27 May 2013

පිස්සු ලාබයි episode 4- පිළි සදත් නළුවන් (Clothes maketh the man)

සියුම් සිතාර් වාදනයක් , සමග ඝන්ටාර නදක් ඇසේ . සුළඟට  ලෙලෙනා බෝ පත් තිරයේ දිස්වේ ..
ගැඹුරු හඬින්  , වචනයෙන් වචනයට ඩබල් ඉස්පෙස් හිස්තැන් තබමින් තාලයකට අයෙක් පාළි  ගාථාවක් ගායනය කරත් .
"ලාභෝ .........අලාභෝ...... අයසෝ....... යසෝච ........"

සවස හයේ සිට හත දක්වා , සමනළ  වර්ණ පිළියෙන් සැරසී  කොන්දේ දෙකරලට ගොතා , ගීත ඉල්ලීම් තීරය ඉදිරිපත් කරන හුරුබුහිටි යුවතිය , සුදු ඔසරියකින් සැරසී තිරයේ දිස්වේ.
පාලක මැදිරිය (හරි නංගි  3 2 1 , ඉන්ට්‍රෝ ....)
"ආයුබෝවන් , හැපී වෙසක් කියලා පිලිගන්නවා හැමෝවම ...ලාබය අලාබය අතර දෝලනය වන , පිස්සු ලාබයි වැඩ සටහන සමගයි ඔබ අදත් එක්  වන්නේ ..ඔබ බලනවා ඇති ඔබේ සුපුරුදු නිවේදක හසන්ත කෝ කියලා අද . ..ඔහු මේ දවස් වල සෞඛ්‍ය මය හේතුන් නිසා රාජකාරි කටයුතු වලින් මදක් බැහැර වෙලා ඉන්නේ .... ඔහු කියා සිටිනවා ඔබට , පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්න එක ඇඟට ගුණයි කියලා .....ඉතින් අද සිට ඔබේ ආදරණිය නිවේදිකාව මම ..... චන්චලා .."

(දත් සෙට් එක ඔච්චර පෙන්නන්න එපා ...)

මේ වෙසක් මාසය . මේ මාසයේ ගොඩක් , පින් අතේ ව්‍යාපාර දියත් වෙනවා ...තෝරන් , වෙසක් කාඩ් ව්‍යාපාර ...එතනින් ගිහාම දන්සැල් ...ඒ වගේ දේකට  සම්බන්ද කෙනෙක් තමයි අද අපිත් සමග පිළිසඳරට එක්  වන්නේ ....ඔහු නළුවෙක් , කවට නළුවෙක් , වෙළෙන්දෙක් , ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එන වෙසක් නාට්‍ය කණ්ඩායමක හිමිකරුවෙක් .
ඔහු නමින් ක මු වාචාලපෙරුම මහත්මයා. මුළු නම කියනවානම් කවට මුදලිගේ වාචාලපෙරුම . අපි ඔබවත් හැපී වෙසක් කියලා පිලි ගන්නවා වැඩසටහනට .
සදහම් සිසිලෙන් ඔබවත් නැහැවෙවා චන්චලා 

අන්කල් මට මේ දවස් වල පොඩ්ඩක් හෙම්බිරිස්සාව ඒ නිසා නාන්න හොඳ නෑ  ..

(නංගි  ඔය මොනවද  කියවන්නේ ...නා ගන්න එපා පටන් ගත්ත ගමන්ම ..)

හරි අපි කතා බහට බහිමු . පොඩ්ඩක් විස්තර කරනවද ඔබේ ව්‍යාපාර ජීවිතේ පටන් ගත්ත හැටි ..

"මම පොඩි ගැටයා කාලේ , එක එක අයට  කඩේ ගිහින් තමයි ව්‍යාපාර ජීවිතේ පටන් ගත්තේ ...අපි ඒ කාලේ හරියට කම් කටොලු වින්දා චන්චලා නෝනේ ...ඊට පස්සේ කාලෙක මහාවංශය , චුල වංශය වගේ පරණ පුස් කාපු පොත් වලින් ගොටු හදලා විකුණුවා . එහෙම පොඩි තැනින් තමයි මම පටන් ගත්තේ 

එහෙම පොඩියට පටන් ගත්ත ඔබ අද  සාර්ථක සන්නාමයක , බ්‍රෑන්ඩ් එකක අයිති කරුවෙක් . අපි කතා කරමු අද ඔබේ වෙසක් නාට්‍ය කණ්ඩායම ගැන .

පුරා වසර ගණනාවක් තිස්සේ අපි වෙසක් නාට්‍ය පෙන්නනවා . විහාර මහා දෙවි පෙන්නලා තමයි අපි පටන් ගත්තේ . ඊට පස්සේ පෙන්නුවේ ධර්මිෂ්ට සමාජයක් කියලා ධර්මාශෝක රජ්ජුරුවෝ ගැන නාට්‍යක් , එක අවුරුදු දා හතක්  පෙන්නුවා .

දැන් අපි වසර ගණනාවක් තිස්සේ පෙන්වන්නේ මහින්දාගමනය 

අපිට ආරංචි උනා ඔබ මේ නාට්‍ය වල කොස්ටියුම් සඳහා පාවිච්චි කරන්නේ ටිකක් විශේෂ ක්‍රමයකට සකස් කරන ලද කොස්ටියුම්ස් කියලා 

(ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න එපා ..බර සිංහල වචන පාවිච්චි කරන්න ...මේ රස නැති ගී නෙමෙයි )

අනේ සොරි 

(ඔන්  ලයිව්,   ඔන්  ලයිව් )

මොකක් කිව්වා 

නෑ  නෑ ඔබේ විස්තරය ඉදිරිපත් කරන්න 

විපක්ෂිත බැල්මකින් පසු ඔහු නැවතත් කතාව පටන් ගනී 

ඔව් අපි පාවිච්චි කරන්නේ මට පරණ ගුරුන්නාන්සේ කෙනෙක් ජප කරලා දුන්න ඇඳුම් ආයිත්තම් කීපයක් . ඒ වයේ විශේෂත්වය තමයි ඒ ඇඳුම් දා ගත්තම නිකන්ම වගේ චරිතයට පිවිසෙනවා , දෙබස් නිකන්ම කියවෙනවා ..

නෑ  , අනේ කෝ පෙන්නන්නකො ....අනේ සොරි ..අපිට දර්ශනය කරන සේක්වා 

මේ මුල්ම කට්ටලය දුටු ගැමුණු ගේ 

කෝ අපිට දුටු ගැමුණුගේ කට්ටලයේ සමීප රූපයක් ලබා දෙන සේක්වා 

(නංගි කමක් නෑ පුරුදු විදියට කතා කරන්න )

මේක ඇඳ  ගත්තම , යුද්ද කරන්නමයි හිත යන්නේ ....ගස් බඳින්න , කොස් කොටන්න නැත්නම් නිකන් කාගේ හරි  කනට හරි ගහන්න   හිතෙනවා , දෙබස් ඉබේ කියවෙනවා

හරි හරි මට මතකයි අර කැලණිය පැත්තේ පෙන්නුවා නේද ඕක ඇඳන් විදී නාට්‍යක් ඩෙංගු මර්දනය පිළිබඳව 

නංගිටත් මතකයි නේද. මේක ඇන්දම  දේශාභිමානය ඔද වැඩෙනවා . මේ බලන්න මේක අල්ලන් ඉන්න ටිකට මගේ ඇඟේ  මයිල් ජාතිආලයෙන් කෙලින්  වෙනවා 

(අම්මට උඩු දැන් නංගි වෙලා )


චීයා අන්කල් 

නෑ නෑ  මම කිව්වේ මේ අතේ ..ඔය කොහෙද ඔය බම්බුව මාන්නන්නේ ...

(වැඩේ චෝර කරන්නේ නැතුව දිගටම ඉන්තෙර්විඑව් එක ගෙනියන්න )

මේ දෙවැනි ඇඳුම් කට්ටලය මොකක්ද  කියන්න 

මේක නම් අන්දරේ ගේ ෂෙට් එක . මේක අන්ද ගත්තම අන්දරේ වගේ දෙමුඛයෙන් හිනා යන උසුළු විසුළු මතක් වෙනවා . නිතර නිතර දියවන්නනාව පැත්තේ සංදර්ශනවලට , පොඩි පොඩි  ඉස්කිට් කරන්න මේක කට්ටිය කුලියට ගන්නවා .

 පුරසාරමකට නෙමෙයි , අර මහා එසෙඩ් ඉස්කෝ හටන නාට්‍යයේ බන්දු  ,  එතකොට සිරි ගූ ගල් නාට්‍යයේ පංචායුධ කුමාරයාගේ චරිතය රඟපාපු නිමලේ ,  වගේම  අලි කලබලය නාට්‍යයේ සුජිත් පවා ඇන්දේ මේක තමා .

ශා , අර අන්තිම එක නිකන් අර අපේ ... එයාගේ  අර තුවාය වගේ නේ ...

තුවාය නෙමෙයි චන්චි , සාටකය .  මේක කරේ දා ගත්තම පොඩි එකෙක් පෙන්න බෑ වඩාගන්න හිතෙනවා , කම්මුල මිරිකන්න හිතෙනවා .  නිකන් ඉන්නකොට හැම තැනම තමන්ගේ නම ලියන්න හිතෙනවා .අනික මේක ඇඳගෙන , රෙදි පෙන්නපුවම , ගොඩක් මිනිස්සු ඒවා කපලා මහල ඇඳගෙන තමන්ම රඟපාන්න ගන්නවා 

(ටයිම්ස් අප්.  ඉවර කරන්න. අර ලියාගෙන ආවා කිව්වා එන්ඩින් එක කියවන්න  )

අපිට ලැබී ඇති කාලය අවසානයි ඒ නිසා අපේ කතා බහ මෙතනින් නිමා කරනවා . අපිත් සමග එක්වූ වාචලපෙරුම මහත්මයාටත් , ප්‍රේක්ෂක ඔබටත් නිවන් සුව 

(හැ හඃ )

2 comments:

  1. ඇත්තටම වීඩියෝ කරලා යු ටියුබෙට දාන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා.

      Delete

Have commented