උන්නා . අපේ කන්තෝරුවේ සනීපාරක්ෂක කටයුතු ඒ වෙනකොටත් පුද්ගලික ආයතනයකට බාර දීලා තිබ්බේ . ඔහුගේ නම කිහිප විටක්ම අසා ඇති බව මතක තිබ්බත් , නම මතක නෑ . ඒත් කවුරුත් ඔහුව ඇමතුවේ "ෆ්ලෝ ෂයින් " කියලා , ඔහු සේවය කළ  ආයතනයේ නමින් .  

දවසක් මම මොකක්දෝ වැඩකට මහා බැංකුවට ගියා . මහා ප්‍රතාපවත් කුළුණු අතරින් විදුලි සෝපානය දෙසට යන කොට , මෙන්න පුරුදු මුහුණක් .

"ෆ්ලෝ ෂයින් ??!!"

"ආ සර් .."

"උඹ මොකද මෙහෙ කරන්නේ ? "

" සර් ලෝකල් බැංකු , පොරින් බැංකු , පොඩි බැංකු , මහා බැංකු කියලා නෑ  .. අපි ඔක්කොම සුද්ධ කරනවා ..."

මේ සතියේ ප්‍රවෘත්ති කියවා ගෙන යන කොට එක පාරටම මට ෆ්ලෝ ෂයින්  මතක් උනා 

පලි : සුද්ද කිරීම වනාහි ශිල්පයකි . එය එක තැනක ප්‍රගුණ කර ගත් කල ඕනෑම තැනකදී පාවිච්චි කළ  හැක 

***

"මචෝ , අරු දුවලා ගියේ , උගේ කට්ටිය ගේන්න ...දැන් වලියක් ෂුවර් එකටම සෙට් වෙනවා , දුවලා ගිහින් ගුටි  කන ගුණේට  එන්න කියපං "

මා පාසැල් සමයේ , කාලගුනේ , තඩි ගුනේ , ගුඩු බණේ ආදී ගුණේ ලා රාශියක් සිටියහ . 

ගුටි කන ගුණේ හෙවත් වන්- ෆෝ -ද -ටීම්- ගුණේට කොල්ලෝ මුහුණට කිව්වේ හිත හොඳ ගුනේ කියලාය . ඒත්  යථාර්ථය , ගුටි කන ගුනේ බව , අපිත් , ගුනේත් , ගුනේ දන්නා බව අපිත් , ගුනේ දන්නා බව අපි දන්නා බව ගුනේත් , දැන සිටියා . 

ගුනේ කලේ එක අතකට සමාජ සේවයක් . හැබැයි හැම සේවා සපයන්නෙක් වගේම ඔහු ඊට අය කිරීමක් කළා . සුළු සීරීම් සඳහා සිගරට් පැකට් එකක සිට , හන්දි විසන්ධියක් සඳහා රුපියල් දාහක්  (ඒ කාලේ ලොකු ගානක් ) දක්වා මිළ දර්ශකයක් ඔහු ගාව තිබුනා .  

හොඳට ඇඟ පත තිබුණු ඔහු ඕනෑම වලියකට ඉදිරිපත් වී , සතුරාගේ අවධානය තමන් වෙත යොමු කරගෙන , ඉන්පසු ප්‍රහාරය සඳහා තනිවම මුහුණ දෙන්නේ , ඉදිරියට පැන වන් ෆෝ ද ටීම් ඉල්ලන් කන්නේ,  අනෙක් එවුන් ගේ ඇඟ පත බේරා දෙමිනි , ඔවුන්ට බේරී පලායාමට ඉඩ සලසමිනි . ගුටි නොකන වලි පවා , ගුටි කන මට්ටටමට ගෙන ඒමට ඔහු උත්සුක වන්නේ , වාසිය එවිට බැවිනි .


පලි : රස්සාවට ගුටි කන එකාට , ගහන තරමට වාසිය ඌටමය. 

ගුණේ  වේවා , බැසිල් වේවා , රවී වේවා , ඉරාජ් වේවා , නාන සාර වේවා , රාජිත වේවා , තිලංග වේවා , ගුනේ වේවා, ජයම්පති වේවා  කොටින්ම රනිල් වේවා (මෙකී නොකී අනෙකුන් වේවා ) මෙය පොදුය 


7 comments:

  1. අන්න ගුනේලා...

    ReplyDelete
  2. අදත් හෙටත් කවදත් ඒ ජාතියෙ ⁣ගුණෙල නැති වෙන්නෙ නෑ

    ReplyDelete
  3. ගුනේගේ ගුටිකෑම කෙසේවෙතත් 168 බස්රථයේ වැඩට යාම ගුටිකෑමට වැඩ හපන් දඩුවමක් බව දනිමි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ . හයහමාරට නැග්ගම නුගේගොඩින් . .. කොනේ සීට් එක ෂුවර් ... කොටුවෙන් බහින කොට සෙනඟ බැහැලා

      Delete
  4. මාර ලියවිල්ලක්.

    ReplyDelete

Have commented