04 January 2013

විශ්වයේ මධ්‍ය ලක්‍ෂය


මගේ උපකරණ පුවරුවේ තිරයේ තවත් යානාවක සේයාවක් පලවෙනි වරට දිස්වන විට මම සිටියේ මා ගමන පටන් ගත් තැනින් බොහෝ දුරිනි .

 "ආලෝක වර්ෂ 7341ක් ""
 "ඩැනි ", මාගේ සහයට සිටින , PSAD V6.3 වර්ගයේ  කුඩා පෞද්ගලික අභ්යවාකාශ සහයක ඩ්රොයිඩ් (personal space assistant droid ) , මාගේ මතකයට දත්ත එක් කරයි .
( මාගේ ඉවෙසිමේ සීමාව නිරතුරුවම ඉක්මවන දේ ලයිස්තුවේ ,මේ බෙලෙක්ක කුනුබක්කිය මගේ සිතිවිලි කියවා ඊට උගේ සත පහ එකතු කිරීම ඇත්තේ ඉහලින්මය .)

යානය ගැන වැඩි දුර විස්තර සොයාගතිමි . මා මෙන්ම , ඇය ද සිටියේ , එක පුද්ගල යානයක හිරවී , නිමක් නොපෙනෙන විශ්වයේ ඉබේ ඇදෙමිනි .
අප දෙදෙනාම සොයමින් සිටියේ එකම දෙයකි .

"දෙයක් නොවේ හරියටමනම් "තැනකි" "   නැවතත් ඩැනී ...
ඔව් තැනකි. මධ්‍ය ලක්ෂය,  විශ්වයේ...අපේ වෙනස් තරු සිතියම් වලට අනුව එය තිබුනේ දෙතැනකය . වෙනස් චක්‍රාවාට දෙකකය ....
මොරටුව අන්තර්ජාතික අභ්යවකාශ විශ්ව විද්යාලයේ මහාචාර්ය සමුද්‍රගුප්තගේ තරු සටහනට අනුව , එය තිබ්බේ ඈත චක්‍රාවාටයක  කළු කුහර දෙකක් මැදය ....මා යමින් සිටියේ එතැනටය .ඒ ඔහුගේ අනුමානය ඔප්පු කිරීමටය .
එක අතකට, කොටින්ම කියනවනං, මම නිකන්ම නිකන් කඩේ යන්නෙක්මි .

වෙනත් ආයතනයක වෙනස් අයෙකුගේ න්‍යාය  වෙනුවෙන් වුවද ,ඇයත් එසේමය .
කෙසේ හෝ අපි අහම්බෙන් හෝ දෙවයේ හැටියට ,මේ සක්වලේදී හමුවුණෙමු ...

"මේක මගුල් සක්වලක් ..."

"ඩැනී, උඹ ව මම කුණුබක්කියට තියලා පාස්සනවා.. උඹේ බෙලෙක් අම්මට ..."

"එදා කිව්වා වගේ ....අම්මට ගැල්වනයිස් කරන්න ?..."

"කිව්වා කියල හිතා ගනින් ටකරමා "

ඇත්ත ,මේක මගුල් සක්වලක් තමයි .
අපි කතා කළා . මුලින් මුලින් තම තමන්ගේ තරු සැළසුම හරි යයි ඔප්පු කරන්න පටන් ගත්ත කතා බහ , පස්සේ වෙන දේවල් වලට පැතිරුණා . සමහර දවස් වල අපි දැඟිලි පටලාගෙන අනන්ත තරු යාය දිහා ඔහේ බලාගෙන හිටියා . ප්‍රියවිප්පයෝගයට  බයෙන්, මේ තරු මඬලේ ම පාවුනු අපි , අපේ mission එක , මුලින් මුලින් ඕනෑකමින්ම අමතක කළා .

"පස්සේ ඉබේම අමතක උනා "....(අම්මප මූට ...)

පස්සේ , අපිට තේරෙන්න ගත්තා , අපි කාලාන්තරයක් තිස්සේ සෙවූ විශ්වයේ මධ්‍ය  ලක්ෂය ඇත්තේ,  අපි දෙදෙනාගේම තරු සිතියම් වලින් ඔබ්බෙන්වූ තැනක  බව ......
අපි දෙන්නම Mission එක abort කලේ ඒ නිසා වෙන්න ඇති
.
.
.
.
.

" මේ බලන්න කෙල්ල හීනෙන් හිනා වෙනවා ...පුංචි සුරංගනාවියක් වගේ "...
දියණිය තවමත් ඇගේ දෝතේය ... බිලිඳු නළලත වැටුණු අකීකරු කෙහෙ රැල්ලක්, ඇය  සෙමින් සකසන්නිය .
මම නැඹුරු වී ලපටි කොපුල සිඹ ගනිමි ...කිරි සුවඳක් මා නහය ඔස්සේ ගලා විත් සිතට පිරේ ....


විශ්වයේ මධ්‍ය ලක්ෂය ..................





පලි
පසු ගිය දිනෙක ඇසුණු දෙයක් මසිතේ සනිටුහන් වී ඇත . බොහෝ දෙනා සිතන්නේ විශ්වයම කරකැවෙන්නේ තමන් වටා බවය . මා අදහන ආගමේ හැටියට එය තරමක් දුරට නිරවද්ය වේ. මුළු සසරම මමත්වය කේන්ද්රකොට ගෙන බිහිවේ . අනෙක් අතට විස්ථාපනය වන විශ්වයක , කේන්ද්රය කුමන අරුතක් සපයයිද ....නමුත් මා දියණිය උපන් දින පටන් මා උගත් පාඩමක් නම් ඇත්තේය ..එනම් ,මුළු හදින්ම ...අන් කවර දෙයකටත් වඩා , ඇතැම්විට තමන්ටත් වැඩියෙන්, කෙනෙකුට ආදරය කළ හැකි බවය .

2 comments:

  1. JP අන්තිම වාක්‍යයට ආපු ලස්සන මම කල්පනාකලේ. සහතික ඇත්ත.

    මට අර Star Wars එකේ R2D2 සහ C3PO මතක් වුනා
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩුඩ් .
      c3PO, R2D2ට වඩා මම මේ දවස් වල ඇබ්බැහිවෙලා වගේ ඉන්න culture series එකේ droidsලා මරු .

      ඔබේ කථාව ටිකක් පමණ අසා ඇති නිසා , සමහර විට ඒ ලක්ෂය අපේ universe එකෙන් පිට පවතින වෙලාවලුත් තියෙනවා නේද කියලත් (සීත රුසියාවේ වගේ : ) ) මතක් වෙනවා

      Delete

Have commented