10 August 2012

සිරා, පොරක්

ඔහු ගේ නම ... නෑ එක්කෝ ඒක අවශ්‍ය නෑ...

එතකොට අපි  ශිෂ්‍යත්වේ සමත් වෙලා සියඹලා ගස් දෙකේ ඉස්කොලේට  ඇවිල්ල අවුරුද්දක් ගිහින්. නුපුරුදු දේ 
 ටික ටික පුරුදු වෙන්න අරන් .
 හතේ පන්තියේදී  තමයි , ඔහු මුලින්ම අපිට උගන්වන්න ආවේ . විද්‍යාව .
ජල බඳුනක රැඳවු ඉටි පන්දමක් වීදුරුවකින් වසා, ඉටිපන්දම නිවුනම ජල මට්ටම වීදුරුවේ පරිමාවෙන් පහෙන් එකක් උඩට නැගීම නිරීක්ෂණයක් හැටියට ලියපු අපිට ...එයින් වාතයේ පරිමාවේ ඔක්සිජන් ප්‍රතිශතය ඔප්පු කල නොහැක්කේ මන්දැයි  කියාදුන්නේ ඔහු.
"දැන් මම එලියට යනවා .මේ වටේ ඇරපු සෝඩියම් කෑල්ල , කවුරු හරි කලිසම් සාක්කුවේ දා ගෙන ඉන්නවනම් වහාම විසි කරනවා . නැත්නම් ඉදිරි අනාගතය දැවී යයි " කට කොනකින් සිනාසෙමින් කීවේ ඔහු.  නිල් කොට කලිසමින් සැරසුණු කොල්ලෝ තිහක් විතර , මොහොතකට නිහඩ උනා.   
  
ඉන්පසු වසරේ අපේ පන්තිය ඔහුට බාර උනා අවුරුදු තුනකට .
පලවෙනි දවසේ , මේ මනුස්සය අපේ පන්තිය ඉස්සෙරහ හිට ගෙන  හැදින්වීමක් කළා ඔහු ගැන .
ඔහු තනිකඩ බවත් . ගම දකුණේ දුර ඈතක බවත් .  ජීවත් වන්නේ මව සහ නැගණිය සමග බවත් . ඔහුගෙන් 
ඉගෙන ගන ගත හැකි යමක් ඇත්නම් එය ඉගෙන  ගන්නා ලෙසත් ,  ඔහුව අනුගමනය නොකරන ලෙසත්,   විටෙක අපේ නෙත් තුලටද එබෙමින්ද , විටක බිම බලමින්ද ඔහු  පැවසුවා මතකයි. 
හිමින් සැරේ උඩ සාක්කුවේ තිබුන සිගරට් දෙක ඔහු කලිසම් සාක්කුවට දමා ගන්නවා අපි බොහොමයකගේ නෙත් ගැටුනා . 
  
අවුරුදු තුන ගෙවිල ගියා. අපේ කර උස් මහත් වී , ඔහු පොඩි මිනිහෙක් උනා .  මේ කාලය තුල අපිට පොඩි පොඩි දේ දැනෙන්න ගත්තා . අපේ ඉංග්‍රීසි මිස් සමග කතා කිරීමටද ඇයගේ වතුර බෝතලයෙන්  වතුර බීමටද ඔහු වැඩිපුර කැමැත්තක් දක්වන බව අපේ තියුණු ඇස් වලට අහුවෙලා තිබ්බේ ඒ වෙනකොට . බීකරයකින් පරීක්ෂණ නලයකට දියර වක් කරද්දී ඔහුගේ අත වෙව්ලු

වා. ඔහු ඇස් සමහර දාට ලොවි ගෙඩි වගේ . ඉස්කොලේ ඉස්සරහ කඩෙන් උදේට ඔහු තැබිලි ගෙඩියක් බිව්වේ හැංගිලා වගේ  . ඒ වෙන කොට සිරකරුවෝත් මනුෂ්‍යයෝය , ගුරුවරුත් සිරකරුවෝය  "ගුරුවරුත් මනුෂ්‍යයෝය " කියන කියමන අපි ඉගෙන ගෙන තිබ්බේ නෑ

88 , 89 කාලේදී  කැම්පස් අයියලා නහය කට වැහෙන්න ලේන්සු බැඳ ගෙන ඇවිල්ලා අපිට  දේශනා පැවැත්වුවා  . "කොළඹට කිරි ගමට කැකිරි ,  මල්ලිලා , මේ විඳින සම්පත් අසාධාරණයි  " 


අවුරුදු දෙකට ඉස්සෙල්ල අපේ ඉස්

කෝලෙන්ම අවුට් වෙච්ච අයියා කෙනෙ
ක් කිව්වා .

සර් අපිට පන්තියේදී කතා කළා .
"මේක භයානක කාලයක්, අපේ ගමෙත් කොල්ලෝ හැම දාම නැතිවෙනවා . ප්‍රශ්න තියෙනවා , හැබැයි පුතා මෙහෙම විසඳන්න බැ.
ඔයගොල්ලෝ තාම ජීවිතේ පටන් ගත්ත විතරයි , දුක දැනෙන්නේ දෙමාපියන්ට "  ,
ඒ කිවේ , පෙරදින පන්තියේ අපිව වට කරගෙන   "සමාජ අසාධාරණය " ගැන දිගු කතාවක්
පැවැත්වූ  සු ** දෙස බලාගෙන.
හැබැයි එතන නොකිය වුනු වෙනස් යථාර්තයක්, ගැටවර අපි එදා විශ්වාස කරන්නට කැමති උනා .
ඔහුගේ වචන වල තිබ්බ බර , අවංක බව අපිට ගානක් ගියේ නෑ එදා . 

ඉස්කෝලේ වැහුනා , අපි ගෙදර හිටියා . ඉස්කෝලේ  ඇරුන , හැබැයි මම පාසැල් ගියේ යලට මහට.
උදේ අම්ම එක්ක 
ඉස්පිරිතාලේ ගියා කෑම අරගෙන  , දවල් කොච්චිකඩේ පල්ලියට ගියා .ඇයත් එක්ක  හවස බෝධි පුජා තියන්
න පන්සල් ගියා . ගිලෙන මිනිහා සහ තණකොළ ..
ඉස්කෝලේ යන්න මට හිත හදා ගන්න අමාරු උනා. අන්තිමේදී අපේ  ගෙදර ඉස්සරහ සුදු කොඩියක් එසවුනා.
පත්තරේ මරණ දැන්වීම දිගේ ඔහු මළගෙදර ආව  .. 

."ආයුබෝවන් සර් "... ටිකක් වෙලා ඔහු මා  දිහා බලා ගෙන හිටියා
"තමුසේ ඉස්කෝලේ නාවේ ඇයි කියල දැන් තේරෙනවා ...මට පුදුම  මේක තමුසේ කාටවත් ඇගෙව්වේ නැති එකට  ...මට සමාවෙනවා මටවත්  මේක දැනුන නැති එකට . තව මාස පහක් තියෙනවා විබාගෙට 

. තමුසේ ඉස්කොලේ  එනවා ...මේක කරන්න පුළුවන් "
සුපුරුදු ලෙස,  විටෙක දෑසට එබෙමින්  විටෙක බිම බලමින් ඔහු එක දිගට කියෙව්වා . 
  
විභාගය ඉවර උනා. මම  පාස් උනා . අපි ප්‍රතිපල කියන්න ඔහුව හොයාගෙන ගියා .
අපි ට්‍රිප් යන්න ප්ලැන කළා
"සරුත් එන්නම ඕනේ ".
"එහෙම නෙමෙයි , තමුසෙලා එනවා අපේ ගෙදර " ඔහු පෙරලා ආරාධනා කළා .
 
  
හරි , මෙතනින් පොඩ්ඩක් කොමාවක් තියන්න අවසර . .... හුස්ම පොඩ්ඩක් අල්ල ගන්න , ඔහු මට පොරක් වුයේ ඉහත කී කිසිවක් නිසා නොවේ යයි කීයන්න   ...

ආපහු  කතාවට ..දැන් අපි  ඉන්නේ ඔහුගේ නිවසේ එළිපත්තේ   . කපරාරු නොකරපු, බිම සිමෙන්ති නොදාපු  පොඩි ගෙදර , කෙටි බිත්තිය උඩ ඔහු හිඳගෙන සිටි.
"නංගි බැන්දා ගියා මාසේ , ඒ දෙන්නට ගේ දුන්නා . දැන් මම ජීවත් වෙන්නේ ඉස්සරහ කාමරේ " .
"තමුසෙලට මම එන්න කිව්වේ , එක පාඩමක් උගන්වන්න . මම තමුසෙලට වඩා ගොඩක් අඩු සම්පත් තියෙන මිනිහෙක් . ජීවිතේ සතුටෙන් ඉන්න ගොඩාක් සල්ලි ඕනේ නැ අයිසේ "
මට මතක විදියට එවර ඔහු බිම බැලුවේ නැත . 
  
ඊයම් බරුවක් වගේ ඇතුලට කිඳා බැහැපු ඒ වචන , දැන් මගේ ජීවන දර්ශනයේ කොටසක් වෙලා .  ..
ජීවිතේ , හිටපු ගමන් පහලට ගිලෙන කොට  , අඩියේ ගෑවෙන තරමට ගිලෙනකොට  , අත ගැසෙනවා ඒ වදන් පෙළ  ....ඉන් පස්සේ ආයෙමත් පීනන්න,  නොගිලී ඉන්න දඟලන්න ඕනේ නෑ . දැඟලීම නැවැත්තුවහම ආයෙමත් උඩට එනවා රබර් බෝලයක් වගේ  ...

සිරා, ඔබ මට පොරක් වන්නේ ඒ පාඩම කියා දුන් හෙයිනි .


පලි;

 ඔහු ඉන් පස්සේ විවාහ උන බව ආරංචි උනා . ඔහුගේත්,  ජීවන පැවැත්ම , විශ්වාස කරන දේ , සිතුම් පැතුම් වෙනස් වෙන්න ඇති .
එහෙත්  අපේ ජීවිත වලට අවශ්‍ය වෙලාවක , එවැ
නි සුන්දර ගුරුවරයෙක් විය ....
මේක මහා ලොකු කතාවක් නොවෙන්න ඇති . හැබැයි ටික දවසක් හිතේ තෙරපුණු මේ සිතුවිල්ල එලියට දාන්න මට ඕනේ කම තිබුනා.
නම් ගම් සහ ඇතැම් සිද්ධීන් උවමනාවෙන්ම වෙනස් කර ඇත . 

12 comments:

  1. මෙතනදි, ගුරුවරයා විතරක් නෙවෙයි, JP ඇතුලු ගෝලයො සෙට් එකත් පොලොවෙ පය ගහල හිටපු උන්. ඒකයි විශේෂය. ඔය වගෙ ගුරුවරු අදත් ඇති. නමුත් සමාජෙන් ලැබෙන සැලකිල්ලත්, පිළිගැනීමත්වෙනස් ඇති. මම කියන්නෙ හැම තැනම එහෙමයි කියලා. සංවේදී මිනිස්සු අදත් ඉන්නවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  2. මොනවා කියන්නද ..
    ඔබේ ලිපි කියවා ඇති බැවින් , ගුරුවරුන්ගේ පැත්තෙන් කතා අසා ඇත්තෙමි . කොට අදින ඉස්ස්කොලේ ඔබේ භූමිකාව ...නමුත් සියඹලා ගස් දෙකේ ඉස්කෝලේ ටිකක් වෙනස් ...එතන ගැවසුන සමහරුන්ගේ සමාජ තත්වයත් එක්ක පැහෙන්න , වැඩේ බැලන්ස් කර ගන්න , ඒ අය කොච්චර මහන්සි වෙන්න ඇත්ද කියලත් හිතෙනවා වෙලාවකට . අපේ පවුල් වල තිබ්බ දුක තේරෙන වයසක හිටියට , ඔවුනුත් අහිංසක පවුල් කාරයෝ නේද කියල හිතුනේ නෑ ඒ දවස් වල ...
    .ඔබ හරි. අදත් ඇති , කොතනත් ඇති .

    අපි නම් ඉතින් පොලවේ පය ගහල ඇර, වෙන කොහොම ඉන්නද ? ඒත් වැඩේ තියෙන්නේ සර් ට පුළුවන් උනා හැමෝවම ඒ තැනට ගෙනෙන්න .....

    ReplyDelete
  3. "එහෙත් අපේ ජීවිත වලට අවශ්‍ය වෙලාවක..." විශේෂයෙන් "අඩියේ ගෑවෙන තරමට ගිලෙනකොට..."

    සියඹල ගස් දෙකේ ඔය වාගේ ගුරුවරු බොහොම අඩුයි...
    බොහොමයක් - වැඩේ බැලන්ස් කරගන්න - යුද්දේ එක්ක ඉන්නව මිසක්...

    ඇත්තම කියන්න 88 දී එලියට බහිනකම්ම එහෙම කෙනෙක් මුණ ගැහුණෙ නෑ - ඒක මහ රික්තයක් උනා ඉගෙන ගන්න කාලෙදී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට . තිස්ස අයියා කියන දේ මට තේරෙනවා ....හැබැයි මට දැන් හිතෙනවා , එතන තිබ්බ දේශපාලන , සමාජීය තත්වයත් එක්ක ඒ මිනිස්සුන්ටත් කරන්න පුළුවන් කම තියෙන්න ඇත්තේ බොහොම පොඩ්ඩයි . මාත් එක්ක එකග වෙයිද මන්දා?

      Delete
    2. තිසා... උඹ කියන කතාව සහතික ඇත්ත මචං... හුඟක් වෙලාවට ගුරු දෙවිවරු ගැන කතාවල් ඇතිවෙන කොට මාත් හෙමින් ඉබ්බ කටුව ඇතුලට යනව වගේ ඔළුව හංගගන්නව... අපිට හොඳට ඉගැන්නුව තමා... ඒත් කවදාවත් දරුවෙක්ගෙ ජීවිතයක් අවබෝධකරගන්න පුළුවන් දුයිෂෙන් කෙනෙක් මුණ ගැහුනෙම නෑ.... අකුරක් හරි උගන්නපු කෙනෙකුට දොස් කියනව නෙමෙයි... මෙහෙමවත් ලියන්න හිතුනෙ තිසා ලියපු එක දැක්කහම මම මෙච්චර කල් කාටවත් නොකියපු මේ අදහස දැනුනු තව එකෙක් ඉන්නව කියල හිතුන නිසා....

      Delete
  4. ඇයි එහෙම කියන්නේ? - මම ආසම කරන බ්ලොග් එකක් මේක!

    එකඟයි සම්පූර්ණයෙන්ම
    දැන් අපි ඒ තත්වේ ඉන්නකොට තේරෙනව අපට වුණත් කරන්න පුලුවන් දේවල් බොහොම පොඩ්ඩයි කියල

    නමුත් අතරින් පතර ඔබ වාගේ වාසනාවන්තයින්ට ඒ වාගේ 'මිනිසුන්' හමුවෙනව

    ReplyDelete
    Replies
    1. සියඹලා ගස් යට පරිසරය ඔය වගේ අයව පෝෂණය කලේ නැහැ.
      ඒත් කිහිප දෙනෙක් හිටියා. ඔවුන් නිහඬ මෙහෙවරක් සිදු කළා.
      අපේ අවාසනාව ඔවුන් හදුනාගන්නටත් ඔවුනට සමීප වීමටත් අපිට බැරි වුණා.
      ඇත්තටම ඔවුන් අපට මග හැරුණා . ඒ අතින් JP වාසනාවන්තයි
      මෙතනට පාර පෙන්නුවට තිස්සට ස්තුතියි

      Delete
  5. "පලි: ඔහු ඉන් පස්සේ විවාහ උන බව ආරංචි උනා . ඔහුගේත්, ජීවන පැවැත්ම , විශ්වාස කරන දේ , සිතුම් පැතුම් වෙනස් වෙන්න ඇති .
    එහෙත් අපේ ජීවිත වලට අවශ්‍ය වෙලාවක , එවැනි සුන්දර ගුරුවරයෙක් විය ...."

    මට මේ ලිපියෙ තියෙන හොඳටම වැදිච්ච කොටස ඕක. පිට කැසීමක් නෙමේ, නමුත් ඔය පරිකල්පනය සහිතව මේව දිහා බලන මිනිස්සු අද සමාජෙ අඩුයි. අද සමාජෙ මේ වගේ දේවල් සම්බන්ධව දකින්න ලැබෙන සුලබ ප්‍රතිචාරය "මතකද සිරා ඒ කාලෙ දීපු ලොකු ටෝක්. අන්න පොර දැං ආතල් එකේ කසාදයක් බැඳගෙන ටියුශන් පාරක් දාගෙන ශේප් එකේ ඉන්නව, අපි ඒකනෙ ඕව ඒ කාලෙම කිව්වෙ" වර්ගයේ ඒව. හුඟක් වෙලාවට එහෙම කියන්නෙත් ඒ කාලෙ තමුන්ගෙ තිබ්බ ප‍ටු කමට සිරාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු.

    මිනිස්සු වෙනස් වෙනව. කාලයක් නිස්සරණාධ්‍යාෂයෙන් සමාජ ප්‍රගමනය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු පසුකාලීනව පුද්ගලික අරමුණු මුල් වීම මත වෙනත් අස්ථානයන් කරා පල්ලම් බහිනව. ඕක සාමාන්‍ය දෙයක්, හැමෝම බෝධිසත්වයො නෙමේනෙ. හැබැයි එදා ඒ මිනිස්සු නිස්සරණාධ්‍යාෂයෙන් කරපු වැඩ තමුන්ගෙ ප‍ටු අරමුණු මත දිරව ගන්න බැරි වෙච්ච මිනිස්සු සාමාන්‍යෙන් කරන්නෙ අර නිස්සරණාධ්‍යාෂයෙන් වැඩ කරපු මිනිස්සු තමුන් ඉන්න ප‍ටු සීමාවට ආවහම ඒව බලල තමුන් එදා ඉඳං කියපු දේ හරි කියල ස්වයං ආතල් ගන්න එක. ඕක එකතරා විදිහක කුහක කමක්.

    උදාහරණයක් විදිහට කැම්පස් ඉන්න කලෙ විප්ලව කරල පස්සෙ සල්ලි තියන තැංවලින් කසාද බැඳපු මිනිස්සු ගැන කරන ගැරහීම් අපි කොච්චර නම් අහළ තියෙනවද. නමුත් ඒව කියන මිනිස්සුන්ගෙ අතීතය ගැන අපි කවදාවත් විමසීමෙන් බලල තියෙනවද? මේක එක්තරා දුරකට ස්වයං විවේචනයක්. මොකද මාත් පුද්ගලිකව ඔය චෝදනවම මිනිස්සුන්ට එල්ල කරල තියෙනව (දැං නොකරත්). අපි ඒ කාලෙ ක්ලාස් එක ගහල යයි කියන බයට ලෙචාලට එක දා ගෙන ඉන්න ඕනෙ කමට ඇස්පනාපිට වෙච්ච අසාධාරණයන් නොදැක්ක වගේ ඉන්න කොට එහෙම ප‍ටු අරමුණු වලට වහල් නොවී පොදු අරමුණු වල ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු උන් දිහා බැළුවෙ වප‍රැහින්. පස්සෙ උන් කැම්පස් වලින් එළියට ඇවිත් හොඳ තැංවලින් බැඳල සිරා ජොබ් කරන කොට අපිත් ඒව බයිට් එකට අරගෙන කොච්චර නම් ස්වයං ආතල් ගත්තද. ඇත්ත, උන් අද කියන්නෙ එදා කියපුව නෙමේ වෙන්න ඇති. හැබැයි ඇත්තටම නම් වෙලා තියෙන්නෙ උන් ජීවිතේ එක දවසක් හරි පොදු අරමුණක් වෙනුවෙන් කැප වෙද්දි අපි එදත් එහෙම කැප කිරීමක් නොකර හිටපු එක.

    ReplyDelete
  6. නූතන ගුරු ගීතයේ පරිච්ජේදයක්..

    ReplyDelete
  7. ම් මේක ටිකක් වැඩි පුර දැනෙනවා මගේ අම්මත් ඔහොම කොට අදින ඉස්කෝලෙක තැලෙන කෙනෙක් නිසා. ඔහොම ගුරුවරු ගැන කතා අහලා තියෙන්නේ හරි අඩුවෙන්

    ඇනෝ උඹ කියලා තියන කතාවත් සහතික ඇත්ත

    ReplyDelete
  8. සියඹලා ගස් දෙකේ ඉස්කෝලේ කිව්වේ "රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ" වත්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත එහෙ තමයි ....ආච්චි කඩේ ඉස්සරහ තියෙන්නේ

      Delete

Have commented