01 April 2014

සිහින සතක් දුටුවෙමි මම

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට . ඒ වුනාට මට පෙනුනෙම විකාර රූපී ම සිහින


සිහිනය 1
මම ගාල්ල නගරයේ ඇවිදගෙන යන්නෙමි . බස් නැවතුම් පොලක් ඉදිරිපිට සිටින්නේ දැක පුරුදු මුහුණකි .
ඒ අනර්කලී ආකර්ශා මෙනෙවියයි .
"ආ මිස් අඳුන ගන්නත් බැරි උනා . මොකද මෙතන . මාතර බස් එකක් එනකන් ද ?
" නෑ  මෙයා , අරයා එනවා කිව්වා , ටිකක් පරක්කුයි වගේ . නුවර ඉඳන් එන්නත් ඕනෙනේ "
මෙවන් ලද බොළඳ ලඳකට , චන්දෙන් පැරදුනා  මදිවාට , මෙසේ අව්  කාස්ටකේ  රස්තියාදු වීමට වීම ගැන මගේ සිතේ හීන්  දුකක් ඇතිවිය
" මිස් ඕවා ගණන් ගන්න එපා . දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?"
" මම අලුත් වැඩක් පටන් ගත්තා " ඇය  මට නේම් කාඩ් පතක් දිගු කරන්නීය .
උපදෙස් ලාබයි . ජනාධිපති උපදේශිකා ...එහි ලියා  ඇත 


සිහිනය 2
සුදු පාට පජෙරෝවක් ම ඉදිරියට පැමිණෙන්නේය . එහි සන් රූෆ්  එකෙන් ඉන තෙක් එලියට දා ගත් තරුණයෙක් මට අත වනන්නේය .
" මචං  මම දිනුම් '
" ආ එහෙනම් ජයවේවා කිව්වා "
" එහෙම නෙමෙයි , අද අපි ඔක්කොම සෙට් වෙනවා නයිට් ක්ලබ් එකේ , බේබිත්  එනවා . අයියත් එන්න . හොඳ ෆන් එකක් ගත්තහැකි ."
"අපි කිව්වේ ?"
" මගේ ජයග්‍රහණයට කැප වෙච්ච කට්ටිය "
" ආසනේ චන්දදායකයෝ ඔක්කොම එනවද ?"
"උන්ට උදේ කිරිබත් කෑලි  ටිකක් බෙදුවා . තාත්තත් කිව්වා ඕකුන්ව වැඩිය ලං කර ගන්න එපා කියලා ජනතා සේවය කරන කොට"


සිහිනය 3
බැංකුවක් මත තැබූ දාන් ලෑල්ලක  එක පැත්තක අතිගරු ජනාධිපති තුමා ඉඳ ගෙන සිටින්නේය . අනෙක් පස බිම හිඳගෙන සිටින්නේ හිරුනිකාය .
"ඔන්න ජනාධිපති තුමා මම මෙහෙම මේ ඉත්තවත් කපලා  , මේ  අනික් ඉත්තවත් කපලා  රජ වෙනවා . කොහොමද මගේ මූව්  එක ?"
ඇය  හඬ නලවා අසන්නිය .
ඔහු කතාවක් නොමැත . මාපටඟිල්ලෙන් රැවුල සකසමින් කල්පනා කරන්නේය.
" ඔබ තුමාට මන්  ගැන ආඩම්බරයිද ?"
ඔහු හිමින් සැරේ හොරෙන් වගේ පයින් ලෑල්ලට  ගසන්නේය . සමතුලිතතාවය බිඳෙ . ඉත්තන් ඉවතට විසිවේ . ඇතැම් ඉත්තන් වෙනත් කොටුවලය . ඇතැමුන් ලෑල්ලේ දාරේ දිගේය .
ඔහු මුහුණේ  අහිංසක පෙනුමක් මවා ගෙන සිනාසෙන්නේය
" ඔහ්  කකුල වැදුනනේ  . දැන් මොකද කරන්නේ . අයෙත් මුල ඉඳන් අදිමුද ?"


සිහිනය 4
සෙනග රැස්වී සිටිති . ඊට ටික ඔබ්බෙන් දිග මේසයක් පිටුපස අනුර කුමාර මහතා , ස්තුති කතාවක්  කරන්නේය . කතාව පැහැදිලිව ඇසෙන්නේ නැත .
එක වරම මා අසල සිටි කෙනෙක් අත්පොලසන් දෙන්නට විය .
"සහෝදරයා ඇහුනද ? මටත් ස්තුති කළා "
" හරියටම ඇහුනේනම් නෑ  . නම කිව්වද ?"
" නම නම් කිව්වේ නෑ  "
"එහෙනම්?"
' ඇයි  කිව්වේ , මෙකි නොකී කියලා "


සිහිනය 5
උදය ගම්මන්පිල වේගයෙන් ඇවිදගෙන පලා යන්නේය . මම ඔහු ලුහුබඳිමි .
"මහත්තයෝ ගම්මන්පිල මහත්තයෝ , ඕයි  නවතිනවකෝ "
"මම නැවතී ඉන්නේ පින්වත, ඔබයි දුවන්නේ "
මට යකා නගින්නේය " මේ ඕයි  නිකන් බුදු ටෝක් දෙන්න එපා . මට කුණුහරුප  එනවා කටට  "
" හරි හරි මොකක්ද ගැටලුව ?"
" දැන් ඔබද මහ ඇමති ?"
" බලනවකො ඕයි  පින්වත . මගේ දුකට වඩා ඇගේ දුක , දුක වැඩි වුනානේ . දුක තමයි ඉතින්"
" එතකොට අර හදනවා කිව්ව ධර්ම රාජ්ජේ ? එකතු කරපු සීයේ කොල ටික ?"
"චිහ් , ලැජ්ජා  නැත්ද ඕයි පිනට දුන්න දේ ගැන ආයෙත් අහන්න ?"


සිහිනය 6
හාත්පසම අඳුරුය . එහෙත් අඳුරු සෙවනැලි අතරේ කවුදෝ ඉන්න බවක් මට දැනේ . එක්වරම හේ ගීතයක්  ගයන්නට පටන් ගන්නේය
"මඩේ ලගින තාරාවන් දිනවතහැකි බං
ඌරූ  දලින් වුව ගජ මුතු අර ගත්තහැකි බං
චපල බසට කැටයම් දා විකුණත  බං
එහෙම කලොත් ඔබ කියාවී  "
" පොදු අපේක්ෂකයා , පොදු අපේක්ෂකයා මං  ..." මම කෑ  ගසමි
" හා හා  කලබල වෙන්න එපා . 2016 වෙනකන් ටෙස්ට් මැචස් නෑ "  ගොරෝසු හඬකින් කවුදෝ කියන්නේය 


සිහිනය 7
"ම ..මයන්න " නිවේදිකාව මා දෙස බලා කියන්නීය .
මම මයන්නෙන් ගීතයක්  මතක් කරමි .
" ඔබ  දැන් ඉන්නේ ජයග්‍රහණය පෙනෙන මානේ . සීමාසහිත දේශප්‍රේමී සමුහ ව්‍යාපාර අනුග්‍රහයෙන් පිරිනමන අයිස්චර්ය තෑගි මල්ලට බොහෝ ලඟින්."
හරි මතක් උනා  . මම ගීතය පටන් ගනිමි
"මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න . ...... ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න "

....................."අම්මේ ලං වෙන්න එපා . ඔය එපා කියන්නේ "
ඒත්  සමගම සිනා හඬක් පැතිරෙන්නේය . මම දෑස  විවර කරමි . යතාර්ථය මට සමපාත වීමට මොහොතක් ගතවේ. මට පුටුවෙම නින්ද ගොසිනි
" අප්පච්චි දැන් හීනෙන් සින්දුත් කියනවා " මා දියණිය ඇනුම් පදයක් එල්ල කරන්නීය
" පුරුදු විදියට ගෙරෙව්වනම් හොඳයි වගේ " මා දයාබර බිරිඳ මාගේ ගායන කෞශල්‍යය අගය කරන්නීය 

17 comments:

  1. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්, නොනිදා මම ඉන්නම්!

    ReplyDelete
    Replies
    1. වෙලාවේ හැටියට ඔබ නොනිදා නේද

      Delete
  2. ෂෝක් හීන ටික :D

    ReplyDelete
  3. දැන් බලනකොට කොසොල් රජ්ජුරුවන්ටත් වඩා හොඳ හීනනේ පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලෙඩක්ද කියලත් හිතුනා. බෙහෙත් ටිකක් ගන්න ඕනේ

      Delete
  4. හැබැයි ඉතින් එක අතකට මේවා ටිකක් භයානක හීන..

    ReplyDelete
    Replies
    1. එක අතකට ? ලං නොවන්න ! :)

      Delete
  5. සැබෑ වූ සිහින...
    පට්ටෙ හොඳම එක..

    ReplyDelete
    Replies
    1. හීන හැබෑ වෙච්ච එවුනුත් ඉන්නවා නේද කියලා මතක් උනා

      Delete
  6. හීන හතෙනුත් එලි වෙන්නෙ නැහැ මචං ;)

    ReplyDelete
    Replies
    1. මේ සිහිනෙන් මා මුදන්න ලo නොවන්න

      Delete
  7. නියම හීන ටික අප්පා,ගායන කෞශල්‍යය තමයි හොඳම හීනෙ.

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනේ පුදුම සහයෝගයක් දෙන්නේ ඒක වැඩි දියුනු කර ගන්න

      Delete
  8. චූටි හීනනේ. දවස් හතක් දැක්කේ අපරාදේ...එක දවසේ බලලා ඉවර කරන්ට තිබ්බා...:(

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හීනවල කාලේ යන්නෙත් පියවි ලොවේ වේගෙන්මද

      Delete
  9. තුන්වෙනි හීනේ තමයි සිරාම හීනේ. ඕක සැබෑවෙන්න වැඩිකල් යන්නේ නැහැ පුතෝ. කෙල්ලට වෙන්නේ බෝඩ් එක දිහා බලන් ඉන්න මිසක් ඉත්තෝ හොල්ලන්න නෙමෙයි. ෂුවර් එකට මහ එකා කකුල වද්දගන්නවා ඉත්තෝ අදින්න ගියොත්.

    ReplyDelete

Have commented