17 December 2012

ඉබ්බන්ට පිහාටු


"එකමත් එක රටක ලස්සන විලක හිටියලු ඉබ්බෝ දෙන්නෙක් "

"ඉබ්බෝ අවුරුදු කීයක් විතර ජීවත් වෙනවද අප්පච්චි ?"


"සමහර ඉබ්බෝ අවුරුදු සීයක් විතර"


"එතකොට අප්පච්චි , ලොකු අත්තා වගේ වෙනකොටත් මේ දෙන්න මෙහෙමම ඉඳීයි නේ "

"
ඔව් පුතු , උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නොත් ඔහොම්මම ඉඳියි "


"හරි අප්පච්චි , දැන් කථාව කියන්න "

___________________________________

මට සුවිමාලි හමුවී ඒ වන විට වසර දෙකක් පමණ ගතවී තිබුණි . උසස් පෙළ ප්රතිපල එනතෙක් නොසිට මම ලිපිකාර රස්සාවට අයදුම් කලේ ගෙදරට තවදුරටත් බරක් වීමට බැරි නිසාය . මාලිගේ කතාවද එම පොතේම තවත් පරිච්චේදයක් විය .
"වැඩිය දුර හිතන්න ඕනේ නෑ , අපි රෙජිස්ටර් කරලා පොඩි උත්සවයක් ගනිමු . ඊට පස්සේ එන විදියකට මුහුණ දෙමු " ඈ මා දෑස් දෙස බලා ගෙන පැවසුවාය . බැංකු පොතේ තිබු මුදලින් මම මංගල මුද්ද ගත්තෙමි .

ඉන් පසු මාසෙන් මාසෙට අපි ජීවත් වුනෙමු. විසිදෙවෙනිදා පඩි පත ලැබෙන විට සිතේ නැගෙන කප්පරක් බලාපොරොත්තු සහ ඊළඟ මාසයේ දහවෙනිදා විතර වෙනකොට සිතේ නැගෙන ගින්න අතරේ අපේ ජීවිත ගෙවුණි . නිවාස ණයක් ගෙන නිවෙස මිලදි ගතිමු .

3D ඇන්ඩසන් මහල් නිවාස ,
මම ණය අයදුම් පතේ ලියුවේ ආඩම්බරයෙන් පපු කුහරය පුරවා ගනිමිනි .
තෙවන මහලේ කොනේම අපේ කැදැල්ල විය . පුතුව ගෙදර ගෙන ආ දවසේ මාලි පඩිපෙළ නැග්ගේ පඩි දහයෙන් දහයට හති අරමිනි .

" ඉගන නොගත්තත් නම තියෙන ඉස්කෝලෙකට යවන්න ඕනේ " ..ආපදා ණයක් ගෙන අපි පුතුගේ ඉස්කෝලෙට තැන්පතුව ගෙව්වෙමු .

ටියුෂන් වලට ගෙවන්නට අපි ඕ ටී කළෙමු. මාලි රෑ වෙන දවසට මම හන්දියේ රාණි අක්කගේ කඩයෙන් ඉඳි ආප්ප හා මාළු හොදි පාර්සලයක් ගෙන කලින් ගෙදර ආවෙමි . මම පරක්කු වුනු දවසට මාලි කෑම මේසයට ඔලුව තබා ගෙන මම එනකන් නිදාගත්තාය

______________________________________
"මොකක්ද අප්පච්චි ඉඩෝරයක් කියන්නේ ?"

"ඒ කියන්නේ වැස්ස නැතුව ...විල් හිඳිලා ...ගහ කොළ මැරිලා ...යන කාලයක් පුතු "

"ඉතින් අර ඉබ්බෝ දෙන්නා ?"

"උන් දෙන්න ඔහේ බලාගෙන හිටිය "

"අර එදා කතාවේ වගේ කොකෙක් එනකන්ද ?"

"කොක්කු හැම ඉබ්බෙකුගේම පිහිටට එන්නේ නෑ පුතු ...උන් ඇස් දෙක තදින් වහගෙන උන්ට පිහාටු එන හැටි ගැන හීන මැව්වා ...එතකොට නිල් කැටේට වතුර තියෙන , නෙලුම් මල් පිරිච්ච විලකට උන්ටම ඉගිලිලා යන්න පුළුවන් නේ "

" හි හි ඉතින් ඉබ්බන්ට පිහාටු එනවයෑ ...මෝඩ ඉබ්බෝ "

" උන් එකම හීනය දිගටම දැක්කොත් දවසක උන්ටත් පිහාටු එනවා පුතේ "

_____________________________________

"අයිසේ බලදේව , congratulations , කොල්ලා all island third ලු නේද "
 ඒ මගේ ජීවිතයේ සතුටුම දවසයි . එතැන් පටන් සුභ පැතුම් පෝලිම ආරම්භ විය. ඒ හැම පැතුමක් පාසාම මා දෑස් සතුටු කඳුලින් තෙත් වුනි . හවස අමරේගේ “white horse එකේ සැමරීමේ” යෝජනාවෙන් අමාරුවෙන් ගැලවී, පුතා කැමතිම pineapple gateuax එකක් පැගෝඩා එකෙන් ගෙන ගෙදර ගියෙමි .

වසර ගණනාවක් ජීවත් වූ නිවස විකුණු දවසේ අප දෙදෙනා එතරම් කතාකලේ නැත . ජනේලයෙන් එපිට ශාලිකා ග්රවුන්ඩ් එකේ රෑහයියන්ගේ ගාලගෝට්ටිය නිවසේ පැවති නිහඬතාවය මකා දැමුවාද නැතිනම් එය වඩාත් තීව්ර කලාදැයි මට සිහියක් නැත .

"කොල්ලට ස්කොල් එක හම්බ උනාට ජීවත් වෙන්න සල්ලි ඕනේ . ඌ රස්සා කරන්න ගිහින් ගිය වැඩේ කරගත්තේ නැත්නම් ඔක්කොම අපරාදේ " යුතුකම් හා වත්කම් අතරේ මා සිත අතරමං විනි . .

එනමුදු බැංකු පොත් වල එකතු කල වස්තුව අපට නොතිබුණි . සන්තකයටම තිබුනේ නිවස හා මගේ පරණ නිසාන් වැගන් එක පමණි .

"මහත්තය මේ කාර් එක නම් ඉතින් පරණ යකඩ වලට තමයි " ගරාජ් එකේ සෝමේ වාහනේට තක්සේරුවක් කළේය .. ඉදින් වෙන කල හැක්කක් නොතිබුණි .

බ්රවුන් පේපර් උරයක ලු නෝට්ටු මිටිය අල්මාරියේ සාරි අතරේ සැඟවූ මාලි යතුර ගෙනවිත් මට දුන්නාය .

"කමක් නෑ බලේ ...මමත් කැමැතියි නිස්කලංක පළාතකට යන්න ...අපිට පුළුවන් ඒ පරිසරයට හැඩ ගැහෙන්න ."
වසර විස්සක් ගෙන්දගම් පොලවේ, නගරයේ දුලි අතරේ ජිවත් වූ අපට එය එතරම් ලෙහෙසි නොවන බව මා මෙන්ම ඇයද හොඳින් දැන සිටියාය .

______________________________________

“විල හිඳිලා ගියා ...ඉබ්බෝ දෙන්නට කන්න බොන්නත් නැති උනා ..කුරුල්ලෝ පියඹලා වෙන වතුර වලවල් හොයා ගෙන ගියා ...”
"ඉබ්බන්ටත් යන්නනේ තිබ්බේ හිමින් හිමින් හරි "

" ඔව් ඒ වුනාට මේ මෝඩ ඉබ්බෝ දෙන්නා ...බඩගින්නේ ඇස් දෙක පියාගෙන පියඹා යන හැටි හීන මැව්වා..."


______________________________________

"බලේ කොහෙද ඔයා ගියේ මෙච්චර වෙලා පත්තරේ ගෙන්න කියල ගිහින් ...? පුතා කතා කළා "

" ඇයි මොකද කිව්වේ ...ඇයි මේ කඳුළු ..කොල්ලට කරදරයක්ද ?" මා හිත තිගැස්සිණි .

"නෑ බලේ results ඇවිල්ලා ..කොල්ලට first class ekak ..Uni එකේ Junior lecturer post එකක් offer කරලා "..
මාලිගේ සිතේ සතුට දෙනෙත් කොනෙන් දොරේ ගලා කම්මුල දිගේ රූටා වැටුණි .

මා සිතට ද අමුතු සැහැල්ලුවක් දැනෙන්නට විය . සිතට නැගුනු මදහස දෙතොල් පුරා පැතිරෙනු දැනේ .

" දැන් සුද්දියෙක් කරේ එල්ල ගන්න ඉස්සර වෙලා හොඳ ගොවි ගම ගෑනු ළමයෙක් හොයන්න ඕනේ " මාලි දෙවන මෙහෙයුම ආරම්භ කර ඇත .

_____________________________________

"එක දවසක් උදේ පාන්දර , විල පැත්තෙන් පියාපත් නගන සද්දයක් ඇහුනා .....
තවම කුරුල්ලෝ ඇහැරිලත් නෑ ...මෙන්න බලන්න පුතේ වැඩේ ....
අර ඉබ්බන්ට අත් තටු ඇවිල්ලා ...උන් ඉගිලී යන්න තටු ගහනවා "...




පලි

මෙය අඩු වැඩි වශයෙන් මගේ කතාවයි ..ඔබේ ද කතාව විය හැක ... අතේ වත්කමට නොව හිතේ හයියට , දරුවන් රට රාජ්ජ වල යවා උගන්වා අපිට නොලැබුණු තටු අපේ පැටවුන්ට ලබා දීමට අපි සැවොම සිහින මවමු ...

9 comments:

  1. ඉතා සංවේස්දී සටහනක්.

    අපේ අම්මලා, අප්පච්චිලා මේක විදිනවා ඇති. ඉගන්නුවා , ගෙවල හැදුවා. දැන් ඒ දෙන්නම තනියම. අපි කොළොම්පුරේ. වෙලාවකට හිතෙනවා මොකද්ද මේ ජීවිතේ කියලා. හිදට අත පය දිග ඇරලා ඉන්න ගෙයක් තියෙද්දී, රහට කන්න අම්මගේ කෑම තියෙද්දී අපි දෙගොල්ලම දෙපැත්තක ඉදන් දුක් විදිනවා. අපි නැතුව අම්මලාට නින්ද යන්නේ නෑ, රහට කන්නෙත් නෑ. ගෙදර ගිය දවසකට රහට කෑම ටිකක කාල හිනා වෙලා ඉන්නවා.

    අපි ඉබ්බන්ට තටු එනකම් අනුන්ට කඹුරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා ....මම හිතන්නේ මම නම් ඉන්නේ මේසේ එහා පැත්තේද කොහෙද ...තව අවුරුදු 7 කින් විතර මටත් බලේගේ ඉරණමම තමයි ...බලේගේ වගේ මමත් බලපොරෝත්තු ඉටු වුනොත් හොඳයි

      Delete
  2. දෙමව්පියන්ව වගේම තමන්ගේ මුල අමතක නොකරනවා නම් ඒක වඩාත් වටිනවා

    ReplyDelete
    Replies
    1. මුල අමතක නොකිරීමේ කතාව ටිකක් සංකීර්ණයි නේද

      Delete
  3. කතාව ලස්සනයි. මේක අපි හැම දෙනාගෙම කතාව.
    අපි පුංචි කාලෙදි හීන දකිනවා. සමහර ඒව අපිට පෙන්නනවා. අපි දකින හීන අපිට හැබෑ කර ගන්න බැරි වෙනවා. අපි වෙනුවෙන් අපේ දෙමාපියන් දකින හීන වල අන්තිමට හැමෝම හිර වෙනවා.
    අන්තිමට එකක්වත් නෑ. ආයෙමත් කියනවා. ලස්සනයි කතාව.

    ReplyDelete
    Replies
    1. නිහාල් ස්තුතියි . ඔබේ සංක්ෂිප්ත සටහනින් අපේ මුළු ජීවිතම විස්තර කරලා . මමත් හිර වෙලා ඉන්න හීන තියෙනවා . එත් ප්රුතජන හින්දද කොහෙද අපිත් ඒ වරදම කරනවා

      Delete
  4. කොහොමහරි පිහාටු හොයාගෙන විලෙන් පිටව යාමට තවත් හේතු තිබිය හැක.
    වේලාව තියෙනව නම් කියවන්න,

    http://meeghaya.wordpress.com/2012/12/21/%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%ad%e0%b6%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9d%e0%b7%9d%e0%b7%82%e0%b6%9a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමි . මේක තවත් පැත්තක් නේද?

      Delete
  5. තාත්ලා ගේ සිහින.
    ඒවා අපිට හරියට තේරුනේ නෑ මුල් දවස්වල.
    එකක් සැබෑ කළා, දෙවෙනි එක බැරිවුණා!
    දැන් දුකයි. මොනවා කරන්නද පරක්කු වැඩියි!

    ReplyDelete

Have commented