03 November 2012

පරෙවි කූඩූ





























අප ජීවත් වන්නේ තට්ටු නිවාසයකය  . එක තට්ටුවක , නිවෙස් අට බැගින් ...තට්ටු හතළිහක් විතර උසට නැගී .. (ඇත්තටම බැලුවොත්  තිරස් අතට විහිදුනු ගමක් )..මේ යෝධ කොන්ක්‍රීට් පරෙවි කුඩුවේ , ජීවිත කීයක් නම්  ළගි ද ?....උදේට කෑම හොයා ගෙනයන , නැවත හවසට පැමිණ වර්ග අඩි 600 යේ 800 යේ කුඩු වල තනිවෙන ජීවිත අතර,  මගේ ජීවිතයද එකකි . 

සාමානය තට්ටු නිවාස සංකීර්ණයක ආකාරයටම , මෙහි නිවෙස් වලට අංක යෙදෙන්නේද, පළමුව මහලත් දෙවනුව නිවෙසත් යෙදෙන අක්ෂරයත් යෙදෙන පරිදිනි . 11A යනු එකොලොස් වෙනි තට්ටුවේ , A නිවෙසයි එය උඩින් ඇත්තේ 12A නිවෙසයි . පහලින් ලියවී ඇති දේ තේරුම් ගැනීමට ඔබට මෙය වැදගත් වෙනු ඇත . 



39A
ඊයේ රැය මාග්‍රට්ට තවත් නිදි නැති රැයකි. ඇට මිදුළු තුලින්ම නැගෙන වේදනාව , සිරුර පුරාම එක සැනින්   
පැතිරෙයි  . දොස්තර මෙය මෙසේ වෙන බව ඇයට කිවේය . "It is the way it is "  (මෙහෙම තමයි මේ ලෙඩේ හැටි ). මාග්‍රට් වීදුරු දොර හැර ගෙන බැල්කනියට පැමිණියාය . දැන් දැන් හිමිදිරිය සීතලය . ඇයට  තම බාහු දෙස බැලිනි . සුදුමැලි වූ රැලි ගැසුණු  සම මත ඇඳි   නිල්වන් ශිරා ධමනි රටා මත හිරි ගඩු  නැගී ඇත . ඇය පොරවාගෙන සිටිනා සරුවාලය තදට අල්වා ගත්තාය .
ඈත මුහුදේ තනිවූ බෝට්ටුවකි . ඇයට බිම බැලිනි , තට්ට්ටු 39 ක් පහල කුහුඹු වන මෙන් මිනිස් දෙරුවක් දිස්වේ .. ඇයට ජේන් සිහිවේ ...ඔවුහු සීතල අඩුවූ මාර්තු  මාසයේ  උදේට , නුදුරු උද්‍යානයේ ඇවිදින්නට 
ගියහ ...ඔවුහු  තම දරුවන් ගැන , මුණුබුරන් ගැන කතා කළහ ...ඉන් පසු ඔවුන් අසල අවන්හලට ගොස්  චීන තේ බිව්හ 
  
"I am not well Margret , will have to start chemo tomorrow" (මට සනීප නෑ , හෙට ඉඳන් කීමියෝ පටන් ගන්නවා මාග්‍රට්) 
ඒ අප්‍රේල්  මස එක්  දිනක් ය . 

" Doctor said to go home tomorrow, But I can't bare this pain . At times I feel it is better if I die off sooner" (දොස්තර  කිව්වා හෙට ගෙදර යන්න කියලා . මට මේ වේදනාව දරා ගන්න බෑ, මැරිලා යනවනම්  හොඳයි )
ඒ මැයි මස  ශනිදාවක සැන්දෑවේ සාන්ත තෙරේසා රෝහලේ අංක 6 වාට්ටුවේය.
 

 ගිලන් රථ සයිරන් හඬක් ...වෙලාව රෑ එකොළහත් පහුවෙලා ...
"Know something, Jane has leapt off the balcony last night , suicide"
(දන්නවද ජේන් ඊයේ බිල්ඩිමෙන් පැනලා, 
සියදිවිනසාගෙන ) ..
ඒ ජුලි මාසයේ මූසල දවසකි  .


චිත්‍රපටයක රූප රාමු මෙන් , මේවා එකින් එක ඈ  මනසේ ඇඳේ. 
  
අද සෙනසුරාදා  , දුව එයි දවල් කෑම අරන් ..උදේම නා ගන්න ඕනේ ...
මාග්‍රට් දොර වසාගෙන ගෙතුලට වන්නීය
 


11F

හැම සෙනසුරාදාවකම වගේ අදත්  ටීම් උදේම අවදි වී  ඇත. මේ සති අන්තයේ ඔහුගේ මවට නිවාඩුය ..ඈ වැඩට යන දවස් වලට ඔහු අකමැතිය . ඒ ගිය සමහර විට එන්නේ , දින කීපයකට පසුය .  ඇය   ගුවන් සේවිකාවකි.
"Mommy stay at home . I don't like when you go to work" (අම්මා අද ගෙදර ඉන්න , මම කැමති නෑ   අම්මා වැඩට යන දවස් වලට )

"That is the way with my  job"  (ඒ මගේ රස්සාවේ හැටි නේ ...)
 ඇය ඔහුගේ නළලත සිප ගනිමින් කියන්නීය ...  .
 ටීම් ගේ තනියට සිටින්නේ , ටිම්ට කවන්නේ , ටිම්ව නිදි කරන්නේ ලීලා ය
 ලීලා ගේ මව්රට ඈත ටීම් අසා නැති රටකි
" I am Sri Lanka"

ටීම් හඬන විට ලීලා  අලින්ගේ පිට නැගුනු කුමාරයන් ගැන , යකුන් ගැන ,දේවතාවියන් ගැන  කතා කියන්නීය . ඒවා කියන ලීලා ඇසේ පිරුණු කඳුළු පිසදාගන්නිය

"Leela why are you crying " (ඇයි   ලීලා අඬන්නේ)
දිනක් ටීම් ඇසු විට ලීලා කියුවේ 
"My daughter..."  (මගේ දුව ..) කියා පමණි . බොහෝවිට ලීලා කියන දේවල්  ටිම්ට  නොතේරේ  . 
  
 කාමරයේ දොර වසා ඇත . "Mummy Mummy" (අම්මා අම්මා) ටීම්  දොර ඇර ගැනීමට තනයි ... 

"Tim let your mummy sleep , she came late "
(ටීම් අම්මා ඊයේ  පරක්කු වෙලා ආවේ , නිදා ගන්න දෙන්න) ලීලා ටිම්ව සාලයට  
කැඳවාගෙන යයි .
ටීම් ලීලාගේ උකුලේ ඉඳ ගෙන , අතේ සිටින සෙල්ලම් වලස් පුන්චා ව තුරලු කර ගන්නේය . 



10A
අද උයන්න ඕනේ කහ බත් , දවල්ට ....කුකුල් මස් , අල  ...ෆාරීමා දවල් අහර වට්ටෝරුව සිතේ අඳින්නිය ....කොල්ල කැමති කෑම ....
විටෙක අශාඩ් නිවසේ නැති බව ඇයට අමතක වේ .

බිම දිගේ දන ගෑ....සෙල්ලම් කාර් තල්ලු කරගෙන ගෙය වටා දිවගිය ...පොඩි පුතු  දැන් කරදඬු උස්වී තරුණයෙකි .එනමුදු නිවාඩුවට පැමිණි විට ඔහු තවමත් ඈ සමග හුරතල් වෙන්නේ පොඩි එකේ වාගේය. 

තාත්තාද , ඒ දෙස බලා  සිහින් හිනාවක් නගනවා විනා, කිසිවක්  නොකියයි .. ඔහුටද පාළුව දැනෙන බව , ඇයට හොඳ හැටි දැනේ .

 කොල්ල කාලද දන්නේ නෑ ..අද ලෙක්චර්ස් නෑනේ , ස්කයිප්  කරන්න ඕනේ තව ටිකකින් ..
 

11A
අද සෙනසුරාදා හින්දා , තාම ගෙදර කට්ටිය අවදි වී නැත . නැත්නම් , "උදේ පාන්දරම , පටන් අරන්  තියෙන්නේ වැඩක්  " කියා ඇනුම් බැනුම් ය .
විටෙක මේ බ්ලොග් ලිවිල්ල , කියවිල්ල,  අබින් කෑවා වගේ යයි සිතේ  .
කොහේදෝ ළඟ පාත ගෙදරක කහබත් උයන සුවඳක් විවරවූ කවුළුව අතරින් , නාස් පුඩු දිගේ ගොස් මතකයන් අවුස්සයි ...කහ බත් , පපඩම් , කන පැලෙන සංගීතය , මගුල් ගෙවල් ..... ඒවා එක කලෙක මතකයන්ය .

 ගිලන් රථයක සයිරන් හඬ සිහින්වට ඈතින් ඇසේ. "කවුරු හරි පැනලද කොහෙද , ළඟ බිල්ඩිමකින්" හිත නිගමනයකට පැමිණීමට  ඉක්මන්වෙයි ..

"මම බැලුව කොහෙද කියලා .........."  තේ කෝප්පය මේසය උඩ තබමින් ඇය පරිගණක  තිරයේ  අමුණා ඇති දේ කියවන්නීය.
සුපුරුදු පරිදි සෙනසුරාදා දිනය ඇරඹෙයි 

8 comments:

  1. කොන්ක්‍රීට් අස්සේ හිරවුන ජීවිත

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට . සිද්ධීන් නම් සත්‍ය කථා ඇසුරෙනි . ජීවිත හිරවෙලා තියෙන්නේ කොන්ක්‍රීට් අතරද , හිත් ඇතුළෙද මන්දා

      Delete
  2. කොන්ක්‍රීට් අස්සෙ හිරවුන ජීවිතම නෙවෙයි. මේ ජීවිත සිරස්ව පැතිරිලා තියෙන එකයි වෙනස. ගමක වුනත් තිරස්ව පැතිරිලා තියෙන්නෙ විවිධාකාර ජීවන චර්යා, ගැටලු, එකී නොකී දේ. මෙතන ඝනත්වය වැඩියි. එච්චරයි.

    මේ හොංකොංද? සිගප්පූරුවද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්ත . මේ නම් හොං කොං . සිංගප්පුරුවේ තත්වය මීට ටිකක් හොඳයි මම දන්නා විදියට .

      Delete
  3. මේ විදියටම නොවුනත් අපි හැමෝගෙම ජීවිත එක එක විදියට හිරවෙලා....

    ReplyDelete
  4. එතකොට ෆ්ලැට් එකක් කියලා මිලට ගන්නේ අහසේ 3D ඉඩක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් කුලියටනේ . ඇත්තටම බැලුවොත් මගේ පොලවට මමයි උඩ ගෙදර කෙනයි දෙන්නම කුලී ගෙවනවා

      Delete

Have commented