28 October 2013

පිස්සු ලාබයි 5- අං common theme

(උපැස් යුවලක් පැළඳ  ගත් , නපුරු ටීචර් කෙනෙක් මෙන් ඔරවා ගෙන සිටින යුවතියක් තිරයේ දිස්වේ)

ආයුබෝවන් ..  අද  සුපුරුදු පරිදි සඳුදා , ඔබ එක වන්නේ තුන්සිය...
(මෙහෙයුම් මැදිරියෙන් , ear piece එක හරහා..."හෝව් හෝව් නංගි ....මාරු කර ගන්න එපා ප්‍රෝග්‍රෑම් එක ..)

සමාවෙන්න , පිස්සු ලාබයි වැඩසටහන සමගින් ...
(ව්‍යාපාර ලෝකයේ ඩෙවිල්  එක ටිකි ටිකි ටිකි ටිකි යතුරු ලියනයක අකුරු වැදෙන  හඬින්  තිරයේ  දිස්වේ ,)

 ඔබේ දයාබර නිවේදක හසන්ත මේ දවස් වල පොඩ්ඩක් හැංගිලා ...සමාවෙන්න , කාර්ය බහුලතාවය නිසා වැඩසටහනට එන්න නොහැකි වී තියෙනවා .....


අද අපේ වැඩ සටහන සමග එක්වන්නේ  තවත් ව්‍යාපාරිකයෙක් . ඔහු අලුත් ම ආරේක ව්‍යාපාරයක් කරන්නෙක් . අපි ඔහුගෙන්ම දැන  ගනිමු ඔහුගේ ව්‍යාපාරය ගැන .
( මෙ මැ : හෝව් හෝව් නංගි  මේක නන්  ස්ටොප් බයිලා නෙමෙයි වචන කඩලා හුස්ම අරන් කතා කරන්න . අනික ඔරවාගෙන ඉන්න එපා ..)

ඔහු නමින් කලාබර දිරියබාහු . ආයුබෝවන් කියලා  පිලිගන්නවා ඔබව
(රුප රාමුව පුළුල් නළලක් ඇති ඔහුගේ සමීප රූපයකට යොමුවෙත්ම , ගීතයක් වාදනය වෙන්න පටන් ගනී )

"ටික වේ න්න නාලා , කොන් ඩේ  කඩා ගෙන , එනවද සුරතලියේ  ඒ ඒ ඒ  .."

මෙ මැ : "cut the sound .  පොඩ්ඩක් ඉන්න technical issue  එකක් sound track මාරු උනා "
(දැන්වීම් තුනකින් පසුව නැවත වැඩසටහනට යොමුවේ )

ඔබ නැවතත් මේ එක්ව සිටින්නේ තුන්සිය , සමාවෙන්න පිස්සු ලාබයි වැඩසටහන් සමගින්

 ඉතින් දිරියබාහු  මහතා , ඔබ අද සාර්ථක ව්‍යාපාරිකයෙක් . කියන්න බලන්න ඔබේ ආරම්භය  ගැන

දිබා  : මම මුලින් ගීත රචකයෙක් , කළා කරුවෙක් . ඊට පස්සේ පොඩි මාර්කටින් වැඩ කළා .පසු ගිය යුධ සමයේ , මම එකතු උනා  අපේ ජ ..

 (නැවතත් හඬ මැකී ගොස් ගීතයක කොටසක් වාදනය වේ ....
පාආආආ ලා අනග රැඟුම් , රාආආආ ජා සමග ඉතින් , ඉන්නට ලැබෙන එකත්, පෙරකළ පිනකි උතුම් .....)

මෙමැ ; අයෙත් track පැන්නා ,  හරි දැන් continue

සමාවෙන්න මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතන නොසිටින අයගේ නම් ගම් කීමෙන් වලකින්න කියලා

ආ ඒකත්  එහෙමද ...එහෙමනම් මම එකතු උනා කෙනෙක් ගේ දෑත  ශක්තිමත් කරන්න .

මාර්කටින් වැඩ කිව්වේ , වෙළඳ ප්‍රචාරණය පැත්තෙන් ?

නෑ නෑ  ...මේ කඩේ යනවාටත් කියන්නේ මාර්කටිං  කියලා නේද ?

ඔව් එහෙමත් කියනවා . හරි, ඔබ දැන් ඔබේ සහජ හැකියාව සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගෙන සිටින්නේ ....කියන්න ඒ ගැන :

මට තේරුම් ගියා ලංකාවේ තේමා  ගීත හරියට අවශ්‍ය වෙනවා කියලා ඉතින් මම ආයතනයක් පටන් ගත්තා  තේමා ගීත ගැන ඉස්‌පෙශල්යිස් ... අං කොමන් තීම්ස් තමයි ඒ ආයතනයේ නම ...

ඔබ ආයතනය කරන්නේ තේමා  ගීත පද රචනය විතරක්ද

නෑ නෑ . පදරචනය , ගායනය , රූප රාමු ඔක්කොම කරනවා . එන්ඩ් ටු එන්ඩ් ප්‍රොඩක්ශන් .

පොඩ්ඩක් විස්තර කරන්න එය

ඒක විස්තර කරනවානං ....

සමාවෙන්න , මදකට  ඔබට බාධා කරනවා , දවසේ පුවත අහල එන්න ...

(මදකට පසු)
අපි නැවතත් එක් වෙනවා වැඩසටහන සමගින්  ..නැවතත් ඔබේ පිළිතුරට , ඔව් කියන්න

කියන්න ඉස්සෙල්ලා , ආයි  කොහේ හරි යන්න තියෙනවද ?

කොහේද , කාටද?

නෑ මං කිව්වේ .....ලැට් එකට , වතුර ටිකක් බොන්න එහෙම, යන්න තියෙනවානම්  එහෙම ගිහිල්ලම එන්න කියලා එක පාර  ...

නෑ නෑ  ඔබ කියන්න

මෙහෙමයි ඔය හැම සින්දුවකම තියෙන්නේ එකම වචන සෙට් එකනේ .ඉතින් ඒවා එහාට මෙහාට ඔබ්බලා ..අපි හදනවා අලුත් සින්දු ..රුප රචනා ගත්තත්  එහෙමයි ..

නියරක් දිගේ යන පොඩි එවුන් ..මුහුදු වෙරළ ...ලයිට් හවුස් එකක් ...උඩරට නැට්ටුවෙක් .. හිනා වෙන ගෑනු ළමයි . ඔය හැම එකේම තියෙන්නේ එකම වගේ ඒවානේ 

ඇත්තමයි ..ඉතින් කියන්න ඔබ මොනවද කරපු නව නිර්මාණ

අපි කලා අර ළඟදී තියෙන රූං  පෙත්තේ සමුළුවට
"රූං  පෙත්ත කැරකෙනවා, කෝම්  පිට්ටු ඉදිවෙනවා , මාමා උඹට සුරංගනා  කතා කියනවා "  කියලා ගීතයක් . එය නිතරම ප්‍රචාරය උනා . ඔබට ඇසෙන්න ඇති එය මම හිතන්නේ 


 පස්සේ අපි කළා මේ වැසිකිලි දස දහසේ "නිදහස් බොග දැමුම"  වැඩසටහනට තේමා ගීතයක් හැටියට
 " තටමන්න නිදහසේ " කියලා ගීයක්  . ඒකත්  ඔබට ලඟදීම  ඇහෙන්න ලැබෙයි .


කතා කරන්න බොහෝ දේ තිබුනත්  අවාසනාවකට වගේ  අපට ලැබී තියෙන කාල සීමාව අවසන් වේ ගෙන යනවා . පළමුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහබාගි වීමට පැමිණියාට .

අනේ ඔබතුමියටත්  , මේ කරගත් කුසළ  කර්මයෙන් මතු උපදින භවයක්  භවයක් පාසා වාසනාවන්ත ජීවිතයක්  ළමා ගන්නවා  ..කාලෙකින් රුපවාහිනි කැමරාවක් ඉස්සෙරහට ආවේ අප්පා  ...වැඩිය කවුරුත් කතාකරන්නේ වත් නෑ  දැන්

ඉතින් එහෙනම් වැඩසටහන අවසන් කරන්න , අපි ආරාධනා කරනවා ඔබට ගීතයක කොටසක් ගායන කරන්න කියලා

මම එහෙනම් මම රචනා කරපු ,  "පාර වහමු ..රේස් පදිමු" වැඩසටහනේ  තේමා  ගීතයෙන් කොටසක් කියන්නම්  ... 

"තා ර දමාලා  , මග ලෙළ දෙනවා , දිලිසි දිලිසි       නංගෝ
පා ර වසාගෙන රේස් පදිමු අපි , හඳ පානේ නංගෝ

පෝෂ්‍ ලම්බෝගිනි  ෆිරාරී
දැක දුරුවේ අපේ බඩගිනී

පා ර වසාගෙන රේස් පදිමු අපි , හඳ පානේ නංගෝ "

 (තිරය කෙමෙන් අඳුරුවී , නාමාවලිය දිග හැරේ )



8 comments:

  1. අපොයි මම කතාව විඳින්න පටන් ගන්නකොටම තිරේ වහලානේ....

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ රුපවාහිනි වැඩසටහන් ගොඩක් එහෙම නේද? :)

      Delete
  2. වැල නොකැඩී රූං ගාගෙන යන්නේ මසරාටියි නංගෝ
    ඇස්ටන් මාටින් උඩ පැන පැන එන්නේ අප කැඳවයි නංගෝ

    බීඑම්ඩබලිව් දැකලා
    අප සැම තුටුවෙමු මාලා

    පාරවසාලා රේසින් කරලා
    කුස පුරවමු මාලා

    ReplyDelete
    Replies
    1. මාලාට හරි සතුටුයි කියන්නෙ...

      Delete
  3. JP ගුවන් විදුලි හෝ රූපවහිණී ආයතනයක ටික කලක් හරි වැඩ නොකලා කිව්වොත් මම ඒක විශ්වාස කරන්න මැලි වෙනවා.

    ආයෙ අහන්න දෙයක් නෑ. ඔය වගේම තමයි වැඩේ වෙනවා ඇත්තෙත්. සමහර විට FM චැනල් වල නම් මෙහෙයුම් මැදිරියෙන් කණට කොඳුරන්නේ නැතුවත් ඇති.

    ReplyDelete
    Replies
    1. FM චැනල වල නම් මෙහෙයුම් මැදිරි තියෙනවාද කියලා හිතෙනවා.

      මම සාමාන්‍ය ප්‍රෙක්ශකයෙක් පමනි

      Delete
  4. කියවලා කල්පනා කලේ අපි දෙන්නගෙන් පිස්සු කාටද කියලා :D

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන නම් නොදනිමි. මට නම් ලාවට වගේ පිස්සු තමයි :)

      Delete

Have commented