17 October 2013

අලි පෙරහැර























මෙතෙක් කථාව  :
වාර්ෂිකව ගමේ පැවැත්වෙන අලි පෙරහැර , මෙවර නොපැවැත්වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වන බවට ආරංචිය ලැව්  ගින්නක් සේ පැතිර ගියේ ගිය සතියේය . අලි පෙරහැරෙන්  තඹ දොයිතුවක ලාබ  ප්‍රයෝජනයක් අපිට නොලැබුනත් මෙය අලි ආරංචියකි . අපිට හප හපා සිටීමට මාතෘකාවකි .

අද එතැන් සිට :
හිමිදිරියේ පුරුදු පරිදි පාන් ගෙඩියක් ගෙනයාමට , බනිසක් කෑමට , පත්තරය බලා තේ කහට එකක් බීමට  හන්දියේ කඩයට රැස්වූ කට්ටිය මේ මාතෘකාව දිග හැර ගෙන , රෝග නිධානය , රෝගයට ප්‍රතිකාර හා වටේ ගොඩේ අනෙක් දේ කතා කරමින් සිටින විට එතනට අප්පුහාමි මාමා පැමිණියේය .

අප්පුහාමි වූ කලි ප්‍රසිද්ධ ඇත්  ගොව්වෙකි . අලි මන්තර කොටි මන්තර දත්තෙකි . කොටින්ම කියනවානම් ගමේ අලි පෙරහරේ කරඬුව ගෙනයන "චාමිකර" හස්ති රාජයාව මග දක්කා  ගෙන යන්නේ ඔහුය

"මුදලාලි ගමුකො වැඩි සීනි  ප්ලේන්ටීයක්   කුරහන් හැලපයකුත් එක්ක " කියමින් ඔහුද පේර  ගහ යට බැංකුවේ වාඩි  විය .

එතැන් සිට සිදුවූ කතා බහ එයුරින්ම පහත දක්වමි

සයිමා ( රැකියාව : දහවලට ඉඳ හිට කුලී වැඩ , රාත්‍රියට සුළු සුළු හොරකම්):  " ඈ මාමේ මොකෝ බං මේ අලි කලබලේ ?"

අප්පුහාමි : "
මෙහෙමයි , ඔය සුජිත් පුතා අලි නාම්බා ඉන්නවා නේද . උඋත් එක්ක හරි කරදරේ . හස්ති රාජයාගේ පිටේ කරඬුව තියෙනවා පේන්න  බෑ  ඇවිත් උගේ ඇඳුමෙන් අදිනවා . තල්ලු කරනවා ..කරඬුව වට්ටන්න හදනවා "


සයිමා ;  "ඉතින් බං  ඌත් කැමති ඇති ඕක  පිට උඩ  තියන් ගෙනියන්න"

අප්පුහාමි :  "ඌට  ඕනේ නම් ඒක  තමයි . ඒත්  එහෙම ආවට ගියාට කරඬුව පිටේ තියන්න පුළුවන් යෑ . සද්දන්ත කුලේ වෙන්න එපා යෑ . හත් තැනක් බිම ගැවෙන්න ඕනේ . කකුල් හතර , හොඩවැල , වලිගය ..
හත් තැනක් .. තේරුනාද සෙනෙහෙ ලතෝ   ?"

අප්පුහාමි සෙනෙහෙලතා දෙස බලා ඇසක් ගැසීය

සෙනෙහෙලතා  (පොත්ත රතු , පිරුණු හැට්ටය , විවාහක ...ඒත් ) : "අනේ මේ යන්න අප්පුහාමි මාමේ යන්න""
ඇය ගස්සාගෙන ඉවතට ගියාය .

උන්ගුවා (කඩේ මුදලාලිගේ බාල කොලු ) කලිසම් කොටය ඔසවමින්
" ඒ උනාට සීයේ   ඒ මහ ඇතා නිකං  ඇතින්න වගේනේ ඇවිදින්නෙත් ඇඹරි ඇඹරි , හිටගන්නෙත් අපේ ලතා අක්කා වගේ "


අප්පුහාමි : වහ කට .. පළ යන්න .. උඹේ පොඩිකමට නෙමෙයි කතන්දර ..පොලවේ ගෑවුම්  නොගෑවුම්  පැත්තකින් තිබ්බ..එහෙම ඇවිද්දට  ඌ සද්දන්ත කුලේ ..

ලැයිසා (පාන් බාගයක් හා කිරිපිටි හැඳි තුනක් ගැනීමට කඩයට ගොඩවූ ) :
ඒ වුනාට ඌ නාකියි නේ මාමේ . ඉතින් අලුත් සතෙක් පිටේ තිබ්බට කමක් නෑනේ පුරුදු වෙන්නත් එක්ක 

අප්පුහාමි : මේ දැරිවි කියන එකේ ඇත්තක්  තියෙනවා . එත් වැඩේ තියෙන්නේ , කරඬුව පිට උද තියන්න හදනකොට අර නාම්බා දුවනවා නේ ගාල කඩාගෙන , කහඹිලියා ගෑවුනා වගේ ..ඉතින් කොහොමෙයි ඒක  කරන්නේ 

සයිමා  : මාමේ එහෙනම් වෙන්නේ අර පන්සලේ හාමුදුරුවෝ කිව්වා වගේ කරඬුව කරත්තෙක තියලා අලි ඔක්කොම බැඳලා  අදින්න "

ලැයිසා ; අනේ අපේ හාමුදුරුවෝ දන්න  අලි පෙරහැරවල් 

උන්ගුවා ' මාමේ මාමේ , නැන්දේ , සීයේ  අර දෙහිවල සත්තු වත්තේ හවස අලි නැටුම් වගේ , අලි ඔක්කොටම වලිග අල්ලාගෙන වටේට වටේට යන්න කිව්වා නම් , හැමෝම සතුටුයි , හැමෝටම හිතෙයි මගේ පස්සේ තමයි අනිත් අලි එන්නේ කියලා..." 

සයිමා : හැහ්  හැහ්  හැහ්   පොඩි එකා ටත් යමක් කමක් තේරෙනවා ..

අප්පුහාමි කිසිවක් නොකියා නැගිට කෝප්පයේ අවසන් තේ උගුර කටට හලා ගත්තේය . හැමදාම කරේ ඇති ගුරු පාට තුවා කෑල්ලෙන් රැවුල පිහිදා ගත්තේය

"අනේ මන්දා  මෙහෙම ගියොත් ඉතින් අප්පුහාමි මාමට තමයි කරඬුව ඔලුව උඩ  තියන් ගෙනියන්න 
වෙන්නේ "
ලැයිසා කිවේ පාන් බාගයත්  ,කිරිපිටි ගොට්ටත් මල්ලට ඔබා ගනිමිනි .

"අම්මප මට හිතුනොත් කොල්ලෝ ටිකකට අලි සුට් අන්දලා කරනවා මේ පෙරහැර ... ඕන් "

ඔහු රැවුල පිරිමදිමින් තුවාය  කරේ දමා ගත්තේය .



පලි: 

පෙරහරේ අලි ගියාට හෙන්ඩුව ඇත්තේ ඇත් ගොව්වා අතේය. මෙය පෙරහැර බලන අපිටද , පෙරහරේ යන අලින්ටද විටක අමතක වේ .

දවල්වම ගොස් හොඳ ඉස්පොට් එකක් අල්ලා ගෙන , රෑ  නිදි මරාගෙන පෙරහැරවල් බලන්නේ ඇයිදැයි හරියටම කිසිවෙකුට නොතේරේ . පෙරහරට පෙර සහ පසු,  අලින්ට නම් කන්නට කිතුල් බඩ  සහ පලතුරු ලැබේ 

එනමුදු පෙරහැරට  අලි උවමනාමය ..නැතිනම් එය අර මොකක්ද එකක්  නැති මෙව්වා එකක් වාගේ වන්නේය  




7 comments:

  1. ඔය සද්දන්ත කුලේ අලියා ෆුල් ටයිම් 7WD නේ.

    ReplyDelete
    Replies
    1. මාර පවක් නේ එක විදියකට බැලුවම

      Delete
  2. /# ....කිරිපිටි හැඳි තුනක් ගැනීමට .... #/

    ඒ typo එකක්ද නැත්නම් මා යතාර්ථයෙන් එපමණ දුරද?

    ReplyDelete
    Replies
    1. කකා. මම මෙය ඇසින් දුටිමි.

      ප්‍රදේශය ඉතා දුගි පලාතක්. පාරිභෝගිකයත් ඉතා දුගි. නමුත් අවුරුදු දෙකකට පෙර මම මෙය දුටිමි. මෙය සාමාන්‍ය තත්වය නොවන්නට ඇති ඒත්...

      Delete
    2. කිරිපිටි හැඳිවලින් විකිනීම වතුකරයේ නිවාස අශ්‍රිතව සිදුවූ බව මට මගේ මල්ලී කියා ඇත. මේකත් ගන්නේ පුංචිම එව්වන්ට පොවන්න යැයිද ඔහු මට කියා ඇත.

      Delete
    3. හරියට හරි අරූ .
      එතනට ගියාම , මේ අධි වේගී මාර්ග , ෂොපින් කොම්ප්ලෙක්ස් සංවර්ධනය මොකට කියලා හිතෙන්නේ නැත්ද?

      Delete

Have commented